දිල්ලි වායු දූෂණයෙන් පීඩා විඳින ශ්‍රී ලාංකිකයෝ

 ඡායාරූපය:

දිල්ලි වායු දූෂණයෙන් පීඩා විඳින ශ්‍රී ලාංකිකයෝ

ඉන්දියාවේ දිල්ලි ප්‍රාන්තය ආශ්‍රිතව මේ දිනවල පවතින අධික වායු දූෂණය හේතුවෙන් මහත් පීඩාවට පත්ව සිටින බව නවදිල්ලි නගරය ආශ්‍රිතව වාසය කරන

ශ්‍රී ලාංකිකයෝ මැසිවිලි නගති.

නවදිල්ලි නගරය ආශ්‍රිතව මේ වන විට වායු දූෂණය අතිශයින් ඉහළ අගයක් ගෙන ඇති අතර පාසල්ද වසා දමා තිබේ.

දිල්ලි ප්‍රධාන අමාත්‍ය අර්වින්ද් කෙජ්රිවාල් පැවසුවේ, ඉන්දියාවේ උතුරු ප්‍රදේශයේ වායු දූෂණය "දරාගත නොහැකි මට්ටමකට ඉහළ ගොස් " ඇති බවය.

දිල්ලි ප්‍රාන්තයේ වාතයේ පවතින අන්තරාදායක අංශු ප්‍රතිශතය (PM2.5 ලෙස සැලකෙන ගණනය කිරීමකි.) නිර්දේශිත අගයට වඩා අතිශයින් ඉහළ අගයක් ගෙන තිබේ. එම අගය චීනයේ බීජිං අගනුවර පවතින අගයටත් වඩා හත් ගුණයකින් ඉහළ අගයකි.

ශ්‍රී ලාංකිකයන්ගේ අත්දැකීම්

නවදිල්ලි නගරයේ පිහිටි සවුත් ඒෂියන් විශ්වවිද්‍යාලයේ දර්ශන විශාරද උපාධිය හදාරන අනුෂ්කා කහඳගමගේ බීබීසී සිංහල සේවයට පැවසුවේ, "එළියට බැසීමට නොහැකි තරම් වායු දූෂණය ඉහළ ගොස් ඇති" බවය.

"නවදිල්ලියේ වායු දූෂණය ඉතාම භයානක මට්ටමක පවතින්නේ. මම අවස්ථා කිහිපයකදීම ඒ නිසා අසනීප වුණා." අනුෂ්කා කහඳගමගේ සඳහන් කළාය.

මේ අතර දිල්ලි විශ්වවිද්‍යාලයේ සංගීත විෂය හදාරන ශ්‍රී ලාංකික සිසුවියක වන සත්සරණි මොලගොඩ බීබීසී සිංහල සේවයට සිය අත්දැකීම් විස්තර කළේ මෙලෙසය.

"හුස්ම ගන්න හරිම අමාරුයි. අපේ විශ්වවිද්‍යාලයේ ළමයි පාලනාධිකාරියෙන් ඉල්ලීමකුත් කළා විශ්වවිද්‍යාලය වහන්න කියලා. ඒත් ප්‍රායෝගික හේතු කිහිපයක් නිසා ඒ ගැන තාමත් ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. විභාග ළඟ නිසා දැන් විශ්වවිද්‍යාලය වැහුවොත් ළමයින්ට ප්‍රශ්නයක් වෙන නිසා තාම වහන්න තීරණයක් අරන් නැහැ."

ඇය ප්‍රකාශ කළේ තාවකාලික විසඳුමක් ලෙස ආරක්ෂිත නාස්පුඩු සහ මුඛ ආවරණ පළදින බවය.

නවදිල්ලි නගරයේ පිහිටි ශ්‍රී ලංකා බෞද්ධ වන්දනාකරුවන්ගේ විශ්‍රාම ශාලාව, ඉන්දියාවේ සංචාරය කරන බෞද්ධ වන්දනාකරුවන්ට නවාතැන් ගැනීම සඳහා ඉදිකර ඇති විශ්‍රාම ශාලාවකි.

"මෙහෙ අපි මැෂින් හයි කරලා තියෙනවා වායු දූෂණය මනින්න වගේම වාතය පිරිසුදු කරන්න. ඒ වගේම මෙහෙ නවාතැන් ගන්න එන ශ්‍රී ලාංකික වන්දනාකරුවන්ට අපි උපදෙස් දෙන්නේ ආරක්ෂිත ආවරණ පළඳින්න කියලා."

ශ්‍රී ලංකා බෞද්ධ වන්දනා කරුවන්ගේ විශ්‍රාම ශාලාවේ ලේකම් ජී.ජී. ජයසුන්දර පැවසීය.

වසර 8ක පමණ කාලයක් තිස්සේ නවදිල්ලි නගරයේ වාසය කරන තවත් ශ්‍රී ලාංකික තරුණියක් ප්‍රකාශ කළේ දිල්ලි වැසියන්ගේම වැරදි හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවන බවය.

"මට දැන් මේ තත්ත්වය සාමාන්‍ය දෙයක් වෙලා තියෙන්නේ. ඇත්තටම රජයට මිනිස්සු බැන්නට මිනිස්සුමයි ගිනිකෙළි පත්තු කරලා, කුඹුරුවල පිදුරු ගිනි තියලා මේ වායු දූෂණය ඇති කරන්නේ. හැබැයි ආණ්ඩුවෙත් මෙතැන වරදක් තියෙනවා. ගිනිකෙළි තහනම් කරල තිබුණට ආණ්ඩුව ඒවා පත්තු කරන අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඒ නිසා මේක නවතින්නේ නැහැ." ඇය පැහැදිලි කළාය.

කාන්චනා වීරකෝන් යනු නවදිල්ලි නුවර වෙසෙන ශ්‍රී ලාංකික පරිසරවේදිනියකි. ඇය සිය සැමියා සහ දරුවන් සමඟ මේ වන විට නවදිල්ලි නගරයේ වාසය කරයි. ඇයගේ දරුවන් දෙදෙනා පාසල් අධ්‍යාපනය ලබන්නේද නවදිල්ලි නගරයේය.

ඇය මේ වන විට නවදිල්ලියේ ක්‍රියාත්මක වන එඩිබල් රූට්ස් ෆවුන්ඩේෂන් නමැති පරිසර සංරක්ෂණ ආයතනයේ සභාපතිනිය ලෙස කටයුතු කරයි.

"මේ වායු දූෂණයට හේතුව නවදිල්ලි ජනතාවගේ ක්‍රියාකාරකම් පමණක් නෙවේ. අවට ප්‍රාන්තවල ගොවීන් අස්වනු නෙළලා පිදුරු වගේ දේවලට ගිනි තියනවා. අනෙක නවදිල්ලියේ වගේම වෙනත් ප්‍රාන්තවල දීපාවලී උත්සවය වෙනුවෙන් ගිනිකෙළි විශාල වශයෙන් පත්තු කරනවා. නවදිල්ලි නගරය ආශ්‍රිතව සුළඟයි වැස්සයි ඉතාම අඩුයි. ඒ නිසා වායුගෝලයට එකතු වෙන සල්ෆර් වැනි රසායන ද්‍රව්‍ය ගසාගෙන යන්නේ නෑ. ඒකයි මේ වායු දූෂණයට හේතුව." කාන්චනා වීරකෝන් පැවසුවාය.

"දිල්ල නගරයයි ශ්‍රී ලංකාවේ මහනුවර නගරයයි දෙකම ටිකක් සමානයි. හැබැයි දිල්ලි නගරයේ ගස් කොළන් ගොඩක් තියෙනවා. කොළඹ සහ නුවරට වැඩිය. ඒත් වායු දූෂණය නවත්වන්න ගන්න පියවර අඩුයි නවදිල්ලියේ."

කොළඹට සහ නුවරටත් මේ ක්‍රමය සුදුසුද?

ඇය පැවසුවේ ශ්‍රී ලංකාවේ ජනතාවට වඩා දිල්ලි නගරයේ ජනතාව පරිසර දූෂණය සම්බන්ධයෙන් වඩාත් දැනුවත්භාවයකින් යුතුව කටයුතු කරන අතර නිරන්තරයෙන් ඒ වෙනුවෙන් විරෝධතාවලද නිරත වන බවය. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ ආඝාතය, පෙනහලු පිළිකා සහ හෘදයාබාධවලින් සිදුවන මරණවලින් තුනෙන් එකකට හේතු වී ඇත්තේ වායු දූෂණය බවය.

"මේ තත්ත්වය දුම් පානයෙන් ඇතිවන ප්‍රතිවිපාකවලට සමානයි." ලෝක සෞඛ්‍ය සංවිධානය එහි වෙබ් අඩවියේ දක්වා තිබේ.

ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයද නවදිල්ලි වායු දූෂණය සම්බන්ධයෙන් රජයට දොස් නගා තිබිණි.

ශ්‍රේෂ්ඨාධිකරණය පවසා ඇත්තේ ඉන්දීය රජය පැලැස්තර විසඳුම් කෙරෙහි පමණක් අවධානය යොමු කළද ස්ථිර විසඳුමක් ලබා දීමට පියවර නොගන්නා බවය.

ඉහත දත්ත සිතියම අනුව ශ්‍රී ලංකාවේ වායු දූෂණය අවම මට්ටමක පවතින අතර කොළ පැහැයෙන් යුතු ප්‍රදේශය යහපත් වායුගෝලයක් සහිත වන බවත් ඉතිරි ප්‍රදේශවල මධ්‍යස්ථ මට්ටමේ වායු ගෝලයක් පවතින බවත්

පෙනී යයි. මෙහි වැඩිම අනතුරුදායක ප්‍රදේශය නවදිල්ලිය ආශ්‍රිත ප්‍රදේශයයි.

(බී.බී.සී. සිංහල සේවය ඇසුරිනි)

News Order: 
5
මාතෘකා