වාතයේ දූවිලි අංශු ඉහළ ගියේ ඇයි?

 ඡායාරූපය:

වාතයේ දූවිලි අංශු ඉහළ ගියේ ඇයි?

මේ මොහොතේ ශ්‍රී ලංකාවේ කොළඹ නගරය තරමක් අනපේක්ෂිත සහ අමුතු පාරිසරික අවදානමකට මුහුණ දී තිබේ. නොවැම්බර් 5 වැනිදා රාත්‍රී 10.00ට කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ වායු තත්ත්ව මාපක මඟින් Air Quality Index (AQI) ඒකක 163ක් වාර්තා කර තිබෙන අතර ඊයේ (7දා) උදෑසන 8.30 වන විට එම අගය 172ක් දක්වා ඉහළ ගොස් තිබිණ.

මෙම ඉන්ඩෙක්සය ඇමෙරිකා එක්සත් ජනපදයේ U.S. Environmental Protection Agency (EPA) ආයතනය මඟින් සාදා ඇති අතර මේ සූචකය සාදනු ලබන්නේ වාතයේ භූ මට්ටමේ ඕසෝන්, අංශුමය වායු දූෂණය, කාබන් මොනොක්සයිඩ් සහ සල්ෆර් ඩයොක්සයිඩ් යන මේ සියල්ලේ සාන්ද්‍රණය (Concentration) ගණනයක් ලෙසිනි.

අප අවට ඇති වාතයේ විෂ්කම්භය මයික්‍රොමීටර් 2.5ට අඩු අංශුවලට අපගේ පෙණහලු සහ රුධිර සංසරණ පද්ධතියට සෘජුව ඇතුළු වීමේ හැකියාව තිබෙන බැවින් එම අංශුවල වායුගෝලීය ඝණත්වය ඉහළ යෑම බෙහෙවින්ම අනතුරුදායක විය හැකි අතර ඒ ගණනයන්ද ඉහත සූචය සැකසීමේදී සලකා බැලේ.

යම් ප්‍රදේශයක වාතයේ ඉහත ඉන්ඩෙක්සයට ලැබෙන මාපක අගය 0-50 අතර නම් එය යහපත් වායු තත්ත්වයකි. එම අගය 51-100 අතර නම් එය තරමක් වාතය දූෂිත වූ තත්ත්වයකි. 101-150 අතර නම් එය වඩා සංවේදී සෞඛ්‍ය තත්ත්වයන් සහිත අයට ශ්වසනාබාධ, උගුරේ ආබාධ ආදී යම් යම් සෞඛ්‍ය ගැටලු ඇතිවිය හැකි තත්ත්වයකි. එම අගය 151-200 අතර නම් එය ප්‍රබල ලෙස අයහපත් වායු දූෂණ තත්ත්වයක් වන අතර බොහෝ දෙනාට විවිධ රෝග ලක්ෂණ මතුවිය හැකිය. 201-250 අතර නම් හදිසි තත්ත්වයක් ප්‍රකාශ කළ යුතු තරමේ ප්‍රබල වායු දූෂණ තත්ත්වයකි. 251-500 නම් ඉතාම බරපතළ ක්‍රියාමාර්ග ගතයුතු හදිසි තත්ත්වයකි.

ඒ අනුව ඇමෙරිකානු තානාපති කාර්යාලයේ වායු තත්ත්ව මාපාංකවලට ලැබී ඇති දත්ත අනුව කොළඹ නගරය අවදානම් කලාපයට ගොස් ඇති බව ඔබට පෙනෙනවා විය යුතුය. සමස්තයක් ලෙස ශ්‍රී ලංකාවට මෙහි බලපෑම කුමක්දැයි තවම නොදනිතත් කොළඹ නගරයේ තත්ත්වය මෙබඳුය.

කොළඹ නගරයේ මින් පෙර වාර්තා වූ ඉහළම වායු දූෂණ අගය 115ක් වූ අතර මෙය එය මෙන් දෙගුණයකට ආසන්න වීමකි.

හදිසියේම මෙබඳු තත්ත්වයක් ඇතිවීමට බලපෑ ප්‍රධානම හේතුව ලෙස දැනට විද්වතුන් සැක පහළ කරන්නේ සෑම වසරකම ඉන්දියාවේ දිල්ලි නිම්නය ආශ්‍රිතව සිදුකරන විශාල වගාබිම් ගිනිලෑම නිසා එන දුමාරය ( Delhi Smog), දකුණු දෙසට සහ ගිණිකොන දෙසට හමන ප්‍රබල වායු ප්‍රවාහ මඟින් දකුණු ඉන්දියාවටත් ශ්‍රී ලංකාවටත් ගෙන ඒමයි.

ඉන්දියාවේ වාර්ෂිකව මෙබඳු දූෂිත දුමාරයක අර්බුද ඇතිවන නමුත් මෙවර නව දිල්ලියට සහ දිල්ලි කලාපයට බලපෑ හදිසි තත්ත්වයක් ටික දිනකින්ම පහව ගොස් ඇත්තේ වෙන වසරවලට වඩා ප්‍රබල වායු දහරා දකුණු දෙසට හමද්දී, ඒ දුමාරය දිල්ලියෙන් ඉවතට ගෙන යෑම නිසාය. නමුත් ඒ සුළඟේ ගම්‍යතාව ඉහළ යෑමේ අවාසිය මේ වන විට තමිල්නාඩුවට, ගෝවට, මෙන්ම පෙර නොවූ විරූ ලෙස ශ්‍රී ලංකාවටත් බලපෑම් කරමින් තිබේ. චෙන්නායි හි ඊයේ සවස් යාමය වන විට ඉහත කී මාපාංකයේ අගය 193ක් වී තිබේ.

ඉදිරි දිනවලදී මෙම තත්ත්වය තවත් උත්සන්න විය හැකි අවදානමක් පවතී. එම නිසා එළිමහනේ කරන ව්‍යායාම් අඩු කරන්න. හෘදය සම්බන්ධ ව්‍යායාම් විශේෂය අවම කරන්න. වැඩිපුර ජලය පානය කරන්න. එළැඹෙන නත්තල් සමය ආසන්නයේදී උෂ්ණත්වයද බලාපොරොත්තු විය හැකි පරිමාවට වඩා ඉහළ යා හැකි බැවින් කල්පනාකාරී වන්න. ශ්වසන සංවේදීතා සහ සංකූලතා ඇති අය ශරීරයේ ප්‍රතිශක්තිකරණය අඩුවී ඇති රෝගීන්, කුඩා දරුවන් ආදිය ආරක්ෂා කරගන්න. ශ්වසන ආබාධ සඳහා වහාම වෛද්‍ය ප්‍රතිකාර කරා යොමුවන්න.

මෙම තත්ත්වය තව මාසයක කාලයක් පුරා වරින් වර උත්සන්න වෙමින් පැවතිය හැකිය.

[දමිත් කේතක]

 

News Order: 
3
මාතෘකා