ප්‍රකාශන ක්ෂේත්‍රයට ඉවසීම අවශ්‍යයි

 ඡායාරූපය:

ප්‍රකාශන ක්ෂේත්‍රයට ඉවසීම අවශ්‍යයි

- සරසවි ප්‍රකාශන සමාගමේ ප්‍රකාශන උපදේශක හා ලේඛක පියසේන වික්‍රමගේ

දීර්ඝ කාලයක් සාහිත්‍යය, සිනමාව සහ පුවත්පත් කලාව ඇතුළු විවිධ ක්ෂේත්‍ර ඇසුරු කරමින් ලේඛකයකු, ළමා හා යොවුන් කතා රචකයකු, පරිවර්තකයකු, සංස්කාරකවරයකු, විචාරකයකු මතු නොව ප්‍රකාශන ක්ෂේත්‍රයට සම්බන්ධ වෘත්තිකයකු ලෙසද කටයුතු කරන පියසේන වික්‍රමගේ මේ වන විට විවිධ කෘතීන් රැසක් රචනා කර ඇත. සිය පුවත්පත් කලා දිවිය තුළ සිනමාව, නාට්‍ය, සාහිත්‍යය, සංගීතය සහ චිත්‍ර කලාව ඇතුළු විවිධ ක්ෂේත්‍ර ආවරණය වන පරිදි විශිෂ්ට චරිත 25ක් සමඟ පවත්වන ලද සම්මුඛ සාකච්ඡා 43ක් අන්තර්ගත කරමින් ඔහු විසින් සකසන ලද ‘මධුර වසන්තේ’ නමැති කෘතිය සරසවි ප්‍රකාශනයක් ලෙස පසුගියදා නිකුත් විය. මේ, එය නිමිති කරගනිමින් අප පසුගියදා ඔහු සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකි.

මේ කෘතිය සඳහා පසුබිම සැකසුණේ කුමන ආකාරයටද?

මගේ පුවත්පත් කලා ජීවිතයේ පනස්වෙනි සංවත්සරය නිමිති කරගෙන මේ වගේ කෘතියක් පළ කිරීම වැදගත් කියලා මට හිතුණා. මම පුවත්පත් විශේෂාංග රචනයට යොමු වුණේ 1969 අවුරුද්දේ ‘සරසවිය’ පත්තරෙන්. ඒ අනුව 2019 වසර වන විට ඒ පුවත්පත් කලා දිවියට අවුරුදු පනහක් පිරෙනවා. ඒ අවුරුදු පනහේ මුල් දශකය තුළදී ලංකාවේ සිටි විශිෂ්ටතම කලාකරුවන් සහ ලේඛකයින් මට හමු වුණා. ලෙස්ටර් ජේම්ස් පීරිස්, ගාමිණී ෆොන්සේකා, සුමිත්ත අමරසිංහ සහ ප්‍රේමසිරි කේමදාස ඇතුළු කලාකරුවන් විශාල පිරිසක් වගේම සාහිත්‍ය ක්ෂේත්‍රයේ දැවැන්තයින් වූ මාර්ටින් වික්‍රමසිංහ ඇතුළු සාහිත්‍යකරුවන් සහ ඊට පසු පරම්පරාවත් මට හමු වුණා. ඒ අතරින් විසිපස් දෙනෙකු සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡා හතළිස්තුනක් මේ කෘතියට ඇතුළත් වෙලා තියෙනවා. එදා ඒ දැවැන්තයින් ඉදිරිපත් කළ මේ මහා දැනුම් සම්භාරය අලුත් පරම්පරාවේ පාඨකයන් අතරට ගෙනයෑමේ කිසියම් වැදගත්කමක් තියෙනවා කියලයි මට හිතුණෙ. එවැනි අදහසක් ඇතිව මම මේ කෘතිය සකස් කළාට පසුව සරසවි ප්‍රකාශන සමාගමේ අධිපති එච්.ඩී. ප්‍රේමසිරි මහතා මට මේ කෘතිය ප්‍රකාශයට පත්කරන්න උදව් කළා.

මේ කෘතියෙන් මම මූලික වශයෙන්ම පෙන්වන්න උත්සාහ කරන්නේ අද සමාජයෙන් දුරස් වෙලා තියෙන රසිකත්වය පිළිබඳ අවබෝධය නැවත ලබාගන්නේ කොහොමද කියන කාරණයයි. රසිකත්වය වර්ධනය කරන්න නම් අපි චිත්‍රපට සහ නාට්‍ය බලන්න ඕන. සංගීතය අහන්න ඕන. ඒවගේම ඒ සම්බන්ධ පොතපතත් කියවන්න ඕන. මුද්‍රිත මාධ්‍ය වගේම ඉලෙක්ට්‍රොනික මාධ්‍ය ඔස්සේත් කියවීම කළ හැකියි. රසිකත්වය වර්ධනය කරගත හැකි ඒ හැම අංශයක් ගැනම වැදගත් අදහස් රාශියක් මේ කෘතියට ඇතුළත් වෙලා තියෙනවා.

මෙවැනි කෘතියක් අදට වැදගත් වන්නේ කෙසේද?

අදටත් වඩා මේ වගේ කෘතියක් වැදගත් වෙන්නෙ හෙටට කියලයි මම හිතන්නෙ. තව අවුරුදු දහයක්, පහළොවක්, විසිපහක් හෝ පනහක් ගතවුණත් අපේ රටේ විවිධ සාහිත්‍ය කලා ක්ෂේත්‍ර නියෝජනය කළ විශිෂ්ටයන් පිරිසක් විසින් ඉදිරිපත් කරලා තියෙන මේ දැනුම් සම්භාරය ඉතා වටිනවා. මේ කෘතියට ඇතුළත් වෙලා තියෙන්නෙ ඒ දැනුමෙන් අංශුමාත්‍රයක් පමණයි. ඒ දැනුම් අංශුමාත්‍රය ඔස්සේ මහා දැනුම් සම්භාරයක සාරය අපේ අලුත් පාඨකයන්ට ලබාගන්න පුළුවන් කියලා මම හිතනවා. සිංහල පමණක් කියවන පාඨකයන්ට මේ දැනුම විශේෂයෙන්ම වැදගත්. මොකද එදා විවිධ භාෂා ඇසුරු කරමින් දැනුම සොයා ගිය පිරිසකගේ වැදගත් අදහස් රාශියක් මේ කෘතියට ඇතුළත් වෙලා තියෙනවා. ඒවා සිංහල භාෂාවෙන් කියවන්න අවස්ථාවක් අලුත් පරම්පරාවටත් ලැබෙනවා.

මේ වෙනකොට එදා තිබුණු බොහෝ දේවල් වෙනස් වෙලා තියෙනවා. එදා අපට ‘සරසවිය’ පත්තරෙන් හරයක්, ගැඹුරක් සහිත පුංචි හෝ අදහස් මාලාවක් ලියන්න අවස්ථාව ලැබුණා. අනෙක අපි නිදහස් අධ්‍යාපනයේ දරුවෝ. අපි විශ්වවිද්‍යාලය දක්වා ඉගෙන ගත්තේ නොමිලේ අධ්‍යාපනයෙන්. සමාජයට එනකොට සමාජානුයෝජනය වෙන්නෙ කොහොමද කියන එක ගැන අපි දැනගෙන සිටියෙ නැහැ. ‘සරසවිය’ පත්තරේ හිටපු නියෝජ්‍ය කර්තෘ ලක්ෂ්මන් වික්‍රමසිංහ මහතා තමයි මට ඒ බොහෝ දේවල් සම්බන්ධව උපදෙස් දුන්නෙ. විශේෂයෙන්ම පුවත්පත් සම්මුඛ සාකච්ඡාවකදි ඒ සඳහා වාඩි වෙන ස්වරූපය, පෙර සූදානම, ප්‍රශ්න අහනකොට ඒවා ඔස්සේ තව තවත් ගැඹුරට යන්න පුළුවන් තැන් තියෙනවා නම් ඒවා හඳුනාගන්න හැටි ඇතුළු වැදගත් කරුණු රාශියක් ඔහු මට කියලා දුන්නා. ඒ උපදෙස් බොහෝ අවස්ථාවලදී මට ප්‍රයෝජනවත් වුණා. එදා ලැබුණු ඒ මඟපෙන්වීම නිසා සැම විටම සම්මුඛ සාකච්ඡාවකට යන්න කලින් මනා පෙර සූදානමක් ලබාගන්න මම උත්සාහ ගත්තා.

විශේෂයෙන්ම යම්කිසි සම්භාවනීය පුද්ගලයෙක් මුණගැහෙනකොට ඔවුන් එක්ක නිකම් ගිහින් කතා කරන්නත් බැහැ. ඒ නිසා පෙර සූදානම කියන දේ කොහොමත් හරි වැදගත් වුණා. ගාමිණී ෆොන්සේකා වගේ අය නිතරම කිව්වේ, “උඹලා වගේ අය තමයි සිනමාව ගැන අපිත් එක්ක කතා කරන්න එන්න ඕන. උඹලට සිනමාව ගැන හැඟීමක් තියෙනවා” කියලයි. ඔහු වගේ කෙනෙක් එහෙම කිව්වේ මම පොත්පත් කියවලා, චිත්‍රපට බලලා ලබාගෙන තිබුණු දැනුම සහ අවබෝධය ගැන කිසියම් ප්‍රසාදයක් ඇති වුණු නිසා වෙන්න ඇති. ඒවගේම විවිධ අවස්ථාවලදී හමු වුණු ඒ වගේ විශිෂ්ට චරිතවලිනුත් අපි ලොකු දැනුමක් ලබාගත්තා. ලෙස්ටර් ජේම්ස් පීරිස් පවා අපට මහා විශාල දැනුම්කෝෂයක් වුණා. මොනවා හරි අලුත් චිත්‍රපටයක් ගැන හෝ සිනමාවේ අලුත්ම තත්ත්වය ගැන දැනගන්න ඕන වුණාම අනූ ගණන්වලත් අපි ඔහුව හොයාගෙන ගියා. ඒ දැනහඳුනාගැනීම ඔස්සේ ලෙස්ටර් ගැන පොත් තුනක්ම ලියන්නත් මට අවස්ථාව ලැබුණා. මාර්ටින් වික්‍රමසිංහ සමඟත් ඒ වගේ සමීප සම්බන්ධතාවක් පවත්වා ගන්න මට හැකි වුණා. අපි අවස්ථා ගණනාවකදීම සජීවීව හමු වෙලා කතාබහ කරලා තියෙනවා. ඒ වගේ විශිෂ්ටයින් සමඟ කළ කතාබහවලදී මතු වුණු බොහෝ කරුණුකාරණා එකතු කරගෙන තමයි මම මේ පොත මේ තත්ත්වයට ගෙනාවෙ. ඉතින් ඒ නිසාම මේ පොත අලුත් පරම්පරාවට ඉතා ප්‍රයෝජනවත් වෙයි කියලා මම අවංකවම විශ්වාස කරනවා.

අදට සාපේක්ෂව එදා මාධ්‍ය ක්ෂේත්‍රය කෙබඳුද?

එදාට සාපේක්ෂව අද මාධ්‍ය ක්ෂේත්‍රය තාක්ෂණික වශයෙන් දියුණු වෙලා තියෙනවා. ඒ කාලයේ සම්මුඛ සාකච්ඡා පවත්වන විට හැම දෙයක්ම කටුසටහන් හැටියට අතින් ලිවීමට හුරු වෙලා හිටපු අපිත් පසු කාලයක පටිගත කිරීමේ උපකරණ අතට ගත්තා. හැබැයි ඉතින් ඒ කාලයේ ලිපිය ලියලා ඉවර වෙන තුරු ඒ ගැන ලොකු ප්‍රහර්ෂයක් අපේ හිත්වල තිබුණා. ඒකත් එක්ක සම්මුඛ සාකච්ඡාවලදි ඉදිරිපත් වුණු දේවල්වල පෙළගැස්ම නිවැරදිව සකස් කරගන්නත් අපට හැකියාව ලැබුණා. මම හිතන විදිහට එදා මාධ්‍ය තුළ කටයුතු කරපු අපේ පරම්පරාව හරිම වගකීම්සහගතව තමන්ගේ කාර්යය කළා. පත්තර ජීවිතය නිසා ඒ කාලයේ විමලසිරි පෙරේරා, සෝමවීර සේනානායක, එ‍ඩ්වින් ආරියදාස සහ අජන්තා රණසිංහ ඇතුළු විශාල පරපුරක් අපට මුණගැහුණා. ඇත්තටම කියනවා නම් ඔවුන්ගෙන් අපි බොහෝ දේවල් ඉගෙන ගත්තා. ඒ කාලයේ තරුණයෙක් හැටියට අනෙක් අයත් එක්ක ගනුදෙනු කරනකොට හැසිරිය යුතු ආකාරය පවා මම ඉගෙන ගත්තෙ ඒ ඇසුර හරහායි. කෙළින්කටින් ඉඳගෙන කෙනෙකුට ආමන්ත්‍රණය කරන හැටි වගේම බොහොම නිහතමානීව සහ ගෞරවයෙන් ආමන්ත්‍රණය කරලා සම්මුඛ සාකච්ඡාවක් පවත්වන හැටිත් අපි ඒ වගේ අයගෙන් ඉගෙන ගත්තා. ඒ දැනුමත් එක්ක අපි ක්ෂේත්‍රය තුළ කටයුතු කළ ආකාරය කාගේත් ප්‍රසාදයට ලක් වුණා. ඒ කාලයේ “අපි මේ කතා කරන්නෙ සරසවිය පත්තරෙන්” කියලා කියනකොටම අපට ලොකු පිළිගැනීමක් තිබුණා. ඒකෙන් අපේ කාර්යයත් බොහොම පහසු වුණා. හැබැයි මේ තරම් තාක්ෂණ පහසුකම් නොතිබුණු ඒ කාලයේ අපි ඒ සියලු වැඩකටයුතු කළේ හරි දුෂ්කරතා රැසක් මධ්‍යයේයි.

සාහිත්‍ය කටයුතු සඳහා අදාළ වන සංස්කරණය පිළිබඳ ඔබේ අදහස කුමක්ද?

අපි අලුතෙන් කෙටිකතාවක්, නවකතාවක්, කවියක් හෝ ලිපියක් ලිව්වාම මුලින්ම ස්වයං සංස්කරණයක් කරගන්න ඕන. මොකද ඒ ලියපු දේවල්වල නැවත නැවත ලියැවුණු කොටස් තියෙනවා නම් හෝ එකම කාරණය දෙවරක්ම කියැවෙනවා නම් ඒවා ඉවත් කරන්න ඕන. ඒවගේම පුවත්පත් සම්මුඛ සාකච්ඡාවක් ලියනකොට වුණත් ප්‍රශ්නවල පෙළගැස්ම එකිනෙකට සම්බන්ධ වන ආකාරය ගැනත් සැලකිල්ලක් දක්වමින් කිසියම් සංස්කරණයක් කරන්න වෙනවා. ඇත්තටම කියනවා නම් අමුවෙන් ලියපු අත්පිටපතක අක්ෂර වින්‍යාසය, පදබෙදීම, ව්‍යාකරණ දෝෂ කියන සියලු දේවල් සැකසීමත් එක්ක තමයි සංස්කරණය මූලිකව ක්‍රියාත්මක වෙන්නෙ. ඒත් අවාසනාවට අද පොත් ප්‍රකාශන ක්ෂේත්‍රයේ තියෙන දැවැන්ත තරගය නිසා අත්පිටපත කෙළින්ම යන්නෙ සංස්කාරකයෙක් අතට නෙවෙයි, අකුරු සංයෝජනය කරන පරිගණක ශිල්පියා අතටයි. සමහර වෙලාවට ලේඛකයා සංස්කරණ කටයුතු කරන්නෙ එතැනදියි. ඒකෙන් ලේඛකයාගේ වගේම අර ශිල්පියාගේත් කාලය නාස්ති වෙනවා. 

ප්‍රකාශන ක්ෂේත්‍රයට ඉවසීම අවශ්‍යයි. ඒ කාලයේ ඒ ඉවසීම කියන දේ තිබුණා. අනෙක ඒ කාලයේ මේ තරම් ප්‍රකාශන ආයතන තිබුණෙත් නැහැ. මට මතක විදිහට එදා ප්‍රකාශන ආයතන තිබුණෙ දහයක් හෝ පහළොවක් වගේ සංඛ්‍යාවක්. විශේෂයෙන්ම 70 - 77 යුගය ගත්තාම හැමකෙනෙක්ම හැමදෙයක් දිහාම බැලුවෙ හරි උපේක්ෂාසහගත විදිහටයි. අද එහෙම නෙවෙයි. අද හැම කෙනෙකුටම කාලය හරි වැදගත්. අමු අමුවේ පොතක් පළ කරනවාද, නැත්නම් තවදුරටත් එය සංස්කරණය කරනවාද කියන කාරණය ගැන අපට බරපතළ විදිහට හිතන්න සිද්ධ වෙනවා. මම හැත්තෑවේ හංස ප්‍රකාශන සමාගමේ වැඩ කරනකොට එක නවකතාවක අත්පිටපතක් එම්.ඒ. පෙරේරා, රෙජී සිරිවර්ධන, ආචාර්ය ඒ.ජේ. ගුණවර්ධන, එච්.ඩී. සුගතපාල සහ විමල් දිසානායක ඇතුළු පස්දෙනෙක් බැලුවා. පසුව ඒ නවකතාවට වසරේ හොඳම නවකතාව හැටියට සම්මානත් ලැබුණා. මට මතකයි සංස්කරණ අදියරේදි අර විද්වතුන් පස්දෙනා ඒ නවකතා අත්පිටපතේ තිබුණු සමහර ඡේද පවා අයින් කළා. ඒ වගේම එක්තරා අවස්ථාවකදී ‘විරාගය’ නවකතාවේ ඉංග්‍රීසි පරිවර්තනයක අත්පිටපතක් පළ කිරීම සඳහා අපට එවලා තිබුණා. ඒ පරිවර්තනය කරලා තිබුණෙ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක්. හැබැයි ඒ පරිවර්තනය පළ කළ හැකි තරම් සතුටුදායක මට්ටමක තිබුණේ නැහැ. ඒ නිසා එය පළ කරන්න සුදුසු නැහැ කියන කතාව කියන්න තරම් අදීනත්වයක් ඒ කාලයේ අපට තිබුණා.

ලංකාවේ වෘත්තීය සංස්කාරකවරුන් නොමැති වීමට හේතුව කුමක්ද?

ලංකාවේ එවැනි අය නැතුවා නෙවෙයි. විශේෂයෙන්ම ජ්‍යෙෂ්ඨ ගුරුවරු අතර සිංහල භාෂාවේ ව්‍යාකරණ, අක්ෂර වින්‍යාසය ගැන දන්න හොඳ උගතුන් ඉන්නවා. එහෙත් අපේ ප්‍රකාශන ආයතනවලට ඔවුන්ගේ සේවය ලබාගත හැකි විදිහේ විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අතරින් පතර පිටපතක් දෙකක් එවැනි අයව යොදවාගෙන සංස්කරණය කළාට එය බහුල වශයෙන් කෙරෙන්නේ නැහැ. දැන් අලුතෙන් බිහි වූ පොත් ප්‍රකාශන ආයතන රාශියක් තියෙනවා. ඔවුන් දැඩි වගකීමෙන් යුතුව වැඩ කිරීම ඉතාම වැදගත්. පොත් ප්‍රකාශනයේදී පොඩි ඉවසීමක් සහ වඩා හොඳ දෙයක් පාඨකයාට දෙනවාය කියන හැඟීම මූලිකවම තියෙන්න ඕන. පිටරටවල නම් පොතක පිටපතක් ප්‍රකාශකයාට යන්න කලින් සංස්කරණය කරගන්න ලොකු මුදලක් වැය කරනවා. ලංකාවේ නම් එහෙම දෙයෙක් කෙරෙන්නෙ නැහැ. කිසියම් ලේඛකයෙක් ප්‍රකාශකයාව හඳුනනවා නම් ඔහු ප්‍රකාශකයා ළඟට ගිහින් මේ පොත පළ කරලා දෙන්න කියලා කෙළින්ම කියනවා. සල්ලි නැතත් කමක් නැහැ, මට මේ පොත පළකරලා දෙන්න කියලා කියන අයත් ඒ අතර ඉන්නවා. සමහර වෙලාවට ඒ අය ඊට පස්සෙ පොත විකිණෙනකොට පොත පළ කළා, මට සල්ලි දුන්නෙ නැහැ කියලා අනෙක් අතට පැමිණිලි කරනවා. ලංකාවේ පොත් ප්‍රකාශනය අද ඒ විදිහේ තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඒක හරි ඛේදජනක තත්ත්වයක්.

තමන් ලියන දේ මුලින්ම තමන්ට වැදගත් කියලා ඕනම ලේඛකයෙක් හිතන්න ඕන. ඒ ලියන දෙයින් රටට, ජනතාවට යම් සේවයක් දෙන්න පුළුවන්ද කියන හැඟීම ඊට පස්සෙ එන්න ඕන. හැම විටම යම්කිසි අරමුණක් ඇතිව ලියන්න ඕන. මම මේ පොත ලිව්වේ මූලිකව පුස්තකාල සහ ඊට අමතරව අලුත් තරුණ පරපුර ඉලක්ක කරගෙනයි. මම හිතන විදිහට ඒ අයටයි අපි මේවා දෙන්න ඕන. අත්පිටපත් ප්‍රකාශනය කියන්නෙ සරල දෙයක් නෙවෙයි. ඒ හා බැඳුණු බුද්ධිමය කාර්යයක් තියෙනවා. ප්‍රකාශනයේදී මුලින්ම බලන්න ඕන කරුණු කිහිපයක් තියෙනවා. අත්පිටපතේ කියවගෙන යන්න පුළුවන් ගුණයක් තියෙනවාද, භාෂාවේ දෝෂ තියෙනවාද කියලා බලන්න ඕන. අනිත් එක පිටරටවල පොත් සැලසුම්කරණය (Book Designing) කියලා දෙයක් කෙරෙනවා. ඒ රටවල පොත් ප්‍රකාශනයේදී පොත සැලසුම් කරනවා. පොත මොන විදිහේ ප්‍රමාණයකින්, මොන විදිහේ කවරයක් දාලා, මොන විදිහේ අයටද ඉදිරිපත් කළ යුත්තේ කියලා එහිදී හොයලා බලනවා. මේ පොත් සැලසුම්කරණය කියන එකත් හරි වැදගත් දෙයක්. ලංකාවේ බොහෝ විට පොත් සැලසුම්කරණය කෙරෙන්නෙ නැහැ. ඒක හදලා දෙන්නෙත් අකුරු සංයෝජනය කරන කෙනාමයි. ලෝක ප්‍රකාශන තත්ත්වයන් එක්ක බැලුවොත් අපේ ප්‍රකාශන කර්මාන්තය තවමත් පවතින්නෙ යම්කිසි පසුගාමී අදියරකයි.

අද වන විට ඉන්දියානු පොත් ප්‍රකාශන කර්මාන්තය ඒ රටේ ප්‍රධානතම ආදායම් උපද්දන සහ කීර්තිමත් ක්ෂේත්‍රයක් බවට පත් කරලා තියෙනවා. ඒ රටේ පොත් කර්මාන්තය පිළිගත් කර්මාන්තයක් කියලා පිළිඅරන් තියෙනවා. පොත් කර්මාන්තයට අවශ්‍ය කඩදාසි නිෂ්පාදනය කරලා දෙනවා. පොතක් මිල වැඩි නම් ඒ මිලට සහනාධාර දීලා රුපියල් එක්දහස් පන්සියයක පොතක් රුපියල් දහසකට වගේ දෙන්න පුළුවන් මට්ටමක් ඇති කරනවා. අපට ඒ වගේ කිසිම දෙයක් නැහැ. ඇත්තටම පොත් ප්‍රකාශන කර්මාන්තය ගත්තාම අපේ සිංහල පොත් ප්‍රකාශකයන්ට අපි එක්තරා විදිහක ගෞරවයක් ලබාදෙන්න ඕන. මොන මොන අඩුපාඩු තිබුණත් ඔවුන් නැත්නම් අපට පොත් ප්‍රකාශන කර්මාන්තයක් කොයින්ද? ආණ්ඩුවෙන් කිසිම සහයෝගයක් ලැබෙන්නෙත් නැහැනෙ. ඉස්සර රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවෙන් කොච්චර පොත් පළ කළාද? දැන් ඒවා කෙරෙන්නෙත් නැහැ. අද සංස්කෘතික දෙපාර්තමේන්තුවෙන් යම් යම් ප්‍රකාශන කරනවා. හැබැයි ඒවා සාහිත්‍ය උත්සව කාලයට පමණක් සීමා වූ ප්‍රකාශන බවට පත්වෙලා. අපේ රටට සංස්කෘතිකමය ප්‍රතිපත්තියක් නැහැනෙ. සංස්කෘතික ප්‍රතිපත්තියක් නැතිව නිකං එහෙන් මෙහෙන් කෑලි එල්ලුවාට වැඩක් වෙන්නෙ නැහැ. මොකද සමස්ත ක්ෂේත්‍රය ඊට වඩා බොහොම පළලක් සහ ගැඹුරක් තියෙන එකක්.

සාකච්ඡා කළේ [අජිත් නිශාන්ත]

News Order: 
3
මාතෘකා