ගෑස් නැති වුණේ ඇයි?

 ඡායාරූපය:

ගෑස් නැති වුණේ ඇයි?

මහපොළ ශිෂ්‍යත්වය ක්‍රියාත්මක වීම ඇරඹුණු 1983 සිට 2019 දක්වා එයින් ප්‍රතිලාභ ලැබූ සිසුන් සංඛ්‍යාව 3,06,637කි. 1981 අංක 66 දරන පනත අනුව මහපොළ ශිෂ්‍යත්ව අරමුදල ගොඩනැඟිණ. සංවර්ධන ලොතරැයි මණ්ඩලය පිහිටුවන ලද්දේ අරමුදල පෝෂණය කිරීම සඳහාය. ලොතරැයි ආදායම ජනාධිපති අරමුදලට බැර කෙරේ. එයින් 50%ක් මහපොළ ශිෂ්‍යත්ව අරමුදලට වෙන් කෙරේ.සටහන [රසිකා හේමමාලි]

 

ගෘහස්ථ LP ගෑස් හිඟය පසුගිය සතියේ ආන්දෝලනාත්මක කතාබහකට ලක්වුණු සුවිශේෂි මාතෘකාවකි. එහිදී ආණ්ඩුවට ගෑස් නැවක් ගෙන්වා ගැනීමටවත් නොහැකි බව පිරිසක් චෝදනා කළ අතර තව පිරිසක් චෝදනා කළේ ජනාධිපතිවරණ සමයේ ආණ්ඩුව අපහසුතාවට පත් කිරීමට විපක්ෂය විසින් ගෑස් හිඟයක් මැවූ බවයි. ශ්‍රී ලංකාවේ සම්පූර්ණ LP ගෑස් අවශ්‍යතාව සම්පූර්ණ කරන්නේ ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම සහ ලාෆ් ගෑස් පීඒල්සී සමාගම විසිනි. ඇත්තටම ගෑස් හිඟයක් ඇති වූයේ කෙසේද යන්න විමසීමට අප ඒ සමාගම්වල නිලධාරීන් සම්බන්ධ කර ගැනීමට කටයුතු කළෙමු.

අපේ ගෑස්වල කිසි හිඟයක් නෑ

චමින්ද එදිරිවික්‍රම,

ප්‍රධාන විධායක නිලධාරී,

ලාෆ් ගෑස් සමාගම

ලාෆ් ගෑස්වල හිඟයක් නෑ. ඔක්තෝබර් මාසයේ 22 - 23 දවස් දෙක ඇතුළත යම් ගෑස් හිඟයක් තිබුණා. නමුත් ඔක්තෝබර් 24 වැනිදා සිට නොකඩවා එක දිගට ගෑස් සැපයුම පවත්වාගෙන යනවා අපි. දෛනික වෙළෙඳාම සියයට 140ක්. මේ වන විට අපේ වෙළෙඳාම වැඩි වෙලා. ඒකට හේතුව තරගකාරී සමාගමට පාරිභෝගිකයන්ගේ ගෑස් ඉල්ලුම සම්පූර්ණ කිරීමේ ගැටලුවක් ඇති වීම. අපේ සමාගමේ කිසිම ගැටලුවක් නෑ. අපි ආරක්ෂිත ගෑස් තොග හම්බන්තොට සහ මාබිම ටර්මිනල් පර්යන්ත තුළ පවත්වාගෙන යනවා. අපේ සමාගම සතුව නැව් තුනක් තියෙනවා. නැව් තුන පාවිච්චි කරලා නොකඩවා සෑම දවස් දෙකකට වරක් ගෑස් මෙට්‍රික් ටොන් 2000 බැගින් මෙරටට ආනයනය කරනවා. දැනටත් ගෑස් සැපයුම අඛණ්ඩව ලබාදෙන එකම සමාගම අපි. අනිත් සමාගමේ ගෑස් සැපයීම අඩු වීම නිසා එම සමාගමේ පාරිභෝගිකයන් මේ වන විට අපෙන් ගෑස් මිලදී ගැනීමේ ප්‍රවණතාවක් ඇති වෙලා තියෙනවා. අපි හැකි පරිදි ඒ අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට හා සැපයුම වැඩි කිරීමට ක්‍රියාත්මක වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් අපි පර්යන්තයේ පැය දොළහක් වැඩ කරන්නේ. පහුගිය සතිය පුරාම පැය විසි හතරම ක්‍රියාත්මක කරලා වැඩි සිලින්ඩර් ප්‍රමාණයක් වෙළෙඳපොළට නිකුත් කරමින් පවතිනවා. දැනට ඊළඟ මාස හතර සඳහා අවශ්‍ය තොග ඇණවුම් කරලා ඉවරයි. එය මාබිම පර්යන්තයේ වගේම හම්බන්තොට පර්යන්තවල ගබඩා කරලා තියෙනවා. මෙට්‍රික් ටොන් 30,000ක් ගබඩා කරන්න පුළුවන් දකුණු ආසියාවේ ලොකුම පර්යන්තයත් අපේ සමාගම යටතේ තියෙන්නේ. ඒ නිසා විශේෂ තොග ගබඩා කිරීමේදී අපට විශේෂ පහසුවක් වෙලා තියෙනවා.

දකුණු ආසියාවට ගෑස් සැපයීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තිබුණේ ඔක්තෝබර් මුලදී. ඒකට හේතු කිහිපයක් තියෙනවා. සෞදි අරාබියේ තමයි ලෝකයේ විශාලම තෙල් පිරිපහදු කිරීම ක්‍රියාත්මක වෙන්නේ. එහිදීත් Saudi Aramco කියන සෞදි රජයට අයත් සමාගම තමයි බොරතෙල් නිස්සාරණය කරන්නේ. එහි අතුරු නිෂ්පාදනයක් විදිහටයි LP ගෑස් නිපදවන්නේ. ඔක්තෝබර් මස මුල එම තෙල් පිරිපහදුවට සිදුවුණු ඩ්‍රෝන ප්‍රහාරයක් නිසා එහි නිෂ්පාදනය සියයට 30කින් විතර අඩු වුණා. ඒ වගේම අරාබි - ගල්ෆ් කලාපයේ තියෙන ගෑස් නැව්වලටත් යම්කිසි ප්‍රහාරයන් ඇති වුණා. ඒ නිසා එම නැව් ගමනාගමනයත් අඩු වුණා. ඒ වගේම ආසියානු කලාපයේ බොරතෙල් ආශ්‍රිත නිෂ්පාදන බෙදා හැරීමේ මෙහෙයුම් කටයුතු කරපු Vitol Asia Pte Ltd වගේ විශාල පරිමාණයේ සමාගම් මේ ප්‍රදේශයෙන් වෙන ප්‍රදේශවලට ඔවුන්ගේ ව්‍යාපාර වැඩිදියුණු කරපු නිසා ඊට පෙර මේ ප්‍රදේශයට ගෙන්වපු ගෑස් ප්‍රමාණයෙත් අඩු වීමක් වුණා.

ඒ වගේම බෙංගාල බොක්කේ පැවති කැළඹීම් සහගත තත්ත්වයන් නිසා දකුණු ආසියානු කලාපයට නැව් පැමිණීමේ ප්‍රමාදයක් තිබුණා.

මේ විදිහට ගෑස් ආනයනය කිරීම ප්‍රමාද වීමට බලපාන ප්‍රධාන හේතු ගණනාවක් තියෙනවා. නමුත් ඒ සියලු ප්‍රශ්නවලට අපි පිළිතුරු සොයලා ඉවරයි. අපි අද වන විට වැඩිපුර ගෑස් තොග පවත්වාගෙන යනවා. මාස දෙකකට සරිලන වැඩිපුර තොග අපි ළඟ තියෙනවා.

ජනතාවගේ තැතිගැන්ම නිසා ඉල්ලුම වැඩි වෙලා

ජනක පතිරත්න

ලිට්‍රෝ ගෑස් සමාගමේ අලෙවි අධ්‍යක්ෂ

පසුගිය අවුරුදු පහ - හය ඇතුළතම කිසිම ගෑස් හිඟයකින් තොරව ගෑස් වෙළෙඳපොළට නිකුත් කිරීමට හැකිවුණා. ගෑස් හිඟයක ලකුණක්වත් තිබුණේ නෑ. ඒත් පහුගිය මාස එකහමාර ඇතුළත විශේෂ සිදුවීම් කිහිපයකට මුහුණ දෙන්න සිදු වුණා.

ගෑස් සඳහා මිල සූත්‍රයක් පිළිබඳව සාකච්ඡා මට්ටමින් තිබුණා අවුරුද්දක් විතර. එහි අන්තිම මොහොතේ සැප්තැම්බර් 16 වැනිදා වෙනකොට මිල සූත්‍රය අවසන් තැනකට පැමිණි මට්ටමක සිටියේ. ඒ තත්ත්වය මත විවිධ ආරංචි මාර්ගවලින් ගෑස් මිල අඩුවෙනවා කියලා ජනතාව අතරට මතයක් ගියා. අපේ රටේ හැමතිස්සෙම ගෑස් සංචිතයක් පවත්වාගෙන යනවා. සාමාන්‍යයෙන් ඕනෑම වෙලාවක පාරිභෝගිකයකුට මිලදී ගැනීම සඳහා ගෑස් අලෙවි නියෝජිතයන් ළඟ ගෑස් සිලින්ඩර් ලක්ෂ හයක වගේ සංචිතයක් තියෙනවා. ගෑස් මිල අඩු වෙනවා කියලා කටකතාවලින් පැතිරෙනකොට සැප්තැම්බර් 16 වැනිදා සිට ඔක්තෝබර් 04 වැනිදා වනතුරු මිල අඩු වෙයි කියන බලාපොරොත්තුවෙන් පාරිභෝගිකයන් සිය මිලදී ගැනීම සියයට 75කින් අඩු කළා. එනම් නිවසේ ගෑස් සිලින්ඩර් දෙකක් තියෙනවා නම් අවසන් වුණු එක පුරවන්නේ නැතුව මිල අඩුවෙයි කියන බලාපොරොත්තුවෙන් සිටියා. ඒ තත්ත්වය ඉතා පැහැදිලිව අපේ දත්තවල තියෙනවා. ඔක්තෝබර් 05 වැනිදා අපි මිල සූත්‍රය ඉදිරිපත් කළා. ඉන්පසුව ඉතා විශාල ගෘහස්ථ ගෑස් ඉල්ලුමක් ඇති වුණා.

ව්‍යාපාරික අවශ්‍යතා සඳහා සපයන ගෑස් ඉල්ලුමේ කිසිම වෙනසක් අද වනතුරු වෙලා නෑ. ගැටලුව ඇති වුණේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරය සම්බන්ධවයි. ඔක්තෝබර් මාසයේ 05 වැනිදා ගෑස් සිලින්ඩරයක් රුපියල් 240කින් අඩු වුණාම ගෘහස්ථ ගෑස් සිලින්ඩරයට විශාල ඉල්ලුමක් ඇති වුණා. අපි දවසකට 12.5kg ගෘහස්ථ ගෑස් සිලින්ඩර් 75,000ක් පමණ සාමාන්‍යයෙන් විකුණනවා. මේ ඉල්ලුම සිලින්ඩර් ලක්ෂය දක්වා වැඩි වුණා. දවසකට මෙට්‍රික් ටොන් 1000ක් සාමාන්‍යයෙන් විකුණන ආයතනයට දවසට මෙට්‍රික් ටොන් 1500ක ඉල්ලුමක් ආවා. ඒ වගේ ඉල්ලුම උච්චාවචනය වන වෙලාවට ගෑස් නැව් හදිසි මිලදී ගැනීමේ ක්‍රමවේදයක් සකසා තියෙනවා.

පසුගිය සැප්තැම්බර් මාසයේ Saudi Aramco සමාගමේ තෙල් පිරිපහදුවට එල්ල වුණු ඩ්‍රෝන ප්‍රහාරයත් සමඟ නිෂ්පාදනය අඩු වුණා. ඒ නිසා අපට අමතර නැව් සොයා ගැනීමේ දුෂ්කරතාවක් මතු වුණා. ඒ බලපෑම ඉන්දියා, බංග්ලාදේශය වගේ ආසියානු රටවල් ගණනාවකට දරුණු විදිහට බලපෑවා. කලින් ඇණවුම් කර තිබූ ගෑස් නැව් ක්‍රමයෙන් පැමිණෙමින් තිබුණත් හදිසියේ වැඩිවුණු ඉල්ලුම සපුරා ගැනීමට ප්‍රමාද වුණා.

ඊට අමතරව නැව් තුනක් මුම්බායි ප්‍රදේශයේදී අයහපත් කාලගුණික තත්ත්වයට මුහුණදීමට සිදුවුණා. ඒ නිසා දවස් දෙක තුනක ප්‍රමාදයක් ඇති වුණා දිවයිනට ළඟා වෙන්න.

පසුගිය ඉරිදා සිට සියලුම නැව් ළඟා වෙමින් පවතිනවා. මේ වන විට මෙට්‍රික් ටොන් 7000ක නැව් ඇවිත් තියෙනවා. ඉදිරි සතියේදී තව මෙට්‍රික් ටොන් 7000ක නැව් ළඟා වීමට නියමිතයි.

ඒත් ජනතාවගේ කුතුහලය සහ තැතිගැන්ම නිසා ඉල්ලුම අධික වෙලා තියෙන්නේ. මේ තත්ත්වය ඉදිරි දින කිහිපයේදී මඟ හැරිලා යනවා. දවසකට ගෑස් සිලින්ඩර ලක්ෂයක් හෝ ඊට වැඩි ගාණක් මේ වන විට ලංකාව පුරා බෙදා හැරියත් රටේ ඈත පළාත්වලට යන්නට දින දෙකක් විතර ගත වෙනවා. හෙට අනිද්දා වන විට සියලුම ප්‍රදේශවලට ගෑස් ලැබේවි.

News Order: 
2
මාතෘකා