ගෙම්බන්ටත් යමක් කමක් තේරෙනවා

 ඡායාරූපය:

ගෙම්බන්ටත් යමක් කමක් තේරෙනවා

ඔහු ශ්‍රී ලංකාවේ සිටින පෙරළිකාරී මිනිසෙකි. විද්‍යාඥයෙකි; පර්යේෂකයෙකි; සර්පයන් හා මකුළුවන් යනාදී බොහෝ සතුන් පිළිබඳ ආචීර්ණ කල්පික මිථ්‍යා මත පුපුරුවා හළ බුද්ධිමතෙකි; උරගයන් සම්බන්ධයෙන් අපට සිටින ප්‍රාමාණික විශේෂඥයා ඔහුය. ශාස්ත්‍රිය ග්‍රන්ථ හා ලිපි 400කට වඩා ලියූ ලේඛකයෙකි; සුප්‍රසිද්ධ මැජික් ශිල්පියෙකි. ෙම් සෑම බදාදාවකම දිගහැෙරන ඔහුෙග් ජීවිත කතාවයි.

මම ඊයේ මාතර ශාන්ත සර්වේසස් එකේ අලුත් ප්‍රින්සිපල්ට කතා කළා. මම ඉගෙනගත්තු ඉස්කෝලේනේ. සම්මානය ගැන කිව්වනම් හොඳයි කියලා හිතුණා. කතාකරලා බලද්දි ශාන්ත සර්වේසස් විද්‍යාලයේම ආදි ශිෂ්‍යයෙක් ඒ ප්‍රින්සිපල්. එයා වැඩක් කරයි කියලා හිතෙනවා ඉස්කෝලෙට. මාතර ගිහින් එන්න යන්න ඕන."

ඔහු ලියුම්කාරිනිය හමු වූ විගස දකුණු පළාතෙහි තොරතුරු වේ නම් වහ වහා පවසයි. ඔහුට මෙවර ලැබුණු සම්මානය ශ්‍රී ලාංකිකයකු එක් ක්ෂේත්‍රයක් සඳහා ලබා ඇති ඉහළම සම්මානයයි. ශ්‍රීමත් පීටර් ස්කොට් සම්මානය ඔහුට පිරිනමා ඇත්තේ සොබාදහම සුරක්ෂිත කිරීම පිළිබඳ ජාත්‍යන්තර සංගමය (IUCN) විසින්ය. එම සංගමය විසින් පිරිනමන ඉහළම සම්මානයද මෙයය. ජීවීන්ගේ පැවැත්ම සම්බන්ධයෙන් දශක ගණනාවක් පුරා ඔහුගේ වෙහෙස වෙනුවෙන් එය ලැබිය යුතු දෙයක්ව තිබිණි. එය ලාංකිකයකුට ලැබීම සතුටකි. එය දෙගුණ තෙගුණ වන්නේ එය ලැබී ඇත්තේ ඔහුට නිසාය.

ජෙනිෆර් මහත්මිය පැමිණෙන්නේ කෑමට බීමට බොහෝ දේ අතැතිවය. ඇය සකස් කරගෙන එන බනිස් වර්ගයක්, රසැති බිස්කට් එකක් සමඟ වැනිලා එක් කළ සුවඳැති තේ එකක් මේ සීතලට කදිමට පෑහේ. බාබු කලබලයෙන් දුවගෙන එනු පෙනේ.

"සර්, මම එයාව හොයාගත්තා... 'කොහේද හැංගිලා හිටියේ' කියලා ඇහුවට කියන එකක්යැ."

බාබුගේ 'එයා' කවුදැයි ඇන්ස්ලම් මහතා පැවසූ විට මට සිනා පහළ විය.

"කඳුකර බෝදිලියෙක් ඉන්නවා අපේ වත්තේ. ජෙනිෆර් නම් කියන්නේ එයා බාබුගේ මල්ලි කියලා... බාබු දිහාම බෝදිලියා බලන් ඉන්නවා. ඊටපස්සේ බාබු එයාට පණුවෙක් දෙනවා. ඒකව කාලා ඌ යන්න යනවා. බාබු ඉන්නේ කොතනද, ඒ හැමතැනටම ඌ යනවා. බුලත් කොටුවේ වැඩ කරද්දි එතනට පවා යනවා. දැන් ටික දවසක ඉඳලා දැක්කේ නෑ කියලා බාබු හිටියේ හරි කනස්සල්ලෙන්. ඒකයි දැකපු ගමන් ඇවිත් කියන්න ඇත්තේ."

අපි පසුගිය සතියෙහි නවත්තපු තැනින් නැවත මේ කතාව ඇරඹිය යුතුය. එය මා හට අමතක වුවද ඇන්ස්ලම් මහතාට අමතක නොවේ. ඔහු මට පැවසිය යුතු සියල්ල සටහන් කරගෙන සිටියි. මා ඔහු සමඟ කතා කිරීමට පෙර ඒ සියල්ල කියවා තිබිය යුතුය. ඔහුගේ ජීවිතයේ සියල්ලම සිදුවන්නේ පිළිවෙළකටය. කාල කළමනාකරණය මේ තරම් සියුම්ව කරන අන් අයකු මා දැක නැත.

මීහරක් කිහිපදෙනකු මඩ වලක බැස සිටින ඡායාරූපයක් ඔහු මට පෙන්වීය. ඒ හරකුන්ගේ ඇඟේ ගෙම්බන් කිහිපදෙනකි.

“මේ නකල්ස්වල පිටවල පතන. අපිට මැස්සෝ වගේ නේද පේන්නේ එයාලගේ පිටේ ඉන්න සත්තු. මෙයාලා උත්පතන මැඩියෝ. සාමාන්‍යයෙන් මීහරක් එයාලගේ ඇඟේ වහලා ඉන්න මැස්සෝ එලවන්නේ වලිගයෙන්නේ. උන්ට ඒක කරන්න අවශ්‍ය නැහැ. මේ මැඩියෝ උන්ගේ ඇඟේ ඉන්න මැස්සෝ ගිලිනවා. මීහරක් පවා දන්නවා උභයජීවීන්ගෙන් තියන ප්‍රයෝජන, මිනිස්සු දැනන් නොහිටියට.”

ඔහු සිනාසෙමින් පවසයි. ඔහු කිසිවිටෙක කේන්තියෙන් එවැනි දේ කියනු මම අසා නැත. පරිසරයෙහි යම් වෙනස්වීමක් හෝ දූෂණය වීමක් සිදුවේ නම් අය ප්‍රථමයෙන්ම හඳුනාගත හැකි සාධකය මැඩියන්ට වැළඳෙන රෝග බව ඔහු පැවසීය. එය මා නොදැන සිටි කාරණයකි.

“පරිසරය දූෂණය වෙලා තියෙනවනම් ඒක දැනගන්න තියෙන පහසුම විදිය තමයි මැඩියෝ. මොකද මිනිස්සුන්ට හැදෙන්න කලින් ඒ ලෙඩ මැඩියන්ට හැදෙනවා. මැඩියන්ගේ ඇස්වල සුද එන එක අපි හොයාගත්තා. ඒ වගේම මේ කාලේ වෙද්දි මිනිස්සුන්ගේ ඇස්වලත් සුද එනවා වැඩියි. ඇස්ලෙඩ මිනිස්සුන්ට වැඩියි වගේම තමයි අපිට අහුවුණු වැඩිහරියක්ම ගෙම්බෝ, මැඩියෝ ඇස් ලෙඩ තියෙන අය.”‍

දැනට ලංකාවේ උභයජීවී විශේෂ 120ක් පමණ සිටී. ඒ අයගෙන් සියයට 90ක්ම ලංකාවට ආවේණිකය. ලෝකයේ වැඩිපුරම වඳවීමේ තර්ජනයට ලක්වුණු සතුන් වන්නේද උභයජීවීන්ය. දැනට හොයාගෙන තියෙන උභයජීවීන්ගෙන් 6200න් තුනෙන් එකක් ඉදිරි කාලෙදි සම්පූර්ණයෙන්ම වඳවෙන බව පවසයි. එය ඇන්ස්ලම් මහතා පැවසුවේ මෙලෙසය.

“ඔයාලා දකින ගෙම්බෝ ඔයාලගේ දරුවන්ට දකින්න වෙන එකක් නැහැ. මේකට ප්‍රධානම හේතුව චිට්‍රිඩ් (Batrachochytrium dendrobatidis) කියන දිලීරය.”

ඔහුට මේ පිළිබඳ කතා කිරීමට ඇවැසි සියලු දේ ඔහු වටා ගොඩනැඟී තිබේ. වඳවීමේ තර්ජනයට ලක්වුණු උභයජීවීන්ගේ කාර්යසාධන බලමණ්ඩලයේ ලෝක සංරක්ෂණ සංගමයේ ලංකා ශාඛාවේ සභාපති ඔහුය. එමෙන්ම ලෝක සංරක්ෂණ සංගමයේ ශ්‍රී ලංකා ශාඛාවේ උභයජීවීන් පිළිබඳ විශේෂඥ කමිටුවේ සම සභාපති ඔහුය.

“ලෝක රතු දත්ත පොතට ලංකාවේ උභයජීවීන්ගේ තත්ත්වය පිළිබඳ ලංකාවේ හා පිටරට විශේෂඥයන් එක්ක මම වැඩමුළුවක් සංවිධානය කරගෙන යනවා. ඒක 2020 පෙබරවාරිවල කරන්න හිතාගෙන ඉන්නේ. ගෙම්බෝ ගැන අපි පර්යේෂණ කරන්නේ වනජීවී අවසරය ඇතිව. 1998 ඉඳලා 2007 වෙනකම් ගෙම්බෝ ගැන දීපව්‍යාප්ත සමීක්ෂණයක් කළා. මේ හැම සමීක්ෂණයකටම මූල්‍ය දායකත්වය ලැබෙන්නේ ලෝක සංරක්ෂණ සංගමයේ උභයජීවී විශේෂඥ කමිටුවෙන්. අපිට ලංකාව ඇතුළේ මේ පර්යේෂණ කරන්න ලැබෙන්නේ වනජීවී අවසරය ඇතිව. අපි මේ පර්යේෂණ කරලා ලැබෙන නිදර්ශක වනජීවී දෙපාර්තමේන්තුවේ ගිරිතලේ කෞතුකාගාරයේ හෝ කොළඹ ජාතික කෞතුකාගාරයේ තැන්පත් කරන්න ඕන. එයාලව අපිට ගෙවල්වල තියාගෙන ඉන්න බැහැ. හෝර්ටන්තැන්නට ගියාම අපි ගෙම්බෝ 100ක් විතර අල්ලනවා. එයාලගෙන් විකෘති තියෙන අය අහුවුණොත් එයාලව පර්යේෂණ කරලා ඉන් පස්සේ වනජීවී එකට බාරදෙනවා.

“අපි කරපු පර්යේෂණවලදී ගෙම්බෝ 100ක් අහුවුණොත් ඒකෙන් සියයට 33කටම ගාත්වල ආබාධ තිබුණා. ඒ ආබාධ හොයාගන්න අපි එයාලා අහුවුණු ගමන්ම එක්ස් - රේ ගන්නවා. කඳුකර පහිඹු ගස් මැඩියා කියන සතාට හැදුණු ලෙඩේ ලෝකයේ පළමුවරට හොයා ගත්තේ මම. ඒ 1999දි. ඒ ලෙඩේ හැදෙන්නේ පොඩි කොකු පණු විශේෂයක් ගාත් ඇතුළට ගිහින් ඒ ඇතුළේ ජීවත්වෙන නිසා. මේක ගාත්වල විකෘතිභාවයක් (Limb malformations). උන්ගෙන් සියයට 33කට මේ ලෙඩේ තිබුණා. මෙහි විශේෂත්වය වුණේ ඒ ලෙඩේ හැදුණු මැඩියන්ගෙන් එකෙක් හැර අනිත් හැම එකාම පිරිමි සත්තු වීම. කාලයක් යද්දි මේ ලෙඩේ නිසාම මුන් මැරෙනවා. ඒ වගේම මේ ලෙඩේ හැදෙන්නේ මේ සතුන්ට විතරයි.”

තමා ගෙම්බන්ගේ ගාත්වල ඇති ලෙඩරෝග පරික්ෂා කරද්දී ගෙම්බන්ගේ ගාත් ආහාරයට ගැනීමද ලෝකයේ හරිහරියට සිදුවෙන බව ඔහු පැවසුවේය.

“ප්‍රංශය ප්‍රසිද්ධයි ගෙඹි මස්වලට. එයාලා ගෙම්බන්ගේ පස්සා ගාත් සුප්වලට දානවා. ඒක ජයටම කෙරෙන ව්‍යාපාරයක්. ඉස්සර ඉන්දියාවෙත් ඒ ව්‍යාපාරය තිබුණා. ඒත් දැන් ඒක තහනම්. ලෝකයේ විවිධ තැන්වල ගෙඹි මස් ආහාරයට ගන්නවා. වගාවක් විදියට ඇති කරලා ගෙම්බන් ආහාරයට ගන්නවා වගේම කැලේ ඉන්න ගෙම්බොත් ආහාරයට ගන්නවා. ඒත් ලංකාවේ මිනිස්සු නම් තාමත් ඒක පිළිකෙව් කරනවා.”

ඔහු සමඟ එක් සතකු පිළිබඳ සාකච්ඡා කරද්දී තව තවත් උල්පත් මෙන් කාරණා මතුවෙයි. ඇන්ස්ලම් මහතා සතුව ගෙම්බන්ගේ ඡායාරූප එකතුවක් තිබේ. මා ඔහුගෙන් ඒ පිළිබඳ එකින් එක විමසුවෙමි. මෙය එකතුවක් ලෙස අප සතුව තිබීම පවා වටිනාකමකි. වෙස්මූණක් වැනි රූපයක් ඇති ගෙම්බෙකි. ඌ විසිතුරු රතු මැඩියාය. ඌ තමාගේ ආරක්ෂාවට හිස තම උදරය තුළ සඟවා ගනී. එවිට අපට පෙනෙන්නේ වෙස් මූණක් ලෙසටය. දික්හොඹු ගස් මැඩියාට දිග හොටක් වැනි අවයවයක් තිබේ.

“සමහර ගස් මැඩියන්ගේ පිටකොන්ද නැවිලා තියෙනවා මිනිස්සුන්ගේ වගේ. කීර්තිසිංහගේ ගස්මැඩියා මේකට උදාහරණයක්. වකරැළි දිය මැඩියාගේ ඇඟේ රැළි රැළි තියෙනවා. උන් බොහොමයකට තියෙන ආබාධයක් වෙන්නේ ඒ මැඩියන්ගෙන් සියයට තිහකට වඩා ප්‍රමාණයකගේ අත් පා නොවැඩීම. මේකට ප්‍රධානම හේතුවක් අපි හොයාගත්තා. බත්කූරෝ බිත්තර දැම්මම ඒකෙන් හැදෙන පැටව් මුන්ගේ කකුල් කනවා. ඒකට විෂබීජ ගිහින් ඒවා තැන්පත් වුණාම කකුල වැඩෙන්නේ නැහැ. ඉතින් උන් වැඩි දෙනෙක් ආබාධිතයි.”

එකින් එක මේ කියන කිසිම දෙයක් මට නම් මතකයේ තබා ගත නොහැකිය. ඇස් අන්ධ වූ ගස් මැඩියන්, කොන්දෙහි ආබාධ ඇති මැඩියන්ගේ ඡායාරූප අස්සෙහි වර්ණවත් සුන්දර ගෙම්බකුද විය. ඌ පළාපඳුරු මැඩියාය (Pseudophilautus femoralis). දම්පාට ඇසුත් ලා කොළ කහ වර්ණයෙන් සකස්වුණු ශරීරයත් චිත්‍රයක් සේය. ජෙනිෆර් මහත්මිය පැමිණ ෆ්‍රෙඩී ගැන මතක් කළ බැවින් මා ඒ ගැන සඳහන් කරමින් අදට නවතින්නම්. ඇන්ස්ලම් පවුලෙහි ගති සිරිත් හා සතුන් සමඟ ඇති අපූරු සම්බන්ධකම් මට නම් මේ මොහොත වන විටත් පුදුමයට කාරණාවන්ය.

“අපේ ගෙදරට පොඩි ගෙම්බෙක් ආවා හැමදාම. ජෙනිෆර් එයාට කිව්වේ ෆ්‍රෙඩී කියලා. එයා අපේ ගෙදරට පුරුද්දක් විදියට එන්නේ හවස 6.30ට වගේ. ජෙනිෆර් එයාට කැරපොත්තෙක් දෙනකම් එයා බලාගෙන ඉන්නවා. ඉන්පස්සේ ඌව කාලා එයා යනවා. ඊළඟ දවසේ එයා ඒ වෙලාවටම ආයෙ එනවා. බල්ලෝ පූසෝ තරමටම නැති වුණත් ගෙම්බන්ටත් යමක් කමක් තේරෙනවා.”

සටහන [නදී මාණික්කගේ]

ඡායා [සුදම් ගුණසිංහ] [ඇන්ස්ලම් ද සිලවා]

News Order: 
7
මාතෘකා