අපේ සාගරයේ මනස්කාන්තය

 ඡායාරූපය:

අපේ සාගරයේ මනස්කාන්තය

මහා යුද්ධය අපට නැති කළ දේ බොහෝය. මිනිස් ජීවිත මෙන්ම මිනිසා සතු පෞද්ගලික දේපළ යුද්ධය නැතිකළා සේම මුළු මහත් ජාතියටම අයත් උරුමයන්ද යුද්ධය හේතුවෙන් විනාශ විය. යුද සමයේදී අපට ළඟාවිය නොහැකි ස්ථානවල වූ ස්වභාවික සම්පත් මොනවාද යන්න පවා අපි නොදැන සිටියෙමු.

අපේ රට වටා ඇත්තේ සුවිශේෂී සාගරයකි. මේ මහා සාගරයේ අපේ නෙත්වලට හසු වූ දේට වඩා හසු නොවූ දේ බොහෝ විය. යුද්ධය හමාර වී ටික කලකින් නාවික හමුදාව විසින් උතුරු මුහුදේදී මෙතෙක් කිසිවකු දැක නොතිබූ සාගර සම්පත් සමූහයක් හඳුනාගන්නා ලදි. ඒ අතරින් ඉතා වැදගත් වූයේ කන්කසන්තුරේ ප්‍රදේශයෙන් අළුතින්ම සොයා ගත් කොරල්පර පේළියයි.

නාවික හමුදාවේ කිමිදුම් කණ්ඩායමක් විසින් කන්කසන්තුරේ දිය කඩනයට කිලෝමීටරයක් තරම් ඈතින් සොයා ගත් ඒ කොරල්පර පේළියේ කොරල්පර මීටර් හාරසීයක් පමණ දුරට විහිදී තිබේ.

උතුරු නාවික විධාන ආඥාපති රියර් අද්මිරාල් කපිල සමරවීර මහතාගේ අධීක්‍ෂණය යටතේ විධාන කිමිදුම් නිලධාරි සහ කිමිදුම් කාර්ය මණ්ඩලය විසින් කන්කසන්තුරේ වරාය පරිශ්‍රයෙන් මෙතෙක් කිසිවකු නොදුටු කොරල්පරයක් සොයා ගෙන ඇතත් මිනිසුන්ට එය තවමත් දැක බලා සතුටු වීමට හෝ ඒ ගැන අධ්‍යයනය කිරීමට අවස්ථාව උදා වී නොමැත.

සාගරයේ ජෛව විවිධත්වය සමතුලිත කිරීම සඳහා අත්‍යවශ්‍ය අංගයක් ලෙස කොරල්පර හඳුන්වා දිය හැකි අතර ස්වභාවික හේතූන් නිසා හෝ හානිකර මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ඒවා දිරාපත් වේ.

මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා‍ මහතාගේ උපදෙස් මත උතුරු මුහුදේ දිය යට ස්ථාන සංරක්ෂණය කර මෙම කොරල් පර ආරක්ෂා කිරීමට උතුරු නාවික විධානය කටයුතු කරමින් සිටී.

නාවික හමුදාවේ මේ ක්‍රියාවත් සමඟම අපට මේ සතියේදී විදෙස් පුවත් ඔස්සේ තවත් සතුටුදායක මෙන්ම අපට ආඩම්බර විය හැකි කතාවක් දැක ගන්නටත් අසන්නටත් ලැබිණි.

ඒ ඉන්දියාවේ පිහිටි සාගර සම්පත් ගවේෂණය පිළිබදව වූ පර්යේෂණ ආයතනයක් කළ කාර්යයකි. ඉන්දියාවේ තමිල්නාඩුවේ පිහිටි සුගන්දි දේවදාසන් සාගර පර්යේෂණ ආයතනය විසින් ශ්‍රී ලංකාවේ මන්නාරමට ආසන්නයේ පිහිටි සාගර කලාපයේ කළ පර්යේෂණයේදී විස්මිත මුහුදු සම්පත් හැත්තෑ හතක් සොයා ගැනීම ඒ සතුටුදායක ආරංචියයි.

මේ පිළිබදව එම ආයතනයේ ජ්‍යේෂ්ඨ පර්යේෂක තිරවියම් දිනේෂ් කුමාර් මහතා පවසන්නේ ලෝකයේ චමත්කාරයට තවත් දසුන් ගණනාවක් එක් කිරීමට ඔවුන්ට හැකි වූ බවයි.

''අපේ සාගර ගවේෂණ කණ්ඩායම විසින් මෙතෙක් ලෝකයේ කිසිම තැනකින් සොයා ගත්තේ නැති මුහුදු ජීවීන්, කොරල්, ගල්මල් ඇතුළු සාගර සම්පත් වර්ග හැත්තෑ හතක් අලුතින්ම සොයාගෙන තිබෙනවා. ඒ හැත්තෑ හත අතරින් හැට දෙකක් ලෝකයේ කිසිම අයකු මෙතෙක් දැක නොමැති ගණයේ සාගර සම්පත් වෙනවා. ඉතිරි පහළොව ගැන අපට එහෙම කියන්න බැහැ. නමුත් ඒ පහළොවත් ඉතාම සුවිශේෂී වෙනවා. ඒ සියල්ලම හමු වුණේ මන්නාරම සහ රාමේෂ්වරන් අතර මුහුදු කලාපයෙනුයි.

“සමහර රටවලින් සොයා ගෙන තිබුණු මුහුදු ඌරන්, මුහුදු ඉදිබුවන් හා විවිධ මත්ස්‍ය වර්ග සිටියා. නමුත් මේ සුවිශේෂී කලාපයෙන් හමු වූ ඒ වර්ගවලට අයත් දේවල් කිසිම කෙනකුට මෙතෙක් හමු වෙලා තිබුණේ නැහැ. ඉතා දුර්ලභ ගණයේ මුහුදු සර්පයන් හා විවිධ කොරල් වර්ග මේ ගවේෂණයේදී අපට හමුවුණා. මේවාට නම් තැබීමක් තවම සිදු වෙලා නෑ. ඊට හේතුව නාමකරණය කියන්නේ වෙනම කාර්යයක්. ඒකට තව කීප දෙනකුගේ සහාය අවශ්‍ය වෙනවා. ශ්‍රී ලංකාවට ආසන්නයේදී හමුවුණු මුහුදු ජීවීන්ට ශ්‍රී ලංකාවට ආවේණික වන අන්දමට හා ශ්‍රී ලංකාවේ ඌරුවට ගැළපෙන අන්දමට නම් තැබීමට අපි බලාපොරොත්තු වෙනවා. ඉන්දීය කලාපයේ රාමේෂ්වරන් ප්‍රදේශයට ආසන්නයේ හමු වූ දේවල්වලටත් ඒ විදිහේ නමක් ලබා දෙනවා.’’

බොහෝ විට තවත් මාස ගණනකදී අපේම රටේ නම් ඇතුළත්ව එම සාගර සම්පත් නම් කරනවාට කිසිදු සැකයක් නොමැත. සාගර සම්පත් සෙවීම හා ඒ පිළිබදව පර්යේෂණ සිදු කිරීම එතරම් ලෙහෙසි පහසු කටයුත්තක් නොවන බව පවසන ජ්‍යේෂ්ඨ පර්යේෂක තිරවියම් දිනේෂ් කුමාර් මහතා මේ ක්‍රියාවට කරන ලද මහා කැපකිරීම්වලින් කිහිපයක් විස්තර කළේය.

“මේ සාගර සම්පත් ගවේෂණය කරන්න මීට පෙර අවස්ථා ගණනාවක්ම උත්සාහ කළා. ශ්‍රී ලංකාවේ යුදමය වාතාවරණය නිසා ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් අවසර දුන්නෙත් නෑ, ඉන්දියාවේ රජය අවසර දුන්නෙත් නෑ. නමුත් අපි අපේ යෝජනාව ඒ ආකරයෙන්ම තබාගෙන හිටියා. ලංකාවේ යුද්ධය හමාර වීමත් එක්ක අපි නැවත අවසර ඉල්ලුවා. අවසර ලැබෙන්නත් කාලයක් ගියා. අපිට ඒ අවසරය ලැබුණේ 2017 වර්ෂයේදී.

“2017 වසරෙදී මේ සාගර සම්පත් ගවේෂණය ආරම්භ කළා. සියලුම කටයුතු සඳහා හතළිහක පමණ කණ්ඩායමක් සහභාගි වුණා. ලංකාවේ මන්නාරමේ සිට කන්‍යාකුමාරි කියන ප්‍රදේශය හරහා රාමේෂ්වරන් දක්වා විහිදී තිබෙන මුහුදු තීරය අපේ ගවේෂණාත්මක කලාපය වුණා. ඊට හේතුව මූලික අධ්‍යයනයේදී මේ කලාපයේ මෙතෙක් නොදුටු මුහුදු ජීවීන් හා කොරල් වගේ දේ ඇති බවට වාර්තා වීම.

“මේ කලාප ප්‍රදේශය වර්ග කිලෝමීටර් දසදහසක් පමණ වුණත් අපේ සාගර ගවේෂණය ඒ මුළු කලාපයේම සිද්ධ වුණේ නැහැ. යම් සුවිශේෂී තීරයක් තෝරාගෙන තමයි ඒක සිද්ධ කළේ. ඒ සුවිශේෂී කලාපය යළි කොටස් දහයකට බෙදලා ඒ එක එක කලාපයට නායකයන් පත් කළා. ඒ අයගේ අධීක්ෂණය යටතේ තමයි මේ ගවේෂණය සිද්ධ වුණේ. මේ සඳහා වසර දෙකක කාලයක් ගත වුණා. ඒ ගවේෂණ කටයුතුවලට විතරයි. ඊට පස්සේ අපේ අය හඳුනාගත් සාගර සම්පත් ලෝකයේ මෙතෙක් සොයා ගෙන ඇති සාගර සම්පත් එක්ක සංසන්දනය කරලා බලන්නයි, මේ ගැන වාර්තා හොයන්නයි තවත් මාස අටක වගේ කාලයක් ගත වුණා. ඊට පස්සේ තමයි මේ ගැන වාර්තාව අපේ ආයතනය මඟින් නිකුත් කිරීම සිද්ධ වුණේ.’’

ඔහු පවසන්නේ මේ සාගර සම්පත් ආරක්ෂා කිරීමටත් ඒවා පිළිබඳව පර්යේෂණ සිදු කිරීමටත් වඩා මිනිසුන්ගේ විවිධ ක්‍රියාදාමයන් නිසා සාගර සම්පත් විනාශ වීම සිදුවන බවයි.

විශේෂයෙන්ම ධීවර කර්මාන්තය සදහා නවීන පන්නයේ යාත්‍රා සහ ධීවර ක්‍රම පැමිණීමත් සමඟම මහා සාගරයේ ස්වභාවිකව හට ගෙන ඇති මෙවැනි සාගර සම්පත් විනාශ වී යෑම වැළැක්විය නොහැකි බවද ඔහු පවසා සිටියේය. ඉන්දීය ධීවරයන් දහස් ගණනින් ට්‍රෝලර් යාත්‍රා රැගෙන විත් මේ මුහුදු කලාපයේ නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වන බව උතුරේ ධීවරයෝ කියා සිටියේ ඔවුන්ට මත්ස්‍ය සම්පත අහිමි වීමේ වේදනාවෙන් පමණක් නොවේ.

[රසුල දිල්හාර ගමගේ]

News Order: 
5
මාතෘකා