හැමෝම මිනිසුන් බව දරුවන්ට කියා දෙන මහානාම දුනුමාල ගුරුතුමා

 ඡායාරූපය:

හැමෝම මිනිසුන් බව දරුවන්ට කියා දෙන මහානාම දුනුමාල ගුරුතුමා

ගුණ නැණ බෙලෙන් යුතු දරුවන් රටටත් ලෝකයටත් ආලෝකයකි. එවැනි දරුවන් තනන්නට වෙහෙසෙන්නන් අතර ගුරුවරයාට හිමි වන්නේ අද්විතීය ස්ථානයකි. මවුපියන් මෙලොවට දායාද කරන දරුවන් මිණි කැට මෙන් ඔප දමා සමාජයට එළි දක්වන්නේ ගුරුවරුය. ගුරුකම රාජකාරියක් නොව, දේවකාරියක් කොට සලකමින් එම වගකීම මනාව ඉටු කළ ගුරුවරු අතීතයේ මෙන්ම අදද දුලබ නොවෙති. සිය ජීවිත කාලයෙන් වැඩි කොටසක් එම මාහැඟි වගකීම ඉටු කිරීම වෙනුවෙන් කැප කළ කෑගල්ලේ රුවන්වැල්ලේ තලවත්තේ මහානාම අරුණ ශාන්ත දුනුමාල මහතා එවැනි ගුරුවරයෙකි. මෙවර 'රැස ගුරු හමුව' මගින් අපි ඔහුගේ ගුරු දිවියේ මතක සටහන් හා බැඳෙමු.

ගුරු වෘත්තියට පිවිසීමට කුඩා අවධියේ සිට හීනයක් තිබුණාද?

පුංචි කාලේ නම් ගුරුවරයෙක් වෙන්න ආසාවක් තිබුණේ නැහැ. මම පොඩි කාලේ ඉඳන්ම ආස කළේ ලේඛකයෙක් වීමටයි. නමුත් මම ගුරු වෘත්තිය වෙත යොමු වුණා.

ඔබ ගුරු වෘත්තියට පිවිසෙන්නේ මොන කාලයේදීද?

1980 ගණන්වල තරග විභාගයක් තිබුණා. ඒ තරග විභාගයෙන් සමත් වුණාට පසුව 1984 දෙසැම්බර් මාසයේදී ප්‍රාථමික පන්ති භාර ගුරුවරයෙක් විදිහට මට ගුරු පත්වීම ලැබුණා. පොලොන්නරුව තඹලවැව කනිෂ්ඨ විද්‍යාලයට තමයි මගේ මුල්ම පත්වීම ලැබුණේ. ඒක දුෂ්කර පාසලක් කිව්වොත් නිවැරදියි. ඒ නිසා ගුරුවරුන්ට දුෂ්කර දීමනාවකුත් ලැබුණා.

පළමු පත්වීමත් සමඟ මුහුණ දුන් අත්දැකීම් කුමනාකාරද?

මගේ ගම කෑගල්ලේ. ඒ නිසාම මට වියළි කලාපයේ ජීවත් වෙලා පුරුද්දක් තිබුණේ නැහැ. පාසලට ගිය මුල් කාලයේ නම් ටිකක් නුහුරුයි වගේ හිතුණත් කාලයක් යද්දී ඒ ගතිය මඟ ඇරිලා ගියා. වැව්වල නාන්න වගේම පොලොන්නරුවේ තියෙන පුරාවිද්‍යා ස්ථාන නරඹලා විශාල දැනුමක් එකතු කර ගන්නත් මට ඒ කාලයේදී පුළුවන් වුණා. ඒ පාසලේ පන්ති තිබුණේ 1 වසරේ සිට 11 වසර දක්වා පමණයි. මම ගොඩාක් පන්තිවලට ඉගැන්වුවා. මට තිබුණේ ප්‍රාථමික පත්වීමක් වුණත් මම ඒ පාසලට ගියපු මුල් කාලෙදී පාසලේ සමාජ අධ්‍යයනය උගන්වන ගුරුවරයා වෙනත් පාසලකට මාරු වීම නිසා එකොළහ වසරේ දරුවන්ට සමාජ අධ්‍යයනය විෂයත් ඉගැන්නුවා. නවය වසරේ දරුවන්ට සිංහල විෂයත් ඉගැන්නුවා. ප්‍රාථමික පන්තියේ දරුවන්ටත් ඉගැන්නුවා. ඒ ආකාරයට මම ඒ පාසලේ වසර හතරක් පමණ සේවය කළා. පළමු පත්වීම තුළින් අත්දැකීම් සම්භාරයක් ලබා ගන්නට අවස්ථාව සැලසුණා කිව්වොත් නිවැරදියි.

ගුරුවරයෙක් විදිහට පාසල වෙනුවෙන් සහ දරුවන් වෙනුවෙන් කළ කැපකිරීම් ගැනත් කතා කරමු.

තරුණ ගුරුවරයෙක් විදිහට පාසලේ සියලුම කටයුතු සඳහා වෙහෙස මහන්සි වී කටයුතු කළා. පත්වීම ලැබෙද්දී මට අවුරුදු විසි තුනයි. පාසලේ මම වගේම තව තරුණ ගුරුවරුන් ගොඩාක් හිටියා. දරුවන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළ නැංවීම වෙනුවෙන් පාසල් වේලාවෙන් පසුව අපි අමතර පන්ති කළා. වාර්ෂිකව නිවාසාන්තර ක්‍රීඩා උත්සවයක් පැවැත්වුවා. පුරාවිද්‍යා ස්ථාන නැරඹීම සඳහා දරුවන් රැගෙන ගියා. දිනෙන් දින වෙනස් වෙන තාක්ෂණ ලෝකය සමඟ ගැටීම සඳහා තාක්ෂණික මෙවලම් පරිහරණය කරන ආකාරය දරුවන්ට කියා දුන්නා. මම දරුවන් ආශ්‍රය කළේ ගුරුවරයකුට වඩා ඔවුන්ගේ යහළුවෙක් විදිහටයි. ඒ නිසාම ඔවුන් සමඟ මම ගොඩාක් සමීපව කටයුතු කළා. මගේ පෞද්ගලික ධනය, ශ්‍රමය සහ කාලය උපරිම ලෙස දරුවන් වෙනුවෙන් කැප කළා. ඉහළ පන්තිවලට වාණිජ හා ගිණුම්කරණ විෂයත් 6-9 වසරේ දරුවන් සඳහා චිත්‍ර විෂයත් ප්‍රාථමික පන්තිවලට ශාරීරික අධ්‍යාපනය විෂයත් මම ඉගැන්නුවා. 1992 වසරින් පසු මම දිගටම දරුවන් සඳහා සිංහල විෂය තමයි ඉගැන්නුවේ. අපි ළමා කාලයේදී ලබාගත් අත්දැකීම් එලෙසින්ම දරුවන්ටත් ලබා දීමයි අපේ අරමුණ වුණේ. ඒ නිසාම මම වගේම අපේ අනෙක් තරුණ ගුරුවරුනුත් බොහෝම කැපවීමෙන් කටයුතු කළා.

දරුවන්ගේ සාහිත්‍යමය රසඥතාව වර්ධනය කිරීම සඳහා ඔබ ගෙන ඇති ක්‍රියාමාර්ග ගැන සඳහන් කළොත්?

සෑම වසරකම පාසලේ සාහිත්‍ය දිනයක් පැවැත්වුවා. සාහිත්‍ය වැඩසටහන් සංවිධානය කළා. දරුවන්ගේ චිත්‍ර, රචනා, ගද්‍ය පද්‍ය, කවි ආදිය ඇතුළත් බිත්ති පුවත්පතක් පාසලේ ස්ථාපිත කළා. ඒ වගේම ප්‍රදර්ශන පැවැත්වුවා. මට හොඳට මතකයි 1989දී ලොකු ගංවතුරකට අහුවෙලා රුවන්වැල්ල විද්‍යාලයේ පුස්තකාලය සම්පූර්ණයෙන්ම විනාශ වුණා. ඉතින් මම පාසලේ පොත් ප්‍රදර්ශන තියලා පොත් මිලදීගෙන පුස්තකාලය නැවත ප්‍රතිස්ථාපිත කළා. ඒ ගැන දැනගත් අයත් ඒ සඳහා උදව් කරන්න ඉදිරිපත් වුණා. සමහර අය පොත් පරිත්‍යාග කළා. තවත් අය පොත් මිලදී ගන්න මුදල් ලබා දුන්නා.

විභාගය ඉලක්ක කරගත් වත්මන් අධ්‍යාපන ක්‍රමයෙන් ඔබ්බට ගොස් දරුවන්ගේ ආකල්ප වර්ධනය කිරීම සඳහා ඔබ සතු යෝජනා මොනවාද?

ඇත්තටම වර්තමානයේ පවතින්නේ විභාගය මත පදනම් වුණ අධ්‍යාපන ක්‍රමයක් පමණයි. ඒ පිළිබඳ ඉතාමත් කනගාටුදායකයි. ඒ වගේම මේ ක්‍රමය දරුවන්ට ඉතාම හානිදායකයි. අපේ කාලයේ නම් ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ, උසස් පෙළ කියන ප්‍රධාන කඩඉම් විභාග තුන විතරයි තිබුණේ. ඒ කාලේ 6 - 9 වසර බේරිලා තිබුණා. ඒ දරුවන්ට සෙල්ලම් කරන්න, විෂය බාහිර ක්‍රියාකාරකම්වල යෙදෙන්න ඕනෑතරම් කාලය තිබුණා. නමුත් දැන් සමාජය ඊට හාත්පසින්ම වෙනස්. සමාජය බොහෝ සෙයින් සංකීර්ණ වෙලා. අද ඉන්න මවුපියන් බලාපොරොත්තු වෙන්නේ දරුවන්ගේ විෂය නිර්දේශය ආවරණය කිරීමම පමණයි. ඒකෙන් දරුවාට නීරස අත්දැකීමක් තමයි එක් වෙන්නේ. මෙයින් දරුවාගේ කුඩා මනසට දැඩි ලෙස බලපෑම් එල්ල වෙනවා. ඒකට මවුපියන්, ගුරුවරුන්, අධ්‍යාපන බලධාරීන් වගකිව යුතුයි. අද වෙද්දි ක්‍රීඩාව පිරිහිලා තියෙනවා. දරුවාව ක්‍රීඩාවට යොමු කරන්න මවුපියන් කැමති නැහැ. මම හිතන විදිහට දරුවා අනිවාර්යයෙන් ක්‍රීඩාවක් සඳහා යොමු කළ යුතුයි.

බාහිර ක්‍රියාකාරකම් නිසා දරුවාගේ පෞරුෂය වර්ධනය වෙනවා. නමුත් අද පවතින සමාජ ක්‍රමය නිසාම මවුපියන් බලන්නේ දරුවාට හොඳින් උගන්නලා, විභාග සමත් වෙලා හොඳ රැකියාවක් සඳහා යොමු කරවන්න. අද කාලේ ළමයින්ට ළමා කාලය විඳින්න ඉඩක් නැහැ. උදේ ඉඳන් රෑ වෙනකල් ටියුෂන්. දරුවා එක වසරේ ඉඳන්ම ශිෂ්‍යත්ව විභාගය සඳහා පන්ති යවනවා. ඒ නිසා දරුවා නිතරම ගෙවන්නේ ඒකාකාරී ජීවිතයක්. එයින් වෙන්නේ දරුවා රොබෝවරයකු වීම පමණයි. මම දකින ආකාරයට තරගකාරී අධ්‍යාපන ක්‍රමය අද සමාජයට පිළිලයක් වෙලා තියෙන්නේ. දැන් කාලේ දරුවෝ විභාගයක් ලියලා ඉවර වුණ ගමන්ම තමා එතෙක් ඉගෙන ගත් සියලුම දේවල් අමතක කරලා දානවා. ඒකට දරුවාට වැරැද්දක් කියන්නත් බැහැ. දරුවාගේ මනසට ඔරොත්තු නොදෙන තරම් විෂය කරුණුවලින් දරුවා හෙම්බත් වෙලා ඉන්නේ. මේ අධ්‍යාපන ක්‍රමයේ අවසානය ඉතා බියකරු වෙන්න පුළුවන්. මෙය ඵලයක් ඇති අධ්‍යාපන රටාවක් නෙවෙයි. ඒ නිසා මේ අධ්‍යාපන ක්‍රමය සංස්කරණය විය යුතුමයි.

දරුවාගේ මනසට හිතකර ආකාරයට පවතින අධ්‍යාපන ක්‍රමය සංස්කරණය විය යුත්තේ කෙසේද?

දැන් පවතින තත්ත්වයට වඩා අධ්‍යාපන ක්‍රමය අනිවාර්යයෙන්ම සරල විය යුතුමයි. කුඩා මනසට විශාල බරක් පැටවීම නවත්වන්න ඕනේ. ක්‍රීඩා කිරීමට, පුස්තකාලය පරිහරණය කිරීමට මෙන්ම හැකි සෑම අවස්ථාවකදීම විෂය බාහිර ක්‍රියාකාරකම් සඳහා දරුවා යොමු කරවීම මවුපියන්ගේ හා ගුරුවරුන්ගේ වගකීමක් ලෙස මම දකිනවා. දවසකට පැයක්වත් දරුවාට සෙල්ලම් කිරීම සඳහා ඉඩකඩ සලසා දිය යුතුයි. හැම අම්මා කෙනෙකුටම හීනයක් තියෙනවා තමන්ට යන්න බැරි වුණ තැනට තමාගේ දරුවා යවන්න ඕනේ කියලා. ඒකට තියෙන ප්‍රධානම යතුර තමයි අධ්‍යාපනය. A9ක් තිබුණා කියලා මනුස්සයෙක් වෙන්නේ නැහැ. දරුවාගේ ඔළුව පිරිලා තියෙන්නේ විෂය නිර්දේශයෙන් පමණයි. ඒ නිසාම දරුවාට කුඩා වියේ පටන්ම මනුස්සකම පිළිබඳ කියා දීම අද වෙද්දි අපි හැමෝගෙම කාලීන වගකීමක් බවට පත් වී තිබෙනවා.

ලංකාවේ දරු පරපුරට දෙන්න තිබෙන පණිවුඩය කුමක්ද?

මට දෙන්න තියෙන ප්‍රධානම පණිවුඩය තමයි ජාතිය, ආගම, ගෝත්‍රය, කුලය මත ගැටුම් ඇති කරගන්න ඕනේ නැහැ. හැම මනුස්සයාම එක සමානයි කියලා මුලින්ම දේශනා කරලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ. ජාති භේදයට, ආගම් භේදයට නතු වෙන්න එපා. ලංකාව කියන්නේ ලස්සන පුංචි රටක්. ඒක ජරාජීර්ණ නොකර රැකගැනීම අපි හැමෝගෙම වගකීමක්. ඒ නිසා හැමෝම සමානයි කියලා හිතන්න පුළුවන් දරුවන් අපි මේ සමාජයට අවතීර්ණ කළ යුතුයි.

වසර 34ක වෘත්තීමය ජීවිතය පිළිබඳ ඔබ තෘප්තිමත්ද?

මේ වන විට මම විශ්‍රාමික ගුරුවරයෙක්. මගේ සේවා කාලය තුළ දරුවන් වෙනුවෙන් උපරිම සේවයක් කළා කියන විශ්වාසය මා තුළ තිබෙනවා. ඒ නිසා මගේ වෘත්තීය ජීවිතය ගැන මම සැබවින්ම සෑහීමකට පත් වෙනවා. මම සිසු දරුවන් වෙනුවෙන් හැකි උරිමය සේවය ඉටු කළා. මේ වෙද්දි මම කතුවරයකු ලෙස කෘති 14ක් ප්‍රකාශයට පත් කර තියෙනවා. මම මගේ වෘත්තීය ජීවිතය පිළිබඳ ඉතාම තෘප්තිමත්. නමුත් මේ තරගකාරී අධ්‍යාපන ක්‍රමය ඇතුළේ මීට වඩා දෙයක් කරන්න බැරි වුණාද කියන ප්‍රශ්නයත් ඇතැම් වෙලාවට මගේ හිතට නැඟෙනවා.

[නිමාෂා සඳරුවනි]

මාතෘකා