සහරාන්ගේ අන්තවාදය පැරදවීම කාගේත් වගකීමක් : හිටපු අමාත්‍ය ඉම්තියාස් බාකීර් මාකාර්

 ඡායාරූපය:

සහරාන්ගේ අන්තවාදය පැරදවීම කාගේත් වගකීමක් : හිටපු අමාත්‍ය ඉම්තියාස් බාකීර් මාකාර්

පසුගියදා ඇතිවූ ත්‍රස්ත්‍ර ප්‍රහාරය පිළිබද සමාජයේ ඇති වී ඇති කථිකාව ගැන හිටපු අමාත්‍ය, එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල සභික ඉම්තියාස් බාකීර් මාකාර් මහතා සමඟ (රැස) පුවත්පත සිදු කළ විශේෂ සංවාදයකි.

 

 පසුගියදා සිදුවූ අවාසනාවන්ත සිදුවීම් ඔබ දකින්නේ කොහොමද?

මෙය මම වගේම මුළු රටම කම්පනයක්, වේදනාවක් ඇතිකරපු සිදු වීමක්. ඒ අපරාධය කරපු උදවිය මුස්ලිම්වරුන් ලෙස පෙනී සිටීම ගැන මට කේන්තියක් තියෙනවා. ඒ අපරාධකරුවන් කෙරෙහි මට ඇත්තේ පිළිකුලක්.

 ‘මුස්ලිම්වරු ලෙස පෙනී සිටීම’ යැයි ඔබ පවසන්නේ ඇයි? ඇත්තටම ඒ අය මුස්ලිම්වරුන් නොවේද?

මුස්ලිම් ධර්මධරයන්ගේ ප්‍රධාන ආයතනය වන මුස්ලිම් වියතුන්ගේ සංවිධානය මේ අය ගැන කිව්වේ මේ සිද්ධියට දවසකට දෙකකට කලින් නෙමෙයි. මාසයකට කලින් නෙමෙයි. අවුරුදු ගාණකට කලිනුයි. මේ අය මුස්ලිම් ආගමින් පිට පැනලා තියෙනවා. මේ අය මුස්ලිම් ආගමට විතරක් නෙමෙයි රටටම අනතුරක් කියන අනතුරු ඇඟවීම කළා. ඒ ප්‍රදේශවල ජනතාව පවා පාරට බැහැලා විරෝධතා පවත්වලා මේ අනතුර ගැන දැනුවත් කළා. ඒත් ඒ ගැන තීරණයක් ගත යුතු බලධාරීන් නිහඬව සිටියා.මෙම සිදුවීමෙන් පස්සේ දේවස්ථාන බාරකරුවෝ මේ ත්‍රස්තවාදීන්ගේ ම්ලේච්ඡ ක්‍රියා ගැන අත්දැකීම් තියෙන උදවිය අවදානමක් බාරගනිමින් තීරණයක් ගත්තා මේ ත්‍රස්තවාදීන්ගේ සිරුරු මුස්ලිම් සුසාන භූමිවල භූමිදානය කරන්නේ නෑ කියලා. මුස්ලිම් වියතුන්ගේ සංගමයත් මෙම තීරණය අනුමත කළා. එය මෙම ම්ලේච්ඡ ත්‍රස්තවාදීන්ට එරෙහිව මුස්ලිම් සමාජය ගත්තු ප්‍රබල තීරණයක්.

 මෙවැනි ක්‍රියාවලට සම්බන්ධ වන අය ස්වර්ගයට යනවා කියන මතය ගැන ඔබේ කියවීම කුමක්ද?

අන්තවාදීන් මෙවැනි මත වපුරනවා. ඒත් ඉස්ලාම් භක්තිකයන්ට මිනී මරන්නවත් සියදිවි හානි කරගන්නවත් අවසර නෑ.

 මේ සිද්ධියෙන් පසු සමස්ත මුස්ලිම්වරුන් ගැනම ඇතැම් පිරිස් වපර ඇහින් බලන්න පටන් අරන්. මේ ගැන ඔබේ අදහස කුමක්ද?

ඒකට මම පිළිතුරු දෙනවාට වඩා හොඳයි කාදිනල්තුමාගේ ප්‍රකාශය ගැන සිහිපත් කරන එක. මුස්ලිම් රටවල තානාපතිවරු පහළොස්දෙනකු සමඟ මම කාදිනල් තුමා හමු වුණා. උන්වහන්සේ එහිදී ප්‍රකාශ කරනවා, මේ සිදුවීමේ පින්තූර දෙකක් තියෙනවා. එකක් ළඟ පින්තූරය, අනෙක් එක දුර පින්තූරය. මම මේකේ දකින්නේ දුර පින්තූරය. මුස්ලිම් තරුණයන් කිහිප දෙනෙක් පාවිච්චි කරලා කරපු මේ ක්‍රියාව පිටුපස්සේ තියෙන්නේ වෙන න්‍යායපත්‍රයක් කියලා.

උන්වහන්සේ කියපු මේ කතාව මමත් විශ්වාස කරනවා. අපේ රටට අද ඊයේ සිට නෙමෙයි දශක ගණනාවක සිට ස්ථාවර වෙන්න දෙන්නේ නෑ. කාලෙන් කාලෙට මෙවැනි ගැටුම් නිර්මාණය කරනවා. සමාජය තුළ සැක, බිය, අවිශ්වාසය වපුරනවා. අපේ ජීවිත කාලය පුරාම අපි මේක දැක්කා. 50 දශකයේ සිංහල - දෙමළ කෝලාහලය, 60 දශකයේ කතෝලික ආක්‍රමණය, 70 දශකයේ පන්ති අරගලය, 80 දශකයේ කළු ජූලිය, 90 දශකයේ ක්‍රිස්තියානි පල්ලිවලට පහරදීම, 2000 දශකයේ ඉස්ලාමීය ප්‍රශ්නයක්.

ලෝකය දිහා බැලුවත් මේ තත්ත්වය තමයි දක්නට තියෙන්නේ. කාලයකට පැසිස්ට් වාදයට එරෙහි ගැටුම්, කොමිනියුස්ට් වාදීන්ට එරෙහිව ගැටුම්, යුදෙව්වන්ට එරෙහිව ගැටුම්, නැඟෙනහිර යුරෝපයේ, රුසියාවේ කොමියුනිස්ට් වාදයෙන් ඉවත් වෙනකොට අලුත් හතුරෙක් නිර්මාණය වෙලා. ඒ තමයි ඉස්ලාමය.

 ඔබ කියන්නේ ලොව පුරා මුස්ලිම්වරුන් මර්දනය කරනවා කියලද?

පැහැදිලිවම. බලන්න ලිබියාව කෑලි කෑලිවලට කඩලා. සිරියාව විනාශ කරලා. මහා පරිමාණ ආයුධ තියෙනවා කියලා එදා ඉරාකය ආක්‍රමණය කළා. පස්සේ ගෝල්ඩන් බ්‍රවුන් හා ටෝනි බ්ලෙයාර් කියන බ්‍රිතාන්‍ය අගමැතිවරුන් ප්‍රකාශ කරනවා ඇමෙරිකාව අපව නොමග යැව්වා කියලා. නමුත් ඒ සත්‍ය අවබෝධවෙන කොට වෙන්න ඕන හරිය වෙලා ඉවරයි. මිලියන ගණනක් ජීවිත විනාශ වෙලා. සරණාගතයන් විශාල පිරිසක්, රට කෑලි කෑලිවලට කැඩිලා. පලස්තීනය ගත්තත් ඊජිප්තුව ගත්තත් මේ ටිකම තමයි වුණේ.

 ඔබ කියන පරිදි මුස්ලිම් තරුණයන් අදිසි හස්තයක ගොදුරු බවට පත්වුණා කියන කාරණාව සමස්ත මුස්ලිම් සමාජයට පහසුවෙන් බැහැර කළ හැකිද?

ඔබ මතු කරන කාරණාව ඇත්ත. මුස්ලිම් තරුණයන් අදිසි හස්තයක ගොදුරු බවට පත් වෙලා. මේ ගැන මුස්ලිම් සමාජය විමසිලිමත් විය යුතුයි. ඒ විතරක්ම නෙමෙයි මේ රටේ බහුතරය නියෝජනය කරන තරුණ ප්‍රජාවත් මෙවැනි හස්තයන්ගේ ගොදුරු බවට පත් වෙලා. බලන්න මේ සඳහා යොමු වූ පිරිසගේ අතේ සල්ලි ගැවසිලා තියෙනවා. මේ වගේ තමයි මේ රටේ අනෙක් අන්තවාදී සංවිධානවල උදවියත් උද්ඝෝෂණවලට යන්නේ පෙජරෝ, මොන්ටේරෝවලින්. ඔවුන් පැය විසිහතර පුරාම වෛරය වපුරනවා. ඔය අන්තවාදීන් සියලු දෙනා ආගම්වල නාමයෙන් ඕවා කළාට ආගමික දර්ශනයේ තියෙන අවිහිංසාව පතුරන්නේ නෑ.

 ඉස්ලාම් දහම තුළ අන්තවාදය වපුරන්න ඉඩක් තියෙනවාද?

ඉස්ලාම් දහමේ කියන්නේ දයාව, කරුණාව පතුරන්න කියන එකයි. නමුත් හැම ජන සමාජයකම වගේ ඉස්ලාම් සමාජයේත් අන්තවාදය වපුරන පිරිස් ඒවා කරන්නේ ආගමේ නාමයෙන් තමයි. නමුත් මේ ආගම්වල ඇති හරය දිහා මේ අය බලන්නේ නෑ. ඔවුන්ගේ ආගම වෙනුවෙන් නෙමෙයි තමන්ගේ පැවැත්ම වෙනුවෙනුයි ඔවුන් කටයුතු කරන්නේ.

 කතෝලිකයන් හා ඉස්ලාම්වරුන් අතර ඇති ආගමික සම්බන්ධතාව ගැන කිව්වොත්?

ඉස්ලාමයේ නබිතුමා සලකන්නේ දයාව, කරුණාව ලෝකයට ගෙනා පණිවුඩකරුවා විදිහටයි. ලෝකයේ ලක්ෂ ගණන් නබිවරු බිහිවෙලා තියෙනවා කියලා මුස්ලිම්වරු පිළිගන්නවා. යේසුස් වහන්සේත් එහෙම කෙනෙක් හැටියට අපි පිළිගන්නවා. මෝසස් වහන්සේත් එහෙම කෙනෙක් හැටියට අපි පිළිගන්නවා. යේසුස් වහන්සේගේ නම කියන කොට මුස්ලිම්වරු ශාන්තිය ඇතිවේවා! කියලා කියනවා. කියන්න ඕනා. මේ නිසයි කාදිනල්තුමා කිව්වේ අපි සේරම එක දෙවියන් අදහන ඒබ්‍රාහිම්ගේ දරුවෝ කියලා.

 අද මුස්ලිම්වරුන්ට මේ පවතින ක්‍රමයෙන් ඉවත්ව බෙදී වෙන්වෙන්න තරම් සාධාරණ හේතු තියෙනවාද?

මේවාට ප්‍රධාන හේතුව අනවබෝධයයි. වෛරී ප්‍රකාශ නවත්වන්න පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා අවුරුදු ගණනක් ගතවෙලා. නමුත් තවම ඒක සම්මත කරන්න අපට බැරිවෙලා තියෙනවා.

අපේ පාසල් බෞද්ධ පාසල්, කතෝලික පාසල්, මුස්ලිම් පාසල්, හින්දු පාසල් ලෙස බෙදිලා. මෙහෙම වෙන් වෙන්ව ඉගෙන ගන්න දරුවෝ සමාජය ගැන ලබන අවබෝධය මොකක්ද? කතෝලික, මුස්ලිම් දරුවන්ට අවබෝධයක් තියෙන්න ඕනා සිවුරට ගරු කළ යුත්තේ ඇයි කියලා. බෞද්ධ, මුස්ලිම් දරුවෝ දැන ගන්න ඕනා ලෝගුව කියන්නෙ මොකක්ද? කන්‍යා සොයුරිය කියන්නේ කවුද? කියලා. බෞද්ධ, කතෝලික දරුවන්ට අවබෝධයක් තියෙන්න ඕනා පර්දාව කියන්නේ මොකක්ද? මවුලවිතුමා කියන්නේ කවුද? කියලා. පාසල හැම විටම සමාජයේ හරස්කඩක් වෙන්න ඕනෑ. මුස්ලිම් පාසල් තුළ දෙමළ මාධ්‍ය ආරම්භ කිරීම තවත් පමා කරන්න ඕනෑ නෑ. එතකොට සිංහල මාධ්‍ය තියෙන මුස්ලිම් පාසලට ආසන්නයේ ඉන්න සිංහල දරුවන්ට ඒකට යන්න අවස්ථාව දෙන්න ඕනෑ. බෞද්ධ පාසල්වල දෙමළ, මුස්ලිම්, කතෝලික දරුවන්ටත් යම් ඉඩක් දිය යුතුයි. මෙහෙම කළාම එකිනෙකා අතර අවබෝධයක් ඇති වේවි. විවිධත්වය තේරුම් ගනීවි.

 මේ මොහොතේ මේ රටේ මුස්ලිම්වරුන්ට පැවරෙන වගකීම කෙබඳුද?

ආගමික විද්වතුන්ගේ සංගමය මුස්ලිම්වරුන් වෙනුවෙන් මේ ප්‍රකාශය පැහැදිලිව කරලා තියෙනවා. හමුදාව, පොලිසිය ත්‍රස්තවාදීන් පරාජය කරනවා වගේම මුස්ලිම් සමාජයට වගකීමක් තියෙනවා මුස්ලිම් සමාජය හුදකලා කරන්න, වෙන් කරන්න කටයුතු කරන සහරාන්ගේ කල්ලියේ මතවාදය පරාජය කරන්න.

 මෙම සිදුවීමෙන් පසු පක්ෂ විපක්ෂ සියලු දේශපාලනඥයන් ගැන ජනතාවගේ විශ්වාසය නැතිවෙලා ගිහිල්ලා කිව්වොත්?

ඔබ කිව්ව කාරණය මම පිළිගන්නවා. මේ මොහොතේ දේශපාලනඥයන් ගැන ලොකු විවේචනයක් තියෙනවා. අමතක කරන්න එපා දේශපාලනඥයන් ගැන විතරක් නෙමෙයි මේ රටේ මාධ්‍ය ගැනත් ජනතාවගේ විශ්වාසය නැති වෙලා ගිහිල්ලා කියන එක. මේ රටේ දේශපාලනඥයන්ට වගේම මාධ්‍යකරුවන්ට, පූජ්‍ය පක්ෂයටත් වගකීමක් තියෙනවා රටේ අනාගතය ගැන වගකීමෙන් කටයුතු කරන්න. අපි අපේ දරුවන්ට උරුම කරන්න ඕනෙ ගිනි අවුළන රටක්ද ගිනි නිවුණු රටක්ද කියලා තීරණය වන්නේ අප අද ගන්නා තීන්දු තීරණ මතයි.

 ජාතිය මුල් කරගෙන පක්ෂ බිහිවීම ගැන ඔබේ අදහස කුමක්ද?

අන්තවාදී පක්ෂ නීතියෙන් තහනම් කරන්න කියලා මම යෝජනා කරන්නේ නෑ. නමුත් සිංහල, දෙමළ, මුස්ලිම් කියලා අන්තවාදී සටන් පාඨවලට බය නොවී ජනතාව මේවා ප්‍රතික්ෂේප කළ යුතුයි. අපරාධයක් කරන මනුෂ්‍යයට වඩා අපරාධයක් දැක දැක නිහඬව සිටින මනුෂ්‍යයා කරන්නේ ඊට වඩා අපරාධයක් බව මේ රටේ ජනතාව දැන ගත යුතුයි.

 මේ රටේ ජාතික සමඟිය ගොඩනඟන්න ඔබේ යෝජනා මොනවාද?

අපි හැම විටම එකිනෙකාගේ අසමානකම් සොය සොයා රණ්ඩුවෙනවාට වඩා සමාන දේවල් සොයා යෑම කළ යුතුයි. මගේ ජීවිතය ගත්තම මගේ භාර්යාවට තියෙන්නේ සිංහල වාසගමක්. මගේ නංගිලා තුන්දෙනෙක් විවාහ වෙලා ඉන්නේ කන්ද උඩරටින්. ඒ තුන් දෙනාගේම ස්වාමිපුරුෂයන්ට තියෙන්නෙත් සිංහල වාසගම්. මගේ එකම සහෝදරයා විවාහවෙලා ඉන්නේ කන්ද උඩරටින්. එයාගේ භාර්යාවටත් තියෙන්නේ සිංහල වාසගමක්. මේ වගේ සමානකම් තේරුම් ගෙන අපි හැමදෙනාම එකම මිනිස් පවුලක සාමාජිකයන් ලෙස සිතා කටයුතු කිරීම කළ යුතුයි.

 ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන්ට අනන්‍ය සංස්කෘතියෙන් බැහැරව අරාබි සංස්කෘතියකට අනුගත වෙන්න උත්සහා දරන බවට නැඟෙන චෝදනාව ඔබ දකින්නේ කොහොමද?

එහෙම ප්‍රවණතාවයක් තියෙනවා. 77න් පස්සේ නිදහස් ආර්ථිකයත් එක්ක අපේ රටේ දරුවෝ මැදපෙරදිග ගියා රුකියාවලට. විදේශ රැකියා කරලා ඇවිල්ලා තමන් මැදපෙරදිග ඇඳපු ඇඳුමම අඳින්න ගත්තා. අද තාක්ෂණයේ දියුණුවත් මේ වෙනසට යම් තරමකට බලපානවා. මට මතකයි අපේ ආච්චිලා කාර් එකේ, බක්කි කරත්තේ යන කොටත් කර්ටන් එකක් දැම්මා. අද එහෙම කරන්නේ නෑ. මැදපෙරදිග බලපෑම් නිසා කළු අඳින්න, ලෝගු අඳින්න හුරුවුණා කියන එකයි මගේ විශ්වාසය. අද මුස්ලිම් සමාජය වගේම සමස්ත ශ්‍රී ලාංකික සමාජයම සංස්කෘතික වශයෙන් වෙනස් වීම්වලට භාජන වෙලා.

කොහොම වුණත් අද මේ ගැන යහපත් මතවාදයක් ඇතිවෙලා තියෙනවා. අප, අපි දිහා හැරිලා බලන සංවාදයක් ඇතිවෙලා තියෙනවා. අනෙක් පැත්තෙන් අද බහුතර සමාජය මිනි ගවුම, ඩෙනිම් කලිසම අඳින්න පටන් අරන් තියෙනවා. මතක තියා ගන්න එදා සිංහල සමාජයේ පදනම වුණේ ගැහැනු දරුවන්ගේ ලැජ්ජාව බය කියන එකයි. අද ඒ හැම දෙයක්ම යම් තරමකට වෙනස් වෙලා. අද අපිට නොගැලපෙන දේවල් ගැන සාකච්ඡා කරන්න පුළුවන්. මේවාට උත්තරය වෛරය වැපිරීමවත් බෝම්බ ගැසීමවත් නෙමෙයි. මේවා කථා කරලා බේරගන්න පුළුවන් ප්‍රශ්න.

 අද මද්‍රසා පාසල් ගැන ලොකු සංවාදයක් ඇතිවෙලා. මේවා රජයට පවරගන්නත් යෝජනා වෙලා. මෙය ඔබ දකින්නේ කොහොමද?

මද්‍රසා ගැන අද සමාජයේ ලොකු බියක් පතුරලා. මද්‍රසා පාසල් තමයි බටහිර ලෝකයේ අඳුරු යුගයේ යුදෙව්, ක්‍රිස්ති්යානි, මුස්ලිම් සියලු දරුවන්ට අධ්‍යාපනය ගත්තු තැන. එදා ඊජිප්තුව කේන්ද්‍ර කරගෙන යුරෝපයටම ශාස්ත්‍රීය දැනුම බෙදා දුන්නා. කොහොම වුණත් අධ්‍යාපන අමාත්‍යාංශයේ මඟපෙන්වීම අධීක්ෂණය යටතට ගේන්න කරන යෝජනාව යහපත්. කතෝලික පාසල්, දහම් පාසල්, සෙමනේරිස්, බෞද්ධ දහම් පාසල් මේ සියල්ලම රටක එක නීතියකට ගෙනැල්ලා අධීක්ෂණය කරන එක වඩාත් ගැළපෙනවා.

 අපේ රටට ආපු මුස්ලිම්වරු අරාබි භාෂාව හෝ සිංහල භාෂාව භාවිතයට නොගෙන දෙමළ භාෂාවට හුරුවීම ගැන ඔබේ අදහස කිවුවොත්,

මුස්ලිම්වරු මේ රට ආක්‍රමණය කරන්න ආව අය නොවෙයි. ඔවුන් ආවේ වෙ‍ෙළඳාමටයි. ඒ කාලේ ආසියානු කලාපයේ වෙ‍ෙළඳ භාෂාව ලෙස දෙමළ භාෂාව භාවිත වෙලා තියෙනවා. ඒ නිසා ඔවුන් දෙමළ භාෂාවට හුරුවුණු බව තමයි පිළිගැනීම.

[පබදු සපුතන්ත්‍රි]

ඡායාරූප [සුදම් ගුණසිංහ]

මාතෘකා