දෙපැත්තේ සිට යුද්ධ කළත් මිතුදම් බෙදාගත් හමුදාවේ කොතලාවල සහ එල්ටීටීඊයේ රහීම්

 ඡායාරූපය:

දෙපැත්තේ සිට යුද්ධ කළත් මිතුදම් බෙදාගත් හමුදාවේ කොතලාවල සහ එල්ටීටීඊයේ රහීම්

විජය කුමාරතුංග යාපනයේ සංචාරය කරන අතරතුරේදී යාපනයේදී විජය එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් වෙත බාර කරන කාර්යයේදී දකින්නට ලැබෙන දේහධාරී හමුදා නිලධාරියා කැප්ටන් ජයන්ත කොතලාවලය. (පසුකාලීනව ලුතිනන් කර්නල්) ඔහු සිංහ රෙජිමේන්තුවේ නිලධාරියෙකි. යාපනය කොටුව එල්.ටී.ටී.ඊ. ග්‍රහණයට අසු නොවීමට ඉඩ නොදී සටන් කළ නිලධාරියකු වූ හෙතෙම මුහුණ පුරා රැවුල වවාගෙන සිටි හයයි හයේ පුරුෂයෙක් විය. ඔහු සහ එවකට යාපනයේ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සිටි ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු වූ රහීම් (ශ්‍රී කුමාර් කනගරත්නම්) අතර අපූරු මිතුදමක් වූයේය. පසුකාලීනව එල්.ටී.ටී.ඊ.

සංවිධානයෙන් ඉවත් වන රහීම් මේ වන විට කැනඩාවේ ජීවත් වේ. පහත දැක්වෙන්නේ රහීම් අප සමඟ කපිතාන් කොතලාවල පිළිබඳ කරන ලද සංවාදයයි.

කපිතාන් කොතලාවල පිළිබඳ මුල්ම මතකය කොයි වගේද?

මට මතක විදියට ඒ 1986 වර්ෂය. 1986 ඔක්තෝබර් 12 වැනිදා අඩම්පන්හි එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් සහ ශ්‍රී ලංකා යුද හමුදාව අතර අවි ගැටුමක් ඇති වුණා. මේ ගැටුමෙදි මන්නාරමේ එල්.ටී.ටී.ඊ. නායක වික්ටර් ඔස්කා ඇතුළු පිරිසක් මිය ගියා. එසේම හමුදාවේ සාමාජිකයන් අට දෙනෙක් මිය ගියා. එක් සෙබළෙක් සහ දෙවන ලුතිනන්වරයෙක් අපි ජීවග්‍රහයෙන් අල්ලා ගත්තා. ඔවුන් සෙබළ බණ්ඩාර සහ දෙවන ලුතිනන් අජිත් චන්ද්‍රසිරි. ඔවුන් දෙදෙනා සිටියේ අපි ඔවුන්ව මරා දමයි කියන බියෙන්. මම ඔවුන් වෙත ගොස් කිව්වා අපි අත්අඩංගුවට ගත් සතුරාව මරා දමන්නේ නැති බව. ඒත් මිය ගිය හමුදා සෙබළුන්ගේ මෘත ශරීරවලට කරන්නේ කුමක්ද කියා අපි දැන සිටියේ නෑ. එවකට යාපනයේ සිටි එල්.ටී.ටී.ඊ. නායකයා වුණේ කිට්ටු කියලා කෙනෙක්. එහිදී මම යාපනය කොටුවේ හමුදා කඳවුරට කතා කරලා කැප්ටන් කොතලාවලට කිව්වා මේ මළ සිරුරු මම අරන් එනවා කියලා. ඉන්පස්සේ මළ සිරුරු අට ලොරියක දමාගෙන යාපනය කොටුව අසල සුබ්‍රමනියම් පිට්ටනියට ගියා. මම ගියේ නිරායුධව. කොටුව අසලදී කැප්ටන් කොතලාවලව මට හමු වුණා. ඔහු මගෙන් ඇහුවා මේ මළ සිරුරු බාර දීමට සිතුණේ ඇයි කියලා. එහිදී මම කිව්වා මේ සටනේදී මම මැරුණොත් මගේ අවසාන කටයුතු කරන්න අම්මට මගේ දේහය ඕනෑ වෙනවා කියලා. ඒ වගේ මේ සෙබළුන්ගෙත් අම්මලාට මේ මෘත ශරීර වටිනවා. නායක කිට්ටුගේ අවවාදයවත් අහන්නෙ නැතිව නිරායුධව ඔබලාගේ කඳවුරට මිනී බාර දෙන්න ආවේ ඒ නිසා කියලා මම ඔහුට කිව්වා. එහිදී ඔහු ඉතාම හැඟීම්බරව මාව වැලඳගෙන සෙබළුන්ගේ මෘත ශරීර බාර ගත්තා.

ඒ අපගේ ප්‍රථම හමුවීම.

සතුරු පාර්ශ්වයන් දෙකක හිතවත්කම් තියෙන්න විදියක් නැහැ. ඒත් ඔබට නැවතත් ඔහුව මුණගැහෙනවා නේද?

1987 ඉන්දු ලංකා සාම ගිවිසුම කාලයේ යාපනයේ

එල්.ටී.ටී.ඊ. කාර්යාලයේදී අප හමු වුණා. එහිදී කපිතාන් කොතලාවලට ප්‍රභාකරන්ව හමු වුණා. අපි ඔහුට දිවා ආහාරයෙන් සංග්‍රහ කළා. ඒ වගේම අපි සමහර විට එකිනෙකා දුරකථනයෙන් ඇමතුවා. අප දෙදෙනා අතර සුහද බවක් ඒ වෙද්දි ගොඩනැඟිලා තිබුණා.

සමහරු කියනවා ඔබ සහ කැප්ටන් කොතලාවල එක පන්තියේ ඉගෙනගත්තු යාළුවෝ කියලා?

ඒක බොරුවක්. ඔහු ඉගෙන ගත්තේ කොළඹ ආනන්ද විද්‍යාලයේ. මම ඉගෙන ගත්තේ නුවර ත්‍රිත්ව විද්‍යාලයේ. අප එකිනෙකා මුණ ගැසුණේ යුද භූමියේ.

තවත් ජනප්‍රිය කතාවක් තමයි කැප්ටන් කොතලාවල තම සොල්දාදුවන්ට නියෝගයක් දී තිබුණාලු ඔබව යම් ලෙසකින් අත්ෙඅඩංගුවට ගතහොත් ඔහු වෙත ගෙන ආ යුතු බවට. එසේම ඔබ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ටම එවැනි නියෝගයක් දී තිබුණාලු. එසේම රාජන් හූල්ගේ Sri Lanka: The Arrogance of Power: Myths, Decadence & Murder පොතේ සඳහන් වෙනවා වරක් එල්.ටී.ටී.ඊ. ස්නයිපර් කෙනෙක් කපිතාන් කොතලාවලට වෙඩි තැබීමට ගිය විට ඔබ එය වැළැක්වූ බව සහ එයට නායක කිට්ටුට තරහා ගිය බව.

මේ කතා සත්‍යද?

මේවා ඔක්කොම විහිළු කතා. අප අතර එහෙම ගිවිසුමක් තිබුණේ නෑ. තවත් කතාවක් තමයි යාපනය කොටුව කඳවුරට දර අවශ්‍ය වූ විට මම දර ලොරියක් ගෙනා බව. මේවා එකක්වත් ඇත්ත නෙවෙයි. අපි ප්‍රතිවිරුද්ධ සංවිධාන දෙකක සාමාජිකයෝ. මට ඔහුව යුද භූමියේ සටනකදි මුහුණට මුහුණ හමු වුණා නම් මම ඔහුට වෙඩි තියනවා. එසේම එම තත්ත්වය යටතේ ඔහුත් මට දෙවරක් නොසිතා වෙඩි ති‍ෙයනවා. අප අතර තිබුණේ මනුෂ්‍යත්වය හරහා ගිය බැඳීමක් පමණයි. තමන් සොල්දාදුවකු බව ඔහු අමතක කළේ නෑ. ඒ වගේම මම ගරිල්ලා කණ්ඩායමක සාමාජිකයකු බව අමතක කළෙත් නෑ. නමුත් අපි එකිනෙකාට ගරු කළා.

මේ අමුතු මිත්‍රත්වය නිසා ඔබට හෝ ඔහුට කිසිම ගැටලුවක් මතු වුණේ නෑ කියලද ඔබ කියන්නේ?

අප දෙදෙනාගේ මිත්‍රත්වය ගැන කිට්ටුට යම් අවබෝධයක් තිබුණා. ඒ නිසා මට ඒකෙන් පීඩනයක් ආවෙ නෑ. නමුත් යම් යම් අවස්ථාවලදී කපිතාන් කොතලාවලට උසස් නිලධාරීන්ගෙන් පීඩනයක් එල්ල වුණා. තවත් එකක් ඔහු බොහොම අහංකාර චරිතයක්. උසස් නිලධාරීන්ව සමහර අවස්ථාවල ගණන් ගත්තේම නැති තරම්. ඒ නිසා ඔහුට උසස්වීම් පවා ලැබුණේ ප්‍රමාද වෙලා. වරක් මම විහිළුවට කිව්වා ඔබ තමයි ආසියාවේ ඉන්න ජ්‍යෙෂ්ඨතම කපිතාන්වරයා කියලා. අපි අතර මිත්‍රත්වයක් තිබුණත් එකිනෙකා හමුදාමය තොරතුරු හුවමාරු කර ගත්තේ නෑ. බුද්ධි වාර්තා ගැන කතා කළේ නෑ. අප අතර තිබුණේ උසස් මිත්‍රත්වයක්. වරක් අපගේ මිත්‍රත්වය ගැන ලලිත් ඇතුලත්මුදලි අමාත්‍යවරයා ඔහුගෙන් අසා තිබුණා. ඔහු ඊට නියම පිළිතුරක් දී තිබුණා. ඔහු කිව්වලු දෙවන ලෝක යුද සමයේ නත්තල් දිනක ඉංග්‍රීසි හමුදාව සහ ජර්මන් හමුදාව පාපන්දු තරගයක් පැවැත්වූවා කියා. සමහර විට සතුරා සමඟ යම් මිත්‍රත්වයක් තිබිය යුතුයි කියා ඔහු කීවාලු. ලලිත් ඇතුලත්මුදලි උගත් පුද්ගලයකු නිසා ඔහු එය වටහා ගත්තා. මගේ පියා සහ රවී ජයවර්ධන එක පාසලේ එක පන්තියේ මිතුරන්. එයද ඇතුලත්මුදලි දැන සිටියා.

පසුකාලීනව ඔබට ඔහුව හමුවන්නේ කොහොමද?

1990 වන විට මම එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් ඉවත්වී කැනඩාවට යනවා. 1991 වගේ කාලයක ඔහු පුහුණුවක් සඳහා ඇමෙරිකාවට එනවා. කෙසේ හෝ මගේ දුරකථන අංකය සොයාගෙන ඔහු මට කතා කරනවා.

ඉන් පසු අපි දෙදෙනා ටොරොන්ටෝ නගරයේදී හමුවෙනවා.

ඒ සම්බන්ධය කොයිතරම් කාලයක් පැවතුණාද?

ඔහු මිය යන්නේ රිය අනතුරකින්. ඔහුගේ මරණය මාව විමතියට වගේම කනගාටුවට පත් කළා. ඒත් ඔහුගේ මරණයෙන් පස්සේ මම ඒ සම්බන්ධකම් නැවැත්තුවේ නැහැ. කපිතාන්වරයාගේ බිරිඳ සහ දියණිය දැන් ජීවත් වෙන්නේ ඔස්ට්‍රේලියාවේ. මම අදටත් ඔවුන්ගේ පවුලේ හිතවතෙක්.

ඔබ ඒ මිත්‍රත්වය වෙනුවෙන් හදවතේ තියාගෙන ඉන්න ඉඩ ගැන විස්තර කළොත්?

අද ජයන්ත කොතලාවල කියන හමුදා නිලධාරියා ජීවතුන් අතර නෑ. හිටපු සටන්කරුවකු වුණු මම දැන් සන්නද්ධ අරගලයෙන් ඉවත් වෙලා සාමකාමී සිවිල් ජීවිතයකට ඇතුළු වෙලා. ප්‍රභාකරන්ගේ සටන පරාජයෙන් අවසන්. මේ ගතවූ කාලය ගැන බලන විට සිතට එන්නේ කොපමණ ජීවිත යුද්ධය නිසා විනාශ වුණාද කොපමණ දේපළ විනාශ වුණාද කියලා විතරයි. අවසානයේ අපි හැමෝම ලබාගත්තු දෙයක් නෑ නේද කියලා මම මගෙන්ම ප්‍රශ්න කරනවා. යුද්ධය කියන තේරුමක් නැති දෙයින් මට ඉතිරි වුණේ අපේ මිත්‍රත්වය පමණයි. අපි එකිනෙකා සමඟ සටන් කළත් ගහ මරා ගත්තත් අපට යම් අවස්ථාවක් එනවා සතුරා සමඟ මානවවාදී ලෙස ගනුදෙනු කරන්න. එය මඟහැරීම නුසුදුසුයි. ඒ මානුෂික ගනුදෙනුව සිදු වන අවස්ථාවේදී අප එකිනෙකා වටහා ගන්නවා. ඒ අවබෝධය ලැබුණු පසු අපි කා කොටා ගන්නා තිරිසනුන් විදියට නෙවෙයි තවත් මනුස්සයෙක් විදියට මානුෂික ඇසින් බැලිය හැකි මිනිසකු බවට පරිවර්තනය වෙනවා. ඒකයි ඒ මනුස්සයා මැරුණත් මගේ හදවතේ මේ තරම් ඉඩක් වෙන් වෙලා තියෙන්නේ.

සාකච්ඡා කළේ: වෛද්‍ය [රුවන් එම් ජයතුංග]

මාතෘකා