අනුබුදු මිහිඳු තෙරුන්ගේ මිහිඳු ගුහාව හා මිහිඳු සෑය

 ඡායාරූපය:

අනුබුදු මිහිඳු තෙරුන්ගේ මිහිඳු ගුහාව හා මිහිඳු සෑය

මෙරට සිංහල බෞද්ධ ජනතාවට පොසොන් පුර පසළොස්වක් පෝය වැදගත් වන්නේ දඹදිව උපන් බුදුන් වහන්සේගේ සද්ධර්මය මෙරටට ලැබුණේ එදා හෙයිනි. එදා අනුරපුරයෙහි සිහසුන් ආරා සිටියේ දෙවනපෑතිස් නිරිඳුන් ය. එවක දඹදිව මගධ දේශයෙහි පැළලුප්නුවර සිහසුන් අරා සිටි ධර්මාශෝක රජතුමාණෝ බුදුන් වහන්සේගේ ධර්මය කෙරේ පැහැදී එය සිංහල රජතුමාට ද හඳුන්වා දෙන රිසින් සිය එක ම පුතණුවන් වූ මහින්ද මහ රහතන් වහන්සේ මෙරටට එවූහ.

පෑතිස් රජතුමාට මහින්ද හිමියන් හමු වුණේ අනුරාධපුරයට නුදුරු මිස්සක පව්වෙහි දී ය. මිස්සක පව්ව පසුව 'මිහින්තලාව' බවට පත් වුණේ මිහිඳු හිමියන් එහි වැඩ විසූ නිසා ය.

මිහිඳු

'මහින්ද' යනු පාලි සංඥා නාමයකි. ඊට මුල් වූයේ 'මහේන්ද්‍ර' යන සංස්කෘත නාමය යි. එය සැදෙන්නේ 'මහා' හා 'ඉන්ද්‍ර' යන දෙ පදය සන්ධි වීමෙනි. 'මහින්ද' යන නාමය මෙහිදී 'මිහින්ද්' හා 'මිහිඳු' බවට පෙරළිණ. 'මිහින්ද්' හිමියන් වැඩි කලක් ගත කළේ මිස්සක පව්වෙහි නිසා ඊට 'මිහින්ද් තල' යන නම ලැබිණ. පසුව එය 'මිහින්තල' හා 'මිහින්තලේ' බවට හැරිණ. 'මිහිඳු' හිමියන් වැඩ සිටි ලෙන 'මිහිඳු ගුහාව' යන නමින් හඳුන්වනු ලැබිණ.

මහිද තෙර

බ්‍රාහ්මී අක්ෂරයෙන් ලියවුණු පැරණි ම සෙල් ලිපියක මිහිඳු හිමියන්ගේ නම සදහන් වන්නේ 'මහිද තෙර' යනුවෙනි. මේ අකුරු අයත් වන්නේ ක්‍රිස්තු වර්ෂයෙන් පෙර අවධියට යි. මේ ලිපිය හමු වී ඇත්තේ අම්පාර දිස්ත්‍රික්කයේ රජගල නම් ස්ථානයෙනි. මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ 'ලක්දිව සෙල් ලිපි' (Inscriptions of Ceylon)නමැති ශිලා ලේඛන සංග්‍රහයේ ප්‍රථම කාණ්ඩය වන 'පුරාතන බ්‍රාහ්මී සෙල් ලිපි' (Early Brahmi Inscriptions) නම් ග්‍රන්ථයෙහි 468 වැනි සෙල් ලිපිය වශයෙන් දක්වා ඇති ලිපිය මෙසේ ය:

"යෙ ඉම දිප පටමය ඉදිය අගතන ඉඩික තෙර මහිද තෙරහ තුබෙ"

මෙහි අර්ථය දක්වා ඇත්තේ මෙසේ ය:

"මේ ද්වීපයේ භාග්‍යයට මෙහි ආ ඉඩික තෙරුන්ගේ හා මහිද තෙරුන්ගේ ස්තූපය"

මෙහි 'ඉඩික' තෙර යනුවෙන් සඳහන් වන්නේ 'ඉට්ඨිය' තෙරුන්ගේ නාමය යි. මහින්ද හිමියන් සමඟ මෙහි ආ දූත පිරිසෙහි 'ඉට්ඨිය' නම් රහතන් වහන්සේ නමක් සිටි බව සඳහන් වේ. ඊට අමතරව 'උත්තිය''සම්බල' හා 'භද්දසාල' නම් රහතන් වහන්සේලා තුන් නමක් ද සිටි බව මහාවංසයෙහි සඳහන් වෙයි.

මිහිඳු හිමියන් බුදුන් වහන්සේ මෙන් ම බණ කීමෙහි ඉතා දක්ෂ වූ බව ප්‍රකට ය. උන් වහන්සේට 'අනුබුදු' යන නම ලැබෙන්නට එක් හේතුවක් එය යි. හංස සන්දේශ කවියා කෑරගල විහාරේ වනරතන හිමියන්ගේ ධර්ම දේශනා චාතුර්යය වර්ණණා කරමින් කියා සිටියේ

"එයිදු මෙයිදු නොකියා බණ දෙසනුයෙ නි

මෙයිදු මිහිඳු මා හිමියන් පැමිණි වැ නි" (200 කවිය)

හංස කවියා නොකියා කියන්නේ සමහර ධර්ම දේශකයන් වහන්සේලා බණ කියන විට 'එයිදු මෙයිදු' (ඒවා මේවා) කියමින් කාලය කා දමන බව යි. එහෙත් මිහිඳු හිමියන් එසේ නොවේ. අවශ්‍ය කරුණු පමණක් කියන බව යි.

මිහිඳු සෑය

මිහින්තලේ පිහිටි දාගැබ් වහන්සේලා අතුරින් අලුතින් ම හඳුනා ගත් දාගබ 'මිහිඳු සෑය' යි. මේ චෛත්‍යයට 'මිහිඳු සෑය' යන නම ලැබුණේ උන් වහන්සේගේ ආදාහනෙන් පස්සෙ ලබා ගත් අළු නැත්නම් භස්මාවෂේශ මේ දාගබේ නිදන් කොට ඇත යන අනුමානය නිසා ය. මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු කළේ මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාය.

එතුමා මේ කටයුතු ආරම්භ කළේ එක්දහස් නවසිය තිස් ගණන්වල දී ය. මහ සෑය ළඟ ගරා වැටී තිබුණු නටබුන් ටිකින් ටික ඉවත් කරන විට එහි දාගැබක් ඇති බව එතුමාට වැටහිණ. මේ දාගැබ කුමක් දැයි තීරණය කිරීමට කිසිදු අභේද්‍ය සාක්ෂ්‍යයක් හමු නොවිණ. එහෙත් එහි වූ යම් යම් නටබුන් මේය මිහිඳු තෙරුන් හා සම්බන්ධ කිරීමට අනුබල දුන් බව පෙනේ.

මෙහි නටබුන් අතුරින් හමු වුණු එක් කලාත්මක මැටි කරඬුවක්ලංකාවේ වෙනත් කිසිදු තැනකින් හමු වී නැත. මේ කරඬුව ඇතුළෙහි රන් කරඬුවක් තිබිණ. එහි ඇතුළත ආදාහනයකින් ලබා ගත් අළු වගයකුත් පුංචි ඇට කටු කීපයකුත් හම් විණ. මේ අළු මිහිඳු හිමියන්ගේ ආදාහනයෙන් ලබා ගත් අළු විය හැකි ය යන අනුමානය එතුමාගේ සිතෙහි උපන.

එතුමා කියන හැටියට මේ රන් කරඬුවේ හැඩ රුව ඉන්දියාවේ පුරාණම දාගැබ්වල හැඩරුව දක්වයි. එවැනි හැඩරුවක් ඇති ස්තූප ඉන්දියාවේ හමු වන්නේත් සාංචි වැනි ස්ථානවල පමණකි. සාංචියේ පිහිටි පුරාණම දාගැබ්වල අද දාගැබ්වල මෙන් දේවතා කොටු, හතරැස් කොටු හා කොත් කැරලි වගේ අංග දක්නට නැත. එබැවින් එවැනි හැඩයකින් යුක්ත කරඬුවක් නිදන් කොට බැන්ද මේ සෑය පරණ ම දාගැබක් විය යුතු ය යන අනුමානය එතුමා තුළ ඇති විය. මෙය 'මිහිඳු සෑය' යැයි නම් කිරීමට එතුමා තීරණය කළේ මේ හේතු සාධක නිසා ය.

මිහිඳු ගුහාව

මිහිඳු මහ රහතන් වහන්සේ වැඩි කාලයක් ගත කළේ මිහින්තලා කන්දේ එක් බෑවුමක පිහිටි ගල් ලෙනක යි. එතැන සිට බලන විට පෙනෙන දර්ශනය ඉතා ම සිත්කලු යි.

ඒ දර්ශනය සිතට සැනසීම ගෙන දෙනෙවා. විශුද්ධි මාර්ගයෙහි බුද්ධඝෝෂ හිමියන් මේ ගුහාව අගය කරමින් සඳහන් කරන්නේ 'මහින්ද ගුහා සදිසේ සේනාසනේ' යනුවෙනි. 'මිහිඳු ගුහාව වගේ සෙනසුනක්' යනුවෙනි.

මාතෘකා