පාරිසරික ගොවිතැන සඳහා ගොවීන්ගේම භාවිතයන්

 ඡායාරූපය:

පාරිසරික ගොවිතැන සඳහා ගොවීන්ගේම භාවිතයන්

හේන් වගාව මෙන්ම කුඹුරු ගොවිතැනද සාර්ථක කර ගත්තේ පුරන් කාලයක් තබා ගැනීමෙනි. පුරන් කාලය තුළ පස නැවත සාරවත් වන අතර වල් පැළෑටි ගහණයද අවම වේ. එමෙන්ම හේන් ගොවිතැන සිදු කළේ පිහිටි පොළොවේමය. එහිදී භූ විෂමතාවට කිසිදු හානියක් හෝ බාධාවක් කළේ නැත. එහි සුළු බෑවුම් හා තැනිතලා තිබිය හැක. බෝග වගාව සිදු කළේද විෂමතාවට ගැළපෙන ආකාරයටය. ගොවීන් අනුගමනය කළේ මිශ්‍ර භෝග වගා ක්‍රමයකි. අබ හා කුරක්කන් එකට වගා විය. බඩඉරිඟු, මෑ හෝ බෝංචි සහ වට්ටක්කා බෑවුමේ ඉහළට වන්නට වගා කළෝය. පහළට එන විට තෙතමනය රඳා පවතී නම් එහි ඇල් වී වගාව කළ අතර තෙතමනය අනුව මිරිස්, වෙනත් ධාන්‍ය හා මාංස බෝගද වගා කළහ.

මේ අනුව හේන, බෝග විවිධත්වයෙන් අනූන වූවකි. කුඹුරක් යනු තෙත් බිමකි. එය පහත් බිමකි. මිටියාවතකි. වී වර්ග මෙහි වගා කළහ. වීවලට අමතරව පං, කංකුන්, ලුණුවිලද යායක් දක්නට ලැබේ. විවිධ මත්ස්‍ය වර්ග සඳහාද නිවහනක් විය. මගුරෝද මඩ කනයාද ලූලාද ආඳාද කාවයියාද ගැමියාගේ බතට ලැබුණේ කුඹුරෙනි. කුඹුරද ගොවිතැන් පද්ධතියක් ලෙස වැඩිදියුණු කර ගත්හ.

වියළි කලාපයේ වැව් ගම්මාන ඒ හා සම්බන්ධ එල්ලංගාව, තෙත් කලාපයේ ස්ථර ගණනාවක් වාසස්ථාන කර ගෙන වැඩෙන බෝග වර්ග සහිත ගෙවත්ත විශේෂයෙන් ලෝකයම විමතියට පත් කළ නුවර ගෙවතු උද්‍යාන, උඩරට හෙල්මළු ගොවිතැන සඳහාම පාරම්පරික ගැමියා විසින් නිර්මාණය කරන ලදුව අපට උරුම කළ භූමි භාවිතයන් වේ. මේ සියල්ලම ස්වාභාවික පරිසරයට අනුගත වන ලෙස සකස් කළ තිරසර ගොවි පද්ධතීන් වේ. ඒ හා සම්බන්ධ සංස්කෘතීන්ද ඇත.

මෑත කාලයේදී සිය ගොවි බිමේ වගාවන් සිදු කර ගැනීම සඳහා විවිධ තාක්ෂණ ක්‍රම ගොවියන් විසින්ම සකස් කර ගනු ලැබ තිබේ. මෙයින් සමහරක් ස්වාභාවික පොහොර වර්ගය. නැතිනම් ක්‍ෂුද්‍රජීවී ද්‍රාවණ වේ. තවත් සමහරක් පළිබෝධනාශක හෝ විකර්ෂක වේ. මේවා යෙදවුම් ලෙස හැඳින්විය හැක. වෙනසකට ඇත්තේ අවශ්‍ය අමු ද්‍රව්‍ය ලබා ගත්තේ ගොවි බිමෙන්ම හෝ අවටින් පමණක් වීමය. තවත් සමහර තාක්ෂණයන් බෝගයේ නිරෝගී වර්ධනය සඳහා ඒවා වැඩෙන ක්ෂුද්‍ර පරිසරය වෙනස් කරන තාක්ෂණයන් වේ.

ගොවි බිම හෝ ගෙවත්ත වටා සජීවී වැටක් ඉදි කර ගැනීම වියළි කලාපයේ සුලභව දක්නට ලැබෙන දර්ශනයකි. ගිනිසීරියා, ආඩතෝඩා, ගංසූරිය සමහර විට මුරුංගා ඉඩම වටා ආරක්ෂක වැටක් ලෙස පේළියට සිටුවන ශාක විශේෂවේ. ළපටි අතු හා පත්‍ර ගවයන්ට හා එළුවන්ට ආහාර ලෙස ලබා දෙයි. කොළ පොහොර ලෙස ගොවියා පාත්තිවලට යොදයි. මෙම සජීවී වැට ඉඩමේ සීමාව දැක්වීමටත් බෝග පාළු කිරීමට ඉඩමට පැමිණෙන සතුනට බාධාවක් ලෙසටත් ක්‍රියා කරයි. ඉඩමක සුළං බාධක ඇති කිරීමද මෙවැනිම තාක්ෂණයකි. සුළං මුවත ආවරණය කරමින් පේළි 2 - 3කට, පේළි අනුව වගා කරන ගිනිසීරියා ශාක නිසා හමා එන සුළඟේ වේගය මන්දනය වේ. එයින් බෝග ආරක්ෂා වේ. බොහෝ විට කෙසෙල් වගාවක කොළ ඉරී යෑම, ගස් පෙරළී යෑම වියළි කලාපයේ සුලභ දර්ශනයකි. මෙම සුළං බාධකය නිසා බෝගවලට සිදු වන හානිය අවම වේ.

තවද වියළි කලාපයේ ස්ථීර බෝග වගාව කිරීම අසීරු කරුණකි. විශේෂයෙන්ම බෝගය වර්ධනය වන පළමු වර්ෂ තුනේදී එය සුළඟින් හා අධික සූර්ය තාපයෙන් ආරක්‍ෂා විය යුතු යැයි නිර්දේශ කර ඇත. බෝගය වටා ගිනිසීරියා ගස් 04ක් වගා කර එයට ඉහළින් සෑදෙන අතු පතර නිසා සුළඟින් මෙන්ම ඉහළින් එන අධික සූර්යාලෝකයෙන්ද බෝගය ආරක්ෂා වේ. වර්ෂා කාලයේ අතු කපා, එහි පත්‍ර වැඩෙන බෝගයට පොහොරක් ලෙස යෙදිය හැක.

මේ හැරුණු විට විශේෂයෙන්ම ගොඩ බෝගවල වර්ධනය සඳහා පාත්තියේ තෙතමනය රඳවා ගැනීමට ඒ මතුපිට වසුනක් ඇතිරීම ගොවීන් සිදු කරන භාවිතයකි. මේ සඳහා පිදුරු කලින් කන්නයේ බෝග ශේෂ, අතුගා දමන කොළ, උදලු ගා ඉවත් කරන තණ කොළද වසුන ලෙස භාවිත කෙරේ. මෙමඟින් පසේ තෙතමනය සංරක්ෂණය වනවා පමණක් නොව, පසේ උෂ්ණත්වයද බෝග වගාවට ප්‍රශස්ත තත්ත්වයේ තබා ගත හැකි අතර වසුන දිරාපත් වීමෙන් පාත්තියට එකතු වන කාබනික ද්‍රව්‍ය සංචිතය, ක්ෂුද්‍රජීවී ක්‍රියාකාරීත්වය ප්‍රවර්ධනය කරයි.

ගොඩ හා කුඹුරු ගොවිතැනට කොම්පෝස්ට් යෙදීම ජනප්‍රිය භාවිතයකි. වළ ක්‍රමය හා ගොඩ ක්‍රමය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් හඳුන්වා දුන් සාර්ථක තාක්ෂණයකි. සිය අවශ්‍යතා සඳහා ගොවියාටම කොම්පෝස්ට් නිපදවා ගත හැක. මේ හැරුණු විට ගොඩ බෝග වගා කරන පාත්තියේම එම අමු ද්‍රව්‍යම පාවිච්චි කර කොම්පෝස්ට් සාදාගෙන එහිම වගා කළ හැකි ක්‍රමයක් ජනප්‍රිය වෙමින් තිබේ. පාත්තියක (3 x 12) වල් පැළ හා තෘණ ඉවත් කර, පස අඟල් දෙකක් පමණ බුරුල් කර, එම පස සූරා පාත්තිය දෙපසට එකතු කරනු ලැබේ.

මෙම පාත්තියෙන් මුලින්ම ඉවත් කළ රොඩු ටිකද දිරමින් ඇති පිදුරු, ඉඩමේ එකතු කර ගත් කොළ, කලින් කන්නයේ බෝග ශේෂ, කුඩු කර ගත් වියළි ගොම හා ඒ මතුපිටින් අමු කොළ වර්ගද අතුරා අඟල් 12 - 16ක තරම් උස් වන ලෙස පාත්තිය සකස් කරනු ලැබේ. මීළඟට දිය කර ගත් අමු ගොම ඒ මත හොඳින් තෙත් වන ලෙස ඉසීමෙන් පසු මුලින්ම දෙපසට ඉවත් කළ පස් තට්ටුව, ඒ මත සිනිඳුවට අතුරා, ජලයෙන් හොඳින් තෙත් කර, පිදුරු හෝ ගිනිසීරියා කොළවලින් පාත්තිය වසනු ලැබේ. වියළි කාලයක නම් විටින් විට පාත්තියට ජලය එකතු කළ යුතුය. එකතු කළ ද්‍රව්‍ය සති කිහිපයකින් දිරාපත් වේ. ඉඩමක මෙවැනි පාත්ති විශාල සංඛ්‍යාවක් සකස් කර ගත් ගොවියා, එක් පාත්තියක එක් වර්ගයක බෝගයක් වන ලෙස පාත්ති සියල්ලගේම විවිධ වර්ග වගා කර, තම ගොවි බිමේ බෝග විවිධත්වය නිර්මාණය කර ගැනීමට ගොවියා සමත් වේ.

අද වන විට ශාක පත්‍ර නිස්සාරක ද්‍රව පොහොරක් ලෙස ගොවිතැනට යොදා ගැනීමට ගොවීහු සමත්ව සිටිති. අක්කරයක බිමකට ගොම (15kg) ගිනිසීරියා කොළ (20kg) බාලොලියා හෙවත් හිඟුර (3 - 4 kg) හා මුරුංගා කොළ (500g) ජලය ලීටර් 100ක බැරලයකට දමා, දිනකට 4 වරක් විනාඩි 10 -15ක් ලී දණ්ඩකින් කලත්තනු ලැබේ. සති දෙකකින් පමණ මෙම කොළ දිරාපත් වී එහි අඩංගු පදාර්ථ ජලයට එකතු වේ. මෙයින් පසු දිරාපත් නොවූ කොටස් පෙරා වෙන් කර එම ලබාගත් ද්‍රාවණයට 1:3-5 ලෙස ජලය එකතු කරනු ලැබේ. මෙම ද්‍රාවණය සතියකට වරක් බෝගයට ඉසීමෙන් කෘමි හානි සහ දිලීර හානිද අඩු කර ගත හැක. මෙය හොඳ පොහොරකි. බෝගයට මෙන්ම එය වැඩෙන පාත්තියටද මෙය ඉසිය යුතුය. එය කළ යුත්තේ වර්ෂාව නැති දිනවල සවස් වරුවේය.

‘ජීවා මෘත’ ක්‍ෂුද්‍රජීවී ද්‍රාවණයකි. 2008 පමණ කාලයේ සිට මෙය මෙරට ගොවීන් අතර ජනප්‍රිය වෙමින් තිබේ. විද්‍යාඥයන්ගේ පිළිගැනීම වන්නේ පස ස්වාභාවිකව සාරවත් වීම සිදු වන්නේ එහි ජීවත් වන ක්‍ෂුද්‍ර ජීවීන් නිසා බවය. බැක්ටීරියා ඇක්ටිනෝමයිසිටීස්, දිලීර,

දිලීරක මූල, නීල හරිත ඇල්ගා විශේෂ මොවුන් අතර වේ. තම ගොවි බිමේම සිටින ක්‍ෂුද්‍රජීවීන් ප්‍රමාණය සංඛ්‍යාත්මකව වැඩි කර ඒ හරහා පස නිරෝගී හා සාරවත් කර ගැනීම අරමුණ වේ. දැනටමත් නිරන්තරව සිදු කරන සී සෑම, කෘමිනාශක, පොහොර භාවිතය නිසා අවශ්‍ය ක්‍ෂුද්‍රජීවීන් ප්‍රමාණාත්මකව ගොවි බිමෙන් ඉවත්ව ඇත.

ජීව මෘත සාදා ගැනීමට අක්කරයකට අවශ්‍ය අමු ද්‍රව්‍ය ප්‍රමාණය මෙසේය. අමු ගොම (10kg) ගව මුත්‍රා (4 -5L) කාබෝහයිඩ්‍රේට් වර්ග සක් කර, රතු සීනි, ඉදුණු පලතුරු (2kg) ප්‍රෝටීන් විශේෂ, දෙපියලි බීජවල පිටි, උදාහරණ උඳු, කඩල, මුං, කව්පි (2kg) හෝ සිහින්ව ලියා ගත් ගිනිසීරියා කොළ (6kg) මේ සඳහා භාවිත කළ හැක. කලින් ලෙසටම ජලය ලීටර් 200ක බැරලයකට මෙම ද්‍රව්‍ය දමා කලත්තා දින කිහිපයකින් පෙරා ද්‍රාවණයට 1:3-5ක් ලෙස ජලය එකතු කර සතියකට වරක් බෝගයට ඉසිනු ලැබේ. ඉහත සඳහන් ද්‍රාවණ දෙවර්ගයම ගොඩ ගොවිතැනට හෝ කුඹුරු ගොවිතැනට යෙදිය හැක. මෙමඟින් පස සාරවත් වන අතර නිරෝගී බෝගයක් වගා කර ගත හැක. ජිවා මෘත යොදා ගත් බිමකට කාබනික ද්‍රව්‍ය එකතු කිරීම අනිවාර්ය වේ.

පිදුරු, ගිනිසීරියා කොළ, කරදහයියා කුඹුරුවලට යෙදීම ජනප්‍රිය වෙමින් ඇත. මේ හැරුණු විට මාළුන්ගෙන් ඉවත් කරන කොටස්වලින් සාදා ගන්නා මාළු ටොනික් හා ඉදුණු පලතුරු යොදා ගෙන සාදා ගන්නා පලතුරු ටොනික්ද ගොවීන් විසින්ම අත්හදා බලන ලදුව ගොවිතැනට යොදා ගන්නා තවත් යෙදවුම් වර්ග වේ. මෙමඟින් පසේ සාරවත්භාවය දියුණු කර ගත හැක.

[ආචාර්ය ලයනල් වීරකෝන්]

මාතෘකා