ටීටර් නටා එල්ලුම්ගස් ගිය දංකොටුවේ හෙරෝනිස් අප්පුහාමි :

 ඡායාරූපය:

ටීටර් නටා එල්ලුම්ගස් ගිය දංකොටුවේ හෙරෝනිස් අප්පුහාමි :

 "වෙන්නප්පුව ආසනයේ තියන පාරවල් වැඩි ප්‍රමාණයක් හදන්න මම දායක වෙලා තියනවා. ඒ දවස්වල අපට දුන්නේ දවසට රුපියලයි. මාව රැකියාවෙන් දොට්ට දාද්දි මගේ දවසේ පඩිය රුපියල් හතරයි ශත තිස් පහයි."

ඒ වචන ටික ඇසෙනවිටම අද නම් හමුවුණේ ලේසි පාසු චරිතයක් නොවේ යැයි සිතිණි. ගැටුමක් නැති කතාවක රසයක් නැත. දුක් කම්කටොලු, අභියෝග නොමැති ජීවිත කතන්දර ගැන කියන්න ඇත්තේද ඒ ටිකමය. එහෙත් දංකොටුවේ බුජ්ජම්පොළ රණතුංග මුදලිගේ හෙරෝනිස් අප්පුහාමිගේ කතාව එවැන්නක් නොවේ.

1917 පෙබරවාරි මස හතරවැනි දින දංකොටුව දුන්නාගරේදී උපත ලබා ඇති අප්පුහාමි මහතා මේ වන විට ගත කරන්නේ සිය දිවියේ 102 වැනි කඩ ඉමයි. බබා සිංඤෝ හා දයිසා නෝනා ඔහුගේ දෙමාපියන් විය. දරුවන් තිදෙනෙකුගේ පියෙකු වන ඔහු මේ වන විටත් නිරෝගී ජීවිතයක් ගත කරයි. හෙරෝනිස් අප්පුහාමි මහතා දංකොටුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ජීවත් වන වයස්ගතම පුද්ගලයාය. වයස අවුරුදු සියය පමණ වන තෙක්ම කිසියම් ජීවනෝපායක නිරත වීම අත් නොහළ ඔහු, ඒවාට සමු දී ඇත්තේ දරුවන්ගේ පෙරැත්තය නිසාය.

පවුල් දාහතේ ගම

හෙරෝනිස් අප්පුහාමි, දරුවන් සිව් දෙනෙකුගෙන් යුත් පවුලක තෙවැනියාය. තේගිස් අප්පුහාමි, අරෝන් අප්පුහාමි හා නෝනා හාමි යන සෙසු අය මේ වන විට ජීවතුන් අතර නැත.

"ඒ කාලේ, මම මේ කියන්නේ මට අවුරුදු හයේදී විතර මේ ගමේ හිටියේ පවුල් කීපයයි. ගණන් කරලා කිව්වොත් පවුල් දහහතයි. බැලු බැලු තැන වනාන්තරය. යන්න තිබුණේ පොඩි පාරවල් කීපයක් විතරයි. ඒ කාලේ ටිකක් ලොකු පාරවල් කීපයක් විතරයි තිබුණේ. ඒ පාරවල්වල කරත්තයක් යන්න පුළුවන්කම තිබුණ නිසා කරත්ත පාර කියලා කිව්වා. මේ කරත්ත පාරවල් තාර පාරවල් කළේ අපි තමයි."

අප්පුහාමි මහතා තමන් උපන් ගම මීට වසර සියයකට එහා තිබූ අයුරු වදන්වලින් මවා පෙන්වීය. මීට වසර සියයකට එහා ගැමියන් ගතකළ ඉතා කටුක ජීවිතය එයින් පිළිබිඹු විය.

"ඒ කාලේ මේවායේ මිනිස්සුන්ට වඩා හිටියේ කෑලෑ සත්තු. මම ඉස්කෝලේ ගියේ බුජ්ජම්පොල තිබුණ දැනටත් තියන රජයේ විදුහලට. අහල ගම කීපයේම ළමයි ආවේ මේකට තමයි. මුළු ඉස්කොලෙටම ළමයි පනහකට හැටකට වඩා හිටියේ නැහැ. ඒ නිසා ජයසේන මහත්තයා, ඒ කිව්වේ ඉස්කෝලේ ලොකු මහත්තයා එනවා ගෙයින් ගෙට වේවැලක් අරගෙන ළමයි එකතු කරගෙන යන්න. අසනීපයක් නැතුව ගෙදර හිටියනම් වේවැල් පාරවල් දෙක තුනක් ෂුවර් තමයි. අද කාලේ වගේ ළමයි බේර ගන්න දෙමාපියෝ බොරු කිව්වේ නැහැ. අසනීපයක් නම් බේරුණා, නැත්නම් දෙමාපියන් ඉස්සරහම වේවැල් පාර තමයි."

එවකට බුජ්ජම්පොල විද්‍යාලයේ පන්ති පවත්වා ඇත්තේ හය වැනි ශ්‍රේණිය දක්වා පමණි. මේ හේතුවෙන් හය වැනි ශ්‍රේණියට පමණක් උගත් අප්පුහාමි ටික කලක් මේ විදුහලේම මොනිටර් ගුරුවරයකු ලෙස කටයුතු කළේය. කවර හේතුවක් නිසා හෝ ඒ ගුරුකම පැවතුණේ ටික කාලයකි. "මට කැමැත්තක් තිබුණේ නැහැ දිගටම උගන්වන්න. ඒ නිසා මම ඒකට සමු දුන්නා."

කොළඹ ගමන

අප්පුහාමිට වයස අවුරුදු දහහත සපිරෙද්දී ඔහුගේ පියා බබා සිංඥෝ මියගොස් ඇත. ඒ හේතුව මත ජීවත් වීම සදහා ගොවිතැන තෝරා ගැනීමට ඔහුට සිදුව තිබේ. ''ඒ කාලේ අද වගේ නෙමෙයි. ගොවිතැනට ලොකු ගරුත්වයක් තිබුණා. ගොඩක් අඩුවෙන් තමයි මුදල් ගනුදෙනු සිදු වුණේ. භාණ්ඩ හුවමාරුව තමයි තිබුණේ. මට තේරෙන වයසේ, ඒ කියන්නේ තනියම කොළඹ යන්න පුළුවන් වුණ කාලේ කොළඹ ගිහින් තමයි බඩු මුට්ටු ගොඩාක් ගෙනාවේ. ඒ දවස්වල කොළඹ යන්න එන්න බස් එකට ගත්තේ රුපියලයි. රුපියල් තුන හතරක් අරන් ගියාම බඩු මලු දෙකක් පුරවාගෙන එන්න පුළුවන්. කොළඹ බඩු ලාභබ නිසාම නෙමෙයි අපි කොළඹ ගියේ, බස් එකේ යන්න තිබුණ

ආසාවට. ඒ දවස්වල ගමේ හැමෝටම කොළඹ ගිහින් එන්න බැහැ. මම ඉගෙනගෙන තිබුණ නිසා මට පුළුවන් වුණා. ඒ නිසා මට හොද තැනක් ගමේ තිබුණා. හදිසියකට ගමේ උදවිය මට කියල බඩු ගෙන්න ගන්නත් පුරුදු වෙලා හිටියා. මොකද ගමේ තියා දංකොටුවේ වත් මම ගේන සමහර බඩු තිබුණෙ නැහැ.

අහිමි පොලිසිය

අතීතයේ ශ්‍රී ලංකා පොලිසිය ගැන අත්දැකීම් ඇති අය රැස දිගාසිරි චාරිකාවේදී අපට කිහිපවිටක්ම හමු වී තිබේ. අප්පුහාමි පියාණන්ටද පොලිසිය ගැන කීමට කතාවක් තිබිණි.

"ආණ්ඩුවේ රස්සාවල් කියලා ඒ දවස්වල තිබ්බේ ගුරු කමයි, පොලිසියයි තමයි. ගුරු වෘත්තිය මට ඇල්ලුවේ නැති නිසා මම පොලිසියට යන්න ඉල්ලුම් පත්‍රයක් දැම්මා. මට ඒක හරි ගියා. නමුත් අම්මා කිව්වා යන්න දෙන්න බැහැ කියලා. පොලිසියට ගියාම මනුස්සයෝ අමනුස්සයෝ වෙනවා කිව්වා. රස්සාවකට යන්න ඕනෑම නම් මොනිටර් ගුරු කමට යන්න, හැබැයි පොලිසියට ගියොත් ආයේ ගෙදර එන්න එපා කියලත් කිව්වා. ඉතින් මම ගමන අත්තැරල දැම්මා. හැබැයි මම පොලිසියට ගියා නම් අනිවාර්යෙන් හොද නිලයකට ගිහින් තමයි නවතින්නේ."

අප්පුහාමි මහතාට රජයේ ස්ථිර රැකියා දෙකක් අහිමිව යන්නේ එලෙසයි. එහෙත් ඔහු පසු කාලීනව මහා මාර්ග දෙපාර්තුමේන්තුවේ කොන්ත්‍රාත් සේවකයෙකු ලෙස වසර විස්සකට ආසන්න කාලයක් සේවය කළේය. "අවුරුදු විස්සක් විතර වැඩ කරලා රස්සාවෙන් දොට්ට දාද්දි මට ලැබුණේ රුපියල් පහළොස් දාහක් විතරයි. කම්කරු වැඩේට අමතරව මම වැඩ බලන එකත් කළා. මොකද මම තමයි මේ කණ්ඩායමේ වැඩිම උගතා. අද වගේ ඒ දවස්වල තාර දාන්න යන්ත්‍ර සුත්‍ර තිබුණේ නැහැ. ඔක්කොම අතින් තමයි කළේ. හවසට ඉතින් අතේ පයේ රුදාව තමයි. අද වගේ බාගෙට වැඩ ඒ දවස්වල නැහැ. ඔක්කොම කැපවෙලා වැඩ කළා. පාන් කාල හකුරු කැල්ලක් එක්ක කාලා තේ කහට එකක් බීලා තමයි අපි ඒ දවස්වල වැඩ කළේ. මම හිතන්නේ මම තාර නොදාපු පාරක් මේ වෙන්නප්පුව පළාතේ නැහැ කියලයි.

අහඹු විවාහය

"මම විවාහ වෙද්දී මගේ වයස අවුරුදු තිස් තුනක්. මගේ විවාහය ප්‍රමාද වුණේ ගෑනු ළමයෙක් නොහිටපු නිසයි. මේ විවාහයත් වුණේ අහම්බෙන්"

සමරතුංග ආරච්චිගේ පොඩි නෝනා, දුන්නාගාරේට පැමිණ ඇත්තේ අහම්බයකිනි. ඒ දුන්නාගාරෙන් විවාහ වී සිටි සෝමා නැමති තැනැත්තියක් සමගයි. ''මගේ හාමිනේගේ ගම කටුකෙන්ද. එයා අපේ ගමට අවාම මම එයත් එක්ක සම්බන්ධයක් ඇති කර ගත්තා. ඊට පස්සේ විවාහ වුණා."

විවාහයෙන් මේ දෙපළට දරුවන් තිදෙනෙකු ලැබිණි. ආර්.එම්. කමලාවතී (67), ආර්.එම්. ප්‍රේමචන්ද්‍ර (63), ආර්.එම්.

තිලකාවතී (60) ඒ තිදෙනාය. ප්‍රේමචන්ද්‍ර මහතා ගුරුවරයෙකු ලෙස සේවය කර විශ්‍රාම ලබා සිටින අතර තිලකාවතී මහත්මියය පෞද්ගලික අංශයේ රැකියාවක නිරත වෙයි. අප්පුහාමි පියාණන් මේ වන විට සිටින්නේ තිලකාවතී භාරයේය. එහෙත් කමලාවතී හා ප්‍රේමචන්ද්‍ර යන දෙදෙනා සිය පියාගේ සියලු උවමනා එපාකම් සපුරයි. තිලකාවතී රැකියාවට ගිය විට සිය පියාගේ කටයුතු වැඩිමහල් දියණිය අතින් සිදුවෙයි. අවුරුදු අනූ හතරක් ආයු විඳි ඔවුන්ගේ මව වන පොඩිනෝනා මියගොස් මේ මස විසි පස්වන දිනට වසරක් සපිරෙයි.

එල්ලුම් ගහ

කෙනෙකු එල්ලුම්ගහට නියම වන්නේ කලාතුරකිනි. එමෙන්ම එල්ලුම්ගහට ගිය කෙනෙකුට යළි එන්න ලැබෙන්නේ නැත. එහෙත් වරක් දෙවරක් නොව කිහිපවරක්ම එල්ලුම්ගහට ගොස් තවමත් ජීවත්වන කෙනෙකු ඇත්නම් ඒ අප්පුහාමි පියාණන් පමණක් විය හැකිය. සැබෑ ජීවිතයේදී කුරා කුඹියෙකුටවත් වරදක් නොකළ අප්පුහාමිට එල්ලුම් ගහ නියම වුයේ ටීටර් නැටීම හේතුවෙනි. "ඒ දවස්වල මම ටීටර් නැටුවා. මේ කලාව මට පුරුදු කළේ මගේ සීයා. අපි අලුතින් ටීටර් එකක් හැදුවා. එකේ තමයි තිබුණේ එල්ලුම් ගහට නියම වෙන එකෙ. මේ චරිතේ ඉතාම ප්‍රසිද්ධ වුණා. එකේදී ඇත්තටම මගේ බෙල්ලට තොණ්ඩුව දාලා එල්ලුවා. මේ වෙලාවේදී හැමෝම

පොඩි ශබ්දයක්වත් නැතුව කටවල් ඇරගෙන බලන් හිටියා. මගේ බෙල්ලට තොණ්ඩුව දැම්මට බඩෙන් පිට හරහාත් ලණුවක් දාලා මගේ ජීවිතේ ආරක්ෂා වෙන විදිහට වැඩ කරලයි තිබුණේ. (අවවාදය- කිසිසේත්ම මෙය අත්හදා නොබලන්න) නමුත් ඒක දන්නේ කීප දෙනෙක් විතරයි. ඒ නිසා මට වූ දේ දැකලා ගොඩක් අය කම්පා වුණා. මේ සිදුවීමෙන් පස්සේ ටීටර් එක ඉවර වෙන නිසා මට මොකද වුණේ කියලා දැනගන්න විදිහක් නෑ. හැමෝම හිතුවේ මම මැරුණා කියලයි. ඒ තරම් සංවේදී ආකාරයෙන් ඒක තිබුණා." මේ ටීටර් නැටිල්ලෙන් පසුදින පොළේදී අප්පුහාමි දුටු බොහෝ දෙනෙකු, 'මේ ඉන්නේ එල්ලලා මරපු මිනිහා' යැයි පුදුමයට පත්ව ඇත. මේ චරිතය හේතුවෙන් අප්පුහාමි ප්‍රදේශයේ ජනප්‍රිය පුද්ගලයකු බවට පත් විය.

උප්පැන්නෙ නැති නම

හෙරෝනිස් මාමා, අප්පුහාමි මාමා යන නම්වලට අමතරව ඔහු හැඳින්වීමට ගම්වැසියන් භාවිත කළ නමක් තිබේ. ඒ "කඩියා" යන්නයි. ඉතා වේගයෙන් ඇවිදීම හා වැඩ කිරීම මේ නම ඔහුට ලැබීමට හේතුව බව අප්පුහාමි පියාණන්ගේ බාල දියණිය තිලකාවතී කීවාය. "අපේ තාත්තාත් එක්ක අවිදින්න කාටවත් බැහැ. එයා දිනපතා සැතපුම් දහයක් විතර පයින් ගියා-අවා. වැඩට යද්දී ඒ යන ඕනෑම තැනකට යන්නේ පයින්. මාරවිලට හරි වෙන්නප්පුවට හරි පයින්ම තමයි ගියේ. තාත්තට මෙච්චර ආයුෂ ලැබෙන්නත් ඒක හේතුවක් වෙන්න ඇති. ඒ වගේම තාත්තා හොදට කොස්, කජු කෑවා. ඒ වගේම පලා වර්ගවලට ගොඩක් කැමතියි."

අප්පුහාමි පියාණන්ට වූ අසාධාරණයක් මතක් කළේ වැඩිමහල් දියණිය කමලාවතී මහත්මියයි.

"තාත්තා මැරීගෙන වැඩ කළා. නමුත් තාත්තව සේවයෙන් අයින් කළේ අසාධාරණ විධියට. ලැබුණේ සොච්චමක් විතරයි. ආණ්ඩුවේ ස්ථානවලින් මේ වගේ අසාධාරණ වැඩ ඕනෑ තරම් වෙනවා. ඒත් ඒවා නිවැරදි කරගන්න ලේසි නෑ. ඉතින් අසාධාරණය ඉවසගෙන ඉන්න සිද්ධවෙනවා. අපේ තාත්තට වුණෙත් ඒකයි."

[ප්‍රසාද් පූර්ණමාල් ජයමාන්න ]

මාතෘකා