බලාපොරොත්තු ගොඩක් නැහැ මැරෙනකම් ජනගී කියයි

 ඡායාරූපය:

බලාපොරොත්තු ගොඩක් නැහැ මැරෙනකම් ජනගී කියයි

ශ්‍රී ලංකා ගුවන් විදුලියේ විශිෂ්ට ශ්‍රේණියේ ජන ගී සහ විරිදු ගායන ශිල්පිනියක ලෙස දශක දෙකකට අධික කාලයක්ද රජයේ ගුරු පත්වීම ලද පළමු නර්තන ආචාර්යවරිය ලෙස දශක පහකට ආසන්න කාලයක්ද කලාවට කීර්තිමත් සේවයක් කළ දයා නෙල්ලම්පිටියගේ ජීවන අත්දැකීම් ඇසුරෙන් ලියැවෙන ලිපි පෙෙළ් දහනවවැන්න මෙය වේ.

පැදුරක් නම් නේක වර්ණ, අලංකාර රටා යොදා ගෙතිය හැකිය. කතාවක් නම් උචිත රිද්මයකට, සිත් ගන්නාසුලු සිදුවීම් යොදා ගෙතිය හැකිය. නමුදු මේ සියල්ලෙහි අවසානයක් ඇත. ජීවිතයද එසේය. එහිද අවසානයක් ඇත. එහෙත් සියල්ලෝම මියෙනතුරාම අවසානයක් නොමැති බොහෝදෑ අවසාන කරන්නට වෑයම් කරති. ඇගේ ජීවිතය අවසාන නැත. එසේ අවසන් කරන බවක් පෙනෙන තෙක් මානයකවත් නැත. ඇය බොහෝ දෑ අවසන් කර තවමත් අවසන් කරන්නට නොහැකි ශේෂය අවසන් කරමින් සිටින්නීය. මෙසේ සනිටුහන් වන්නේ ඇගේ කතාවේ අවසානයයි.

පුරා සති දහනවයක් පුරාවට දයා නෙල්ලම්පිටිය නම් වූ ජනගී හා විරිදු ගායිකාව පිළිබඳවද නර්තන ගුරුවරිය පිළිබඳවද තතු ඔබ හමුවේ තැබුවෙමු. මේ එම ජීවිත කතාන්දරයේ අවසාන අදියරයි.

මේ වන විට දයා නෙල්ලම්පිටිය 85 වියැති මිත්තනියකි. ඇගේ ජීවිතයෙන් වැඩි කොටසක් කැපවූයේ තම පෞද්ගලික කරුණු කාරණා සඳහා නොව කලා කටයුතු සඳහාය. ඈ තම පවුලේ කටයුතුවලටත් වඩා කලා කටයුතු සඳහා සිය කාලය ශ්‍රමය දිය කර හැරියාය.

අසූ පස් වියැති ඇය තවමත් ඒ වෙනුවෙන් තම දායකත්වය ලබාදෙන්නීය. ඈ සමඟ කරන කතාබහේදී දයා අප සමඟ හරි අපූරු කතාවක් පැවසුවාය.

"මම තවමත් නැටුම් පන්ති කරනවා. මම මියුසියස් විද්‍යාලයෙන් විශ්‍රාම ගියත් නැටුම් පන්ති නැවැත්තුවේ නැහැ. මගේ කකුල් දෙකට හයිය තියනකන් නටනවා. මට දැන් වයස 85ක්. අර කතාවක් තියනවානේ හැට පැන්නත් වඳුරා බිම යන්නේ නෑ කියලා. ඒ වගේ තමයි මමත්. අසූපහ පැන්නත් දයා නටන එක නතර කරන එකක් නැහැ."

අසූපස් වියැති ඈ තවමත් නීරෝගීව, සෞඛ්‍ය සම්මන්නව, ක්‍රියාශීලීව සිටීමේ රහස එයය. ඇගේ වයසට වඩා බාල කාන්තාවන් සිටිනවාට වඩා බොහෝ ඉදිරියෙන් ඈ තවමත් ජීවිතය ගත කරන්නීය. දයාගේ ගුරු ජීවිතය දශක පහකට ආසන්නය. ඇය ගුවන්විදුලි සංස්ථාවේ ජන ගී ගායිකාවක් ලෙස දශක හතරකට ආසන්න කාලයක් සේවය කර ඇත. තම වෘත්තීය ජීවිතය දෙස ආපසු හැරී බැලූවිට ඇයට කුමක් සිතෙනවා ඇත්ද? මේ ඒ ගැන ඇගේ සිතිවිලිය.

"මගේ ජීවිතේ නැවත ආපස්සට හැරිලා බලනකොට මට ලොකු සතුටක් දැනෙනවා. මම වැඩ ගොඩක් කළා. කලාවට මට කරන්න පුළුවන් උපරිම සේවය කළා. ගරු සම්මාන ලැබුණා, නම්බු නාම ලැබුණා, හොඳ ගෝලයන් පිරිසක් ඉන්නවා. ඒ අය තාමත් මං ගැන හොයලා බලනවා. ඉතින් තව මොනාද කෙනෙක්ට ඕනේ? මම මැරෙනකං මගේ ජීවිතේ සතුටින් ගත කරයි."

එය සැබෑය. ඈ බොහෝ ප්‍රියමනාප ප්‍රීතිමත් කාන්තාවකි. ඈ හැම මොහොතක්ම සතුටින් ගත කරන වගට ඇගේ දිලිසෙන අළුවන් නෙත් යුගල සාක්ෂි දරයි. තම ජීවිතයේ තෘප්තිමත් බව අපට පවසමින් සිටින ඈ හිඳ සිටි පුටුවේ නැවත හරිබරි ගැසී වාඩි වුණේ භාරදූර කර්තව්‍යයක් කරන්නට මෙනි.

"මට ස්තූති කරන්න පිරිසක් ඉන්නවා. මට තනියම මෙච්චර දුරක් යන්න බැහැ. ඒකට මට උදවු කරපු අය බොහොමයි. මගේ මවුපියෝ, සහෝදර සහෝදරියෝ, මගේ සැමියා සහ දරුවෝ, මගේ සහෝදර සහෝදරියන්ගේ දරුවෝ මේ හැමෝම මතක් කරන්න ඕනේ. විශේෂයෙන් සුමනා නෙල්ලම්පිටියව. සුමනා කියන්නේ මගේ අයියා ගුණදාස නෙල්ලම්පිටියගේ දුව. එයා රූපවාහිනියේ සහ ගුවන් විදුලියේ දක්ෂ ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙස කටයුතු කළා. ඒ වගේම ගුවන්විදුලි සංස්ථාවේ මට උදවු උපකාර කරපු හැමෝම සහ අනුලා විද්‍යාලයේ සහ මියුසියස් විද්‍යාලයේ මට අතහිත දුන් හැමෝම සහ මගේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සියල්ලන්ම මතක් කරනවා. මාව සහ සේනව හැමෝම දන්නේ මාධ්‍ය නිසා. මාධ්‍ය නැත්තං කවුරුත් අපිව දන්නේ නැහැ. ඒ නිසා අපිට උපකාර කරපු සියලුම ගුවන්විදුලි, රූපවාහිනී නාලිකාවල සහ පුවත්පත්වල මාධ්‍ය හිතවතුන්වත් මේ වෙලාවේ සිහිපත් කරන්න ඕනේ."

දයාගේ සැමියා වන රාජ්‍ය සම්මානලාභී, සුප්‍රකට විරුදු ගායක කලාභූෂණ සේන ෆොන්සේකා මියගියේ 2012 වසරේය. සේන ෆොන්සේකාගේ මිහිරි හඬට උගුරේ සෑදුණු පිළිකාවක් සතුරු වූයේ ඊට වසර කිහිපයකට ඉහතදීය. ඔහු මියෙනතුරා ඔහුගේ ඇප උපස්ථාන සියල්ලම සිදුවූයේ ඔහුගේ දයාබර බිරිඳ දයා නෙල්ලම්පිටිය අතින්ය. සැමියාගේ නිකම යෑම සිදුවී මේ වනවිට වසර හතක කාලයක් ගත වී ඇති අතර සැමියා නොමැති අඩුවද පුරවමින් තවමත් ඈ හෙළ ජන ගී ගායනයෙහි නිරතවන්නීය.

දයා නෙල්ලම්පිටියගේ වැඩිමහල් පුත් චන්දන නෙල්ලම්පිටිය වාසය කරන්නේ එංගලන්තයේ ලන්ඩන් නුවරය. ඔහු දයා - සේන යුවළගේ කලා කටයුතු ඉදිරියට ගෙන යන අතර සංගීතය හා සබැඳි කටයුතු ගණනාවක් ඔහුගේ දායකත්වයෙන් සිදුවෙයි. දයාගේ දියණිය පමුදිතා විජය පුවත්පත් සමාගමේ ගිණුම් අංශයේ ප්‍රධාන කළමනාකාරවරිය ලෙස කටයුතු කරන අතර ඈ එක් දරු මවකි. දයා සේන යුවළගේ බාල පුතු නන්දිත පෞද්ගලික සමාගමක සේවය කරන අතර ඔහුට පුතුන් දෙදෙනෙක් වෙයි.

දයා - සේන යුවළගෙන් පසුව ජනගී ගායනය සහ නර්තනය ඉදිරියට ගෙන යන්නේ කවුරුද යන වග ඇගෙන් විමසන්නට අප අමතක නොකළෙමු. ඒ පිළිබඳව පැවසූ දයා,

"අපේ දරුවෝ තුන්දෙනාටම විරිදු, ජනගී කියන්න පුළුවන්. එයාලා පොඩි කාලේ අපිත් එක්ක ගායනා කළා. හැබැයි දැන් නම් ඒ අය ඒවගෙන් ඈත් වෙලා. ලොකු පුතා චන්දන තමයි ටිකක් හරි ජනගී පැත්තට යොමුවෙලා වැඩ කරන්නේ. චන්දනගේ පුතා ඒ කියන්නේ අපේ මුණුබුරාත් සංගීතය පැත්තෙන් වෘත්තිය කරන්නේ. නමුත් එයා බටහිර සංගීතයට ලැදි කෙනෙක්. බටහිර සංගීතය සහ ජන සංගීතය ආශ්‍රයෙන් එයා විවිධ නාදරටා නිර්මාණය කරලා තියෙනවා. අනිත් දරුවොත් ජන ගී ගායනා කරනවා හැබැයි අපි කාටවත් ඒක කරන්න කියලා බල කරන්නේ නැහැ."

දයා නෙල්ලම්පිටිය තම ජීවිත කාලය තුළ ජන ගී හා විරිදු කොපමණ සංඛ්‍යාවක් ගායනා කළේ දැයි ගණනය කළ නොහැකිය. ජනගීයට ඇගෙන් ලැබුණු දායකත්වය ඒ තරමට සුවිසල්ය. අනූව දශකයෙන් පසුව කෙමෙන් කෙමෙන් වියැකී යන හෙළ ජනගීය වර්තමානයේ කිසිවකුගේ සවන් වැකෙන්නේ නැති තරමට වියැකී හමාරය. තම ජීවිත කාලයෙන් වැඩි කොටසක් ජනගීය වෙනුවෙන් කැප කළ කෙනෙක්ට ඒ අඩුව කොතරම් දැනෙනවා ඇත්ද?

"දැන් සංගීතය වෙනස්. මිනිස්සුන්ගේ රසවින්දනය වෙනස්. එහෙම වෙනස් වෙන්න ඕනේ. සංගීතය වෙනස් නොවෙන එකත් දුර්වලතාවක්. ඒත් අපේ දේවල් එක්ක වෙනස් වෙනවා නම් හොඳයි කියලා හිතෙනවා. දැන් ඉන්න බාල පරම්පරාවට ජන ගීය කියන්නේ මොකද්ද කියලා, කියලා දෙන්න ඒ අම්මලා තාත්තලාවත් ජනගී දන්නේ නැහැ. ඒක ලොකු දුර්වලකමක් අඩුපාඩුවක් විදිහට මම දකිනවා. තව පරම්පරා දෙකකට පස්සේ අපේ ජනගීය නැත්තටම නැති වෙලා යයි කියන බයකුත් හිතේ තියෙනවා."

තමන්ට සුපුරුදු තම මුව නිතර රැවු දුන් ජනගීය සමාජයෙන් ටිකෙන් ටික ඈත් වන විට ඇයට දැනෙන්නේ මහත් වේදනාවකි. ඒ වේදනාව දයා වචනවලට පෙරළුවේ එසේය. ඈ කියන අන්දමට ලංකාවට පමණක් අනන්‍ය නාදරටා වියැකී ගියහොත් එය ලාංකීය සංගීත කලාවටම සිදුවන ව්‍යසනයකි. පාසල්වලින් සහ මාධ්‍ය ඔස්සේ ඉදිරි පරපුරට එය සම්ප්‍රේෂණය කිරීම මේ සඳහා විසඳුමක් ලෙස ඈ පෙන්වා දෙන්නීය. ජන සංගීතය ආශ්‍රයෙන් නිර්මාණ සිදුකරන අතළොස්සක් වූ නව පරපුර ඈ සිහිපත් කළේ මෙසේය.

"ජනගීයෙන් අලුත් නිර්මාණ කරන කලාකරුවන් පිරිසකුත් මේ අතරේ ඉන්නවා. නව පරපුරේ ගායකයන් තමයි වැඩියෙන් ඉන්නේ. භාතිය - සන්තුෂ්, සමන් ලෙනින්, ජනනාථ වරකාගොඩ, සහන් රන්වල වගේ කලාකරුවන් සමාජයෙන් ගිලිහිලා යන ජනගීයට නව මුහුණුවරක් දීලා මිනිස්සුන්ට ඇහෙන්න සලස්වනවා. ඒ අය ජනගීයට කරන සේවයට මම ස්තුතිවන්ත වෙනවා.

තම ජීවිතයේ අටවැනි දශකයේ මැද භාගය පසුකරමින් සිටින දයාගේ ජීවිතයට සැලසුම් ඇත. සැලසුම් කරන්නට කිසිවක් ඇයට ශේෂ වී නොමැත. තමා විසින් කළ යුතු සියල්ල ඈ වඩා හොඳින් සිදුකර අවසානය. දැන් අයගේ ඉදිරි ජීවිතය පිරී ඇත්තේ බලාපොරොත්තුවලින්ය. මියෙනතුරා ඈ ජීවත් කරන්නේ ඒ බලාපොරොත්තුය. ඇගේ ඉදිරි බලාපොරොත්තු විමසූ විට ඈ අපට පැවසුවේ මෙබන්දකි.

"බලාපොරොත්තු ගොඩක් නැහැ. ජීවිතේ යන විදිහකට දැන් මං ජීවත් වෙනවා. හැබැයි මැරෙනකන් ජනගීයට මගෙන් වෙන්න ඕනේ සේවය කරනවා. මේක ඉදිරියට ගෙනියන්න මගෙන් බාල පරම්පරාවට වෙන්න ඕනේ සේවය දිගටම ඉටු කරනවා. මගේ හඬ තියෙන තාක්කල් ජනගී ගායනා කරනවා."

ජීවිතය පුදුමාකාරය. එය පිරී ඇත්තේ නොසිතූ නොපැතූ අහඹු සිද්ධි දාමයන්ගෙන්ය. සැලසුම් කර ජීවිතය ගත කළ නොහැකිය. එහෙත් සෑම කෙනෙකුටම තම ජීවිතය අර්ථාන්විත කළ හැකිය. දයා නෙල්ලම්පිටිය යනු එසේ තම ජීවිතය අර්ථාන්විත කරගත් තැනැත්තියකි. නර්තනය වෙනුවෙන් ජනගීය වෙනුවෙන් ඈ කළ කැප කිරීම් මේසා යැයි කිව නොහැකි තරම් විසල්ය. ජීවිතයේ සදෑ සමය ගත කරමින් සිටින ඈ තම ජීවිතයේ මඟහැරුණු තැන් ස්පර්ෂ කරමින්, රසබර මතක සිහිගන්වමින් ඉදිරි කාලය ගත කරන්නීය.

[නිර්මාණි බණ්ඩාරනායක]

මාතෘකා