මේ කවුද මොනවද කරන්නෙ: රොහාන් ගුණරත්න

 ඡායාරූපය:

මේ කවුද මොනවද කරන්නෙ: රොහාන් ගුණරත්න

මහාචාර්ය රොහාන් ගුණරත්න ගැන ශ්‍රී ලාංකික අවධානය මුලින්ම යොමු වන්නේ LTTE ත්‍රස්තවාදය යුදමය ක්‍රියාමාර්ගයකින් පැරැදවිය නොහැකි බවට ඔහු කළ ප්‍රකාශයත් සමඟය. LTTE ක්‍රියාකාරීත්වය ගැන ඔහු කළ අනෙක් බොහෝ ප්‍රකාශ මාධ්‍ය අවධානයෙන් ගිලිහෙන්නේ ඒ ගැන හොඳින් දත් බුද්ධි අංශ නිලධාරීන් පිරිසක් ඒ වනවිටත් මෙරට සිටි හෙයිනි. 2001 මාර්තු මාසයේ කාබුල්හි තලේබාන් ත්‍රස්තයන් බාමියන් බුද්ධ ප්‍රතිමාවලට පහර දීමත් සමඟ රොහාන් ගුණරත්න ඉස්ලාම් අන්තවාදී ත්‍රස්ත සංවිධාන ගැන විශේෂඥයෙක් ලෙස ස්වයං හැඳින්වීමක් සමඟ හිටි හැටියේ ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ මතු වූවේය. නමුත් ඔහු පිළිබඳ සැබෑ අවධානය යොමු වන්නේ නිව්යෝර්ක් ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන ගොඩනැඟිල්ලට එල්ල කළ අල්කයිඩා ප්‍රහාරය සමඟය. ඒ වනවිට අන්තවාදී ඉස්ලාම් ත්‍රස්තවාදය සම්බන්ධයෙන් ජාත්‍යන්තර විශ්ලේෂකයන් හෝ විචාරකයන් සිටියේ ඉතා සීමිත පිරිසකි. මේ රික්තකයෙන් ප්‍රයෝජන ගත් රොහාන් ගුණරත්න ජාත්‍යන්තර ඉස්ලාම් ත්‍රස්තවාදය ගැන ලෝක බුද්ධිමතා බවට හැඳින්වෙන්නට පටන් ගැනිණි. ඔහු විසින් රචිත '' කෘතිය 2002 වසරේදී ඉමහත් ජනප්‍රියත්වයක් අත්කර ගැනීම ඔහුගේ මෙම ප්‍රතිරූපය පවත්වා ගැනීමට සහාය විය. නමුත් බොහෝ පිරිසට මඟ හැරුණු එක් කාරණයක් විය. ඒ රොහාන් ගුණරත්නගේ 'කතා' සතුව සාක්ෂි නොමැති වීමයි.

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරයා මෑතකදී අපූරු ප්‍රකාශයක් සිදු කළේය. තමන් සෘජුව සම්බන්ධ දේශපාලන ක්ෂේත්‍රය ගැන බලයේ සිටින ජනාධිපතිවරයකු කළ අවංකම ප්‍රකාශය ලෙස හැඳින්වෙන එහි සිංහල පරිවර්තනය මෙසේය. "දේශපාලනඥයන්ට කළමනාකරණය බැහැ. කතාව තමයි පුළුවන්."

මෙය දේශපාලකයන් සියලුදෙනා අරබයා අඩු වැඩියෙන් සත්‍ය වූ තත්ත්වයකි. එය මෙරට මහජනතාවද හොඳින් තේරුම් ගෙන සිටිති. ඒ ගැන ප්‍රසිද්ධියේ විවේචන කරති. සමාජ මාධ්‍ය තුළ 'පෝස්ට්' හදති. විහිළුවට ගෙන සිනාසෙති. නමුත් ඉන් ඉදිරියට ගොස් ක්‍රියාමාර්ගයක් ගන්නා තරමට නම් ඔවුන්ට මේවා 'සීරියස්' කතා වෙන්නේ නැත. එයට හේතුව පැහැදිලිය. පොදු ජනතා මතය අනුව දේශපාලකයෝ අවස්ථානුකූලව 'ටේලර් මේඩ්' බොරු කියන්න දක්ෂයෝය. ඔවුහු 'කොහොමත්' කපටියෝය. එබැවින් ඔවුන්ගේ ප්‍රකාශ අප එතරම් 'ගණන් ගතයුතු' නැත.

නමුත් යම් ක්ෂේත්‍රයක හෝ ක්ෂේත්‍ර ගණනාවක බුද්ධිමතුන් අරබයා අප සමාජය තුළ තවමත් ඇත්තේ මීට හාත්පසින්ම වෙනස් ආකල්පයකි. බුද්ධිමතකුගේ ප්‍රකාශයකට, දේශනයකට අප සවන් දෙන්නේ ඔහුගේ/ඇයගේ විශේෂඥ වූ ක්ෂේත්‍රයට අදාළව අලුත් යමක් දැන ගැනීමේ අදහසිනි. ඔහුගේ/ඇයගේ නමට මුලින් ලියැවී ඇති කියැවෙන නම්බු නාම, තානාන්තර සහ සුදුසුකම් අපගේ විශ්වාසය වැඩි කරන අතර ඔවුන්ගේ විෂයට පරිභාහිර විෂයයන් සම්බන්ධයෙන් දක්වන අදහස්වලටද වටිනාකමක් ලබා දෙයි. මෙය මෑත ඉතිහාසයේ බොහෝ උගතුන් සහ වියතුන් තම දේශපාලන අභිමතාර්ථ වෙනුවෙන් යොදා ගත් අවස්ථා බහුලව දැකිය හැකිය. අප එය වරදක් ලෙස නොදකින්නේ ඒ සඳහා ඔවුන්ට ඇති අයිතියට ගරු කිරීමක් වශයෙන් පමණක්ම නොවේ. ඔවුන් වෙනත් විෂයයන් දෙසද වඩා දියුණු කෝණයකින් බලනවා යැයි අප සතු විශ්වාසය නිසාය. එයට ගරු කිරීමක් වශයෙන් එවැනි මත ප්‍රකාශ කරන්නෝ අවම වශයෙන් තමාගේ විශේෂඥ වූ විෂය ක්ෂේත්‍රයට අදාළ කාරණාවලදීවත් නිරවද්‍යතාව ආරක්ෂා කිරීමට සහ දේශපාලනික ගැති ස්වභාවය පාලනය කර ගැනීමට උත්සාහ කරති.

නමුත් මෙම අන්‍යෝන්‍ය ගරුත්වයට හානි කරමින් තමාට සෘජුවම අදාළ විෂය, හුදු දේශපාලන ගජ මිතුරෙක් සන්තර්පණය කිරීම සඳහා රිසි ලෙස අර්ථකථනය කරන ඊනියා බුද්ධිමතකු නැවතත් කරළියට පැමිණ තිබේ. මහාචාර්ය රොහාන් ගුණරත්න ගැන 2003 වර්ෂයේදී ඔස්ට්‍රේලියාවේ පළවන 'ද ඒජ්' (The Age) පුවත්පතට ගැරී හියුස් ලිපියක් සම්පාදනය කර තිබිණි. 'අල් කයිඩා හෝ ත්‍රස්තවාදය ගැන අදහස් දැක්වීමක් අවශ්‍ය සෑම මොහොතේදීම රොහාන් ගුණරත්න ඒ සඳහා ඉදිරියට එනවා. නියම වෙලාවට, නියම තැනට ඔහු එනවා.'

මෙය බැලූ බැල්මට රොහාන් ගුණරත්නව වර්ණනා කිරීමක් ලෙස පෙනී ගියද ගැරී හියුස් සිය ලිපිය හරහා දිගින් දිගටම මතු කර ඇත්තේ රොහාන් ගුණරත්නගේ මේ අද්භූත ඉදිරිපත්වීම් ගැනය.

2001 වර්ෂයේ බාමියන් බුද්ධ ප්‍රතිමා විනාශ කිරීමට තලේබාන් සංවිධානය අණ කිරීමත් සමඟ කරළියට පැමිණෙන රොහාන් ගුණරත්න නාමය වඩාත් කතාබහට ලක්වන්නේ 2001 වසරේ සැප්තැම්බර් මාසයේදී ඇමෙරිකා එක්සත් ජනපදයේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන ගොඩනැඟිල්ලට එල්ල වූ ප්‍රහාරයත් සමඟය. මේ වන විට ඉස්ලාමීය ත්‍රස්තවාදය ගැන ලෝක බලවතුන්ගේ අවධානය යොමුව තිබුණේ මඳ වශයෙනි. 9/11 ප්‍රහාරය සමඟ ජාත්‍යන්තර මාධ්‍යට මෙම නව ත්‍රස්තවාදී ක්‍රියකාරකම්හි අභ්‍යන්තරය ගැන අදහස් දැක්විය හැකි විද්වතුන් සොයමින් සිටි කාලයක ඇතිවූ හිස් ඉඩෙන් ප්‍රයෝජන ගත් රොහාන් ගුණරත්න ඉස්ලාමීය ත්‍රස්තවාදය ගැන සියල්ල දත් ජාත්‍යන්තර විශ්ලේෂකයා ලෙස පෙනී සිටියේය.

නමුත් ඊට පෙර ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ ඊළාම් කොටි විමුක්ති අරගලය පමණක් දැන සිටි රොහාන් ගුණරත්න හදිසියේම අන්තවාදී ඉස්ලාම් ත්‍රස්තවාදය ගැන ප්‍රාමාණික විද්වතකු වූයේ කෙසේදැයි යන්න ප්‍රශ්න කිරීම සියලු මාධ්‍ය ආයතනවලට මඟ හැරිණි. මාධ්‍ය අවකාශය තුළ තිබූ රික්තකය කදිමට තම ව්‍යක්ත වාග් මාලාවෙන් පුරවමින් ත්‍රස්තවාදයේ සත්‍ය ඇතුළාන්තය වෙනුවට තම සිතැඟි සහ අතාර්කික උපකල්පන මැනවින් සත්‍ය ලෙස 'ලේබල්' කර ගැනීමට ගුණරත්නට මේ හරහා අවස්ථාව සැලසිණි. ත්‍රස්තවාදය පිළිබඳ ඇකඩමික අධ්‍යයනයන් සහ දේශපාලනය අතර ඇති සම්බන්ධකම් ගැන පැහැදිලිව විග්‍රහ කළ නොහැකි වූ විශ්ලේෂකයන් ගොන්නේ එක් පුරුකක් බවට ගුණරත්න පත්ව තිබිණි. මේ හරහා ත්‍රස්තවාදී ක්‍රියාකාරීත්වය ගැන බොහෝ දියුණු රහස් ඔත්තු සේවා විසින් සොයාගත් දත්ත සහ තොරතුරු අභියෝගයට ලක්වීම පළමු වරට රොහාන් ගුණරත්නගේ ප්‍රකාශ ගැන සැකය මතු කිරීමට ඉවහල් විය. ත්‍රස්තවාදීන්ගේ හැකියාවන් අතිශයෝක්තියෙන් හුවා දක්වන ඊනියා විශ්ලේෂකයන් සහ වැඩිවන ත්‍රස්ත බිය හේතුවෙන් හිටි හැටියේ දියුණු වන ව්‍යාපාර අතර ඇති මූල්‍ය සබඳතා ගැන විදෙස් රාජ්‍යයන්ගේ අවධානය යොමු වී ඇත්තේ මෙවැනි කාරණා හේතුවෙනි.

 

ඔස්ට්‍රේලියානු ආරක්ෂක බුද්ධි සංවිධාන (ASIO) ගුණරත්නගේ 'හිතළු' හරහා සිදුකළ ප්‍රකාශ හෙළාදැකීමට පවා ක්‍රියාකර තිබේ. ජෙමා ඉස්ලමියා ත්‍රස්ත සමූහයේ සන්නද්ධ අංශ නායකයා මෙන්ම අල් කයිඩා සංවිධානය ජ්‍යේෂ්ඨ සාමාජිකයකු ලෙස සැලකෙන හම්බාලි (Hambali) නිරතුරුව ඔස්ට්‍රේලියාවට පැමිණි බවට ගුණරත්න කළ ප්‍රකාශ මෙලෙස ASIO දෝෂදර්ශනයට ලක් විය. අන්තවාදී ඉස්ලාම් ත්‍රස්තවාදය ගැන විශ්ලේෂණය කරන විශ්ලේෂකයන් අතර ජාත්‍යන්තරය තුළ රොහාන් ගුණරත්න කොපමණ කුප්‍රකටව සිටියේද යන්න බ්‍රිතාන්‍යයේ 'ද ඔබ්සර්වර්' (The Observer) පුවත්පතේ අභ්‍යන්තර කටයුතු කර්තෘවරයා මෙන්ම ඉස්ලාම් ත්‍රස්තවාදී සංවිධාන සම්බන්ධයෙන් දීර්ඝකාලීන ගවේෂණාත්මක මාධ්‍යවේදියකු වූ මාර්ටින් බ්‍රයිට් කළ ප්‍රකාශයෙන් හෙළි වේ. "බින් ලාඩ්න් ගැන පවසන අය අතුරින් අඩුවෙන්ම විශ්වාස කළ හැකි පුද්ගලයා ඔහුයි. බ්‍රිතාන්‍ය බලධාරීන් ඔහුව භාවිත කරන්නේ පේනකරුවකු විදිහටයි.''

ඔස්ට්‍රේලියාවේ ප්‍රකට බුද්ධි තොරතුරු විශ්ලේෂකයකු සහ මාධ්‍යවේදියකු වන බ්‍රයන් ටූහී වරක් රොහාන් ගුණරත්න ගැන පැවසුවේ 'ඔහු තමන් විසින්ම නම් කරගත් විශේෂඥයකු' ලෙසයි. 2001 වසරේ නොවැම්බර් මාසයේදී ගුණරත්න විසින් පළ කළ ලිපියක ඔස්ට්‍රේලියානු ව්‍යවස්ථාදායක මැතිවරණයේදී ත්‍රස්තවාදී කණ්ඩායම් මැතිවරණ කොට්ඨාස තුළ ඡන්ද 10,000ත් 20,000ත් අතර ප්‍රමාණයක් වෙනස් කිරීමට උත්සාහ කරනු ඇති බවට සඳහන්ව තිබීම ඔස්ට්‍රේලියානු මාධ්‍ය තුළ හාස්‍යජනක ලෙස මතුකර තිබිණි.

අනියත බියක් රටවල් තුළ වපුරා සිය පටු අරමුණු සාක්ෂාත් කර ගැනීම රොහාන් ගුණරත්නගේ ප්‍රයත්නය බව පැහැදිලිය. ඒ පිළිබඳ කදිම සාක්ෂියක් 2003 වසරේදී නවසීලන්තයෙන්ද වාර්තා විය. එම වසරේ ජනවාරි මාසයේදී නවසීලන්තයේ හැරල්ඩ් පුවත්පතට සුපුරුදු පරිදි වගකීම් විරහිත, සාක්ෂි නොමැති ප්‍රකාශයක් සිදු කරමින් ගුණරත්න හෙළි කළේ එරට ඉස්ලාම් අන්තවාදී ත්‍රස්ත කණ්ඩායම් රාශියක් ක්‍රියාත්මක වෙමින් පවතින බවයි. ඔවුන් මුදල් එක් රැස් කරමින්, අන්තවාදී මත ප්‍රචලිත කරමින් සහ නව පිරිස් බඳවාගනිමින් සිටින බවට ඔහු ප්‍රකාශ කර තිබූ නමුත් නවසීලන්ත මූල්‍ය රහස් ඒකකය එම ප්‍රකාශ සෘජුවම ප්‍රතික්ෂේප කර තිබිණි. ත්‍රස්ත කණ්ඩායම්වලට සම්බන්ධ කිසිදු නිශ්චල හෝ චංචල දේපළක් නවසීලන්තය තුළ නොමැති බවට නවසීලන්ත මූල්‍ය රහස් ඒකකය තහවුරු කර තිබියදී රොහාන් ගුණරත්න කළ ප්‍රකාශය හේතුවෙන් සිදු වූයේ එරට කිතුනු ලබ්ධිකයන් අතර ඉස්ලාම් භක්තිකයන් කෙරෙහි අනවශ්‍ය බියක් වර්ධනය වීමයි. තමන්ගේ හුදු හිතළු ස්වාධීන රාජ්‍යයක අභ්‍යන්තර සමගියට අකුල් හෙළීම දිනෙක ක්‍රයිස්ට්චර්ච් ප්‍රහාරය තරම් දරුණු ක්‍රියාමාර්ගයක් දක්වා වර්ධනය වන බව රොහාන් ගුණරත්න නම් ඊනියා මහාචාර්යවරයා නොදැන සිටියා යැයි පැවසිය හැක්කේ කා හටද?

රොහාන් ගුණරත්න තමන් විසින්ම නිර්මාණය කර ගත් ඉස්ලාම් ත්‍රස්තවාදය ගැන ජාත්‍යන්තර විශ්ලේෂකයා යන නාමය ප්‍රශ්න කිරීමට මෙරට මාධ්‍ය මේ වනතෙක් කටයුතු කර නොතිබුණද නවසීලන්ත මාධ්‍ය දිගින් දිගටම ඔහුගේ සාවද්‍ය මතවාද ප්‍රශ්න කළා පමණක් නොව එම පදනම් රහිත ප්‍රකාශ ගැන ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගන්නා ලෙස නවසීලන්ත ආරක්ෂක අංශවලට බලපෑම්ද කළේය.

මේ වන විට මෙරට පොදු මහජනතාව ඉස්ලාම් අන්තවාදී ත්‍රස්ත සංවිධාන ගැන භීතියකින් සහ සැකයකින් ක්‍රියා කරන පසුබිමක ශ්‍රී ලාංකේය මාධ්‍ය ආයතන මේ ඊනියා විශ්ලේෂකයා තම සම්පත් දායකයා ලෙස භාවිත කිරීම, සෘජුවම මෙරට ආරක්ෂක අංශවලට සිදුකරන අපහාසයක් මෙන්ම රටේ අනතර් ආගමික සහජීවනයට

සිදු කරන දැඩි බලපෑමක් බව මාධ්‍ය පවා වටහාගෙන ඇති බවක් නොපෙනේ. නමුත් මේ ඊනියා ත්‍රස්ත විශ්ලේෂකයා ගැන ඇස් හැර බැලීමට 'නිවැරදි වේලාව' පැමිණි ඇති බව සහෝදර මාධ්‍යවේදීන්ට අපි මතක් කරමු. ඒ සඳහා 'හිත හදා ගැනීමට' ඔබට සාක්ෂි අවශ්‍ය නම් ඔබ වැඩිදුර යා යුතු නොවේ. පසුගිය වසරේ (2018) මැයි මස 13 වැනි දින කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැති 'වියත්මඟ' සංවිධානයේ වාර්ෂික සම්මේලනයේදී එහි ආරාධිත දේශනයක් සඳහා පැමිණ සිටි මේ මහාචාර්යවරයා දේශනය අරඹන මොහොතේදී එහි සිටි විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න කෝපයෙන් නැඟිට ගියේ මන්දැයි විමසා බැලීමම ප්‍රමාණවත්ය.

මෙරට සහෝදර මාධ්‍යට අමතක වූ ප්‍රධානම කාරණය වන්නේ එල්.ටී.ටී.ඊ. සංවිධානය සමඟ පැවැති යුද්ධයේ අවසාන සමයේදී රොහාන් ගුණරත්න එම යුද්ධය අවසන් කිරීමේ හැකියාවක් නැති බව ජාතික සහ ජාත්‍යන්තර මාධ්‍ය හමුවේ පවසමින් මෙරට සන්නද්ධ හමුදා අතිශයින්ම හෑල්ලු කළ බවයි. එවැන්නකු වියත්මඟේ ප්‍රධාන දේශනයක් සඳහා ගෙන්වීම ගෝඨාභය රාජපක්ෂගේ දෙබිඩි පිළිවෙත හෙළි කරන බවත් තවදුරටත් එවැනි අත්තනෝමතික තීරණවලට ගෝඨාභය රාජපක්ෂ එළැඹියොත් තමන්ට තීරණයක් ගැනීමට සිදුවන බවත් එම සම්මේලනයේ සිටි විශ්‍රාමික ආරක්ෂක අංශ නිලධාරීන් පැවසූ බව තවදුරටත් රහසක් නොවේ.

මේ ඊනියා ත්‍රස්ත විශ්ලේෂකයාගේ අත්තනෝමතික, වගකීම් විරහිත ක්‍රියා කලාපය 'කනේ පහරක්' එල්ල වෙන්නේ කැනඩාවේ දෙමළ කොංග්‍රසය අරබයා තම හිතළුවක් ඔස්සේ එල්ල කරන ලද චෝදනාව සමඟය. 2011 වසරේ පෙබරවාරි මාසයේදී 'ලක්බිම'ට ප්‍රකාශයක් කළ රොහාන් ගුණරත්න එල්.ටී.ටී.ඊ. සංවිධානය කැනඩාව තුළ ක්‍රියාත්මක වන්නේ 'කැනේඩියන් ටැමිල් කොංග්‍රස්' (Canadian Tamil Congress) යන නමින් බවට ප්‍රකාශ කර තිබුණේ සුපුරුදු පරිදි කිසිදු සාක්ෂියක් නොදක්වමිනි. මේ හරහා යුද විරෝධී කැනඩාවේ වෙසෙන

ශ්‍රී ලාංකේය දෙමළ ඩයස්පෝරාවේ සැකය සහ අප්‍රසාදය එම සංවිධානය වෙත එල්ල වී තිබිණි. මෙය තම සංවිධානයට සෘජුව සහ වක්‍රව කළ අපහාසයක් බවට කරුණු දක්වමින් කැනඩා දෙමළ කොංග්‍රසය, කැනඩාවේ ඔස්ටාරියෝහි උපරිමාධිකරණයේ නඩුවක් ගොනු කළේය. එම නඩුවෙන් තීන්දු වූයේ එම සංවිධානය නීති විරෝධී සහ ප්‍රචණ්ඩක්‍රියාවලට සම්බන්ධ බවට ගම්‍ය වන ලෙස රොහාන් ගුණරත්න සාවද්‍ය ලෙස අපහාසයක් සිදු කර ඇති බවය. එම අපහාසයට වන්දි ලෙස සහ නඩු ගාස්තු ලෙස කැනඩා ඩොලර් පනස්තුන් දහසක් (රුපියල් හැටනව ලක්ෂයක් පමණ) ගෙවීමට රොහාන් ගුණරත්නට නියෝග කෙරිණි. ගුණරත්නගේ එම ප්‍රකාශ වැරදි හා අසත්‍ය බව ඉතා පැහැදිලි බව මතභේදයකින් තොරව පැවසිය හැකි යැයිද විනිසුරු එහිදී පැවසුවේය. මෙරටින් පිට වැඩිම ශ්‍රී ලාංකේය දමිළ ප්‍රජාවක් සාමාජිකත්වය දරන සංවිධානය වන්නේද කැනේඩියන් ටැමිල් කොංග්‍රසයයි. එම සංවිධානය සහ ශ්‍රී ලංකා රජය අතර මතගැටුම් උග්‍ර කිරීමටත් ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපයට හානි කර යුද අපරාධ වැනි චෝදනා එල්ල කිරීමටත් අවශ්‍ය පසුබිම සැකසීමට මේ නාමික විශ්ලේෂකයා සහාය වූයේ එසේය.

මේ ස්වයං ප්‍රකාශිත ‘ත්‍රස්තවාදය පිළිබඳ ජාත්‍යන්තර විශේෂඥයා' 2014 වර්ෂයේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ ධුර කාලය තුළ ඔහු සිදුකළ වැරදි ගැන අපූරු හෙළිදරව්වක් කළේය. "මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව කළ ලොකුම වැරැද්ද වන්නේ යුද්ධය ජයග්‍රහණය කිරීමෙන් පසු දෙමළ ජාතික සන්ධානයට ලංකාවේ දේශපාලනය කිරීමට ඉඩ දීමයි" යනු එම හෙළිදරව්වයි. ඔහුගේ දේශපාලන විශ්ලේෂණයේ තරම කියා පෑමට මේ ප්‍රකාශයම ප්‍රමාණවත්ය. මහින්ද රාජපක්ෂ පාලන යුගය පිළිබඳ අනේකවිධ විවේචන සහිත පිරිස් පවා එකහෙළාම විරෝධතාව දක්වන ඉහත 'ළිං මැඩි' ප්‍රකාශය තවදුරටත් රොහාන් ගුණරත්න හට මෙරට මාධ්‍ය අවකාශයේ ඉඩ වෙන් කළ යුතුද යන්න බරපතළව සිතා බැලීමට පොලඹවනු ඇත.

එදා මෙරට ආරක්ෂක අංශවලට අපහාස කරමින් එල්.ටී.ටී.ඊ. ය සමඟ යුද්ධය ජයග්‍රහණය කළ නොහැකි බවට තර්ක කළ රොහාන් ගුණරත්න අද සමහර විද්‍යුත් මාධ්‍ය තුළ මෙරට ආරක්ෂක අංශවල හැකියාව ගැන පාරම් බෑම නම් හාස්‍යජනකය. අද ආරක්ෂක අංශ ශක්තිමත් යැයි පවසන අතර 2015 වසරෙන් පසු මෙරට මාර්ග බාධක ඉවත් කරමින් රාජ්‍ය ආරක්ෂාව දුර්වල කළ බවටත් යළි පැවසීම අප තේරුම් ගත යුත්තේද ඔහුගේ පසුගිය සමයේ ක්‍රියා කලාපය හරහාමය. තම ස්ථාවරය එක රැයින් වෙනස් කර හාත්පසින්ම ප්‍රතිවිරෝධී මත දැක්වීම රොහාන් ගුණරත්නට නුහුරු කාර්යයක් නොවේ. අල්කයිඩා ත්‍රස්තවාදීන් සමඟ සම්බන්ධතා පැවැත්වූ බවට සැකපිට ඇෆ්ගනිස්තානයේදී අත්අඩංගුවට ගත් ඩේවිඩ් හික් නම් ඔස්ට්‍රේලියානු ජාතිකයා අල් කයිඩා සාමාජිකයකු නොවන බවත් ඔහු සිවිල් ජනතාව ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් නොකළ බවත් එවැනි ප්‍රහාර සඳහා අවශ්‍යතාවක් ඔහුට නොතිබූ බවත් වරක් ගුණරත්න පවසා තිබිණි. ඉන් සති දෙකකට පසු ඩේඩිඩ් හික් යුද අධිකරණයක් හමුවට පැමිණවීමට තරම් සාක්ෂි තමන් සතු බව ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රකාශ කිරීමත් සමඟ එක් නිමේෂයකින් තම ස්ථාවරය වෙනස් කරගෙන ප්‍රකාශ සිදු කිරීමට මේ ඊනියා විශේෂඥයා පටන් ගත්තේය. ඒ අනුව ඩේවිඩ් හික් අල්කයිඩා වෙතින් විශේෂ පුහුණුවක් ලබා ඇති බවටත් අල් කයිඩා සතුව ඩේවිඩ් වෙනුවෙන් විශේෂ සැලසුමක් පැවති බවටත් මාධ්‍ය ඉදිරියේ නිර්ලජ්ජිතව ප්‍රකාශ කිරීමට ගුණරත්න පසුබට නොවුණේය.

මෙරට ආරක්ෂක බුද්ධි අංශ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය ගැන පූර්ව දැනුම්දීමක් සිදුකර තිබූ බව රහසක් නොවේ. එවැනි ශක්‍යතාවක් ඇති මෙරට බුද්ධි අංශ 2015න් පසු දුර්වල කළ බවට සාවද්‍ය චෝදනා නඟන රොහාන් ගුණරත්න, මෙරට බුද්ධි අංශ සාමාජිකයන් 500ක් පමණ අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම් සිදු කර ඇති බවටද සාක්ෂි රහිත ප්‍රකාශ සිදු කරයි. මෙය මෙරට සියලු ආරක්ෂක හමුදා විසින් ප්‍රතික්ෂේප කරන ලද කාරණයකි. තම ඉතිහාසය තුළ විවිධ රටවලදී සිදුකළාක් මෙන්ම මෙරට ආරක්ෂක අංශ දුර්වල බවත් මෙරටට සුවිශේෂී වූ ත්‍රස්ත තර්ජනයක් ඇති බවත් නැවත නැවතත් හුවා දක්වන ගුණරත්න හෙට දිනයේ ජාත්‍යන්තර රහස් ඔත්තු සංවිධානයක් වෙනස් මතයක් පළ කළහොත් තම ස්ථාවරය වෙනස් කර නොගනීවි යැයි සහතිකයක් දිය හැක්කේ කාටද?

ජාත්‍යන්තර ත්‍රස්ත විශ්ලේෂකයකු ලෙස පෙනී සිටිමින් එම ත්‍රස්ත ව්‍යාපාර පිටුපස ගෝලීය දේශපාලන ආර්ථික ගැටුම්වල යෝධ හස්ත ක්‍රියාත්මක වන බව නොපිළිගන්නා රොහාන් ගුණරත්න, රටවල අනාරක්ෂිතභාවය පිළිබඳ අනියත බියක් පෙන්වමින් ඒ හරහා තම මඩිය තරකරගන්නා ජාත්‍යන්තර කූඨ ව්‍යාපාරවල අතකොළුවක් හෝ දේශපාලන බලවතුන්ගේ පඩිපතෙන් සැනසෙන්නකු නොවන බවට තහවුරුවක් දිය හැක්කේ කාටද?

ලෝ ප්‍රකට හෙවිවේට් බොක්සින් ශූරයකු වූ මයික් ටයිසන්ගේ කදිම ප්‍රකාශයක් රොහාන් ගුණරත්නගේ ක්‍රියාකලාපය නිර්වචනය කිරීමට සුදුසු යැ‍යි යෝජනා කරමි. "සමහරු ඔබ වහල්භාවයෙන් මුදා ගැනීමට උත්සාහ කරන්නේ ඔවුන්ගේ වහලකු ලෙස තබා ගැනීමටයි." ත්‍රස්ත බිය නමැති වහල්භාවයෙන් මුදා ගැනීමට එන මේ ඊනියා විශ්ලේෂකයා හැරෙන්නේ කුමන 'පොල් පැළය' දෙසටදැයි තේරුම් ගැනීමට තවත් විශ්ලේෂණ අවශ්‍ය නැත.


උත්තර නොලද ප්‍රශ්න

මහචාර්ය රොහාන් ගුණරත්නගේ අතීත සහ වර්තමාන ක්‍රියාකාරීත්වය ඇසුරෙන් අපට පැන නඟින ගැටලු සම්බන්ධයෙන් ඔහුගේ පාර්ශ්වයෙන් අදහස් දැන ගැනීමට කිහිප විටක් උත්සාහ කළෙමු. එක් වරක් ඔහුව සම්බන්ධ කර ගත හැකි වූ අතර දුරකථනයෙන් පිළිතුරු දෙනු වෙනුවට 'වට්ස් ඇප්' හරහා ලිඛිතව ප්‍රශ්න යොමු කරන ලෙස ඔහු කළ ඉල්ලීම අනුව ප්‍රශ්න යොමු කළ මුත් පුවත්පත මුද්‍රණය සඳහා යන මොහොත වනවිටත් පිළිතුරු ලැබී නොමැත. කෙසේ වෙතත් ඔහුගේ පිළිතුරු දීමේ අයිතිය සදහා මෙම ප්‍රශ්න තවදුරටත් විවෘතව තැබීමට අපි කැමැත්තෙමු.

එම ප්‍රශ්න කිහිපය මෙසේ දක්වමු..

01. බුද්ධි අංශ සාමාජිකයින් 500ක් පමණ අත්අඩංගුවට අරන් සහ ප්‍රශ්න කිරීම් කර ඇති බවට ඔබ ප්‍රකාශ කළ බව කියැවෙනවා. මෙය සත්‍යයක්ද?

02. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරනවා. දැනට ඇති වාර්තා අනුව අත්අඩංගුවට පත් වී ඇත්තේ 7 දෙනෙක් පමණයි. මේ පසුබිම තුළ ඔබේ ප්‍රකාශය ගැටළු සහගතයි නේද?

03. බුද්ධි අංශ නිලධාරීන් 12,000ක් පමණ සිටින ලංකාවේ, නීතිමය වරදක් වෙනුවෙන් චෝදනා ලැබූ නිලධාරීන් කිහිප දෙනකු අත්අඩංගුවට ගැනීම බුද්ධි අංශ අඩපණ කිරීමක්ද?

04. හමුදා නිලධාරියෙක් වීම මත කුමන වරදක් කළත් එම නිලධාරියා වරදෙන් නිදහස් කල යුතු බව ඔබ විශ්වාස කරනවාද?

06. ලෝකයේ ප්‍රබලම බුද්ධි අංශය තිබෙන ඇමරිකාවටත් අල්කයිඩා ප්‍රහාර එල්ල වුණා. ඔවුන්ට ත්‍රස්තයින් අත් අඩංගුවට ගන්න වසර ගාණක් ගත වුණා. නමුත් ඉතා කෙටි කලකින් පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ වූවන් අපේ බුද්ධි අංශ, ආරක්ෂක අංශ එක්ව සොයා ගන්නවා. දුර්වල බුද්ධි අංශයකට එසේ කළ හැකිද?

07. බුද්ධි අංශ අඩපණ වුණා නම් මේ ප්‍රහාරයට පෙර ත්‍රස්තවාදීන්ගේ නම් සහිතවම හෙළි කිරීමට ඔවුන්ට හැකියාව ලැබුණෙ කෙසේද?

08. LTTE ත්‍රස්තවාදය පැවති සමයේ ඔබ පැවැසුවා මේ ත්‍රස්තවාදය කිසිසේත් අවසන් කළ නොහැකි බව. නමුත් අපේ ආරක්ෂක අංශ යුද්ධය අවසන් කළා. දැන් ඔබ පවසනවා ලංකාවේ හමුදාවට ත්‍රස්තවාදය අවසන් කරන්න පුලුවන් කියලා. ඔබේ කතා පරස්පරයි නේද?

09. එදා ‘යුද්ධය ජය ගත හැකියි’ කියන ස්ථාවරයේ සිටි හමුදා නිලධාරීන් අද ඔබ සමග විවිධ සම්මන්ත්‍රණවලට සහභාගි වෙනවා. ඔවුන් දැන් ඔබ කියන ප්‍රකාශ විශ්වාස කළ යුත්තේ ඇයි?

10. 2015න් පසු ලංකාවෙ මාර්ග බාධක ඉවත් කිරීම නිසා රටේ ආරක්ෂක තත්ත්වය ලිහිල් වුණා යැයි ඔබ පවසනවා. ඔබේ දැනීම අනුව මාර්ග බාධක ඉවත් කළේ කවුද?

11. මාර්ග බාධක ඉවත් කළේ මේ ආණ්ඩුව පත් වීමට පෙර බවට පැවැසෙනවා. ඒ සමයේ ආරක්ෂක ලේකම් ලෙස සේවය කළේ ගෝඨාභය රාජපක්ෂ. ඔබ මේ චෝදනාව එල්ල කරන්නේ ඔහුටද?

12. පසුගිය සමයේ සුදු වෑන් සංස්කෘතියක් පැවති බව බව ප්‍රසිද්ධ රහසක්. ඔබේ දැනීම අනුව මේ පිටුපස සිටියේ කවුද? මේ කතා අසත්‍යක් ලෙස යමෙකු පවසයි නම් ඒ අතුරුදන් වීම් පැහැර ගැනීම් සිදු වූ ආකාරය ගැන විශ්ලේෂකයෙකු ලෙස ඔබේ උපකල්පනය කුමක්ද?

13. 2003 ජනවාරි මාසයේ නවසීලන්තයේ ‘හැරල්ඩ්’ පුවත්පතට ඔබ පැවසුවා, ඉස්ලාම් ත්‍රස්තවාදී සංවිධාන කිහිපයක් එරට තුළ ක්‍රියාත්මක බව. මෙය එරට මුස්ලිම් ප්‍රජාව කෙරෙහි ක්‍රිස්තියානි භක්තිකයින් ගැන ආතතිය වැඩි කිරීමට හේතු වුණු බවට චෝදනාවක් තිබෙනවා. මෙවැනි සාක්ෂි රහිත ඇතැම් ප්‍රකාශ ක්‍රයිස්චර්ච් ප්‍රහාරය වැනි ආතතීන්ට හේතු වුණු බවට එන චෝදනාවලට ඔබේ පිළිතුර කුමක්ද?

14. කැනඩාවෙ දෙමළ කොංග්‍රසය කොටි සංවිධානයත් එක්ක සම්බන්ධ බවට ඔබ කළ ප්‍රකාශයක් නිසා ඔබට විරුද්ධව ඔන්ටාරියෝ අධිකරණයේ දඩයක් නියම වැණා. මේ තත්ත්වය තුළ ඔබ කරන ප්‍රකාශවල වගකීම 100%ක් තවමත් ඔබ භාර ගන්නවද?


පාස්කු ඉරිදා ප්‍රහාරයට හේතුව මෙරට රාජ්‍ය බුද්ධි අංශවල දුර්වල වීම හේතුවෙන් බව හැඟෙන ලෙස මහාචාර්ය රොහාන් ගුණරත්න මහතා පසුගිය දින කිහිපයේදී මාධ්‍ය හරහා ප්‍රකාශ කර තිබිණි. මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් මෙරට ආරක්ෂක අංශ නියෝජනය කරන ඉහළ නිලධාරීන් කිහිප දෙනෙක් අදහස් දැක්වූහ.

කිහිපදෙනෙක් අයින් කළ පළියට බුද්ධි අංශ දුර්වලවෙන්නේ නෑ

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා

පාර්ලිමේන්තු මන්ත්‍රී

ඒ කාලේ මම යුද්ධේ පටන්ගන්නකොට බුද්ධි අංශ කීවේ එල්.ටී.ටී.ඊ යේ ඉන්නේ නවදාහයි කියලා. හැබැයි යුද්ධේ ඉවර වෙනකොට 35,000ක් හිටියා. විසිතුන්දාහක් යුද හමුදාව ඝාතනය කළා. 12,000ක් පණපිටින් ඇල්ලුවා. හැබැයි බුද්ධි අංශ කීවේ ඉන්නේ නවදාහයි කියලා. ඒ කාලේ ඉක්බාල් අතාස් කීවා තිස්පන්දාහක් ඉන්නවා කියලා. ඒ කියන්නේ ඒ කාලේ බුද්ධි අංශවලට වඩා ඉක්බාල් අතාස් ගැන දැනගෙන හිටියා. සමහරු කියනවා බුද්ධි අංශ දුර්වල කළා කියලා. මම වගකීමෙන් කියනවා, බුද්ධි අංශවල දහයක් පහ‍ෙළාවක් අයින් කළා කියලා බුද්ධි අංශ වැටෙන්නේ නෑ. මම හමුදාව බාරගත්ත වෙලාවේ හෙන්දවිතාරන ඇතුළුව ඉහළ හිටපු හතර දෙනාම අයින් කළා. අයින් කරලා කාලතුවක්කු බළකායේ කෙනෙක් දැම්මා. ඊට පස්සේ පාබල හමුදාවෙ කෙනෙක් දැම්මා.නාවික හමුදාව ගහපු නැව් 8ක් ගැන තොරතුරු දුන්නේ යුද හමුදාවේ බුද්ධි අංශය. ඒ නිසා කීප දෙනෙක් අයින් කරපු පළියට රටක බුද්ධි අංශ දුර්වල වෙන්නේ නෑ.

බුද්ධි අංශ බිඳවැටුනු කතාව සම්පූර්ණ බොරු

ලුතිනන් ‍ෙජනරාල් මහේෂ් සේනානායක

යුධ හමුදාපති

යුද හමුදා බුද්ධි අංශ පසුගිය සමයේ බිඳ වැටුණු බවට මම ප්‍රකාශ කළා කියන පුවත ප්‍රතික්ෂේප කරනවා. යම් යම් සිදුවීම් සම්බන්ධයෙන් චෝදනා ලැබූ නිලධාරීන් වෙනත් ස්ථානවලට මාරු කිරීමට සිදු වීම නිසා කෙටි කාලීන පසුබෑමක් පමණක් ඇති වුණේ. නමුත් පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන පූර්ව දැනුම්දීම්, එම ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ සහ අත්අඩංගුවට ගැනීම් ඉතා කඩිනමින් සිදුවීමෙන්ම බුද්ධි අංශ මේ වනවිට ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන බව සනාත වෙනවා.

ආරක්ෂාව තහවුරුයි

මේජර් ජෙනරාල් අරුණ ජයසේකර

නැඟෙනහිර සේනා ආඥාපති

පාස්කු ඉරිදා ප්‍රහාරයට කලින් නැ‍ෙඟනහිර පළාතේ ආරක්ෂාව ලිහිල් කිරීමක් සිද්ධ වුණේ නැහැ. ආරක්ෂාව යුද හමුදාව තහවුරු කරලා තිබුණේ. පැය විසිහතරම හමුදා නිලධාරීන් ආරක්ෂාව සැපයුවා. නමුත් පාස්කු ඉරිදා ප්‍රහාරයක් සිද්ධ වුණා. ඒ බලවේග අපි විනාශ කරලා තියෙනවා. නැඟෙනහිර පළාතේ ආරක්ෂාව දැන් තහවුරුයි.

ආරක්ෂාව වැටිල නෑ

ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක

රටේ සමස්ත ආරක්ෂාව බින්දුවට වැටිලා නෑ. ආරක්ෂාව කියන කාරණය පුළුල් දෙයක්. සතුරා සමඟ යුද්ධ කිරීමේ වාතාවරණයෙන් බේරෙන එක පමණක් නොවේ, සමාජයේ සාමාන්‍ය පැවැත්ම පවත්වාගෙන යෑමට නොහැකි කාරණාවක් තියෙනවානම් එය ආරක්ෂාවට අනතුරක්. ආහාර, බලශක්ති, සමාජ, අධ්‍යාපන, තොරතුරු, තාක්ෂණ සුරක්ෂිතභාව කියන කරුණු රාශියක් එකතු වෙලා ආරක්ෂාව හැදෙන්නේ. ආරක්ෂාවට බාධා වෙනවා කියන්නේ ත්‍රස්තවාදී තර්ජන විතරක් නෙවෙයි. තර්ජන කියන දේවල් හැමදාම තියෙනවා. අවස්ථානුකූලව දවසින් දවස ලෝකයේ වෙනස්වීම් එක්ක තර්ජන කියන දේවල් වෙනස් වෙනවා. එම නිසා තර්ජන කියන දේවල් අතුගාලා මේ ලෝකෙන් සුන්නද්දූලි කරලා දාන්න බෑ. එම තර්ජන පිළිබඳව අධ්‍යයනය කිරීම, සටන් කිරීම කරන්නත් වෙනවා. ඒවා සඳහා ක්‍රියාත්මක විය හැකි ක්‍රමවේදයක් දියුණු කරන්න වෙනවා.

[මංජුල සමරසේකර]