පණ පිහිටුවලා සිතුවම් අදින දහතුන්වියැති සිත්තරා

 ඡායාරූපය:

පණ පිහිටුවලා සිතුවම් අදින දහතුන්වියැති සිත්තරා

චිත්‍රයක් ඇඳීම යනු භාවනාවකට සමවැදීමක් බව බොහෝ දෙනාගේ අදහසයි. දඟකාර වයසේ පසුවන පොඩිත්තකුට නිස්කලංකව පැයක් දෙකක් එකම ඉරියව්වකින් සිට චිත්‍රයක් ඇඳීමට නම් ඒ සඳහා අපූරු සංයමයක්, ඉවසීමක් ඔහු තුළ තිබිය යුතුය. එමෙන්ම මිනිස් රූපයක් හෝ සත්ත්ව රූපයක් හෝ වෙනයම් දෙයක් දෙස බලාගෙන එය ඒ ආකාරයෙන්ම සිතුවමට නැඟිය හැකි නම් ඔහු සැබෑම දක්ෂයෙකි. එවැනි දක්ෂ දරුවකු අපිට මුණ ගැසිණ. මුහුණුපොත ඔස්සේ දුටු ඔහුගේ සුවිශේෂී කලා හැකියාවේ අපූර්වත්වය නිසාම ඔහු පිළිබඳ සටහනක් තැබීමට අප අදහස් කළෙමු.

නමින් ඔහු රවිඳු දහම්ය. තවමත් 13 වැනි වියේ පසුවන රවිඳු ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ 8 වසරේ ඉගෙනුම ලබන දරුවෙකි. බලාගෙන ඇඳීමට උපන්හපන්කම් දක්වන රවිඳු මේ වන විට ප්‍රසිද්ධ පුද්ගලයන් රැසක් ඒ අයුරින්ම සිතුවමට නඟා තිබේ. සිය පුතුගේ දස්කම් පිළිබඳ ඔහුගේ මව වන ලාලනී සමරරත්න අප සමඟ පැවසුවේ මෙලෙසය.

"පුතා පුංචි කාලයේ ඉඳලම චිත්‍ර අඳින්න දක්ෂයි. පුතාගේ චිත්‍ර ඇඳීමේ හැකියාව මුලින්ම හඳුනාගත්තේ පුතාගේ

පෙර පාසල් ගුරුතුමියයි. ඒ ගුරුතුමිය මට කිව්වා පුතා තුළ එයාගේ වයසේ වෙනත් ළමයින්ට වඩා චිත්‍ර ඇඳීමේ විශේෂ හැකියාවක් තියෙනවා කියලා. ඉතින් මම පුතාගේ චිත්‍ර ඇඳීමට පුළුවන් උපරිමයෙන් උදවු කළා. එයාට චිත්‍ර අඳින්න සම්පූර්ණ නිදහස දුන්නා. මම හිතනවා පුතා නිතර නිතර චිත්‍ර ඇඳීම තුළින්ම තමයි මේ ආකාරයට එයාගේ සහඡ දක්ෂතාව දියුණු කරගත්තේ කියලා"

රවිඳුගේ මව පවසන ආකාරයට එසේ චිත්‍ර ඇඳි රවිඳුගේ ඒ හැකියාව වැඩිදියුණු වී ඇත්තේ ගාල්ල රිච්මන්ඩ් විදුමව් සෙවණට ඇතුළත් වීමත් සමඟය. 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වීම ඔහුගේ චිත්‍ර කලා ජීවිතයටද ආලෝකයක් වූ බව රවිඳුගේ මව අප සමඟ පැවසුවාය. රවිඳුගේ කුඩාවියේ ඔවුන් ජීවත් වී ඇත්තේ රවිඳුගේ මවගේ ගම් ප්‍රදේශය වන කැකිරාවේය. රවිඳු පාසල් අධ්‍යාපනය ලබා ඇත්තේද අනුරාධපුර ඉපලෝගම හිරිපිටියාගම ප්‍රාථමික විද්‍යාලයෙනි. 2016 වසරේ 5 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි රවිඳු ලකුණු 179ක් ලබාගනිමින් ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට ඇතුළත් වීමට වරම් ලැබීම නිසා ඔහු ඇතුළු පවුලේ අය ගාල්ලේ පදිංචියට පැමිණ තිබේ. එතැන් සිට රවිඳුගේ චිත්‍ර හැකියාවට අලුත් ආලෝකයක් ලැබී තිබේ. ඒ පිළිබඳ මේ පුංචි සිත්තරා මෙසේ සිහිපත් කළේය.

"රිච්මන්ඩ් විද්‍යාලයට ඇතුළත් වුණාට පස්සේ එහි පැවැත්වුණ 'භාෂා දිනය'ක් වෙනුවෙන් මට ගුරුතුමිය කිව්වා මොනාලිසාව අඳින්න කියලා. මම එදා මොනාලිසාවයි අයිෆල් කුලුනයි ඇන්දා. ඒ චිත්‍ර දෙක හැමෝම අතර කතාබහට ලක්වුණා. ඒකෙන් තමයි මගේ දක්ෂතාව ගොඩක් අය අඳුනගත්තේ. ඒ වගේම 6 වසරේ මගේ චිත්‍ර ගුරුතුමා වූ නිලංක විතානආරච්චි ගුරුතුමා මට ගොඩක් උදවු කළා. ගුරුහරුකම් දුන්නා මගේ හැකියාව දියුණු කරගැනීමට. ඒ වගේම ධම්මිකා සහබන්දු ගුරුතුමියත් සමන් ගුරුතුමාත් මට මේ සඳහා උදවු කරනවා. "

රවිඳුගේ කලා හැකියාව දියුණු වීමට හේතුව ඔහු නිතරම අභ්‍යාසයේ යෙදීම බව රවිඳුගේ මවගේ අදහසයි.

"පුතා ඉගෙනීමට ගොඩක් දක්ෂයි. ඒ වගේම චිත්‍ර ඇඳීමටත් දක්ෂයි. මම හිතන්නේ මේක පුතාගේ සහජ කුසලතාවක්. ඒ වගේම මගේ මව තුළත් මා තුළත් චිත්‍ර ඇඳීමට යම් හැකියාවක් තිබෙනවා. ඒ නිසා පුංචි කාලේ පුතා චිත්‍ර අඳිනකොට මමත් මම දන්න දේවල් කියාදුන්නා. පාසලේ චිත්‍ර ඉගෙනගන්නවාට අමතරව පුතා මේ විදිහට චිත්‍ර අඳින්න කිසිම පන්තියකට ගියේ නැහැ. එයාගේම හැකියාවෙන් නිතර නිතර ඇඳීමෙන්ම තමයි මේ විදිහට හැකියාව දියුණු කරගත්තේ. "

රවිඳු පුතුගේ මෙම අපූර්වතම හැකියාව මෙරට ප්‍රවීණ චිත්‍ර ශිල්පීන්ගේ පවා ඇගයුමට ලක්වී තිබේ. එය තමන්ට සුවිසල් ශක්තියක් සහ ආශීර්වාදයක් වූ බව රවිඳු පැවසීය.

"මම අපේ රටේ ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියෙක් වන බන්දුල හරිස්චන්ද්‍ර මහත්මයාගේ චිත්‍රයක් ඇන්දා. ඒ චිත්‍රය දැකලා එතුමා ගොඩක් සතුටු වුණා. එතුමාව හමුවීමට ලැබීම ගැන මම ගොඩක් සතුටු වෙනවා. එදා එතැන සිටි කෙනෙක් මට කිව්වා "පුතා ඉංග්‍රීසි හෝඩියේ A අකුර නම් මෙතුමා Z අකුර" කියලා. මට ඒ ඇගයීම ගොඩක් වටිනවා."

රවිඳු එසේ පැවසුවේ කුඩා වුවත් ඒ පුංචි සිත කෘතවේදී බවින් අඩුවක් නොමැති නිසාය. තම පුතුගේ කලා දිවියට ශක්තියක් වූවන් පිළිබඳ සිහිපත් කරන්නට ඔහුගේ මවද අමතක කළේ නැත.

"ඒ වගේම තවත් චිත්‍ර ශිල්පීන් කිහිපදෙනෙක්ම පුතාගේ දක්ෂතා අගය කළා. ඒ අතර ප්‍රියන්ත අමරසිංහ මහත්මයා සුවිශේෂියි. එතුමා මගේ ෆේස්බුක් ගිණුමෙන් පුතාගේ චිත්‍ර දැකලා මට කතාකරලා කිව්වා පුතා නමින් ෆේස්බුක් එකවුන්ට් එකක් ඇරලා ඔහුගේ දක්ෂතා ලෝකයට පෙන්වන්න කියලා. ඒ වගේම නිතරම කතාබහ කරලා පුතාට ගුරුහරුකම් දෙනවා. අපි අතරට විතරක් සීමාවෙලා තිබුණු පුතාගේ දක්ෂතා රටට ලෝකයට දකින්න අවස්ථාව ලැබුණේ එතුමාගේ මඟපෙන්වීම නිසයි. ඒ නිසා එතුමා ඇතුළු පුතාට උදවු කරන, දිරිමත් කරන හැමදෙනාටම අපි හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම රිච්මන්ඩ් විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්ඩලයටත්

ස්තුතිවන්ත වෙනවා"

චිත්‍ර ඇඳීමට උපන්හපන්කම් දක්වන මේ පුංචි සිත්තරා ඉගෙනීමටද සමතෙක් බව ඔහුගේ මව අප සමඟ පැවසුවේ නිහතමානීවය. ගණිත අංශයෙන් විවිධ තරගවලට සහභාගි වී දස්කම් දක්වා ඇති රවිඳු ජපන් භාෂාවද හදාරයි. රවිඳුගේ මව ලාලනී සමරරත්න ගෘහණියක වන අතර පියා ලක්ෂ්මන් බණ්ඩාර විශ්‍රාමලත් යුද හමුදා සාමාජිකයෙකි. පවුලේ බාලයා වන රවිඳුට වැඩිමහල් සොහොයුරෙක්ද සිටී. අධ්‍යාපන කටයුතු අතර චිත්‍ර ඇඳීම සඳහා ඉඩ ප්‍රස්ථාව සලසා ගන්නා ආකාරය ගැනද අපි රවිඳුගෙන් විමසුවෙමු.

"ඉස්කෝලේ ගිහින් ආවට පස්සේ පාඩම් වැඩ ඉවර වෙලා මම චිත්‍ර අඳිනවා. ඉගෙනීමේ වැඩවලට බාධාවක් වෙන විදිහට චිත්‍ර අඳින්නෙ නැහැ. නමුත් මගේ විනෝදාංශය චිත්‍ර ඇඳීමයි. විවේකයක් තියෙන ඕනම වෙලාවක මම චිත්‍ර අඳින්න තමයි කැමති. ඒ වගේම චිත්‍ර ගැන මම අන්තර්ජාලය තුළින් වැඩිදුර සොයාබැලීම් කරනවා. ඒ තුළින් මගේ දැනුම දියුණු කරගන්න උත්සාහ කරනවා. චිත්‍ර අඳිනවා වගේම මම ක්‍රීඩා කරන්නත් කැමතියි. ඒවාත් කරනවා. "

දරුවකුගේ සංවර්ධනය සඳහා Head, Hand, Heart (හිස, අත සහ හදවත) හෙවත් 'ත්‍රී එච් සංකල්පය' දියුණු කරගැනීම කෙතරම් වටිනවා දැයි සනාථ කිරීමට රවිඳුගේ එවදන් කදිම සාක්ෂියකි. බලාගෙන ඇදීමට උපන්හපන්කම් දක්වන රවිඳු මේ වන විට ඇඳ තිබෙන චිත්‍ර අතර මරිය වහන්සේ, මොනාලිසා, තුන්පත් රෑන, කලාකරුවන්ගේ සිතුවම් මෙන්ම පසුගිය දිනවල බෝම්බ ඇතුළු පුපුරන ද්‍රව්‍ය සොයාගැනීමට ආරක්ෂක අංශවලට සහාය වූ 'ඩෲෆි' නම් සුනඛයාද වේ.

"සාමාන්‍යයෙන් මිනිස් රූපයක් බලාගෙන අඳින්න මට පැය 5ක විතර කාලයක් ගතවෙනවා. "

එතරම් කාලයක් මිඩංගු කොට රවිඳු එවැනි චිත්‍රයක් කෙතරම් සජීවී ලෙස අඳිනවා දැයි ඔහු මෙතෙක් ඇඳි සිතුවම් සාක්ෂි දරයි.

"පුතාගේ හැකියාව ගැන අපිට ගොඩාක් සතුටුයි. ඒ වගේම එයාගේ හැකියාව දියුණු කරගන්න වචනයකින් පවා උදවු කරන හැමෝටම අපි ස්තුතිවන්ත වෙනවා. මට හරිම සතුටුයි මමත් චිත්‍රවලට ගොඩක් කැමතියි. නමුත් මට ඒ ගැන වැඩිදුරක් යන්න බැරිවුණා. නමුත් පුතා එයාගේ පුංචි වයසට මේ දක්වන දක්ෂතා ගැන මම ගොඩාක් සතුටු වෙනවා. "

රවිඳුගේ මව ඔහුගේ දක්ෂතා පිළිබඳ නිහතමානීව සතුටු වන්නීය.

"අම්මයි තාත්තයි මගේ හැකියාවන් දියුණු කරගන්න උපරිමයෙන්ම උදවු කරනවා. ඒ ගැන මට ගොඩක් සතුටුයි. අධ්‍යාපන කටයුතු හොඳින් කරගෙන ගණිත අංශයෙන් ඉදිරියට යෑම තමයි මගේ බලාපොරොත්තුව. ඒ අතරම චිත්‍ර හැකියාවත් තවත් දියුණු කරගන්න බලාපොරොත්තු වෙනවා. මගේම චිත්‍ර ප්‍රදර්ශනයක් පැවැත්වීමටත් බලාපොරොත්තුවක් තිබෙනවා. "

රවිඳු පවසන්නේ අනාගතය පිළිබඳ පැතුම් දල්වාගෙනය. සිය හැකියාවන් තුළින් මවුබිමේ නම ලෝ පතල කිරීමද මේ පුංචි සිත්තරාගේ සිත තුළ ඇති අවිහිංසක ප්‍රාර්ථනාවකි.

[සුරේකා නිල්මිණි ඉලංගකෝන්]

මාතෘකා