රාජ්‍ය සුබසාධන ක්‍රමය තුළ පවතින ගැටලු සහ අඩුපාඩු

රාජ්‍ය සුබසාධන ක්‍රමය තුළ පවතින ගැටලු සහ අඩුපාඩු

බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ දිළිඳු රාජ්‍යයක් වූ ශ්‍රී ලංකාවේ ආර්ථික පරිහානිය අවම කිරීම උදෙසා 1939 අංක 30 දරන දිළිඳු නීතිය යටතේ රාජ්‍ය මන්ත්‍රණ සභාව මඟින් විවිධ ආධාර ක්‍රම සපයන ලදි. ඒ කාලයේදී තාවකාලික සහන සැපයීම සඳහා පිං පඩි දීමනා, මාතෘ සුබ සාධන, වෘත්තීය පුහුණුව ලබාදීම, පුනුරුත්ථාපන වැඩසටහන්, රැකී රක්ෂා ලියාපදිංචි කාර්යාල පිහිටුවීම වැනි වෙනත් සමාජ සේවා බොහෝමයක් ක්‍රියාත්මක විය. ඊට අමතරව විශ්‍රාම දීමනා හා ශාරීරික දුර්වල අය සඳහා දීමනා ලබා දෙන ලදී.

1948දී නිදහස ලබා ගැනීමෙන් රටේ ජනගහනයෙන් 70%කට වැඩි පිරිසක් අවම ආදායම් ලබන තත්ත්වයේ හෝ නොසිටියේය. නිදහසින් පසු සුබසාධන රාජ්‍ය ප්‍රතිපත්තීන් මෙරට ක්‍රියාත්මක වූ අතර නිදහස් සෞඛ්‍ය හා නිදහස් අධ්‍යාපනය ප්‍රමුඛ විය. 1940 - 1953 කාලයේදී මෙරට සලාක ක්‍රමය යටතේ ආහාර ද්‍රව්‍ය බෙදා දීම වැනි ක්‍රම ක්‍රියාත්මක විය. මේ කාලයේදී මුළු රාජ්‍ය ආදායමෙන් 17%ක් සහනාධාර සඳහා වෙන් කරන ලදී. ඒ අනුව පාසල් ළමුන් සඳහා කිරි ලබා දීමේ වැඩසටහන්, ආහාර මුද්දර ක්‍රමය, 1985දී අංක 32 දරන දිළිඳු සහන පනත ක්‍රියාත්මක කිරීම ජනසවිය වැඩසටහන ක්‍රියාත්මක කිරීම ප්‍රධාන අවස්ථා ලෙස හඳුනාගත හැක. 1996දී ජන සවිය වැඩසටහන සංශෝධනයන් සිදුකර එම වැඩසටහන නීත්‍යනූකූල ලෙස සමෘද්ධි වැඩසටහනට පවරනු ලැබීය. සමෘද්ධි වැඩසටහන එදා සිට අද දක්වා දුප්පත්කම තුරන් කිරීම සඳහා ක්‍රියාත්මක වන විශාල වැඩසටහනකි. රජයේ විවිධ සුබසාධන ප්‍රතිපත්ති හේතුවෙන් වර්තමානයේ මානව සංවර්ධන දර්ශකයේ 76 වෙනි ස්ථානයට පත්වීමට ශ්‍රී ලංකාවට හැකි වී තිබේ. සමාජ සුබසාධනය, සෞඛ්‍ය හා පෝෂණය,අධ්‍යාපනය, කෘෂිකර්මය සඳහා සහනාධාර සහ අනෙකුත් සහනාධාර යන අයිතමයන් ඔස්සේ රජය පසුගිය වසර වන විට සමස්ත රාජ්‍ය වියදමින් 21‍%ක් සමාජ සුබසාධනය සහ ආරක්ෂණය සඳහා වෙන් කොට ඇත.

වසර ගණනාවක් පුරා ක්‍රියාත්මක වූ රාජ්‍ය සුබසාධන පද්ධතියේ පවත්නා අඩුපාඩු හා ඒවා ක්‍රියාත්මකවීමේදී ඇතිවන ගැටලු පිළිබඳ විවිධ පර්යේෂණ මඟින් අනාවරණයන් සිදුකර ඇත. එම සමාජ - ආර්ථික පර්යේෂකයන්ගේ අදහස් පහතින් දැක්වේ.

සියලු දෙනාට එක සමාන සහනාධාරයක් ලබාදීම ඵලදායී නැහැ

මහාචාර්ය සේමසිංහ වන්නිනායක

ආර්ථික විද්‍යා අංශය, කැලණිය විශ්වවිද්‍යාලය

දරිද්‍රතාව පුද්ගලයාගෙන් පුද්ගලයාට, කුටුම්බයෙන් කුටුම්බයට, පවුලෙන් පවුලට වෙනස් වෙනවා. එක් පවුලක එක් පුද්ගලයෙකුගේ දුප්පත්කමට තුඩු දෙන හේතුව නෙමෙයි තවත් පුද්ගලයෙක්ගේ දුප්පත්කමට හේතු වෙන්නෙ. එතකොට සියලුම දෙනාට එක විදියේ සහනාධාරයක් දීම ඒ පවුල් ඒ පුද්ගලයන් දරිද්‍රතාවයෙන් ගොඩගැනීමට ඵලදායිව දායකත්වයක් සපයන්නේ නැහැ.

------------------

සහන ලෙස මුදල් ලබා දීම වෙනස් විය යුතුයි

මහාචාර්ය එස්. ටී. හෙට්ටිගේ

සමාජ විද්‍යා අංශය, කොළඹ විශ්වවිද්‍යාලය

ඕනෑම සමාජයක සෘජු ආධාර මත ජීවත්වෙන යම් පිරිසක් ඉන්නවා. හේතුව ඒ අයට නිසි ආදායම් මාර්ගයක් නොමැති වීම සහ ආදායමක් උපයා ගැනීමට හැකියාවක් නොමැතිවීම. එවැනි ජන කොටස් සඳහා යම් මූල්‍යයමය ආධාරයක් ලබාදිය යුතුයි. නමුත් දිගින් දිගටම සහන ලෙස මුදල්මය වශයෙන් ලැබෙන ඒවාට පමණක් සීමා නොවී ඒ අය සවිබල ගැන්වීමේ වැඩසටහන් සමග ඒකාබද්ධ වී සිදු වෙනවානම් ඒ තුළින් මං හිතන්නෙ ඒ සුබසාධන සේවාවන් ගෙන් අපට ලබාගත හැකි ප්‍රතිලාභ වැඩි වෙනවා.

------------------

ප්‍රතිලාභීන් තෝරා ගැනීමේ ක්‍රමවේදය කොතරම් සාධාරණද කියන ප්‍රශ්නය තිබෙනවා

මහාචාර්ය ටියුඩර් කාලිංග

ආර්ථික විද්‍යා අංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය

සහනාධාර විශාල සංඛ්‍යාවකට ලැබෙනවා. හැබැයි එක්කෙනෙකුට ලැබෙන ප්‍රමාණය ඉතාම කුඩයි. ඉතින් එකෙන් ඒගොල්ලොන්ට ඒගොල්ලොන්ගේ දිළිඳු බවෙන් මිදෙන්න පුළුවන්කමක් නැහැ. ඇත්ත වශයෙන්ම සිදුවෙන්නේ පරාදීන මානසිකත්වයක් බිහිවීම විතරයි. ඒ කියන්නේ හැමදෙයක්ම රජයෙන් හෝ වෙනත් ආයතනයකින් දෙන තුරු බලාගෙන සිටීම. ඒවගේම මේ සුබසාධන සේවාවන් සඳහා පුද්ගලයන් හෝ පවුල් තෝරා ගැනීම කොයිතරම් දුරට සාධාරණ පදනමකින් සිද්ධ වෙනවද කියන එක ප්‍රශ්නයක්.

------------------

සහනාධාර ප්‍රතිපත්තීන් කෙටි කාලීන විය යුතුයි

ආචාර්ය වසන්ත අතුකෝරළ

ආර්ථික විද්‍යා අංශය , පේරාදෙණිය විශ්වවිද්‍යාලය

රටක සහනාධාර ප්‍රතිපත්තියක් සුබසාධන ප්‍රතිපත්තියක් කෙටි කාලීනව ක්‍රියාත්මක කළාට කමක් නැහැ. නමුත් දිගු කාලීනව විය යුත්තේ පුද්ගලයන්ට තමන්ගේ ආත්ම ශක්තිය අනුව නැඟීසිටීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම සඳහා තමයි රජය විසින් එම මුදල් වියදම් කළ යුත්තේ. විශේෂයෙන් ආයෝජන අවස්ථා ඉහළ නැංවීම සහ දිළිඳු පවුල් සවිබල ගැන්වීමේ ක්‍රියාදාම තුළින් රජය මෙයට පිළිතුරු සෙවිය යුතුයි. කාලීන ප්‍රතිපත්තිය විය යුත්තේ එයයි.

------------------

ලැබෙන සහනාධාර දීමනාව ප්‍රමාණවත් නැහැ

මහාචාර්ය දිලිනි ගුණවර්ධන

ආර්ථික විද්‍යා අංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය

ප්‍රධාන වශයෙන් මෙතනින් කෙරෙන්නේ දුප්පත්ම අයට සංක්‍රාම ගෙවීමක් ලබා දීම හා ඒ අවට වැඩසටහන් කිහිපයක්. නමුත් ඇත්තටම අපි සලකලා බැලුවොත් සංක්‍රාම ගෙවීම් ප්‍රමාණය ඉතාම අඩුයි. දැන් අපි අනිත් රටවල් එක්ක සලකලා බැලුවොත් ලංකාවේ සංක්‍රාම ගෙවීම් එක පුද්ගලයකුට නැත්නම් එක පවුලකට ලැබෙන සංක්‍රාම ගෙවීම් ප්‍රමාණය ගොඩක් අඩුයි. නමුත් විශාල පවුල් ප්‍රමාණයකට මේ සංක්‍රාම ගෙවීම ලැබෙනවා.

------------------

ඉලක්කයක් නොමැති වීම ප්‍රධාන අඩුපාඩුවක්

මහාචාර්ය ඩබ්ලිව්. විමලරතන හිමි

අංශ ප්‍රධානි - ආර්ථික විද්‍යා අංශය, කොළඹ විශ්වවිද්‍යාලය

ප්‍රධානම අඩු පාඩුව තමයි ඉලක්කයක් නැතිකම. කවද්ද දුප්පත්කම නැති කරන්නේ? ප්‍රදේශයක් ගත්තත් ගමක් ගත්තත් පවුලක් ගත්තත් හැමදාම දුප්පත්කම ඒ මට්ටමේම තියාගන්නවද අපි ඉලක්ක කරලා අවුරුදු පහක් ගියාට පස්සේ අවුරුදු දහයක් ගියාට පස්සෙ මේ දුප්පත්කම නැති කරනවද නැත්නම් හැමදාටම දුප්පත්කම පිටු දැකීමේ ව්‍යාපාර අරගෙන යනවද කියලා සිතීමට අවශ්‍ය වෙනවා. දෙවන අඩුපාඩුව වන්නේ නුසුදුස්සන් වැඩසටහන් තුළට ඇතුළත් කර ගැනීම. ප්‍රතිලාභීන් තෝරා ගැනීමේ ක්‍රමවේදය නිවැරදිව කිරීමෙන් මෙම ගැටලු අවම කර ගත හැකියි.

------------------

සුබසාධන ප්‍රතිපත්ති දේශපාලනීකරණය වීම වැළැක්විය යුතුයි

ආචාර්ය නාලිනි හෙන්නායක

භූගෝල විද්‍යා අංශය , පේරාදෙණිය විශ්වවිද්‍යාලය

මේ සමාජ සුබසාධන ප්‍රතිපත්ති දේශපාලනීකරණය වීම ඉතාමත් බැරෑරුම් කාරණයක් සහ වැළැක්විය යුතු කාරණයක්. මොකද සමාජ සුබසාධන ප්‍රතිපත්තියක් එන්නෙ ඡන්දයක් කිට්ටු කරලා නම් එහෙම නැත්නම් යම් කිසි දේශපාලන පක්ෂයක අවශ්‍යතා උදෙසා නම් එතකොට කිසිසේත්ම අපේ අරමුණ වෙන්නේ දුප්පත්කම තුරන් කරලීම නෙමේ.

------------------

ආධාර මතම යැපීම තීරණය වීම ගැටලුවක්

මහාචාර්ය සිරිමල් අබේරත්න

ආර්ථික විද්‍යා අංශය , කොළඹ විශ්වවිද්‍යාලය

ඉලක්කගත වැඩසටහන් නොවීමත් ඉලක්ක කරගත් කාල සීමාවකට තීරණය නොවීමත් හේතු නිසා ඇත්ත වශයෙන්ම සමහර අය මේ සහනාධාර වගේ දේවල්වලින් දිගින් දිගටම පරම්පරාවෙන් පරම්පරාවට පවා ඒවා මත්තෙම තමන්ගේ යැපීම තීරණය කරගන්නවා. ඒ නිසාම යැපුම් මානසිකත්වයක් නිරමාණය වෙනවා.

------------------

මාළුවෙක් දෙනවට වඩා බිලී කොක්කක් දෙන්න

මහාචාර්ය නවරත්න බණ්ඩා

ආර්ථික විද්‍යා අංශය, කැලණිය විශ්වවිද්‍යාලය

දුප්පත්කම කියලා කියන්නෙ නිකන් කන්න දෙනවා කියන එක නෙමේ. ඒ කියන්නෙ දුප්පතකුට කවදාවත් නිකන් කන්න දුන්නට එයා කවදාවත් ඒ දුප්පත්කමින් මිදෙන්නෙ නැහැ. එහෙම දෙන්න දෙන්න ඒ පුද්ගලයන් සද්ද නැතුව නිකන් ඉන්නවා. හැබැයි අපිට පුළුවන් නම් අර කතාවක් තියෙනවා මාළුවෙක් දෙනවට වඩා බිලි කොක්කක් දෙන්න කියලා. ඒක තමා අපි කියන්නේ ග්‍රාමීය ප්‍රදේශවල රැකියා උත්පාදනය කරන්න ඕනේ කියලා.

කාලයක් තිස්සේ මේවගේ වැඩසටහන් දේශපාලනීකරණයවීම නිසා හුඟක් වෙලාවට මේ සහන නොලැබිය යුතු අයටත් ඒවා ලැබීමේ ප්‍රවණතාවක් තියෙනවා. ඇත්ත වශයෙන්ම ලැබිය යුතු අයට උපරිම ප්‍රතිලාභ නොලැබීමත් නොලැබිය යුතු අයට අනවශ ලෙස සුබසාධක සම්පත් ගලාගෙන යෑමත් නිසා මං හිතන්නේ විශාල ප්‍රශ්න මතු වෙලා තියෙනවා.

------------------

අරමුදල් කාන්තාවන්ට ලබාදීම පවුලේ නඩත්තුවට වැදගත්

මහාචාර්ය අමලා ද සිල්වා

ආර්ථික විද්‍යා අංශය, කොළඹ විශ්වවිද්‍යාලය

අපේ රටේ අරමුදල් ලබාදුන් පසු අරමුදල් පත් වෙන්නේ පිරිමි පුද්ගලයාට. යම් අවස්ථාවලදි අධ්‍යයනයන්වලදි පෙනී ගිහින් තියෙනවා මේ මුදල් අවශ්‍ය ප්‍රයෝජනය නොගෙන වෙනත් ප්‍රයෝජනයන් සඳහා වියදම් වන අවස්ථාවන් තිබෙන බව. මේ නිසා කුටුම්බය තුළ මේ මුදල් වඩා සාර්ථකව යොදා ගැනීමට නම් සමහරවිට එය කාන්තාවට ලබා දීම තුළින් පවුලේ නඩත්තුව වඩා හොඳින් සිදුකළ හැකි බව විග්‍රහයන්වලින් ඔප්පු වෙලා තියෙනවා.

------------------

මිනිස්සුන්ට ණය දුන්නට දුප්පත්කම නැති වෙන්නේ නැහැ

මහාචාර්ය එච්. ඩී. කරුණාරත්න

කළමනාකරණ හා මූල්‍ය පීඨය , කොළඹ විශ්වවිද්‍යාලය

නිදහසින් පස්සේ අපේ රටට විවිධ සුබසාධන වැඩසටහන් හඳුන්වල දීල තිබෙනවා. නිදහස් ලබන විට මෙරට ජනතාවගෙන් 70‍%ක් විතර ඉතා දිළිඳු මට්ටමේ හිටියේ. ඒ නිසා තමයි නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය, පෝෂණ ද්‍රව්‍ය නොමිලේ ලබාදීම, යටිතල පහසුකම් දියුණුකිරීම වගේ සුබසාධන ප්‍රතිපත්ති ක්‍රියාත්මක වුණේ. ඒ ප්‍රතිපත්ති තුළින් සමස්ත සමාජයම ආවරණය වුණා. එහි ප්‍රතිඵල තිබුණා. 1981දී නොබෙල් ත්‍යාගලාභී අමාත්‍ය සෙන් කියනවා ශ්‍රී ලංකාවේ දිළිඳුකම තුරන් කිරීමට රජයේ කාර්යභාරය විශාල වශයෙන් වැදගත් වුණා කියලා. නමුත් අද වන විට තත්ත්වය වෙනස් වෙලා තියෙනවා. අද මිනිස්සුන්ට ණය දුන්නට දිළිඳුකම නැති වෙන්නෙ නෑ ඔවුන්ගේ මූල්‍ය සාක්ෂරතාව නැත්නම්.

මාතෘකා