කිරි අම්මාගේ නමින් කැම්පස් එකක් හදන ඩිජිටල් පරපුරේ මුණුබුරා

 ඡායාරූපය:

කිරි අම්මාගේ නමින් කැම්පස් එකක් හදන ඩිජිටල් පරපුරේ මුණුබුරා

නාලක සේනාධීර

‘නාලක සේනාධීර’ තරුණ පරපුරේ අය අතර නම් වඩා ප්‍රචලිත නමකි. තමන්ට නොලැබෙන දෙයකින් නමුත් ලෝකයට දේවල් ඉතිරි කරන්නට හැකි බව සපථ කර ඇති මේ කොල්ලාට ඇත්තේ දැඩි හිතකි. එක් වරක් නාලක විල්පත්තුවේ වන විනාශයට කදිම පිළිතුරක් ගෙනාවේය. ඒ, තමන්ම කුඹුක් පැළ සියයක් විල්පත්තු රක්ෂිතයේ

රෝපණය කරමිනි. නාලකගේ මෙම ක්‍රියාව නිසා සමාජය කොතරම් කැලඹුවේද කිවහොත් එය මේ වන විට බාල, තරුණ, වැඩිහිටි කා අතරත් හොඳ පුරුදු ගොඩට එකතු වන දෙයක් වී ඇත. දැන් විශ්වවිද්‍යාල සිසුන්, සමාජ ක්‍රියාකාරීන්, මෙන්ම දරුවන් මවුපියන් ඇතුළු ප්‍රසිද්ධ චරිත නාලකව පූර්වාදර්ශයට ගනිමින් සිටිති. අවුරුදු විසි හතක තරුණ කොල්ලකු විසින් ඒසා සමාජයට ඇති කරන්නාවූ මේ යහපත් කැලඹීම පිළිබදව සොයා බලන විට එහි පණිවිඩය සමාජයට ලබා දෙන්නට සුදුසුම වෙලාවත් මේ යැයි සිතේ.

නාලක මොකක්ද මේ කරන්නේ?

මේ සෑම දෙයක්ම අවසානයේ ඉතුරු වෙන්නේ සොබාදහම විතරයි කියලා තේරුම් ගත්ත මිනිහෙක් මම. අප සියලු දෙනා කොයිතරම් උසස් විදිහට හරි පහත් විදියට හරි කොහොම කොයි හැටි ජීවත් වුණත් අවසානේ මේ සියල්ල එකතුව නැති වෙලා වාෂ්ප වෙලා යනවා. නමුත් සොබාදහම ඉතුරු වෙනවා. අන්න ඒ නිසයි මට උවමනා ඒ සොබාදහම වෙනුවෙන් යමක් ඉතිරි කරලා යන්න. එතකොට මං නැති වුණත් මගේ ඩේටා බේස් එක ඊළඟ පරම්පරාවට පාරක් හදනවා යහපත් සමාජයකට.

මෙහෙම සිතිවිල්ලකට බලපාපු හේතුව?

අපේ ගමේ තියෙනවා කුණු කන්දක්. ගම දැදිගම. කෑගල්ල දිස්ත්‍රික්කයේ ඓතිහාසික වටිනාකම් රැසකින් හෙබි රමණීය ග්‍රාමයක්. 2018 මම තනියම බයිසිකලයක් පදිනවා පේදුරුතුඩුවේ ඉඳන් දෙවුන්දරතුඩුවට, මට උවමනා වුණේ අපේ ගමේ තියෙන මේ කුණු කන්ද ඉවත් කරන්න බලධාරීන්ගේ, නිලධාරීන්ගේ අවධානය ගන්නයි. මේකෙන් පරිසරයට, ජීවීන්ට වෙන හානිය ගැන හඬක් නඟන්න තනි මිනිහෙක් වුණු මට කවදාවත් විශාල, සරසපු වේදිකාවක් නොලැබෙන බව දන්නා නිසා මගේ අරමුණට යන්න තමයි මම ඒ ක්‍රමය යොදා ගත්තේ. මගේ ඒ උත්සාහය වෙනුවෙන් සමාජ කතාබහක් ඇති වුණා. මාධ්‍ය පවා ඒ ගැන කතා කරලා තිබුණා. ගමනෙන් පසු මාසයක් වගේ ඇතුළත කුණු දාන එක නතර වුණා. ඒ සිදුවීමත් එක්ක තමයි මට හිතුණේ අපිට ලෝකය මීට වඩා යහපත් කරන්න බැරි නෑ කියලා.

විසිහත කියන්නේ ඉලන්දාරි වයස. යමක් හරි හම්බ කර ගන්නැතුව මේ මොන අඩව්වක්ද අල්ලන්නේ කියලා හිතෙන්නෙම නැද්ද?

මම පුංචි කාලේ ඉඳන්ම ඇතිදැඩි වෙන්නේ කිරි අම්මාත් එක්ක. එයා දැනුම, ආකල්ප අතින් ඉතා උසස් චරිතයක්. මගේ පුංචි මනස සංවර්ධනය වෙන්න එයා තමයි ප්‍රධානව බලපෑවෙ. යමක් හරිහම්බ කර ගන්නවා කියලා අන්තිමටම වෙහෙසිලා හිස් අතින් අපි නික්මෙනවාට වඩා යමක් ලෝකයට හරිහම්බ කරලා දීලා ඒ ලෝකය අදට වඩා හෙටයහපත් වෙනවා දකින සතුට එක්ක නික්මෙන එක තමයි මගේ ක්‍රමය.

බයිසිකලයක් පැදගෙන පටන් ගත්තු චාරිකාව දැන් තියෙන්නේ කොයි හරියෙද?

අපි දීපව්‍යාප්තව ලංකාවේ මුහුදු වෙරළ පිරිසුදු කිරීමේ වැඩසටහනක් දියත් කරමින් ඉන්නවා. මේ වන විට මීගමුව, කල්පිටිය, යාපනය, පාසිකුඩා, ගල්කිස්ස, ගාල්ල, මාතර, වෙරළ තීරයන් අපි පවිත්‍ර කළා.

අන්තර්ජාතිකවත් මේ වැඩේ කරන්න අදහසක් තියෙනවද?

ඔව්. ලෝකෙ වටේම බයිසිකලය පැදන් සොබාදම වෙනුවෙන් එකමුතුකමේ පාලමක් හදන්න අත්වැල් බඳින්න කියන පණිවිඩය අරන් යනවා. ඒක කරනවාමයි. පසුගිය දවසක ඉන්දියාවේ කල්කටාවල වික්ටෝරියා පාර්ක් එක ඉදිරිපස අපි පිරිසුදු කළෙත් ඒ ලෝකේ වටේ යන ගමනේ ආරම්භයක් හැටියටයි.

මෙච්චර දෙයක් කරද්දි අපේ රටේ මේ පරිසරය රකින්න, එකමුතුකම හදන්න පත් වෙලා ඉන්න ලොකු පුටුවලින් අනුග්‍රහයක්වත් ලැබුණේ නැද්ද?

නෑ ඉතිං. ඒගොල්ලො නං මට කතා කළේ නෑ. ඒවා බලාගෙන රට හදන්න බැරි බවත් මං දන්නවා. වෙසක් නිමිති කරගෙන පැළ 500ක දන්සැලක් දෙන අදහස මම සෝෂල් මීඩියා දාලා විනාඩි පහළොවක් ඇතුළත මට ඒ සියල්ල ලබා දෙන්න පිරිස එකතු වුණා. ඒ අතින් මං පොහොසත්.

එතකොට නාලක මේ සමාජ සත්කාර විතරමද කරන්නේ?

2009 මධ්‍යම පළාතේ තරුණ සේවා සභාවේ නාට්‍ය උළෙලේ මම තමයි හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගත්තේ. 2014 ‘පරාග’ නමින් කවි පොතක් එළි දැක්වුවා. ‘කිරි දී හැදූ නයි’ නමින් නිර්මාණාත්මක ලේඛන ගනයේ තවත් පොතක් එළිදැක්වුවා.

ඉදිරි වැඩකටයුතු මොනවාද?

ලබන මාසේ (ජුනි) මින්නේරිය - හබරණ පාරේ පලතුරු පැළ 1,000ක් හිටවන්න සූදානමින් ඉන්නවා. පසුගිය කාලයේ ඒ අවට සිටින අහිංසක සතුන් ආහාර නැතිව විවිධ අනතුරුවලට පත්වුණු අවස්ථා තිබුණා. මේ කරන්නට යන වැඩපිළිවෙළෙන් ඒ අයගේ මතු දවස වෙනුවෙන් පුංචි හෝ සහනයක් උදා කිරීම තමයි අපේක්ෂාව. කැමති කෙනෙක්ට ඒ සඳහා අපිට සහයෝගය දක්වන්න එකතු වෙන්න පුළුවන්. ආරාධනා කරනවා එකතු වෙන්න කියලා. තව විශේෂ කටයුත්තක් කරන්න සූදානම් වෙනවා. ඒකේ නම ‘එකමුතු’ එකමුතුකම මිණිමුතුවලට වඩා වටින්නේය කියන පණිවිඩය රැගෙන නැවත වතාවක්

පේදුරුතුඩුවේ සිට දෙවුන්දර තුඩුවට පාපැදියෙන් ගමනක් යන්න සූදානමින් ඉන්නවා.

නාලක වගේ ශක්තිමත් තරුණ පිරිසක් මේ රටේ තවම ඉන්නවා කියලා ඔබ හිතනවාද?

ඔව්. ඉන්නවා විතරක් නෙමෙයි, අප්‍රකටව සමාජ මෙහෙවරක් කරන තරුණ පිරිස් බොහෝ ඉන්නවා. ඒ අය මේ වෙලාවේ විශේෂයෙන් මතක් කළ යුතුයි.

නාලකගේ ඊළඟ පියවර මොකක්ද?

මම ලබන අවුරුද්දේ මගේ කිරි අම්මාගේ නමින් නව නිපැයුම් විශ්වවිද්‍යාලයක් හදන්න ආරම්භ කරනවා. ඒකේ නම ‘ජේ.ඒ. පුංචිනෝනා නව නිපැයුම් විශ්වවිද්‍යාලය.’ ශ්‍රී ලංකාව තේමා පාටය : "අඩන්න ඕනා කිරි එරෙන්න"

[අනුපමා ගල්කඩවල]

ජායාරූප [ගැමුණු කුරේ]

මාතෘකා