වැලිමඩ නගරය සිතුවම්වලින් හැඩ කළ ඌවේ තරුණයෝ

 ඡායාරූපය:

වැලිමඩ නගරය සිතුවම්වලින් හැඩ කළ ඌවේ තරුණයෝ

පරිසරය පිරිසුදුව තබා ගැනීමට වත්මන් සමාජයේ බහුතර දෙනා තුළ තිබෙන්නේ දැඩි කැමැත්තක් සහ උවමනාවකි. සුළුතරයක් පිරිස පරිසරය පිළිබඳ තැකීමක් නොකළද බහුතරය ඒ පිළිබඳ දක්වන උනන්දුව අගය කළ යුතු වන්නේ පරිසරය රැක ගැනීම සඳහා ඒ උනන්දුව මිල කළ නොහැකි දායකත්වයක් සපයන නිසාය. පසුගිය දින වැලිමඩ නගරයේ දියත් කළ අලුත් ආකාරයේ ව්‍යාපෘතියක් බොහෝ දෙනකුගේ අවධානයට ලක් විය.

නගරවල තාප්ප වැසෙන්නට ගසා ඇති පෝස්ටර් වෙනුවට සුන්දර සිතුවම්වලින් අලංකාර කළ නගරයක් ලෙස වැලිමඩ නගරය කාගේත් කතාබහට ලක් වී තිබේ. ඒ සුන්දර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ කණ්ඩායම පිළිබඳ විමසීමක් කරන්නට 'රැස' අප අදහස් කළේ ඔවුන්ගේ වෑයම එපමණටම සුන්දර සහ පරිසර හිතකාමී එකක් වන නිසාය.

"වැලිමඩ සුන්දර කරමු" තේමාව යටතේ එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබ තිබුණේ ඌව එක්සත් බෞද්ධ සංගමයේ සාමාජිකයන් විසිනි. එම ව්‍යාපෘතිය පිළිබඳව ඌව එක්සත් බෞද්ධ සංගමයේ සභාපති සනත් සංජීව තෙන්නකෝන් මහතා අදහස් දැක්වූයේ මේ ආකාරයටයි.

"අපේ සංගමයෙන් මෙවැනි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළේ පළමු වතාවටයි. වැලිමඩ නගරය සුන්දර කිරීම තමයි අපේ මූලික අරමුණ වුණේ. මේ සඳහා අපට වැලිමඩ ප්‍රාදේශීය සභාවේ සහයෝගය ලැබුණා. වැලිමඩ ප්‍රාදේශීය සභාව නගරයේ සියලු තාප්පවල අලවා ඇති පෝස්ටර්, දැන්වීම් ඉවත් කර, තාප්ප පිරිසුදු කර, ඒ තාප්ප මත සුදු තීන්ත ආලේප කර අපේ කාර්ය සඳහා පහසුකම් සලසා දුන්නා. ඉන්පසු අපේ සංගමය ඒ තාප්ප මත චිත්‍ර ඇඳීම ආරම්භ කළා. "

ඒ අනුව ඔවුන් මෙම චිත්‍ර ඇඳීමේ කාර්යය ආරම්භ කර ඇත්තේ පසුගිය අප්‍රේල් මස 11 වැනිදාය. 12 වැනිදා රාත්‍රිය වන විට වැලිමඩ නගරයේ හරි මැද පිහිටි තාප්පයේ සම්පූර්ණයෙන්ම චිත්‍ර ඇඳ අවසන් කිරීමට තම කණ්ඩායමට හැකියාව ලැබුණු බව සනත් සංජීව මහතා පැවසීය. මසක පමණ කාලයක් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇති අතර වෙසක් උත්සවයට දින පහ හයකට පෙර වැලිමඩ නගරය පුරාම ඇති තාප්පවල චිත්‍ර ඇඳ අවසන් කරන්නට ඔවුනට හැකි විය. ඌව එක්සත් බෞද්ධ සංගමයේ සාමාජිකයන් 25 දෙනාම මෙම කාර්ය සඳහා සහභාගී වී ඇති අතර ඒ සඳහා වන සම්පූර්ණ මූල්‍ය සහ ශ්‍රම දායකත්වය දරන ලද්දේ එම සාමාජිකයන් විසින්ම වීමද විශේෂත්වයකි.

"චිත්‍ර ඇඳීමේ කටයුත්ත සඳහා මූලික වුණේ උදේශ් වීරසිංහ. ඔහු ජයවර්ධනපුර විශ්වවිද්‍යාල සිසුවෙක්. ඔහුගේ මූලිකත්වය යටතේ සෙසු සාමාජිකයන් චිත්‍ර ඇඳීමේ කාර්යට දායක වුණා. මෙහිදී විශේෂයෙන් මතක් කළ යුතුයි අප සංගමයේ ප්‍රධාන අනුශාසක ලෙස කටයුතු කරන්නේ ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරයේ විහාරකාධිකාරී පූජ්‍ය මැදමුලනේ විජයබෝධි ස්වාමීන් වහන්සේයි. උන්වහන්සේගේ අනුශාසනාවන් මෙම කාර්යයේදී අපට ඉතා වැදගත් වුණා. ඒ වගේම වැලිමඩ ප්‍රාදේශීය සභාවේ තාක්ෂණ නිලධාරී කපිල මනෝරත්න මහතා අප සංගමයේ දෙවැනි අනුශාසක ලෙස කටයුතු කරනවා. ඔහුගේ මඟපෙන්වීම තුළ තමයි අපි මේ කාර්ය සිදු කළේ. ඒ වගේම වැලිමඩ ප්‍රාදේශීය සභාවෙන් ලැබුණු සහයෝගයත් අප ඉතා අගය කරනවා. ඒ හැරුණාම වැලිමඩ නගරයේ ව්‍යාපාරිකයන් කිහිපදෙනකු මෙම කාර්ය සඳහා අපිට සහයෝගය ලබා දුන්නා. එයත් මේ අවස්ථාවේදී සිහි කළ යුතුයි"

"වැලිමඩ සුන්දර කරමු"ව්‍යාපෘතිය තුළින් වැලිමඩ නගරයේ තාප්ප චිත්‍රවලින් අලංකාර කිරීමේ කාර්ය ඌව එක්සත් බෞද්ධ සංගමය විසින් සිදු කරනු ලැබ ඇත්තේ එක්තරා සැලසුමකට අනුවයි. ඒ අනුව නගරයේ ඇති තාප්ප කොටස්වලට බෙදාගෙන ඒ එක් එක් තාප්ප විවිධ තේමාවන් ඔස්සේ හැඩ ගන්වා තිබේ. ඒ අනුව සමහර තාප්ප පිරෙන්නම චිත්‍ර ඇඳ තිබේ. ඇතැම් තාප්ප සුන්දර වී ඇත්තේ ආදර්ශ පාඨ සහ වැකිවලිනි.

උදාහරණයක් ලෙස සඳහන් කරනවා නම් බදුල්ල පාර ඡායාරූපවලට උචිත පසුතලයක් ලෙස සුන්දර කර තිබේ. එහි තාප්ප එකම චිත්‍රයක් ලෙස සිතුවම් කර ඇති අතර ඕනෑම කෙනකුට එහි පසුතලයේ සිට ඡායාරූප ගැනීමට හැකිය. විශේෂයෙන් එය ඡායාරූපකරණයේ නියැළෙන්නන්ට අලුත් අත්දැකීමක් ලබා දෙන ස්ථානයකි. එම චිත්‍රයෙන් පසුව ඇති තාප්ප හැඩ ගන්වා ඇත්තේ 'ෂැඩෝ' ආකාරයට සිතුවම් කිරීමෙනි.

චිත්‍රවලින් අලංකාරය ලබා දීමට අමතරව මහජනතාවට යහපත් පණිවුඩ ලබාදීමටද ඌව එක්සත් බෞද්ධ සංගමය තම ව්‍යාපෘතිය තුළින් උත්සාහ කර තිබේ. ඒ බව පසක් වන්නේ වැලිමඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ඉදිරිපිට ඇති තාප්ප ළමුන්ට ගැළපෙන ආදර්ශමත් පණිවුඩ ප්‍රදර්ශනය කෙරෙන චිත්‍රවලින් හැඩ කර තිබීම නිසාය. එමෙන්ම වැලිමඩ නගරයේ පිහිටි තැබෑරුම ඉදිරයේ දක්නට ඇත්තේද ආදර්ශමත් වැකියකි. "අපට බඩගිනියි තාත්තේ. ඉක්මනට ගෙදර එන්න" එවැනි වැකි තුළින් බොහෝ දෙනකුගේ හදවතට කතා කරන්නට ඔවුන් උත්සාහ දරා තිබේ.

ශ්‍රී ලංකාව යනු සුන්දරත්වයේ පාරාදීසයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඌව එක්සත් බෞද්ධ සංගමයේ සාමාජිකයන් වැලිමඩ සුන්දර කරන ව්‍යාපෘතිය තුළ එයද අමතක කර නැත. එම නිසාම ශ්‍රී ලංකාවේ සුන්දරත්වය විදහාපාන සිතුවම් රැසකින් වැලිමඩ නගරයේ තැපැල් කාර්යාලය අසල තාප්ප අලංකාර කිරීමද ඔවුන් මනාව ඉටුකර තිබේ. එමෙන්ම ඔවුන් රණවිරුවන් වෙනුවෙන්ද තාප්පයක් වෙන් කර ඇති අතර එහි ඇති සිතුවම් තුළින් ඔවුන්ට උපහාර පුදන්නටද අමතක කර නැත.

සුන්දර සිතුවම්වලින් වැලිමඩ සුන්දර කළ ඌව එක්සත් බෞද්ධ සංගමයේ සාමාජිකයන්ගේ මෙම ව්‍යපෘතිය මෙතැනින් අවසන් කරන්නට ඔවුන් සූදානම් නැත. තවත් ස්ථාන කිහිපයක්ම මේ ලෙසින් චිත්‍රවලින් අලංකාර කිරීම කෙරෙහි ඔවුන්ගේ අවධානය යොමු වී ඇති අතර නොබෝ දිනකින් ඒ කටයුතු ආරම්භ කිරීම ඔවුන්ගේ අපේක්ෂාවයි.

මෙලෙස සිතුවම්වලින් සුන්දර කළ වැලිමඩ නගරය තුළ එම සුන්දරත්වය අඛණ්ඩව පවත්වාගෙන යෑමේ වගකීම එම නගරය භාවිත කරන සියලු දෙනාගේ වගකීම බවද ලියා තැබීම අත්‍යවශ්‍ය වන්නේ මෙවැනි වටිනා ව්‍යාපෘතිවල වටිනාකම් නොදන්නා සුළුතරයක් අතින් එම සුන්දරත්වයට හානි විය හැකි නිසාය.

මාතෘකා