කුණු නිසා මාවනැල්ලත් වැනසේද?

 ඡායාරූපය:

කුණු නිසා මාවනැල්ලත් වැනසේද?

ලංකාවේ වැඩිම අාදායම් ලබන ප්‍රාදේශීය සභා හතර අතර මාවනැල්ල ප්‍රාදේශීය සභාවටද ප්‍රමුඛත්වයක් හිමි වේ. එහෙත් වසර 20කට වැඩි කාලයක් මාවනැල්ල ප්‍රාදේශීය සභාව මඟින් මා ඔය ආසන්නයේ කරපනේ වසමේ රන්දිවල සුන්දර කඳු මුදුනක සමතලා බිමකට දිනකට කැළිකසළ ට්‍රැක්ටර් 15කට වැඩි ප්‍රමාණයක් මුදා හරින බව වාර්තා වේ. ඒ හේතුවෙන් මා ඔයද අපිරිසිදු වන බව මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් පිරිසක් පසුගියදා මාවනැල්ල ප්‍රාදේශීය සභාවේදී පෙන්වා දුන් අතර ඊට පෙර අවස්ථා කිහිපයකදී මධ්‍ය මඟින්ද එය අනාවරණය කළ නමුදු එම ගැටලුවට මේ වනතෙක් විසඳුමක් නොමැති වීම විශාල ගැටලුවකි.

එහිදී එම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් වැඩිදුරටත් අනාවරණය කළේ රාත්‍රී කාලයේ පිට පළාත්වලින් ගලි බවුසර් පැමිණ මා ඔයට ගලි බවුසර් මුදා හැරීමක්ද සිදුවන බවයි. එමෙන්ම අවුරුදු විසි ගණනක් තිස්සේ මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ කැළිකසළ මුදා හරින ස්ථානයේ ඉඩ පහසුකම් මේ වන විටත් ප්‍රමාණවත් නොවීම නිසා තවත් ගැටලු කිහිපයක් උද්ගත වෙමින් පවතී. එනම් ඉදිරියේදී ඇති වන්නට නියමිත කැළිකසළ බැහැර කිරීමේ ගැටලුව මෙන්ම කුණු කන්ද නාය යෑමේ අවදානම මෙන්ම මාවනැල්ල ප්‍රාදේශීය සභාව ජනතාවගෙන් කැලිකසළ වර්ගීකරණය නොකර ඒවා ලබා ගැනීම නිසා ඇති වී තිබෙන පාරිසරික ගැටලුව සම්බන්ධයෙන්ද එහිදී අවධානය යොමු විය. නමුත් ප්‍රාදේශීය සභාව ඒ පිළිබඳ කිසිදු අනාගත සැලසුමක් ගැන අවධානය යොමු නොකර කටයුතු කිරීම මඟින් තවත් මාසයකින් හෝ සතියකින්, දෙකකින් මෙම පාරිසරික ගැටලුව මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ උග්‍ර ප්‍රශ්නයක් බවට පත්වන බවද මන්ත්‍රීවරුන් කිහිප දෙනකුම පෙන්වා දී තිබේ.

මා ඔය පටන් ගන්නේ අසුපිණි ඇල්ලෙනි. අරණායක සීමාවෙන් හා මධ්‍යම පළාත් සීමාවෙන් පටන් ගන්නා අතර අරණායක දිප්පිටිය මාවනැල්ල පසු කරමින් මා ඔය කොච්චිකඩේ ප්‍රදේශයෙන් මුහුදට ගලාගෙන යයි. මාවනැල්ල කප්පාගොඩ යන ස්ථානයේ මාවනැල්ල ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය මඟින් ජලය ලබාගෙන බෙදා හැරීම සිදුවන අතර මාවනැල්ලේ කුණු කන්ද ඇත්තේ එම ස්ථානය පසු කරමින් කිලෝමීටර් 4ක පමණ දුරකින් ඇති අප ඉහත සඳහන් කළ කඳු මුදුනේය. මේ කුණු කන්දෙන් ගලා ගෙන යන අපිරිසුදු විෂ අපජලය කානු මාර්ගයෙන් ගොස් මා ඔයට එකතු වන අතර එම සියලුම අපිරිසුදු ජලය එම ස්ථානයේ සිට මුහුදට වැටීම දක්වා මිලියන ගණනක් ජනතාවත් සතුන්ද පාවිච්චියට ගනී. පින්නවල අලි අනාථාගාරයේ සතුන්ද මේ ජලය නෑමට සහ බීමට ලබා ගනී. අවට ගම්මානවල පානීය ජලයද අපිරිසුදු වී ඇති අතර පහත් බෑවුමේ ඇති කුඹුරුවලට පවා කළු පැහැති ගඳ ගසන ජලය භූගතව ප්‍රදේශය අවට පැතිර ගොස් ඇත.

එවැනි ව්‍යසනයක් වසර ගණනාවක් තිස්සේ පරිසරයට සිදු වුවත් ඒ වෙනුවෙන් ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කිරීමට මාවනැල්ල ප්‍රාදේශීය සභාවට නොහැකි වීම කනගාටුවට කරුණකි. කොම්පෝස්ට් පොහොර ව්‍යාපෘතියක් එදා සිට මේ දක්වා පවත්වාගෙන ආවද සේවකයන් දෙදෙනකුට එය සිදු කිරීමට නොහැකි වන අතර ඒ සඳහා ඇති යන්ත්‍ර සූත්‍ර පවා ප්‍රමාණවත් නැත. දෛනිකව ටොන් 20ත් 30ත් අතර ප්‍රමාණයක් මහා කන්දක් ලෙස ගොඩ ගැසීම නිසා පසුගිය වසරේ සුළු සුළු නාය යෑම් තත්ත්වයන් සිදු වූ අතර ඉදිරියේදී මහා විශාල නාය යෑමේ භීතියක්ද ඇති වී තිබේ. පසුගියදා(14දා) මාවනැල්ල ප්‍රාදේශීය සභාව මේ සඳහා විකල්පයක් මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡා කර ඇතත් එයද එකඟතාවකින් තොරව අවසන් වීම කනගාටුවට කරුණකි. එදින සභාවේදී මන්ත්‍රීවරුන් 40 දෙනා අතරින් බහුතරයක් කුණු කන්ද ගැන විවිධ කරුණු පැවසුවද එය කිසිදු එකඟතාවයකින් තොරව අවසන් වීම කනගාටුවට කරුණකි.

ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම කුණු කන්ද නාය යෑමක් ඇති වුවහොත් ඒ මඟින් සිදුවන පාරිසරික හානිය, ජනතාවට වන පීඩාව සහ මා ඔයට වන බලපෑම ඉතා ඉහළ බවයි. දැනටත් මෙම කුණු කන්දේ කොටසක් මාවනැල්ල, කිරිගලවත්ත ප්‍රදේශයට පහත් වීමෙන් ඒ අවට රබර් ඉඩම්වල කටයුතු මෙන්ම එම බිමේ වගා කටයුතු සිදු කර ගැනීමට නොහැකි වීමෙන් ජනතාව අපහසුතාවට ලක් වී ඇත. එම කුණු කන්ද නිසා ජනතාව විඳින පීඩාව පිළිබඳව මීට පෙර අප විමසූ අවස්ථාවක දිවියාගල යෝගාශ්‍රමයේ විහාරස්ථානයේ විහාරාධිපති අරුක්ගම්මන සුමිත හිමියන්ද ඒ සම්බන්ධයෙන් පැවසුවේ මෙවැනි අදහසකි.

"පන්සලේ ඉන්න බැරි තරමටම විශාල දුගඳක් හමනවා. ඒ වාගේම සමහර කාල තියෙනවා විශාල වශයෙන් මැස්සන් ඉන්න. එවැනි දවසකට පොහොය ආවොත් සිල් ගත්ත උපාසක උපාසිකාවන් කෑම ගන්නේ ඔළුවේ ඉඳන් වහගෙන. මම මේ විහාරස්ථානයට ඇවිත් අවුරුදු 38ක් පමණ වෙනවා. දැන් මේ ස්ථානයේ කුණු දාන්න අරන් අවුරුදු 20කට වැඩියි. අපිටත් දානේ වේලක් වළඳන්නවත් බැහැ. ඒ තරම් දුගඳක් හමනවා. පන්සලේ භික්ෂුන් වහන්සේලා බොහෝමයකට වැඩ සිටින්නට කුටි තිබුණත් ඒ අය ඉන්නේ නැහැ කුණු කන්දේ දුගඳ හමන නිසා. සෑම වගකිව යුත්තෙක්ම ආපුවාම අපි මේ ගැන කියනවා. මොනවා හරි කරන්න බලමු කියලා යනවා. නමුත් ඒ වෙනුවෙන් විසඳුමක් ලැබෙන්නේ නැහැ. මේ නිසා කරපනේ, උඩුමහන, යටිමහන, නෑපලාන වාගේ අපේ දායක පවුල් ඉන්න බොහෝ දෙනකු විශාල වශයෙන් පීඩා විඳිනවා. විහාරස්ථානයක් වුණාම ඉතාම පිරිසුදු වටපිටාවක් තියෙන්න ඕන වුණත් මේ විහාරයේ සියලු පූජනීය ස්ථාන ඉස්මත්තේ තියෙන්නේ විශාල කුණු කන්දක්."

මෙම ගැටලුව පිළිබඳව සොයා ගිය අපට දැන ගැනීමට ලැබුණේ මාවනැල්ලේ එකතු වන කැළිකසළවල විවිධත්වය වැඩි නිසා එම කසළ වර්ගීකරණය කිරීමට ප්‍රමාණවත් තරම් සේවකයන් නොවීමත් දැනට එහි ඇති කසළ බහාලන විශාල යන්ත්‍රය දිරාපත් වී තිබීමත් විශාල ගැටලුවක් බවයි. එම යන්ත්‍රය 2000 වර්ෂයේ ස්ථාපනය කළ එකකි. නමුත් සාමාන්‍ය වශයෙන් කසළ පොහොර බවට පත් කිරීමේ ක්‍රමවේදයක් එහි ක්‍රියාත්මක වන අතර එය මහා පරිමාණයෙන් සිදු නොවේ.

මෙම කුණු කන්දේ අනාගත ඉරණම පිළිබඳ මහජන නියෝජිතයන් පසුගිය සභා වාරයේදී දැක්වූ අදහස් මෙහි සඳහන් කරන්නේ මෙම ප්‍රශ්නය සඳහා විකල්ප ඉතා ඉක්මනින් අවශ්‍ය බව පෙන්වා දීමටයි.

අනුර චන්දන ජයවන්දල

මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති (එජාප)

දිනපතා විශාල කුණු තොගයක් අපේ ප්‍රාදේශීය බල ප්‍රදේශය තුළ අපට එකතු කරන්න සිද්ධ වෙනවා. දැනට කුණු බැහැර කරන ස්ථානය ප්‍රමාණවත් නැහැ කුණු බැහැර කරන්න. වෙනත් විකල්පයකට යන්න පළාත් සභාවෙන් හා ආණ්ඩුකාරතුමාගෙන් ඉල්ලුවා. තාමත් ඒ වෙනුවෙන් විකල්ප ක්‍රමවේදයක් අපිට ලබා දුන්නේ නැහැ. දැනට කුණු බැහැර කරන ස්ථානයේ වෙනත් පැත්තක කුණු බැහැර කිරීමට එම ස්ථානයේ පාරක් සකස් කළ යුතුයි. එම පාර සකස් කරන්න ගලක් කඩලා දාන්න අවශ්‍යයි. ඒ සඳහා සභාවට ඇස්තමේන්තුවක් ඉදිරිපත් කළා.

ජී. ප්‍රේමරත්න බණ්ඩාර

මන්ත්‍රී (පොදු ජන පෙරමුණ)

අපි මේ පාර සකස් කරන්න ස්ථාන පරීක්ෂාවකට ගියා. නමුත් මේ විකල්පය ඉතා සීමිත කාලයයි. මම හිතන්නේ ගල ඉවත් කරලා පාරක් හදලා වුණත් මාස හයකටවත් එතනට කුණු දාන්න බැහැ. විශාල මුදලක් වියදම් කරලා ගල කැඩුවා කියලා අපිට අවුරුද්දක් දෙකක්වත් එතැන කුණු දාන්න පුළුවන්කමක් තියෙනවා නම් කමක් නැහැ.

අනුර චන්දන ජයවන්දල

ඒ පාර කැපුවොත් තව අවුරුදු දෙකක් තුනක් යනකල් මෙම ස්ථානයේ කුණු දාන්න පුළුවන්කම තියෙනවා. වෙන කරන්න විකල්පයක් නැහැ. ඉඩමක් ගන්න හැදුවත් කවුරුවත් ඉඩම් දෙන්නෙත් නැහැ.

ජී. ප්‍රේමරත්න බණ්ඩාර

තියෙන කුණු කොම්පෝස්ට් කරලා අලෙවි කරන්න පුළුවන්කමක් තියෙනවා නම්, ඒකට විකල්පයක් යොදනවා නම් කුණු ප්‍රමාණය අඩු කර ගන්න පුළුවන්. දවසකට පොහොර පැකට් 25ක් 30ක් වත් එතනින් පිටවන ක්‍රමවේදයක් නැහැ. අනිවාර්යයෙන්ම ඒ පාරට කුණු දැම්මොත් අර කිරිගල වත්තට වැස්ස දවස්වල නාය යන එක වළක්වන්න බැහැ. ඒ ගැන හිතලා ඉදිරි කටයුතු කරන්න කියලා මම ඉල්ලා සිටිනවා.

සී.යූ.එම්. අස්කර්

මන්ත්‍රී (එජාප)

කාර්මික නිලධාරී මහත්වරුන් කියනවා දැන් කුණු දාන තැන මාසයක්වත් කුණු දාන්න ඉඩ නැහැ කියලා. මේ ස්ථානය ගල කඩලා සකස් කළොත් අවුරුදු දෙකක් තුනක් කුණු දාන්න පුළුවන් කියලා ඔවුන් කියනවා. මොන ප්‍රශ්න තිබුණත් සභාවේ කුණු ප්‍රශ්නයට අපිට විසඳුමක් සොයන්න වෙනවා. මහජනතාවටත් මා ඔයටත් හානියක් වෙන්නේ නැති විදිහට මෙය සිදු විය යුතුයි. ඒ වගේම එය පරක්කු කරන්න බැහැ.

රුවන් කුමාර දයාරත්න

මන්ත්‍රී (ස්වාධීන)

මේ වෙනකොට කුණු අදින ලොකු ලොරිය ටයර් මිලදී ගැනිමේ ප්‍රශ්නයක් මත වැඩ නැහැ. මාවනැල්ල නගරය පසු කරලා එතනින් එහාට මා ඔය මුහුදට වැටෙන කොච්චිකඩේ දක්වා ජලය පරිභෝජනය කරන මිනිසුන්ට මේ විෂ යනවා. ඒ මිනිස්සු ලෙඩ වෙලා මරණයට පවා පත්වෙනවා. දේශපාලන භේදයකින් තොරව මේ ප්‍රශ්නයට ඉක්මනින් විසඳුමක් ලබා දිය යුතුයි.

ජයන්ත කුමාර

මන්ත්‍රී (ජවිපෙ)

මේ පිළිබඳ හොයන්න පත් කළ කමිටුවටත් මේ ගැන එකඟතාවයකට එන්න බැරි වෙලා තිබෙනවා. කමිටුව ගිහින් අවසන් පරීක්ෂණයක් කරලා ඉක්මනින් තීන්දුවක් දෙන්න.

කේ.එම්.සී. බණ්ඩාර

උප සභාපති (ශ්‍රීලනිප)

ප්‍රේමරත්න මහත්තයා කියනවා වාගේ මේ තියෙන මාර්ගය අනිත් පැත්තේ යටිමහනේ ගමට ප්‍රවේශ වන මාර්ගය. මේ මාර්ගය වහන්න බැහැ. මෙතන අඩි 40ක පමණ උඩකින් තමයි පාරක් යනවා නම් යන්න වෙන්නේ. මෙතන ගල් කන්ද ඉවත් කරලා පාරක් හදලා යටිමහන ගමට ප්‍රවේශ මාර්ගය සකස් කරනවා විනා ඊට පස්සේ අනෙක් පැත්තේ තියෙන්නේ දිවියාගල ආරණ්‍ය සේනාසනය ඒ පැත්තෙන් එහාට ලොකු අවදානමක් තියෙනවා.

කේ.ජී. පියතිස්ස

විපක්ෂ නායක

කුණු දැමීම සඳහා රජයට පවරා ගත යුතු පෞද්ගලික ඉඩමක් තිබෙනවා ගනේතැන්න පාලමට උඩින් අක්කර 60ක 80ක පමණ. ඒක ගත්තොත් ගම්වලට හානියක් නොවෙන්න අපිට තව අවුරුදු තිහ හතළිහක්වත් කුණු දාන්න පුළුවන්. පරිසරයට හානියක් වෙන්නේ නැහැ.

අනුර චන්දන ජයවන්දල

ඉඩම් පවරා ගැනීම සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම්තුමාට තමයි බලය තියෙන්නේ. සාමාන්‍යයෙන් නගරය තුළ ඉඩම් නගර සැලසුම්වලට පවරා ගත හැකියි. නමුත් පෞද්ගලික ඉඩම් පවරා ගැනීමේ හැකියාවක් නීතිමය පැත්තෙන් නැහැ. ඒ යෝජනාව සම්බන්ධයෙන් ඉදිරියේදී සලකා බලමු.

 

සටහන සහ ඡායාරූප  [සමන් විජය බණ්ඩාර]

මාවනැල්ල විශේෂ

 

මාතෘකා