වෙසක් මංසලකුණු ගැන මුද්දර හෙළිකරන කතාව

 ඡායාරූපය:

වෙසක් මංසලකුණු ගැන මුද්දර හෙළිකරන කතාව

වෙසක් පොහොය දිනය රජයේ නිවාඩු දිනයක් බවට පත් වීම හෙළ බොදු පුනරුදයේ එක්තරා සුවිශේෂී සන්දිස්ථානයකි. වෙසක් නිවාඩුවේ පුරාණය තැපැල් මුද්දර මඟින් ඉදිරිපත් කරනුයේ මුද්දරයේ ඇති සාහිත්‍යමය වටිනාකම් පිළිබඳව පාඨක ප්‍රජාව දැනුවත් කිරීම සඳහායි. මුද්දර කියවීම මඟින් දැනුම ගවේෂණය වඩාත් සෞන්දර්යාත්මකව හා සිත් ඇදගන්නා අයුරින් ඉටු කර ගැනීමට අවැසි තොරතුරු සමාජගත කිරීම අපගේ අභිප්‍රායයි.

වෙසක් පුර පසළොස්වක දවස ආණ්ඩුවේ නිවාඩුවක් බවට පත් වූ අයුරුවෙසක් පොහොය දිනය ‍බෞද්ධයන්ගේ පරම පූජනීය දිනයකි. සෙසු පොහොය දිනයන්ට වඩා වෙසක් පොහොය දිනය වැදගත් වන්නේ මෙම පරම පූජනීයත්වය නිසාවෙනි. බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සිදු වූ දිනය වශයෙන් සැලකෙන වෙසක් දිනය ආගමික අතින් පමණක් නොව සිංහල බෞද්ධ ජනතාවගේ ඉතිහාසය තුළද සුවිශේෂිත්වයක් උසුලයි. මහාවංශයට අනුව ලක්දිවට විජය කුමරුන්ගේ ආගමනය සිදුවන්නේ වෙසක් පොහොය (බුදුන්ගේ පිරිනිවන මංගල්‍යය) දිනයේදීය. එතැන් සිට ලංකා ඉතිහාසයේ යුග වකවානු නිර්ණය කරනු ලබන (සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර ගණනය කරන) සම්ප්‍රදාය ආරම්භ විය.

පෙර රජ දවස පටන් පැවත ආ පොහොය දින නිවාඩුව ලක්වැසියන්ට අහිමි වූයේ වසර 1770දීය. එවකට මෙරට මුහුදුබඩ පළාත්වල පාලනය නතු කර ගෙන සිටි ලන්දේසීහු මෙම පොහොය දින නිවාඩුව අවලංගු කළහ. ඒ සඳහා මූලික වූයේ ලන්දේසි ආණ්ඩුකාර අයිවන් විල්හෙලම් ෆැල්ක් (1765-1785) ය.

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට ලක්දිව නතුවීමෙන් අනතුරුව ලන්දේසි පාලන සමයේදී වෙරළාශ්‍රිත ප්‍රදේශවලට පමණක් සීමා වී තිබූ අණපනත් පොදුවේ මුළු දිවයිනටම බලපාන අයුරින් ක්‍රියාත්මක කරන ලදී. ඒ අනුව වසර 1817 අප්‍රේල් 5 වැනිදා සිට පෝය නිවාඩුව මුළු රටටම අහිමි වී ඉරිදා දිනය ප්‍රසිද්ධ නිවාඩු දිනයක් බවට පත් කෙරිණි. 1817 අංක 5 දරන ආඥා පනත මඟින් මෙම නියමයන් දන්වන ලද්දේ එවකට ලංකාණ්ඩුකාර රොබට් බ්‍රවුන්රිග් විසිනි.

පොහොය නිවාඩුව අහෝසි වීම සිංහලයන්ට මහත් සේ රිදුම් දෙන්නක් විය. එය අහෝසි වූ දා පටන් ජාති හිතෛෂීන් විසින් එය නැවතත් දිනා ගැනීම සඳහා කැපවී කටයුතු කළ නමුදු යහපත් ප්‍රතිඵල අත් නොවුණි.

ඉංග්‍රීසි පාලකයන් සිංහල බෞද්ධයන්ගේ මතයට පිටුපාමින් ආගමික නිදහසට සීමා දමමින් කටයුතු කරන සමයක කොටහේන දීපදුත්තරාමය නම් විහාරාස්ථානයක බොදු පෙරහැරක් සංවිධානය කෙරිණි. එවකට දීපදුත්තාරාමයේ වැඩවිසූ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්ගේ අනුශාසනා මඟින් මෙම පෙරහැර සංවිධානය වී තිබිණි. මෙම විහාරස්ථානය එවකට කොළඹ නගරයේ පිහිටි එකම බෞද්ධ විහාරය වූ බැවින් සිංහල බෞද්ධ ජනතාවගේ මහත් ගෞරවයට පාත්‍ර වූ පූජනීය භූමියක් විය. 1883 මාර්තු 25 වැනිදා වීදි සංචාරය කෙරුණු පෙරහැරට ශාන්ත ලුසියා දේවස්ථානයට ආසන්නයේදී ගල් මුල් ප්‍රහාරයක් එල්ල විණි. කතෝලිකයන් විසින් සිදුකරන ලද මෙම ගැටුමේදී එක් බෞද්ධයෙක් මිය ගියේය. කිහිප දෙනෙක් තුවාල ලැබූහ. තත්ත්වය සමනය කිරීම සඳහා පාලකයන් ගනු ලැබූ ක්‍රියාමාර්ගය වූයේ බෞද්ධයන්ගේ ආගමික වතාවත් හා පෙරහැර යනාදිය තහනම් කිරීමයි.

මෙම අසාධාරණයට එරෙහිව බෞද්ධයන් පිරිසක් කොළඹ මාලිගාකන්ද පිරිවෙනට රැස්ව සාකච්ඡා වටයක් ඇරඹීය. මෙහි මුලසුන හෙබවූයේ හික්කඩුවේ ශ්‍රී සුමංගල මහ නායක හිමියන්ය. ලාංකේය බෞද්ධයන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම සඳහා බෞද්ධාරක්ෂක කමිටුව සමාරම්භ වන්නේ මෙම සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙනි. බුදු දහම ගැන පැහැදුණු ඇමරිකානු ජාතික හෙන්රි ස්ටීල් ඔල්කට් තුමා‍, හෙලේනා පී. බ්ලැවැස්කි මැතිනිය ඇතුළු කණ්ඩායමක් සමඟින් ලක්දිවට පැමිණියේය. ඒ වර්ෂ 1880 මැයි 17 වැනි දිනකය. සිංහල බෞද්ධයා පත්ව ඇති දුෂ්කරතාවන් අවබෝධ කරගත් ඕල්කට්තුමා 1880 ජුනි මස 17 වැනිදා පරම විඥානාර්ථ බෞද්ධ සමිතිය පිහිටුවීය. 1884 මැයි 17 වැනි දින පැවති බෞද්ධාරක්ෂක කමිටු රැස්වීමට සහභාගි වූ ඕල්කට්තුමන්ට ලාංකේය බෞද්ධයන්ට සිදු වී ඇති අසාධාරණය පිළිබඳ වාර්තාවක් බ්‍රිතාන්‍ය රජයට ඉදිරිපත් කිරීමේ වගකීම පැවරිණි. ඒ සඳහා 1884 මැයි 17 දිනැති ලිපියක් යටත් විජිතභාර මහලේකම් ඩාර්බ් සාමිවරයාට බාර දුන්නේය.

එම සන්දේශයේ ප්‍රධාන කරුණු 6ක් අන්තර්ගත විය. ඒවා නම්

I. වෙසක් පුර පසළොස්වක පොහොය දිනය රජයේ ප්‍රසිද්ධ නිවාඩුවක් බවට නැවතත් පත් කිරීම.

II. කොටහේනේ සිදුවීමට අදාළව විධිමත් අපක්ෂපාති පරීක්ෂණයක් පැවැත්වීම සඳහා නීතිය ක්‍රියාත්මක කිරීම.

III. බ්‍රිතාන්‍ය රජය විසින් මධ්‍යස්ත ආගමික ප්‍රතිපත්තියක් ලංකාව කෙරෙහි පවත්වාගෙන යාම නැතහොත් සිංහල බෞද්ධයන්ට ඔවුන්ට හිමි වරප්‍රසාද ලබාදීම.

IV. බෞද්ධ පෙරහැරවල්, පින්කම් හා ජාතික ආගමික උත්සවයන්හිදී පංචතූර්ය වාදක කටයුතු සඳහා පනවා ඇති සියලුම තහංචි ඉවත් කිරීම හා පෙරහැරවල් නැවත පැවැත්වීමට අවසර ලබාදීම.

V. බෞද්ධයන් පදිංචිව සිටිනා නගරවල විවාහ කටයුතු ලියාපදිංචිය සඳහා බෞද්ධ රෙජිස්ට්‍රාර්වරුන් පත් කිරීම.

VI. විහාරගම් දේවාල පනතේ පවතින විශමතාවන් දුරු කිරීම

බ්‍රිතාන්‍ය රජයට ඕල්කට්තුමන් ඉදිරිපත් කළ මෙම සන්දේශයේ අඩංගු කරුණු නොසලකා හැරීමට අවස්ථාවක් නොවීය. ඒ අනුව නැවත වරක් රැජිනගේ ආණ්ඩුව වෙසක් පොහොය නිවාඩුව ලබාදීම සඳහා තීන්දු කළේය. 1885 මාර්තු 27 වනදා එම තීන්දුව ප්‍රකාශ කරන ලද්දේ ලංකාණ්ඩුකාර සර් ආතර් හැමිල්ටන් ගෝර්ඩන් (1883-1890) විසිනි. මහා වංශය ඒ පිළිබඳව මෙසේ සටහන් තබයි.

“තවද සර්වඥයන් වහන්සේගේ උප්පත්තිය සිදු වූ බෞද්ධයන්ගේ වෛශාඛ පෞරාණි දිනය හින්දු සාංවත්සර දිනය හා මහමදාගම්කරයන්ගේ හජ්ජි ජෙනරල් උත්සව දිනයන් මේ උතුමාණන් වහන්සේ විසින් ආණ්ඩුවේ විවේක දවස් සංඛ්‍යාවට ගනන්ගනු ලැබීමට නියම කරන ලදී. බුද්ධාගම්කාරයන්ගේ විවාහ සිදු කිරීමට බෞද්ධ විවාහ ලේකම්වරු පත් කරන ලද්දෙත් මුන්වහන්සේගේ ආණ්ඩු කාලයේදීය.” (මහාවංශය 619 පිටුව-අක්ෂර වින්‍යාසය එකල පිරිදිය.)

ඓතිහාසික වාර්තා අනුව වෙසක් පොහොය දිනය රජයේ නිවාඩු දිනයක් බවට පත් කිරීමට ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් මහතාගේ පූර්ණ දායකත්වය ලැබී ඇති බව පැහැදිලිය. වෙසක් දින රජයේ නිවාඩු දිනයක් කිරීම සඳහාත් බෞද්ධ විහාර දේවාලගම් පනත සම්මත කර ගැනීම සඳහාත් රාමනාදන්තුමන් දක්වන ලද උනන්දුව ගැන බෞද්ධයන් ජාතික කොට්ඨාසයක් වශයෙන් එතුමන්ට සදා ණයගැති විය යුතුය. (සරසවි සඳරැස-1889)

බෞද්ධාරකෂක කමිටුව මඟින් එළැඹෙන වෙසක් පොහොය උත්සවශ්‍රීයෙන් සමරනු වස් උත්සව කමිටුවක් පත් කෙරිණි. එහි සභාපතීත්වය හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන් විසින් හොබවන ලද්දාහ. මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි, කරෝලිස් පූජිත ගුණවර්ධන (ලේකම්), දොන් කරෝලිස් හේවාවිතාරණ, ඒ. පී ධර්මගුණවර්ධන, විලියම්ද ආබෙට්, චාර්ල්ස් ඒ ද සිල්වා, එස්. එස්. ප්‍රනාන්දු, පීටර්ද ආබ්‍රේට්, එච්. විලියම් ප්‍රනන්දු යන අය කමිටුවේ සෙසු සාමාජිකයෝ වූහ. ඕල්කට්තුමන් මෙම කමිටුවේ ගරු සාමාජිකයා ලෙසින් නම් කෙරිණි. කමිටුව මඟින් ප්‍රධාන කටයුතු තුනක් යෝජනා කොට ක්‍රියාත්මක කිරීම සඳහා නියම කර ගත්හ. ඒවා නම්,

I. 1885 අප්‍රේල් 27 වැනිදා කොළඹ කොටුවේ දොන් කරෝලිස් ආයතනය අසල සිට මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනට පෙරහැරකින් පැමිණීම.

II. බෞද්ධ කොඩියක් උත්සවශ්‍රීයෙන් එසවීම.

III. ගුණානන්ද හිමියන්ගේ ධර්ම දේශනාවක් කැලණිය රජමහා විහාරයේදී පැවැත්වීමයි.

මේ අනුව අප්‍රේල් 28 වෙසක් පොහෝ දින ප්‍රථම වරට කොටහේන දීපදුත්තාරාමයේදී බොදු ධජය ලක් දෙරණේ ළෙල දුන්නේය.

බෞද්ධ කොඩිය නිර්මාණය කිරීමේදී ආභාසයට ගනු ලැබුවේ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් මිෂනාරින් සමඟින් වාද විවාදවලට සහභාගි වන විට රැගෙන ගිය බුද්ධ රෂ්මි පිළිබිඹු කරනා ධජයයි. බොදු ධජයේ නිර්මාතෘවරයා වන්නේ වෙසක් උත්සව කමිටුවේ ලේකම් පූජිත ගුණවර්ධනයන්ය. එහි නිර්මාතෘ ඕල්කට්තුමන් යැයි ප්‍රකට මතයක් වුවද එතුමන් එය ස්වකීය දිනපොත්ම සටහන් කොට ප්‍රතික්ෂේප කර තිබිණි. බොදු ධජය ප්‍රථමවරට ලක් දෙරනේ ළෙලදෙන විට ඕල්කට්තුමන් මදුරාසියේ සංචාරයක නිරත වී තිබේ. ඔහුගේ දායකත්වය හිමිවූයේ බොදු ධජයේ සම්මත ප්‍රමිතියටයි.

බෞද්ධයකු වීම නිසා බොහෝ වරප්‍රසාද අහිමිව ගිය සමාජ වටපිටාවක් තුළ බෞද්ධයන් තුළ බොදු බැතිය සහ ශාසන ආලය වැඩි වීම සඳහා මූලික වූයේද ඔල්කට්තුමන්ය. ක්‍රිස්තියානි සංස්කෘතිය තුළ පැවති වූ විවිධ වූ විචිත්‍රවත් ලක්ෂණ ආදේශකර ගනිමින් භෞතිකව හා අාධ්‍යාත්මිකව වෙසඟේ අසිරිය විඳ ගැනීමට මඟ පාදන ලදී. වෙසක් සැරසිලි වෙසක් සුබපැතුම් පත්, තොරණ්,දන්සල්,බෞද්ධ පෙරහැර, ඉරුදින දහම් පාසල් මූලිකව සකස් වූයේ ක්‍රිස්තියානි සංස්කෘතියේ ආභාෂය මුසුකර ගෙනය. මේ මඟින් වෙසක් අසිරිය පිළිබඳව පොදුජන මතයක් ඇති කිරීමට ඕල්කට්තුමන්ට හැකි විය.

ලංකාවෙන් හඳුන්වා දුන් ෂඩ් වර්ණ බෞද්ධ කොඩිය ලොවට දායාද කිරීමේ ගෞරවය හිමිවනුයේ මහාචාර්ය ගුණපාල මලලසේකරයන්ටය. 1950 ලෝක බෞද්ධ මහා සම්මේලනය මුල්පුටුව හොබවමින් ලෝක බෞද්ධ නියෝජිතයන්ට බොදු ධජය මුළු ලොවටම පොදු සංකේතයක් බැව් යෝජනා කළේය. එහි ප්‍රතිඵල වශයෙන් සිංහල අපගේ බොදු ධජය සකල ලෝකවාසී බෞද්ධයන්ගේ ධජය බවට පත් විය.

වත්මනෙහි වෙසක් පොහොය නිවාඩුව ලංකාව ඇතුළු බෞද්ධ රටවලට පමණක් නොව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා පිළිගනු ලබන ජාත්‍යන්තර නිවාඩු දිනයකි. එම කාර්යය සඳහා පෙරමුණ ගනු ලැබුවේ දිවංගත විදේශ අමාත්‍ය ගරු ලක්ෂ්මන් කදිරගාම මැතිතුමන්ය.

1956දී බුද්ධ ජයන්ති සැමරුම අතිඋත්කර්ෂවත් අයුරින් සමරන ලදී. ඉන්පසුව ලෝක බෞද්ධයන් ලංකාවේ මුණගැසෙන සුවිශේෂී අවස්ථාව වූයේ 2017 එක්සත් ජාතීන්ගේ වෙසක් උත්සවයයි. ඉන් අනතුරුව 2019 වර්ෂයේ ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස නම් කරන ලද අතර එය ලෝක උරුමයක් ලෙස නම් කිරීම සඳහා අදාළ යෝජනාව ජනාධිපතිතුමන් විසින් යුනෙස්කෝ සංවිධානය වෙත උත්සවාකාරයෙන් බාරදෙනු ලැබූයේ මහනුවර දළදා මාළිගා පරිශ්‍රයේදීය.

මුද්දර විස්තරය

1956-මැයි 23-විජයාවතරණය-වටිනාකම ශත 03

1959.12.31-පිරිවෙන් සරසවි ඇරඹීම-පූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමන්ගල හිමියන් සහ මාලිගාකන්ද විද්‍යේදය පිරිවෙන වටිනාකම-ශත 10

1967.12.08-සෙන්පති හෙන්රි ස්ටිල් ඕල්කට්-වටිනාකම ශත 15

1975.09.04-ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් මැතිතුමා-වටිනාකම ශත 75

1969.04.10-ලංකාවේ ප්‍රථම වෙසක් මුද්දර නිකුතුව-වටිනාකම ශත 4,6,35.

1987.05.04-ප්‍රථමවරට වෙසක් සැරසිළි තැපැල් මුද්දරය මත සිතුවම් වීම.

[නිරෝෂණ පීරිස්]

මාතෘකා