සාමාන්‍ය කාංසාව හඳුනා ගන්නේ කොහොමද?

 ඡායාරූපය:

සාමාන්‍ය කාංසාව හඳුනා ගන්නේ කොහොමද?

ඕනෑම කෙනකුගේ ජීවිතයේ බොහෝ අවස්ථාවලදී අපට කාංසා සහගත අත්දැකීම්වලට මුහුණ දෙන්න සිදු වෙනවා. තවත් අයකුගේ කාංසාව වැනි හැසිරීමක් නිවැරදිව අවබෝධ කර ගැනීමට නම් ඔබ කාංසාව පිළිබඳ අවබෝධයක් වගේම ඔබ තුළ කාංසා සහගත හැසිරීමක් ඇති වූ අවස්ථාත් අවබෝධ කර ගත යුතුය. සරලව කියනවා නම් කාංසාවක් ඕනෑම කෙනකුට ඇති වෙන්න පුළුවන්. සම්මුඛ පරීක්‍ෂණයකට පෙනී සිටීමේ අවස්ථාවක නව රැකියා අවස්ථාවකදී වගේම කතාවක් පවත්වනවා වැනි ආතතියක් ඇති කරවීමට සමත් අවස්ථාවලදී කාංසා සහගත තත්ත්වයක් ඇති වෙන්න හැකියාව පවතිනවා. නමුත් මේ තත්ත්වය හරිම සාමාන්‍ය තත්ත්වයක්. අදාළ සිදුවීම හෝ අවස්ථාවට මුහුණ දීමෙන් පස්සේ මේ තත්ත්වය ක්‍රමයෙන් අඩු වෙලා යනවා.

කාංසාව රෝගී තත්ත්වයක් දක්වා දිව යන්නත් පුළුවන්කමක් තියෙනවා. කාංසාව පෙන්නුම් කරන ආකාර කිහිපයක් තියෙනවා. එකක් තමයි කායික ලක්ෂණවලින් පෙන්නුම් කරන්න පුළුවන්. ඒ වගේම මානසික ලක්ෂණවලින්ද පෙන්නුම් කරන්න පුළුවන්. පාසල් පංති කාමරය තුළ ගැටලුවක් ඇති දරුවකුට උදෑසන පාසල් යන අවස්ථාවලදී වමනය යාම, බඩ එළිය යෑම, මුත්‍රා පිට වීම වැනි දේ සිදු වෙන්න පුළුවන්. මානසික වශයෙන් නින්ද නොයෑම, ආහාර අරුචිය, කිපෙනසුලු බව, අමතක වීම, අනපේක්ෂිත බිය වැනි තත්ත්වයන්ද ඇති වෙන්න පුළුවන්.

මම මුලින් කිව්වා කාංසාව ඕනෑම කෙනකුට ඇති වෙන්න පුළුවන් කියලා. නමුත් මෙහි ගැටලුව තියෙන්නේ කාංසා තත්ත්වය දීර්ඝ කාලීනව පැවතීම රෝගී තත්ත්වයක් බවට පත්වීමටද හේතු වෙනවා. ඒ වගේම වෙනත් රෝගී තත්ත්වයන් ඇති වීමටත් මෙය බලපානවා.

උදාහරණයක් විදිහට කියනවා නම් නිලූකා වයස අවුරුදු 24ක තරුණියක්. ඇයගේ පෙර පැවති ප්‍රේම සම්බන්ධතාව බිඳී යෑමෙන් පසුව ඇයගේ මවුපියන් ඇයට මංගල යෝජනා කිහිපයක්ම ඉදිරිපත් කරනවා. නමුත් එම සෑම වාරයකදීම යෝජිත මනාලයා ඉදිරියට යාමට නිලූකාට හැකි වෙන්නේ නැහැ. ඒ සෑම දවසකම නිලූකාට ක්ලාන්තයක් ඇති වෙනවා. ඇය ප්‍රතිකාරවලට යොමු වුණත් ප්‍රතිකාරවලින්ද ඇයට සුවයක් ලැබෙන්නෙ නැහැ. ඇයගේ මේ ගැටලුවට හේතුව වන්නේ ඇයට පෙර පැවති ප්‍රේම සම්බන්ධතාව ලිංගික සම්බන්ධතාවක් දක්වා පැවතී තිබීමයි. නව සම්බන්ධතාවකට යෑමට අපේක්ෂිත බියක් ඇය තුළ පවතිනවා. මෙම කාංසාමය තත්ත්වය ඇය තුළින් මතු වෙන්නේ ක්ලාන්තයක් විදියට. මෙම කාංසාමය තත්ත්වය හඳුනා ගැනීමෙන් පසුව නිවැරදි ප්‍රතිකාර ක්‍රමයකට යොමු කිරීමෙන් පසුව ඇය සුව කර ගැනීමට හැකි වෙනවා.

එදිනදා ජීවිතයේදී කාංසා තත්ත්වයන්ට ඕනෑම අයකුට මුහුණ දීමට සිදු වෙනවා. නමුත් මෙය සාමාන්‍ය නොවන තත්ත්වයක් දක්වා පැමිණි විට එය රෝගී තත්ත්වයක් හෝ වෙනත් රෝගී තත්ත්වයක ලක්ෂණයක් විදියට මතු වෙන්න පුළුවන්. බොහෝ වෙලාවට බොහෝ දෙනෙක් කාංසා තත්ත්වයන් මඟ හැර සිටිනවා. නමුත් එයින් තවත් කෙනකුට හානියක් ඇති වෙන්න පුළුවන්. ජිවිතයේ ඇතිවන ආතතිකාරී තත්ත්වයක් දීර්ඝ කාලීනව පවතිනවා නම් එය කාංසා තත්ත්වයක් ඇති කරවීමට හේතුවක් වෙන්න පුළුවන්. කාංසාවේ සමාන්‍ය තත්ත්වය නම් අදාළ සිදුවීමට පසුව එම තත්ත්වය ක්‍රමයෙන් අඩු වී යෑමයි. නමුත් කාංසාව රෝගී තත්ත්වයේදී එය ක්‍රම ක්‍රමයෙන් වැඩි වනවා වගේම එය දිගින් දිගටම පවතිනවා. මේ තත්ත්වය හඳුනා ගැනීමත් අසාමාන්‍ය තත්ත්වයකදී නිවැරදි ප්‍රතිකාරවලට යොමු වීමත් තුළින් කාංසාවට සාර්ථක ප්‍රතිකාර ලබා ගත හැකි වනවා සේම වෙනත් ගැටලු ඇති වීමද වළක්වා ගන්න පුළුවන්.

 

මනෝ උපදේශිකා ඉවෝනි දිල්කි

මාතෘකා