ගැබිනි වියේදී බෙහෙත් බොන්නේ ප්‍රවේශමෙන්

 ඡායාරූපය:

ගැබිනි වියේදී බෙහෙත් බොන්නේ ප්‍රවේශමෙන්

හැම කාන්තාවකගේම සිහිනය කවදා හෝ දිනක මව් පදවිය උරුම කර ගැනීමය. ඒ තරමටම දරුවකු කාන්තාවකගේ ජීවිතයට සුවිශේෂි වේ. ඒ නිසාම දරුවකු කුස තුළ දරා සිටින සමයේදී මවක් ඖෂධ භාවිතයෙන් බොහෝ ප්‍රවේශම් වේ. එහෙත් ගැබිනි කාල සීමාවේදී මවුවරුන්ට විවිධාකාර ඖෂධ භාවිතා කිරීමට සිදු වේ. මෙයින් සමහර ඖෂධ මවගේ ශරීර සෞඛ්‍යයට අත්‍යවශ්‍ය වන අතර සමහර ඖෂධ දරුවාගේ වර්ධනයට අත්‍යවශ්‍ය වේ. මීට අමතරව විටමින් වශයෙන් තවත් ඖෂධ භාවිතා කිරීමටද සිදු වේ. බොහෝ කලාතුරකින් සමහර ඖෂධ නිසා කලලයට හානි පැමිණීමද සිදු විය හැකිය.

කෙටි කාලීන අවශ්‍යතා (උදාහරණ ලෙස හිසරදය, වමනය) දිගු කාලීන සෞඛ්‍ය ප්‍රශ්න (උදාහරණ ලෙස දියවැඩියාව, අධික රුධිර පීඩනය ආදිය) නිසා බොහෝ කාන්තාවන් ගර්භිණී සමය තුළ ඖෂධ භාවිත කරයි.

ගර්භිණී සමයේදී ඖෂධයක් ගත් විට එය කුස තුළ වැඩෙන දරුවාගේ සිරුරට යෑමට ඉඩ ඇත. ගර්භිණී සමයේ පළමු මාස තුන තුළ ඔබ කුස තුළ වැඩෙන දරුවාගේ ඉන්ද්‍රියන් හට ගනියි. මෙම කාල වකවානුව තුළ ඇතැම් ඖෂධ නිසා දරුවාට අංගවිකලතා ඇති විය හැකිය. පළමු මාස තුනෙන් පසුවද ඖෂධ නිසා දරුවාගේ සිරුරේ වැඩීම දුර්වල විය හැකිය. සිරුරේ ක්‍රියාකාරීත්වයන් දුර්වල විය හැකිය. ඇතැම් විට ඔබට සරිලන ඖෂධ මාත්‍රාව කුස තුළ සිටින දරුවාට විෂ වීමටද ඉඩ තිබිය හැකිය. එම නිසා ගර්භිණී සමයේදී ඖෂධ භාවිත කළ යුත්තේ ඉතා සැලකිලිමත්වය. වෛද්‍ය උපදෙස් නොමැතිව කිසිම ඖෂධයක් නොගත යුතු බව විශේෂයෙන් මතක තබාගත යුතුය.

ඇතැම් ඖෂධ ගර්භිණී සමයේදී ගැනීමට සුදුසු යැයි තීරණය කර තිබේ. ඇතැම් ඖෂධ ගර්භිණී සමයෙහි පළමු මාස තුන සඳහා සුදුසු නොවේ යැයිද තීරණය කර ඇත. ඇතැම් ගර්භිණී සමය තුළ කිසිසේත් නොගත යුතු යැයිද වෛද්‍ය මතයක් තිබේ. ඇතැම් ඖෂධ ගර්භිණී සමය සඳහා නිර්දේශ කරනුයේ ඖෂධයේ යහපත් ප්‍රතිඑල අයහපත් ප්‍රතිඑලවලට වඩා වැඩි නම් පමණි.

එම නිසා ඔබ ඖෂධ භාවිත කරන්නේ නම් ඉහත කී කරුණු ගැන විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය. ඔබ දිගු කාලීන සෞඛ්‍ය ප්‍රශ්නයක් සඳහා ප්‍රතිකාර ගන්නේ නම් ඔබ ගර්භිණීභාවය සැලසුම් කළ යුතුය. එමෙන්ම උපත සැලසුම් කිරීමේදී ඔබ භාවිත කරන ඖෂධ දරුවකු පිළිසිඳ ගත් විටද ගැනීමට සුදුසුද යන්න, ඖෂධ වෙනස් කළ යුතුද යන වග, ඖෂධයේ මාත්‍රාව අඩු හෝ වැඩි කළ යුතුද යන වග සහ ඖෂධය මිලදී ගැනීමේදී විශේෂයෙන් සැළකිලිමත් විය යුතු කරුණු පිළිබඳව වෛද්‍ය උපදෙස් පැතිය යුතුය.

ඔබට අපස්මාරය, දියවැඩියාව, ඇදුම, හෘද රෝග වැනි දිගු කාලීන රෝග ඇත්නම් දරුවකු පිළිසිඳ ගත් විට හදිසියේ ඖෂධ ගැනීම නොනවත්වන්න. වහා සුදුසුකම් ලත් වෛද්‍යවරයකු හමු වී උපදෙස් ලබා ගත යුතුය. ඔබගේ දිගු කාලීන රෝග තත්ත්වයන් නිසි ලෙස පාලනය නොකළහොත් ඔබට හෝ ඔබගේ දරුවාට අවැඩක් විය හැකිය. ගැබ් ගැනීමට හැකි වයසේ පසුවන්නේ නම් ඔබ ගන්නා ඖෂධ ගැන ඉතා සැළකිලිමත් විය යුතුය. දරුවකු පිළිසිඳගෙන මසක් දෙකක් ගතවන තුරු ඔබ ඒ බව නොදැන සි‍ටීමට ඉඩ ඇත. මෙසේ ඔබ නොදැනුවත්වම දරු ගැබෙහි තීරණාත්මක අවධියකදී ගර්භණී සමයට නුසුදුසු ඖෂධ ගැනීමේ අවදානමක් පවතී. ගර්භිණී සමයේදී කුමන හෝ හේතුවකට ඖෂධ භාවිත කිරීමට ප්‍රථමයෙන් සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගේ උපදෙස් අනිවාර්යයෙන් ලබා ගත යුතුය.

මව් කිරි දෙන මවක් ඖෂධ ගැනීමේදී ඔබ බිලිඳාට මව් කිරි දෙන මවක් නම් මව් කිරි සමඟ බොහෝ ඖෂධ බිලිඳාගේ සිරුරට ඇතුළු වන බව අමකත නොකරන්න. එබැවින් මෙම සමයේදී ඖෂධ භාවිතය ඉතා සැලකිල්ලෙන් කළ යුතුය. වෛද්‍ය උපදෙස් මත හැර කිසිම ඖෂධයක් භාවිත නොකළ යුතුය. ඇඟපත රුදාවට , පීනස් අමාරු ආදියට හිතුමතේ ඖෂධ නොගත යුතුය. ඇඟපත රුදාවට ගන්න ඇස්ප්‍රීන් වැනි ඖෂධ මවුකිරි සමඟ දරුවාගේ ශරීරගත වී දරුවාට ලේ ගැලීම් , කුෂ්ට රෝග ආදිය ඇති කළ හැකිය. පීනස සඳහා භාවිත කරන antihistamine කාණ්ඩයට අයත් ඖෂධ නිසා දරුවාට අධික මත් ගතියක් හෝ නින්දේ රටාවේ අනිසි වෙනස්කම් ඇති විය හැකිය. නිරන්තරයෙන්ම ඔබ භාවිත කරන ඖෂධ නිසා ඔබේ දරුවාට හුස්ම ගැනීමේ අපහසුතාව, මත් ගතිය, කුෂ්ඨ, ඇඟපත කැසීම, කලබලකාරී බව ආදී අතුරු ආබාධ ඇති වේදැයි සැළකිලිමත් විය යුතුය.

උපදෙස්- කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ

‍ෙජ්‍යෂ්ඨ කථිකාචාර්ය, ප්‍රවීණ විශේෂඥ වෛද්‍ය

චාමරී‍ ලෝචනා වීරරත්නගේ "ඖෂධ භාවිතයට අත්වැලක්" කෘතිය ඇසුරිනි.

සටහන- [මදාරා මුදලිගේ]

මාතෘකා