වෙසක් උලළෙහි බෞද්ධයන්ගේ වගකීම

 ඡායාරූපය:

වෙසක් උලළෙහි බෞද්ධයන්ගේ වගකීම

වෙසක් උලෙළ බෞද්ධයන්ගේ උතුම්ම උත්සවයයි. එය එක් අතකින් ජාතික උත්සවයකි. ඊට හේතුව එය බොදුනුවන්ගේ සීමාවෙන් ඔබ්බට ගොස් අන්‍ය ලබ්ධිකයන්ගේද ප්‍රමෝදයට හේතුවක් වීමය. දෙව් මැඳුරේ සිල්ගත් පියතුමා යැයි විරුදාවලිය ලැබූ මර්සලින් ජයකොඩි පියතුමා සහ බොදු ගීයෙහි මුදුන් මල්කඩක් වන් මොහිදින් බෙග්ගෙන් පිළිබිඹු වන්නේ එහි සංස්කෘතික හා සමාජ මුහුණුවරයි.

කෙසේ වුවද මෙවර වෙසඟ එළැඹෙන්නේ ජනසිත්හි අවිශ්වාසය බිය හා සැක මුසුවය. ඊට හේතුව රට පුරා පැතිර ගිය ම්ලේච්ඡත්වයයි. ඊට සම්බන්ධ වූයේ ජනගහනයෙන් සුළු පිරිසකි. බහුතර ජනතාව එබඳු අශිෂ්ට ක්‍රියා ප්‍රතික්ෂේප කරති. එබඳු මොහොතක බෞද්ධයන්ගේ වගකීම කුමක්ද යන්න මෙවර සංවාදයට විෂය වේ.

[රසිකා හේමමාලි] [නිර්මාණි බණ්ඩාරනායක]

බුදුන් ගත් මාර්ගයේ යන්න, ගැටලු අවම වෙයි

මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි

බිය සැකවලින් පිරුණු සමාජයකනේ මේ මොහොතේ මිනිස්සු ජීවත් වෙන්නේ. ඒ සියලු ව්‍යාකූලත්වයන් දුරු කරන්න හොඳම මඟ තමන්ගේ ශාස්තෲවරයානන් වහන්සේව සිහි කිරීම. බුදුරජාණන් වහන්සේගේ මඟ යෑම. උන් වහන්සේගේ දේශනාව අනුව සිත සන්සුන් කර ගැනීම. ඒත් දැන් සමහරු බුද්ධං සරණං ගච්ඡාමි කියලා වෙන වෙන සරණ යන එකනේ කරන්නේ.

ශ්‍රී ලාංකේය සමාජය තුළ එකිනෙකට වෙනස් සංස්කෘතීන් පවති. බුදු හාමුදුරුවො දේශනා කරලා තියෙනවා "සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා" කියලා. ඒ කියන්නේ මම මගේ ජීවිතයට ආදරෙයි වගේම අනෙක් සියලුම සත්වයෝද තමන්ගේ ජීවිතයට ආදරෙයි කියන එක. ඒ බව පිළි අරගෙන හැමදෙනාම අනෙකාට මිත්‍රශීලීව සලකන්න ඕනේ. මේ වෙසක් මාසේ. තෙමඟුල සිහපත් කරන මාසේ. එවන් මාසයක බෞද්ධයන් විදිහට බුදුහාමුදුරුවන්ගේ චරිත ලක්ෂණ, උන් වහන්සේගේ දේශනා, උන් වහන්සේගේ විශිෂ්ටත්වය සිහිපත් කරන්න ඕනේ. එතකොට හදවතේ ශ්‍රද්ධාවක් නැඟෙනවා. ඒ අනුව කටයුතු කළා නම් කිසිම ගැටලුවකට මිනිස්සුන්ට මූණ දෙන්න වෙන එකක් නැහැ.

 

 

මොන දෘෂ්ටිකෝණයෙන් බැලුවත් ජීවිත විනාශ කිරීම සාධාරණ නෑ

මහාචාර්ය සමන් චන්ද්‍ර රණසිංහ

බෞද්ධයන් කියන්නේ අවබෝධයට පත්වූවන්ටයි. බුදුන් වහන්සේ කියා දුන් මාවතේ ගමන් කරන අයටයි. බුද්ධ වචනය අනුව කටයුතු කරන අයටයි. මේ ගැන විමසූ විට පූජ්‍ය කුකුල්පනේ සුදස්සි හාමුදුරුවන් බුද්ධ වචනයට අනුවම උත්තරයක් දුන්නා. උන් වහන්සේ කිව්වේ මේ ගැටලුවට විසඳුම සමථය සහ විදර්ශනාව කියලයි. මේක කොයි ආගමකට වුවත් අයිති අය සිතා බැලිය යුතු විසඳුමක්. සමථය යන වචනයේ සංසිඳීම යන තේරුම තියෙනවා. අපි සරල අර්ථයෙන් ගත්තත් ගැටුමක් ඇති වුණොත් ඒකට වර්තමාන විසඳුමක් තියෙන්න ඕන. ආරක්ෂක අංශවල ඒවා මෙහෙයවන අයගේ වගකීම ඒකයි. ඒ වගේම මේ වගේ සංවේගජනක තත්ත්වයන් ඇති නොවන තැනට කටයුතු කිරීම සඳහා අපට විදර්ශනාව අවශ්‍යයි. විදර්ශනාව කියන්නේ විශේෂයෙන් දැකීමයි.

මේ ජීවිත පිළිබඳ විශේෂයෙන් දකින ඇස් ඇති අයට ජීවිත විනාශ කරන්නට බැහැ. එහෙම දැක්මක් තිබුණා නම් අප්‍රේල් 21 වැනිදා සිදු කළ මහා බරපතළ ජීවිත හානි සිදු වන්නේ නැහැ. අපි ආගමික, අධ්‍යාපනික, දේශපාලනික, සාමාජික හැම දෘෂ්ටි කෝණයකින්ම බලන්න ඕනේ ජීවිතවල පැවැත්ම තහවුරු කිරීම සඳහායි. ඔය කොයි දෘෂ්ටි කෝණයෙන් බැලුවත් ජීවිත විනාශ කරන එක, කරවන එක සාධාරණීකරණය කරන්න බැහැ. ඒවා වීරකම් නොවෙයි. බෞද්ධ සමාජයක් කියන්නෙ ආදරණීය සමාජයකට. ඒ සමාජය තුළ ඕනෑම කෙනකුට සෙවණ තියෙනවා. මට මේ වෙලාවේ මතක් වෙනවා සමන් සිත්තරා කියපු දෙයක්. ඔහු කියනවා බුදු සසුන සුරැකීම කියන්නේ සියලු ධාර්මික ආයතනවල පැවැත්ම තහවුරු කිරීමයි කියලා. ඒ වගේම ඔහු කියනවා බෞද්ධත්වය කියන්නේ මහා වෘක්ෂයක් කියලා. ඒ වෘක්ෂය කැපුවොත් ඒකේ සෙවණ නැති වෙන්නේ සිංහල, දෙමළ, මුස්ලිම්, බෞද්ධ, හින්දු, කිතුනු සියලුම දෙනාටයි කියලා. ඒ නිසා අපි කවුරුත් මේ ගහ රැක ගන්න ඕනෑ. මේක ධර්මයේ පණිවිඩය වෙන්න ඕනෑ. මේක දේශපාලනඥයන්ගේ වගකීම වෙන්න ඕනෑ. අධ්‍යාපනඥයන්ගේ ඉගැන්වීම වෙන්න ඕනෑ. ඒ වගකීම මේ සෑම කුලකයකටම අයිති අය හරියට ඉෂ්ට කළොත් බෞද්ධයන් හෝ බෞද්ධ නොවන අය හෝ කටයුතු කළ යුත්තේ කොහොමද කියන මේ ප්‍රශ්නයවත් මතු වන්නේ නැහැ.

 

 

බුද්ධ චරිතයෙන් ආදර්ශ ගන්න

ආචාර්ය ඉත්තදෙමලියේ ඉන්ද්‍රසාර හිමි

හරිම බෞද්ධයෝ නම් කලහකාරී විදිහට හැසිරෙන්න යන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ ප්‍රශ්න ඇති කරගෙන ප්‍රශ්න විසඳන්න පුළුවන් කියලා දේශනා කරලා නැහැ. ද්වේශ සහගත ලෙස හැසිරෙන්න කියලා නැහැ. බුදුහාමුදුරුවෝ කිව්වේ "නහී වේරේණ වේරාණි" කියලා. බෞද්ධයන් ලෙස ගැටුම් ඇති කර ගන්න බැහැ. මේ වගේ ව්‍යාකූල මොහොතක බුදුහාමුදුරුවන්ගේ චරිත ලක්ෂණවලින්ම ආදර්ශ ගන්න පුළුවන්. බුද්ධ චරිතය අධ්‍යයනය කරද්දි මේ වගේ කලහකාරී ලෙස ගැටලු විසඳන්න අය ආපු අවස්ථා බොහොමයි. ඒ අවස්ථා සඳහා උන්වහන්සේ මුහුණ දුන්නු ආකාරය අධ්‍යයනය කළාම මේ ප්‍රශ්නවලට විසඳුම එතන තියෙනවා. මේක තමයි බෞද්ධයන් හැටියට ඉවසීමෙන් කටයුතු කරන්න හොඳම වේලාව. වෙසක් උත්සවය අත ළඟ තියෙන මොහොතක බුදුන් වහන්සේ විසින් දේශලා කරන ලද ධර්මයෙහි හැසිරෙන එක තමයි බෞද්ධයින් විදිහට සියල්ලන්ම කළ යුත්තේ.

 

 

සාමයික බෞද්ධයා මේ වෙසඟේදී ඉස්මතු වේවි

ගුරුගොඩ සිරිවිමල හිමි

අපි දන්නවා වෙසක් සැමරුම කියන්නෙ ලංකාවේ බුද්ධාගම හා බැඳුණු විශේෂ කාරණයක්. එතනදි මම එය සංස්කෘතික කාරණාවක් විදියට පිළිගන්න කැමතියි. ඕනම රටක ඕනෑම ආගමක් දහමක් සම්බන්ධයෙන් එන සංස්කෘතික සැමරුම් අතිශය ආකර්ෂණීයයි. 21 වැනිදා ත්‍රස්තවාදීන් එල්ල කරපු ම්ලේච්ඡ ප්‍රහාරය සහ ඉන් පසුව රටේ ඇති වුණු දේශපාලන බෙලහීනතාවන් එක්ක මේ බෞද්ධ රට ඇතුළේ වෙසක් උත්සවය සමරන්න බෞද්ධයන්ට අනෛතික තහංචියක් පැනවුණා. ඒක සාමූහික බෞද්ධ සමාජයටත් බිස්නස් බෞද්ධයන්ටත් එකසේම වැදුණු මරු පහරක්. ඕන ත්‍රස්තවාදියෙක් එරෙහි වෙන්නෙ මේ සමාජයට නම් ඒ සමාජයෙන් ලැබෙන ප්‍රතිඋත්තරය ඉතා යහපත් එකක් වෙන්න ඕන. ඒ වගේම ත්‍රස්තවාදී පාර්ශ්වයට පසුබසින්න තරම් සාමූහිකත්වයක් ඒ උත්තරය තුළ තියෙන්න ඕන. ඉතිං මම කැමතියි මේ අවුරුද්දෙ බෞද්ධයන්ගේ වෙසක් උත්සවය ඉතා ඉහළින් සමරන්න. නමුත් ඒක හුදෙකලා විදියට සැමරෙනවා නම් ඉතා හොඳයි. මොකද මේ වෙලාවේ අපිට ආරක්ෂාව පිළිබඳව දරුණු සැකයක් තියෙනවා. ජනාකීර්ණ තැනකදී ආරක්ෂාව පිළිබඳව කිසිම කෙනෙක්ට වගකියන්න බැහැ. ඒ නිසා තම තමන්ගෙ නිවෙස්වල ඒ ඒ සංස්කෘතිකමය සිද්ධීන් පෞද්ගලිකව කර ගන්නවා නම් ඉතා හොඳයි. වෙසක් තොරණ, බැති ගී, නාට්‍ය, දන්සැල් ආදී මිනිසුන් ඒකරාශී වෙන ආමිස පින්කම් නොකර ප්‍රතිපත්තිමය බුදු දහම මේ වෙලාවේ ශ්‍රී ලංකාව ඇතුළේ සැමරෙනවා නම් මම ඒ ක්‍රමයට ඉතා කැමතියි.

කඩ ගිනිබත් කරමින්, අහිංසක මිනිස්සුන්ට පීඩනය කරමින්, එකිනෙකාට බැණ වදිමින් කෙරෙන ත්‍රාඩ දේශපාලනයක් දැන් ක්‍රියාත්මකයි. ඒ සියල්ලක්ම කෙරෙන්නෙ මේ වෙසක් සැමරිය යුතු සාමයික බෞද්ධ අහිංසක මිනිසුන්ගෙ නාමය ඉස්සරහට දාගෙන. කොටින්ම කිව්වොත් මේ පාලකයො බුද්ධාගම සහ සිංහල ජාතිකත්වය ඉස්සරහින් දාගෙන මිනිසුන්ට දුක් දෙනවා. ඒ වගේ අසංවේදී මොහොතක වෙසක් වගේ සංස්කෘතිකමය කාරණාවලින් අපට සංවේදී මිනිසුන් බිහි කර ගන්න පුළුවන්. සාමය ගැන, ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කෙරෙන සාමයික බෞද්ධයා මේ වෙසක් එකේදි ඉස්මතු වේවි කියල මම විශ්වාස කරනවා. අනිත් එක තමා වෙනත් අවුරුදුවල කෙරෙන බිස්නස් වෙසක් එකට වඩා මේ වෙසක් එක ඉතාමත් ලස්සනට කර ගන්න අපේ බෞද්ධයන්ට පුළුවන් වේවි.

මාතෘකා