පියාඹන්නේ කොහොමද...?

 ඡායාරූපය:

පියාඹන්නේ කොහොමද...?

ගගනත එක් ඉසව්වක සිට තවත් ඉසව්කට තමන්ගේ දිවි සැරිය හඹාගෙන යන විහඟුන් තවත් වරෙකදී වෙනත් ඉසව්වක වූ නවාතැනක සිය ජීවිත කැදැල්ල තනනවා. ඔවුන් සිය නැවුම් සාමාජිකයන් එක්ක නැවතත් වගකීම් සහිත විඩාබර ගමනකට මුල පුරනවා. නිදහසේ සීමා මායිම් මේ අහසේ සලකුණු කර නොමැති වුවත් විටෙක වැහිබර අහස් කුස, අකුණු සැරෙන් ගිගුම් දෙන අහස් කුස, තවත් වරෙක හිරුගේ දාහයෙන් නැහැවෙන අහස් කුස නිදහස සීමා කරන්නේ අනවසරයෙන්.

“හරි අපූරුයි, දවල් වෙනකම් මෙහෙම නිදා ගන්න එක. නැගිටලා ඉස්කෝල කාල සටහනේ තියෙන විදිහට ඒ විෂයන් පාඩම් කරගන්න පුතා...”

තාත්තාගේ හඬ තදින් නෑසුනත් ඒක අවවාදයක්. හරිහමන් අවසරයක් නොලැබුණු නිසා පාසල් ගමන තවමත් එක තැනක නතර වෙලා. ඇත්තටම අලුත් අවුරුද්දේ අපි පහුකරන නොනගතය කාලය වගෙයි. වෙනදට නම් සඳුදා දවස අපි කාගෙත් කලබල කඩිසර දවසක්. සතියක ඇරඹුම වගේම ඒ සතියේ සාර්ථක බව, අසාර්ථක බව මේ දවස අවසන් වෙද්දී තීරණය වෙලා අවසන්. නොදැනීම හිමිදිරිය පලා ගිහින්. හිරු කිරණ හෙමින් හෙමින් පොළොව වෙලා ගන්නවා. පරිසරයේ මේ වෙනස්කම් දකින්න හිත ඒ තරම් උනන්දු නැති බව දැනෙනවා. වෙනදාට පරිසරයේ මේ වෙනස්කම් මට දැකගන්න නැත්තේ මේ වෙද්දිත් අපි පාසලට ගිහින් අවසන් නිසයි. මාසයකට වැඩි දින ගණනක් ගත වූ නිවාඩුව නිසා දැනෙන මේ උදාසීනකම තවත් විෂයක් වෙලා. ඒත් මගේ ගෙදර වටපිටාවේ ඉන්න පාසල් යන වයසේ සහෝදර සහෝදරියන්ට නම් මේ විවේකය ගමම කෙළි මඩලක් කරගන්න තරම් හේතුවක්. ඒ නිදහස මට වැඩියෙන් දැනෙන්නේ අසල නිවසේ ඉන්න මල්ලිලා කිහිප දෙනා නිසයි. අද ඇහෙන මේ ඝෝෂාව එතැන පිරිස වැඩියි කියා ඇඟවෙනවා.

ඒ ඝෝෂාව මගේ කුතුහලය හෙමින් වැඩි කරද්දී මගේ ඇස් සිදුවීම හොයනවා. එක පොදියට එකතු වුණු යහළුවන් මැද්දේ පුංචි කූඩුවක අපහසුවෙන් සුදෝ සුදු පරවියකු කූඩු කරලා. කණ්ඩායමේ බාලයා වගේම දඟකාරයා වන චරිත් මල්ලී හරි සීරුවට තමන්ගේ දෝතට ඒ පරවියාව අරගත්තා. තවත් මොහොතකින් තමන්ගේ දෑතේ සිරවුණු පරවියා ඉහළ අහසට විසි කළේ “හුරේ... පියාඹන්න සුද්දා. ආපහු වරෙන් ඉක්මනට...” කියන ඉල්ලීම හා අණ කිරීමත් එක්කමයි. හැම දෙනාගේම දෙනෙත් අහස දිහා හැරවිලා. ඇත්තටම ඒ තරම් සීරූවකින් එක එල්ලේ අහස දිහා බලන් ඉන්න ඔවුන් දිහා බලන් ඉන්න මට දැනුණේ මොහොතකට කලින් ප්‍රීතිඝෝෂා කළ යාළුවන්මද මේ ඉන්නේ කියලයි. ඒ තරම්ම නිහඬයි. චතුර පරවියා අහසට වීසිකර විඳින සතුට වැඩිමහල් සහෝදරයාගේ මුහුණේ දකින්න නැහැ.

“අපි කොහොමද සුද්දා ආපහු බිමට එන වෙලාව හොයා ගන්නේ...?”

“චමත්ක අයියා, ඔයාට පුළුවන්ද අපට උදව්වක් කරන්න.” පොඩි යාළුවා මගෙන් උදව්වක් ඉල්ලනවා.

“කියන්න මල්ලී.”

“බැරිවෙලාවත් සුද්දා ඔයාලගේ වහලෙට ආවොත් අපිට ටිකක් කියන්න අයියා. මම ඇවිත් අල්ලගන්නම්.”

මේ ඉල්ලීම චතුරගේ වෙනදා ඉල්ලීම්වලට වඩා පහසුයි.

“මම කියන්නම් මල්ලී...”

ඒ පිළිතුරත් එක්ක කාණ්ඩේ ඈතට ඇදෙනෙවා. ඒත් පරවියා අපේ වහලයට ආවොත් මගේ දැනුම්දීමෙන් එයාගේ ඉගිලීමේ නිදහස අවසන් වෙනවා. තවත් සුළු වෙලාවකින් චතුරගේ තීරණය හරි කියන ශබ්දය ඇහෙන්න වුණා. පරවියාගේ තටු එකට ගැටෙන හඬ වහලය දිහාවෙන් ඇහෙනවා. ඒත් පරවියා පඩිපෙළ පාමුල... ඇත්තටම එයා ආපහු ආවද...? නැත්නම් පියාඹන්න අපහසුවෙන් ඇදගෙන වැටුණද? මගේ හිත ප්‍රශ්න උත්තර හොයනවා. මම සුද්දාට සමීප වුණත් එයා එතනමයි. එහා මෙහා බලා ඉන්නවා හැර ඈතට පියාඹන්න උත්සාහයක්වත් නැහැ.

සුද්දා සීරුවට මගේ දෑත් අතර නතර වෙලා. මේ අහස පුරාම නිදහසේ ඉඩ පැතිරිලා. ඒත් ඇයි එයා මේ විදිහට නිදහස සීමාවෙන උණුසුමකට ලැදි? ඒ සිනිඳු පියාපත් අතර රළු යමක් රැඳිලා. සීරුවෙන් තටු අතර බලද්දී සුද්දා පියාඹන්න උනන්දු නොවෙන හේතුව හමු වෙනවා. තමන්ගෙන් ඈතට පියාඹන්න නොහැකි වෙන්න චතුර මල්ලී සුද්දාගේ පිහාටු එකතු කරලා ගම් පටිවලින් අලවලා. එයින් නතර නොවී දිග පිහාටු කෙටි වෙන්න කපා දාලා. මගේ මතකය ඉක්මනින් පුංචි සංදිය දිහාට දුවනවා. අහම්බයකින් මගේ නූල් මද්දට අහුවුණු බත් කූරෙක් ඒ නූලේ දිග ඇතිතුරු අපහසුවෙන් ආකාසයට පියාඹලා ගියත් ඒ නූල ආපහු ඇද්ද නිසා පොළොවට වැටෙනවා. පියාඹන්න ගත්ත උත්සාහය නිසා මද්ද අසලින් කඳ දෙකඩ වෙලා. ඒත් පණ ගැහෙන කඳ කොටස නිදහස හොයාගෙන පියාඹන්න දැඟලු හැටි ඇස් කෙළවරේ අදටත් ඉතිරියි.

“චතුර මල්ලී, මෙන්න සුද්දා. ඒත් මට කියන්න ඔයා සුද්දාව අහසට දැම්මේ ඉගිලෙන්න කියලා නේද? තටු අලවලා, තටු කපලා නම් කොහොම ද පියාඹන්නේ?”

“අයියා, එයා ඉන්න ඕනේ මට පේන හරියේ මිසක් අහසේ නෙවෙයි.”

හෙටත් සුද්දාව පියාඹන්න කියලා අහසට වීසි කරාවි. ඒත් ඒ එකට යා කරලා ඇලවූ කපා දැමූ පියාපත් එක්කයි. අපි මේ විදිහට පියාඹන්න දෙන නිදහසට, නිදහසේ පියාඹන්න නොදී මොන තරම් සතුටක් විඳිනවද?

[චමත්ක කවීන් බණ්ඩාර]

මාතෘකා