උපන් බිම අතහැර ජීවිතය සොයා ආ මිනිස්සු

 ඡායාරූපය:

උපන් බිම අතහැර ජීවිතය සොයා ආ මිනිස්සු

"අයි.එස්. එක ක්‍රිස්තියානි භක්තිකයකු මරණයට පත් කරන්න කලින් මරන්නේ ෂියා භක්තිකයන්. අවාසනාවකට ශ්‍රී ලංකාවේ උද්ගතව ඇති තත්ත්වය නරකයි. ඇෆ්ගනිස්තානයේ මෙවැනි දේ නිතර සිදු වෙනවා.

අයි.එස් කියන්නේ ලෝකයේ තිබෙන වඩාත්ම භයානක දේ. අපි රටේ සුළුතර ෂියා ආගමික ප්‍රජාව නිසා අපේ ජීවිත අවදානමට ලක් වෙලා." ෆයාස් සිය උපන් බිම හැරදා මෙරටට ආ හේතුව පැවසුවේ එලෙසිනි. සරණාගතභාවය පතා ශ්‍රී ලංකාවට පැමිණියේ ඇයි දැයි විමසූ අවස්ථාවේ ඔහු කියා සිටියේ ශ්‍රී ලංකාව සාමකාමී රටක් වීම ඊට හේතුව බවය. ඔහු

ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර විදුලි සන්දේශ ඉංජිනේරුවරයකු වශයෙන් සේවය කර ඇත.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයත් සමඟ සමාජයේ මතු වූ විවිධ කතාබහ අතරට සරණාගතයන් පිළිබඳ කතාවක්ද අලුතින් එකතු විය. ඒ සරණාගතභාවය පතා මීගමුව ඇතුළු ප්‍රදේශවල රැඳී සිටි විදේශිකයන් පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයත් සමඟ ආරක්‍ෂිත කඳවුරු වෙත රැගෙන යෑමට කටයුතු කිරීමත් සමඟය. එවැනි පියවරක් ගත්තේ ඔවුන් කුලී පදනම මත රැඳී සිටි ප්‍රදේශවල ජනතාව වෙතින් එල්ල වූ විරෝධය හමුවේය.

මියන්මාරයේ රෝහින්ග්‍යා අර්බුදය අතරතුරද මේ හා සමාන තත්ත්වයක් මතුවූ අතර විශේෂයෙන් සරණාගතයන් සම්බන්ධයෙන් සමාජ ජාල ඔස්සේ එවකට දැඩි විරෝධයක් පළ වූ බව වාර්තා විය. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු සරණාගතයන් පිළිබඳ කතාබහ යළි කරළියට පැමිණෙද්දී "මේ තරම් සරණාගතයන් මෙරටට පැමිණියේ කෙසේද? කුමක් සඳහාද?" යන ප්‍රශ්න බොහෝ දෙනකුගේ සිත්වල ඇති විය. මේ, ඒ පිළිබඳ කෙරෙන දැනුවත් කිරීමකි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය (UNHCR) සහ ශ්‍රී ලංකා ආණ්ඩුව අතර පවතින එකඟතාව මත සරණාගතභාවය පතා පැමිණෙන විදේශිකයන් ශ්‍රී ලංකාවේ රැඳී සිටින්නේ තාවකාලිකවය. එසේ සරණාගතභාවය පතා පැමිණෙන විදේශිකයන් කොටස් දෙකක් වේ. එනම්, දේශපාලන රැකවරණය පතන (Asylum seekers) සහ සරණාගතයන් වශයෙන් පිළිගත් පුද්ගලයන් (Refugees) ලෙසටය.

ඉහත කී එකඟතාවට අනුව සරණාගතභාවය පතා එන පුද්ගලයකු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ ලියාපදිංචි විය යුතුය. ඒ අනුව ඔහු හෝ ඇය දේශපාලන රැකවරණ පතන පුද්ගලයකු (Asylum seeker) බවට පත් වේ. ඉන් අනතුරුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය ඔවුන් පිළිබඳව නිසි සොයා බැලීමක් සිදු කරයි. ඇතැම් පුද්ගලයන්ගේ අයදුම්පත්වලට අනුමැතිය හිමි වන අතර තවත් සමහරකුගේ අයදුම්පත් ප්‍රතික්ෂේප කෙරේ. අනුමැතිය ලැබුණු පුද්ගලයන් සරණාගතයන් (Refugees) වශයෙන් තහවුරු වේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ නිල වාර්තාවලට අනුව 2019 වසරේ මාර්තු 31 වන විට ශ්‍රී ලංකාව තුළ රැඳී සිටින දේශපාලන රැකවරණ පතන (Asylum seekers) පුද්ගලයන් සංඛ්‍යාව 819කි. ඒ ඇෆ්ගනිස්තානයෙන් 55ක්, බංග්ලාදේශයෙන් 2ක්, ඉන්දියාවෙන් 1ක්, ඉරානයෙන් 8ක්, මාලදිවයිනෙන් 3ක්, නයිජීරියාවෙන් 8ක්, පාකිස්තානයෙන් 733ක්, පලස්තීනයෙන් 1ක්, සුඩානයෙන් 4ක්, සිරියාවෙන් 1ක් සහ යේමනයෙන් 3ක් වශයෙනි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පවසන පරිදි සරණාගතයකු (Refugee) වශයෙන් පිළිගත් පුද්ගලයකුට ශ්‍රී ලංකාව තුළ තවදුරටත් රැඳී සිටීමට අවස්ථාව හිමි නොවේ. එමෙන්ම ඔවුන්ට බලපාන කොන්දේසි කිහිපයක්ද වේ.

එනම්, මෙරට රැඳී සිටින කාලය තුළ රැකියාවක් කළ නොහැකිය. ළමුන් පාසල් යැවිය නොහැකිය. නිවාස මිලදී ගත නොහැකිය. සරණාගතභාවය සඳහා අයදුම් කර ඒ සඳහා අනුමැතිය ලැබීමෙන් පසු වෙනත් රටක් විසින් තමන් බාර ගනු ලබන තෙක් ඔවුන්ට මෙරට රැඳී සිටිය හැකිය.

මෙරට මානව හිමිකම් ක්‍රියාධරයන් පවසන පරිදි ඉන් වැඩි දෙනකු ස්ථීර පදිංචිය සඳහා ගොස් ඇත්තේ ඇමරිකාව, කැනඩාව වැනි රටවල් වෙතය.

"ඔවුන්ට ශ්‍රී ලංකාව තුළ පුරවැසිභාවය හිමි වෙන්නේ නැහැ. හැබැයි තාවකාලිකව රැඳී සිටින කාලය වෙනස් වෙන්න පුළුවන්. මාසෙන් දෙකෙන් ගිය අයත් ඉන්නවා. ඒ වගේම සමහර අයට අවුරුදු හතක් අටක් ඉන්න වෙනවා. අවසානයේ ඔවුන්ට ඒ රටවල පුරවැසිභාවය ලැබෙනවා. ඒක නොනවත්වා සිදුවූ ක්‍රියාවලියක්. අද ඊයේ ආරම්භ වූවක් නොවෙයි. පාස්කු ප්‍රහාරයෙන් පසුවත් කොටසක් එහෙම පිටත් වුණා."

ඒ සරණාගතයන් පිළිබඳ පොදු තත්ත්වයයි. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු එල්ල වූ ජන විරෝධය හමුවේ අහමදියා මුස්ලිම් දේවස්ථාන දෙකක 700ක් සහ 325ක් වශයෙන් සරණාගතයන් රඳවා ඇති අතර තවත් 175ක පමණ පිරිසක් මීගමුව පොලිසියේ රැඳී සිටිති. ඔවුන්ගේ හිසට සෙවණ සපයන්නේ මීගමුව පොලිසියේ රථ ගාල් කරන ගොඩනැඟිල්ලය. එහි එහා මෙහා යන පොලිස් නිලධාරීන් අතරින් දුව පැන යන දරුවන්ගේ සිනහ හඬ පරයා බිලිඳුන් හඬා වැටෙනුද ඇසේ. මානව හිමිකම් ක්‍රියාධරයන් පවසන පරිදි ඉහත කී කඳවුරු තුළ වෙසෙන දරුවන් සංඛ්‍යාව 200කට ආසන්නය.

අමීන් ෆයාස් මීගමුව පොලිසියේ රැඳී සිටින එවැනි සරණාගත තරුණයෙකි. සාමාන්‍ය ඇෆ්ගනිස්තාන ජාතිකයකු හා සැසඳීමේදී ඔහුගේ සමේ වර්ණය වඩාත් පැහැපත්ය. රුවේ ඇත්තේ මොන්ගෝලියානු මිශ්‍ර පෙනුමකි. ෂියා මුස්ලිම්වරයකු වන ඔහු හසාරා ජන කොට්ඨාසයට අයත් වූවෙකි. ඔහුගේ මිත්‍රයන්ට ඇත්තේද ඒ හා සමාන පෙනුමකි.

"අයි.එස්. එක ක්‍රිස්තියානි භක්තිකයකු මරණයට පත් කරන්න කලින් මරන්නේ ෂියා භක්තිකයන්. අවාසනාවකට ශ්‍රී ලංකාවේ උද්ගතව ඇති තත්ත්වය නරකයි. ඇෆ්ගනිස්තානයේ මෙවැනි දේ නිතර සිදු වෙනවා. අයි.එස්. කියන්නේ ලෝකයේ තිබෙන වඩාත්ම භයානක දේ. අපි රටේ සුළුතර ෂියා ආගමික ප්‍රජාව නිසා අපේ ජීවිත අවදානමට ලක් වෙලා." ෆයාස් සිය උපන් බිම හැරදා මෙරටට ආ හේතුව පැවසුවේ එලෙසිනි. සරණාගතභාවය පතා ශ්‍රී ලංකාවට පැමිණියේ ඇයි දැයි විමසූ අවස්ථාවේ ඔහු කියා සිටියේ ශ්‍රී ලංකාව සාමකාමී රටක් වීම ඊට හේතුව බවය. ඔහු ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර විදුලි සන්දේශ ඉංජිනේරුවරයකු වශයෙන් සේවය කර ඇත.

"ශ්‍රී ලාංකිකයන්ට දැනෙන විදිහ මට තේරුම් ගත හැකියි. මොකද අපිත් අපේ රටේදී මේ අත්දැකීම විඳ තිබෙනවා. මට සරණාගතභාවය හිමි වී තිබෙන්නේ. යළි පදිංචියට වෙනත් රටකට ගිහින් ජීවිතේ මුල සිට පටන් ගන්නවා." ඒ ඔහුගේ අපේක්ෂාවයි.

සරණාගතභාවය පතා පැමිණි පුද්ගලයන්ට එරෙහිව එල්ල වන විරෝධය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මානව හිමිකම් ක්‍රියාධර රුකී ප්‍රනාන්දු මෙසේ පවසයි.

"ශ්‍රී ලංකාවේ සංස්කෘතියට අනුව මෙහි ආගන්තුක සත්කාරය තිබෙනවා කියලා අපි කියනවා. ඒ ආගන්තුක සත්කාරය වැඩියෙන්ම තිබිය යුත්තේ තරු පහේ හෝටල්වල ඉන්න සංචාරකයන්ට නොවෙයි, මේ වගේ අසරණ වූ ජීවිත තර්ජන එල්ල වුණු පුද්ගලයන්ටයි අපි ආගන්තුක සත්කාර දක්වන්න ඕන. අපේ තිබෙන මෛත්‍රිය කරුණාව කොතරම්ද කියන දේ අමාරුවේ වැටුණු කෙනෙක් තාවකාලිකව හරි බලා ගන්නේ කොහොමද කියන දෙයින් පෙන්විය යුතුයි."

එසේ වුවද මෙරට සරණාගතභාවය පතා එන පුද්ගලයන් සහ විදේශිකයන් නීති විරෝධී කටයුතුවල නිරත වන බවටද සමාජය තුළ යම් මතයක් පවතී.

රැකියා සඳහා, ක්‍රීඩා කණ්ඩායම් වශයෙන්, සංචාරකයන් වශයෙන් හෝ සරණාගතභාවය පතා ශ්‍රී ලංකාවට පැමිණෙන පුද්ගලයන් සියලු දෙනා සෙසු පුරවැසියන් මෙන්ම ශ්‍රී ලංකාවේ සාමාන්‍ය නීතියට යටත් බව පෙන්වා දෙන රුකී ප්‍රනාන්දු, "ඒ අය යම් අපරාධයක් කර ඇති බවට සාක්ෂි තිබේ නම් ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම පොලිසියේ යුතුකමයි" යැයිද පැවසුවේය.

"නමුත් සරණාගතභාවය පතා පැමිණි පුද්ගලයකු එවැනි අපරාධ කර ඇති බව මම අහලා නැහැ. ඉතින් ඇයි මේ ඔවුන් ගැන නැති බිල්ලෙක් මවන්නේ?"

ඔහු පෙරළා ප්‍රශ්න කරයි. සරණාගතභාවය පතා මෙරටට පැමිණ සිටින පුද්ගලයන් අතර ආගමික සුළුතරය, මරණ තර්ජන එල්ල වූ බ්ලොග් ලේඛකයන්, මාධ්‍යවේදීන්, මානව හිමිකම් ක්‍රියාධරයන්, නිරාගමිකයන් සිටින බවද මානව හිමිකම් ක්‍රියාධර රුකී ප්‍රනාන්දු වැඩිදුරටත් සඳහන් කළේය.

මෙරට මෙතෙක් පැවති ආණ්ඩු සහ වත්මන් ආණ්ඩුව සරණාගතයන්ට මෙරට නීත්‍යනුකුලව රැඳී සිටීමට අවස්ථාව ලබා දී තිබේ. එසේ සරණාගතභාවය පතා

ශ්‍රී ලංකාව වෙත පැමිණි පුද්ගලයන්ට ඇතැම් අවස්ථාවල රජයේ රෝහල් හරහා සෞඛ්‍ය පහසුකම් ලබා දී තිබුණද ඒ හැරුණු කොට ශ්‍රී ලංකා රජයෙන් ඔවුන්ට කිසිඳු ආකාරයක මුල්‍යාධාරයක් නොලැබෙන බවද රුකී ප්‍රනාන්දු පෙන්වා දෙයි.

"ලංකාවේ ආර්ථිකයට ඔවුන් බරක් වෙන්නේ නැහැ. නමුත් ඔවුන් ලංකාවේ ගෙවල් කුලියට ගැනීමට හා ආහාරපාන සඳහා මුදල් වැය කරනවා. එමඟින් ඔවුන් හරහා ආර්ථිකයට යම් දායකත්වයක් පමණයි සිදු වෙන්නේ. මීගමුව අවට එවැනි බොහෝ පිරිසක් රැඳී සිටියා. නමුත් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසු මොවුන් එළවා දමන ලෙස ප්‍රදේශවාසීන්ගෙන් නිවාසවල හිමිකරුවන්ට බලපෑම් ඇවිත් තිබෙනවා. ඒ නිසයි මේ නිවාස හිමියන්ට ඔවුන් පිට කිරීමට සිදු වුණේ. අපේ ගෙදරට යම් කිසි කෙනෙක් ආරක්ෂාව පතා එනවා නම් මම ඒ ගැන ආඩම්බර වෙනවා. මොකද එයා එන්නේ අමාරුවේ වැටුණ වෙලාවේ සාදරයෙන් පිළිගෙන ආරක්ෂාව ලබා දෙයි කියන විශ්වාසය මතයි. ඒ විශ්වාසය කඩා බිඳ දැමීම අවාසනාවන්ත දෙයක්." මානව හිමිකම් ක්‍රියාධර රුකී ප්‍රනාන්දු වැඩිදුරටත් එසේද පැවසීය.

[සුනෙත් පෙරේරා]

(BBC සිංහල සේවය ඇසුරිනි)

මාතෘකා