ත්‍රස්තවාදය පරදන්න අලුත් සබැඳියාවකින් එකතු වෙමු : අමාත්‍ය චම්පික රණවක

 ඡායාරූපය:

ත්‍රස්තවාදය පරදන්න අලුත් සබැඳියාවකින් එකතු වෙමු : අමාත්‍ය චම්පික රණවක

"අලුත් සබැඳියාවකින් උතුරත් දකුණත් නැඟෙනහිරත් බටහිරත් එකට නැඟී සිට මේ ජාතික අභියෝගය ජය ගැනීමට අප ක්‍රියා කළ යුතුයි. යම් අයකුට කොන්ද පණ නැත්නම්, යම් යම් අයට මේකට මුහුණ දීමට හැකියාවක් නැත්නම්, මේක මඟ හරිනවා නම් ඒ සියලු දෙනාවම ඉවත් කරන්න වුණත් අපි අධිෂ්ඨානශීලී විය යුතුයි කියන එක මේ අවස්ථාවේ කියන්න ඕනේ. අද රටට අවශ්‍ය එයයි. රටට අවශ්‍ය ඒකාධිපතියෙක් නෙමෙයි. පවුල්වාදයෙන් හෙම්බත් වෙච්ච රටක අවශ්‍යතාව, එවැනි ක්‍රියාවලියකින් මතුවන පුද්ගලයන් නෙවෙයි." යැයි මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.

ඔහු ‌‌මෙසේ කියා සිටියේ ඊයේ (14) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති ‘ජාතික මඟ’ රට රකින, රට හදන මහජන ව්‍යාපාරයේ මංගල මහා සමුළුවට සහභාගි වෙමිනි.

ත්‍රස්තවාදය ඉදිරියේ පළා යන්න, දෙදණ නමන්න, අපේ දරුවන් හංගාගෙන ඉන්න අපට හැකියාවක් නැතැයිද රටට උත්තරීතර ආගමික නායකයන්ගෙන් සැදුම්ලත් උපදේශක මණ්ඩලයක් අවශ්‍ය බව ද ප්‍රචණ්ඩ ආකාරයට අනුන්ගේ කඩ සාප්පුවලට නිවාසවලට හෝ ආගමික මධ්‍යස්ථානවලට පහර දීමට කිසිවකුට අයිතියක් නැති බව ද අමාත්‍යවරයා කියා සිටියේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ චම්පික රණවක අමාත්‍යවරයා මෙසේද කීය.

"අපි නිදහස ලබලා දැන් දශක 7ක්. මේ දශක 7 ඇතුළේ පළවෙනි දශක ගණනාව තුළ ලංකාවේ තිබුණේ වමේ, දකුණේ දේශපාලනික ගමනක්. ඒ කියන්නේ අපි කවුරුත් දන්න වමාංශික දක්ෂිණාංශික දේශපාලනයක්. එහෙම නැත්නම් කොමියුනිස්ට්වාදී, ධනේශ්වර දේශපාලනයක තිබෙන ඒ ගැටුම්, එහි දේශපාලන විභේදනය තමයි අපේ රටේ දැක්කේ. මෙහි කූටප්‍රාප්තිය තමයි ජනතා විමුක්ති පෙරමුණේ අවි අතට ගැනීම. සමාජය වෙනස් වුණත් බෝල්ෂෙවික් පන්නයේ රටක් හදන්න හිතාගෙන අවි අතට ගැනීම. සටන් කිරීම. නමුත් 1983 ජූලි මාසයේ ඇති වූ සිදුවීම්වලින් පසුව මේ රටේ ප්‍රධාන දේශපාලන විභේදනය බවට ඒතාක් කල් තිබුණු වම, දකුණ වෙනුවට උතුරේ බෙදුම්වාදය පිළිබඳ ගැටලුව ඒ බෙදුම්වාදයට දක්වන ප්‍රතිචාරය මත රටේ දේශපාලනය බෙදුණා. මේ නිසා අලුත් විභේදනයක් 1983 සිට අපි දැක්කා. මේ රටේ හැම ප්‍රශ්නයකටම, හැම මැතිවරණයකදීම, හැම දේශපාලන සමාජ ක්‍රියාදාමයකදීම මේක තමා ඉන් පසුව දිගටම මතු වුණේ.

"දැන් මේ අෙප්‍ර්ල් 21 ප්‍රහාරයෙන් පසුව අපේ රට අලුත් විභේදනයකට ගමන් කරනවාද ඉස්ලාමීය ත්‍රස්තවාදී ක්‍රියාවලිය සහ එයට ප්‍රතිචාර දක්වන්නන් බවට අපි පත් වෙලා ඉදිරි දශක කිහිපය අපි මේ රටේ ගෙවනවාද කියන ප්‍රශ්නය තමයි අපි ඉදිරියේ තිබෙන්නෙ. ඉතින් අපි උත්සාහ කරන්නේ මේ සංවාදය මඟින්, මේ මහජන ව්‍යාපාරය මඟින් මේ දේශපාලන නොවන සියලු දෙනාගේ වේදිකාවක් මඟින් මේ ප්‍රශ්නය මාස කිහිපයකින් ඉවර කර ගැනීම සඳහා අවශ්‍ය අඩිතාලම දැමීමටයි. 1978 දී බැස්ටියන් පිල්ලේ පොලිස් පරීක්‍ෂකවරයා ඝාතනය කළ අවස්ථාවේදී ජයවර්ධන ජනාධිපතිතුමා එවකට හමුදාපති වීරතුංග මැතිතුමාව යවලා මාස කිහිපයකින් මේ ප්‍රශ්නේ විසඳන්න කිව්වා. එතුමා කිව්වා මාස 6න් ඒ ගැටලුව විසඳනවා කියලා. හැබැයි මාස 6 අවුරුදු 6ක් වෙලා, එම අවුරුදු 6 අවුරුදු 30ක් වෙලා තමයි කෙළවර වුණේ. ඒ වගේ මේ ගැටලුවත් ඉදිරි මාස තුනේදී අපි විසඳ ගන්නවාද නැත්නම් ඉදිරි අවුරුදු 3 දක්වා දික් ගැහෙනවාද ඊළඟ දශක 3 දක්වා අපේ දරුවන් එක්කත් මේ ගැටුම ඉදිරියට ගෙන යනවාද කියන එක තීරණය වෙන්නේ අද මේ ප්‍රශ්නයට රටක් ජාතියක් හැටියට අපි හැමෝම මුහුණ දෙන ආකාරයටයි.

"අපි දැක්කා මේ අවාසනාවන්ත සිදුවීම් දඩමීමා කරගෙන ඇතැම් අය නීතිය අතට අරගෙන කළ ව්‍යසනය. ඒ අපරාධ කිසිම ආකාරයකින් ඉඩකඩ ලබා දිය හැකි දේවල් නෙමෙයි. කිසිවකුට අයිතියක් නැහැ ප්‍රචණ්ඩ ආකාරයට අනුන්ගේ කඩ සාප්පුවලට නිවාසවලට හෝ ආගමික මධ්‍යස්ථානවලට පහර දෙන්න. ඒවා අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කරලා දැඩිව පාලනය කළ යුතු දේවල්.

"අනෙක් කාරණය මේ ප්‍රශ්නයේදී අපි ඉතාම සබුද්ධිකව මේ ත්‍රස්තවාදයත් අපේ මුස්ලිම් සමාජයත් ඉතා නිවැරදිව විග්‍රහ කර ගත යුතුයි. මේ පිරිස ලංකාවේ ජීවත්වෙන ඒ විසි ලක්ෂයක් වන සමස්ත මුස්ලිම් ජනතාව නෙමෙයි. මේ අන්තවාදී, ත්‍රස්තවාදී ක්‍රියාවලියට සම්බන්ධ වෙලා තිබෙන පිරිස සිය ගණනක තරම් වූ පිරිසක්. නමුත් මේ සිය ගණනක පිරිස සමස්ත මුස්ලිම් ජනතාව එක්ක බලනකොට අගයෙන් පොඩි වුණත් ඉතාම බලගතු, ඉතාම උන්මාදනීය, උමතු මනසකින් යුතුව ක්‍රියා කරන බව අපට පැහැදිලියි. ජනතා විමුක්ති පෙරමුණට, එල්.ටී.ටී.ඊ සංවිධානයට සෙබළුන් එකතු වුණේ ඇතැම් විට දුප්පත්කම නිසයි. ඇතැම් අය හේන් ගොවියන්ගේ දරුවෝ. ඇතැමුන් පීඩිත කම්කරුවන්ගේ දරුවෝ. හැබැයි මේ අන්තවාදී ත්‍රස්තවාදය BMW, බෙන්ස් රථවලින් ගිහින් මරාගෙන මැරෙන ත්‍රස්තවාදයක් බව අප හොඳින් මතක තබා ගන්න ඕනෙ. මේක අපි දශක ගණනක් මුහුණ දීපු ත්‍රස්තවාදයට වඩා වෙනස් ආකාරයක, වෙනස්ම ස්වරූපයක මේ ලෝකය පුරාම පැතිරී ගිය ක්‍රියාවලියක් බව අප අමතක කරන්න හොඳ නැහැ. එහෙම නම් ඒ කණ්ඩායම නිවැරදිව සොයා ගෙන, ආරක්‍ෂක අංශ මඟින් ඔවුන් විනාශ කිරීමට, ඔවුන් නිෂ්ක්‍රිය කිරීමට අපි අපේ පූර්ණ සහයෝගය හැම ක්‍ෂෙත්‍රයකින්ම ලබාදිය යුතුයි.

"ඊළඟට ඉන්නවා තවත් කණ්ඩායමක්. ඒ තලය අර මුල් පිරිසගේ ඒ උන්මාදනීය මතවාදයේම ඉන්නවා. හැබැයි හිංසාකාරී ක්‍රියාවන්වලට නැඹුරු වෙන්නේ නැහැ. නමුත් හැම ආකාරයකින්ම සහයෝගය ලබා දෙනවා. විශේෂයෙන්ම අරමුදල් සම්පාදනය කිරීම මඟින්. මතක තබා ගන්න මේ ජාතික තව්හීද් ජමාද් කියන කුඩා කණ්ඩායමට 2018 සැප්තැම්බර් මාසයේ සිට මේ දක්වා අඩුම තරමින් රුපියල් මිලියන දහසකට වැඩි මුදලක් විදේශ රටවල් තුනකින් ලැබිලා තිබෙනවා. තවත් විශේෂ කාරණයක් තමයි 2015 ජනවාරි 15 වැනිදා තුර්කි රාජ්‍යයට ගිහින් එතනින් සිරියාවට ඇතුළු වෙලා ISIS සංවිධානයේ සාමාජියකු වූ දෙහිවල ප්‍රදේශයේ ජීවත් වූ නිලාම් නමැති පුද්ගලයා. ඔහු සිරියාවට ගොස් ISIS ත්‍රස්තයන්ට එක්වී ජුනි මාසයේදීම ගුවන් ප්‍රහාරයකින් මිය ගියා. නමුත් ඒ වන විට ඔහුට සම්බන්ධ ඔහුගේ පවුල් 6කට අයිති 45 දෙනකු සිරියාවේ ජීවත් වූ බව අපි දන්නවා. එතකොට මේක පවුල් පිටින් සම්බන්ධ වෙන ක්‍රියාවලියක් දක්වා දුර ගොස් තිබෙන බව පැහැදිලියි. මේක නෑ හිත මිතුරන්, ඒ වගේම දරුවන්, කුසේ ඉන්න දරුවන් පවා රැගෙන මේ සියලු දෙනාම සම්බන්ධ කර ගන්නා ව්‍යාපාරයක් වෙලා තිබෙනවා.

"ඒ වගේම තවත් පිරිසකුත් මුස්ලිම් ජනතාව අතර ඉන්නවා. පසුගිය දශකයේ අපි දැක්කා සුවිශේෂ කණ්ඩායමක් ඉදිරියට ඇවිල්ලා අන්‍ය ආගම් ප්‍රශ්න කරනවා. ඒ අන්‍ය ආගම්වල කර්තෘවරුන්ට ප්‍රජාතාන්ත්‍රික සංවාදශීලිත්වයෙන් ඔබ්බට ගිහිල්ලා අපහාස අවමාන කරනවා. තෙරුවන කියන්නේ මැණික් ගල් තුනක් කියනවා. ඒ වගේම ලොව්තුරා බුදු හිමි ගැනත් සාහසික ප්‍රකාශ කරමින් මේ ආදී වශයෙන් අන්‍ය ආගමිකයන්ට අපහාසයන් හා අභියෝගයන් සිදු කරමින් තමන්ගේම ආගමික කණ්ඩායමේ සිටින ඉස්ලාමීය භක්තියන්ටත් අභියෝග කරමින් ඔවුන් කටයුතු කරනවා. මෙන්න මේ පිරිස අපි පාලනය කළ යුතුයි. විශේෂයෙන්ම මේ තවුහීද් ජමාද් ව්‍යාපාරය මේ රටේ ආගමික සහජීවනය, සංහිඳියාව පිළිබඳ ඇතිවෙච්ච තත්ත්වය දෙදරුම් කවන්න පසුගිය දශකයක පමණ කාලය තුළ තීරණාත්මක වැඩ කොටසක් කළා.

"ඒ වගේම අද මේ රටේ හුඟ දෙනෙක් කලබල වෙලා තිබෙනවා මේ අපේ මුස්ලිම් සමාජයේ පිරිසක් මේ රට ශ්‍රී ලාංකිකයි කියල හිතන්නේ නැතිව, තමන්ගේ මවුබස හැටියට අරාබි බස භාවිත කරන්න, ඇඳුම බුර්කාව බවට එහෙම නැත්නම් අරාබි ඇඳුම බවට පත් කර ගන්න, නීතිය ශරියා නීතිය බවට පත් කර ගන්න, අධ්‍යාපනය ඉස්ලාමීය අධ්‍යාපනය බවට පත් කර ගන්න ක්‍රියා කරනවා දැකීමෙන්. මේ පිරිස තමන්ගේ ශ්‍රී ලාංකේය සමාජය තුළම අරාබි සමාජයක් ඇති කර ගැනීමට උත්සාහයක් දරනවා. මේක මඟින් එක් පැත්තකින් මුස්ලිම් ජනයා තමන් විසින්ම අනෙක් ජනයාගෙන් වෙන් වෙනු ලබනවා. ඉන් සමාජ බෙදුම්වාදයක්, ඇපොතයිට්වාදයක් ගොඩනැඟෙනවා. ඒ වගේම අන්‍ය පිරිස් ඔවුන් කෙරෙහි සැකෙන් බලන්න නිතැතින්ම පෙලඹෙනවා. ඒ නිසා මම හිතනවා තදබල වගකීමක් තියෙනවා අපේ ඉස්ලාමීය සමාජයට විශේෂයෙන්ම අපේ මවුලවිතුමාලා ඇතුළු ආගමික නායකත්වයට තිබෙනවා මේවා ගැන ක්‍රියා කරන්න.

"අපි නැවත ශ්‍රී ලාංකික වෙමු. මුස්ලිම් අනන්‍යතාවට, ඉස්ලාම් අනන්‍යතාවට කිසි කෙනෙක් විරුද්ධ නැහැ. ඒ ගැන ඕනේ කෙනකුට දාර්ශනික සංවාද ඇති කරන්න පුළුවන්. නමුත් අපි මේ රටේ ඉන්නවා නම් මේ රටේ සිංහල, දෙමළ මුස්ලිම් ජනතාව එකට ජීවත් වෙනවා නම්, සිංහල දෙමළ, ඉංග්‍රීසි භාෂා කතා කරගෙන අපේ සංස්කෘතීන් එකට මුසු කරගෙන, අපේ අධ්‍යාපනය එකට මුසු කරගෙන, අපේ නීති පද්ධතිය එකට මුසු කරගෙන අපි ශ්‍රී ලාංකික වෙමු කියන යෝජනාව අපි ඔබට ඉදිරිපත් කරනවා.

"ආරක්‍ෂක හමුදාවලට විතරක් බාර දීලා අපට මේ ප්‍රශ්නය ජයගන්න ක්‍රමයක් නැහැ. අපි සමාජයක් හැටියට ඉදිරියේදීත් මේ සංවාදය ඉදිරියට ගෙන යමින් මේ කටයුත්තේ නියැලෙන්න අධිෂ්ඨාන කරගෙන තිබෙන බව ප්‍රකාශ කළ යුතුයි.

"ඒ නිසා ඉදිරි මාස කිහිපය තුළ මේ ත්‍රස්තවාදයේ ඉතුරු බිතුරු සොයලා විනාශ කරන්නත් අපේ සාමාජය ඉදිරියට ගෙන යන්නටත් අපි කටයුතු කළ යුතුයි.කොන්ද පණ නැත්නම් ඉවත් කරමුු - ඒකාධිපතියන් පිටුදකිමු."

මාතෘකා