හෙට්ටිපොළ-හලාවත ගිනි තැබූ හනුමන්තලා කවුද?

 ඡායාරූපය:

හෙට්ටිපොළ-හලාවත ගිනි තැබූ හනුමන්තලා කවුද?

කොළඹ කොච්චිකඩේ, මීගමුව කටුවාපිටිය යන දේවස්ථාන ඇතුළු රටේ ස්ථාන කිහිපයක සිදුකළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් පසු රටේ තත්ත්වය ක්‍රමක්‍රමයෙන් සාමකාමී වෙමින් පැවතිණි. ඒ විපතේදී ලොවටම ආදර්ශයක් වෙමින් සාමකාමීව කටයුතු කළ කතෝලික-ක්‍රිස්තියානි ජනයා ඇතුළු සමස්ත ශ්‍රී ලාංකිකයන් කෙරෙහි ලෝකයේම ගෞරවය හා සහකම්පිත බව පළ විය.

එහෙත් දින කිහිපයක සිට ඒ සියල්ල කණපිට හැරෙමින් තිබේ. රට පුරා විවිධ තැන්වලින් නැඟි කළු දුම් රොටු අහස කිළිටි කරමින් තිබේ. ඇඳිරිනීතිය මැද රැය පහන් කරන ජනතාව සිදුවන්නේ කුමක්දැයි නොදනිති. සැබැවින්ම සිදුවෙමින් පවතින්නේ කුමක්ද?

රටේ තැන තැන ගිනි ඇවිළීමට හේතු වූ කරුණු හා ඒ පිටුපස තිබූ බලවේග කුමක්දැයි දැනගැනීමට ජනතාවට අයිතියක් තිබේ. ඒ, සිදුවෙමින් පවතින අප්‍රසන්න සිද්ධි දාමය සමස්ත ජනතාවගේම අනාගතය අඳුරු කිරීමට පෙර එය වැළැක්වීම සඳහා හැකි සෑම උත්සාහයක්ම ගැනීම සියලු දෙනාගේම වගකීමක් බැවිනි. මහා ඛේදවාචකය සිදු වූ පාස්කු ඉරිදා සිට පෙරේදා (14) දක්වා ජනමාධ්‍යවේදියකු ලෙස මා ඇසූ දුටු දෑ මෙසේ සටහන් තබන්නේද ඒ වගකීමේ කොටසක් ලෙස සලකාය.

පාස්කු ඛේදවාචකය

පසුගිය 21 වැනිදා මා කටුවාපිටිය පල්ලියට යන විට, ඛේදවාචකය සිදු වී ගතව තිබුණේ පැයකට අඩු කාලයකි.

මා යන විටත් මෘත ශරීර තිහකට ආසන්න ප්‍රමාණයක් දේවස්ථානය තුළ තිබූ අතර විශාල ජනකායක් එහි රැස්ව සිටියේය. වේදනාව, දුක දරා ගැනීමේ නොහැකියාව ඔවුන්ගේ මුහුණුවලින් දුටුවත් කෝපය වෛරය නොදුටුවෙමි. දේවස්ථානය තුළට පිවිස, එහි තැන තැන තිබූ මළ සිරුරු කොටස් දැකීමෙන් කම්පාවට පත් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණන්ගේ දෑසට කඳුළු නැගිණි. එහෙත් උන්වහන්සේ දේවස්ථානයෙන් පිටතට පැමිණ මාධ්‍ය හමුවේ සමස්ත කතෝලිකයන්ගෙන් හා රටවැසියන්ගෙන් ඉල්ලා සිටියේ මේ අවාසනාවන්ත අවස්ථාවේදී ඉවසිලිවන්තව, බුද්ධිමත්ව කටයුතු කරන ලෙසයි. කතෝලික මෙන්ම බෞද්ධ හා අනෙකුත් ආගමිකයන්ද කාර්දිනල් හිමිපාණන්ගේ මේ ප්‍රකාශයට අවනත වූ අතර රට පුරා ස්ථාන කිහිපයක විශාල ව්‍යසනයක් සිදුව තිබියදීත් කිසිදු බරපතළ කලහකාරී සිදුවීමක් වාර්තා නොවිණි. පොලිසියට හා ආරක්ෂක හමුදාවන්ට ජනතාව විශාල සහායක් ලබාදුන් අතර ක්‍රමක්‍රමයෙන් රට යථා තත්ත්වයට පත් වෙමින් තිබිණි.

පෝරුතොට සිදුවීම

ඉන් පසුව ඇති වූ කලහකාරී සිද්ධිදාමයෙහි ආරම්භය සිදු වන්නේ මිගමුව සහ කොචිචිකඩේ පොලිස් බල ප්‍රදේශ අතර පිහිටි මීගමුව පෝරුතොට ප්‍රදේශයේදී ඉකුත් පස්වැනිදාය දෙදෙනකු අතර ඇති වූ බහින්බස් වීමක් ඉතා කෙටි කාලයක් තුළ විශාල ආරවුලක් බවට පත් වූ අතර මේ හේතුවෙන් පැය කීහිපයක් තුළ විශාල දේපළ හානියක්ද සිදු විය. මේ තත්ත්වය මීගමුව සෙල්ල කන්ද ප්‍රදේශයට පැතිර ගිය අතර එහිදී කලහකාරීන් නිවාස කිහිපයකට හා රථ වාහන කිහිපයකට අලාබහානි කර තිබිණි. මේ තත්ත්වය ඉතා ඉක්මනින් පාලනය කිරීමට ආරක්ෂක හමුදාවන්ට හැකි වූ අතර පසුදා එම ප්‍රදේශයට පැමිණි අගරදගුරු හිමිපාණන් ජනතාවගෙන් නැවත වරක් ඉල්ලා සිටියේ සන්සුන් වන ලෙසයි.

ෆේස්බුක් සටහන

වර්තමානයේ පවතින නොසන්සුන් තත්ත්වය ආරම්භ වන්නේ හලාවත ප්‍රදේශයෙනි. මෙයට හේතු වූයේ මුහුණු පොතේ පළ කළ වචන කිහිපයකි. පසුගිය ඉරිදා පෙරවරු දහයට පමණ හලාවත පොලිසියට පැමිණි කිහිප දෙනෙකු කියා සිටියේ හලාවත නගරයේ ව්‍යාපාරිකයෙකු සිය මුහුණුපොත මගින් ආවේගශීලී ප්‍රකාශයක් කර ඇති බවයි. ඒ අනුව පොලිසිය අදාළ සටහන පළ කළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කළේය. හලාවත මූලස්ථාන පොලිස් පරීක්ෂක වසන්ත හේරත් මහතා පැවසුවේ ඔහු අත්අඩංගුවට ගැනීමට යාමට කටයුතු කරන අවස්ථාවේ කිසියම් පිරිසක් අදාළ සැකකරුට පහරදී තිබූ අතර පසුව ඔහු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ බවයි.

 

මේ සිදුවීම වාර්තා වීමත් සමග හලාවත ස්ථාන කිහිපයක නොසන්සුන් තත්ත්වයන් ඇති විය. මේ පිටුපස ප්‍රාදේශීය දේශපාලකයෙකු හා ඔහුගේ සහෝදරයෙකු සිටින බව බුද්ධි අංශවලට අනාවරණය වී තිබිණි. වට්ටක්කල්ලිය ශ්‍රී ලංකා තවුහීද් ජමාද් කාර්යාලයට පහර දෙන අවස්ථාවේ මා එහි ගිය විට, පිරිසක් මට පහර දීමට හඹා එන්නට වූහ. ඔවුන් මීට පෙර මා හලාවත ප්‍රදේශයේදී දැක නොතිබුණි. ෆේස්බුක් සිද්ධියේදී විශාල හානියක් සිදු වූ අතර යතුරුපැදි සියයකට ආසන්න ප්‍රමාණයකින් පැමිණි පිරිස් හලාවත ස්ථාන කිහිපයකට ප්‍රහාර එල්ල කළහ. පසුව පොලිසිය හා හමුදාව එක්ව අහසට වෙඩි තබා පිරිස විසුරුවා හරින ලද අතර, මේ සිදුවීමේදීද දෙදෙනෙකු යුද හමුදාවේ අත්අඩංගුවට පත් විය.

මේ කලහකාරී තත්ත්වය පාලනය කිරීම සදහා හලාවත ප්‍රදේශයේ කතෝලික ආගමික නායකයන් පෙරමුණ ගෙන ක්‍රියා කිරීම පොලිසියේ හා ආරක්ෂක අංශවල මෙන්ම ප්‍රදේශවාසීන්ගේ ප්‍රශංසාවටද ලක් විය.

සංවිධානාත්මක කල්ලියක්

හලාවත සිදුවීම පාලනය කිරීමට හැකි වුවත් බිංගිරිය, කිනියම, හෙට්ටිපොළ හා කුලියාපිටිය දක්වා මේ තත්ත්වය වර්ධනය විය. ඒ ඉරිදා රාත්‍රියේයි. මේ පිටුපස සංවිධානාත්මක කණ්ඩායමක් සිටින බවට තොරතුරු මේ වන විට ලැබෙමින් තිබෙන අතර මේ කණ්ඩායම් හලාවත ආරච්චිකට්ටුව ප්‍රදේශයේද රැස්වීමක් තබා ඇති බවට තොරතුරු තිබේ.

ඉකුත් සදුදා දහවල් හෙට්ටිපොළ නගරය එකම ගිනි ජාලාවක් වූ අතර කඩු පොලු ගත් පිරිස් නගරයේ වෙළදසැල් කුඩුකර ගිනි තැබූහ. පොලිසිය ඉදිරිපිට තිබූ වෙළදසැල් පවා ප්‍රහාරයට ලක් වූ අතර එය වැළැක්වීමට පොලිසියට හැකි වූයේ නැත. ඒ විශාල පිරිසක් මේ ක්‍රියාවන්ට හවුල් වී තිබීම හේතුවෙන් විය හැකිය. පසුව අමතර බළඇණි ගෙන්වා තත්ත්වය පාලනය කරන ලදී. එහෙත් ඒ විටත් රුපියල් බිලියන ගණනක විනාශයක් හෙට්ටිපොළට සිදුව තිබිණි. විනාශ වූ දේපළ අතර වෙළෙද සැල්, නිවාස, වෙනත් ව්‍යාපාරික ස්ථාන හා රථ වාහන රැසක්ද විය.

මේ තත්වය සමග සමස්ත වයඹ පළාතටම බල පැවැත්වෙන පරිදි පොලිස් ඇදිරි නිතිය ක්‍රියාත්මක කෙරිණි.

එහෙත‍ෙ ඒ වන විටත් වයඹ පළාතේ නාත්තන්ඩිය, තුම්මෝදර, කොට්ටරාමුල්ල, දුම්මලසූරිය, කුලියාපිටිය ඇතුළු ප්‍රදේශ කිහිපයකට මේතේත්වය පැතිර තිබිණි. මේ හේතුවෙන් ආරක්ෂක හමුදාවට හා පොලිසියට තත්ත්වය ඉක්මනින් පාලනය කිරීම අපහසු වූ අතර අමතර පොලිස් හා ආරක්ෂක භටයන් එන තෙක් කල් මැරීමට සිදුවිය. ඒ හේතුවෙන් මේ ප්‍රදේශවල සැලකියයුතු විනාශයක් සිදු විය.

සාතන්ගේ රාත්‍රිය

ආරක්ෂක හමුදාව හා පොලිසිය ආරක්ෂක කටයුතු තර නොකළේ නම් ඉකුත් සඳුදා රාත්‍රිය තුළ විශාල විනාශයක් සිදුවීමට ඉඩ තිබිණි. මේ රාත්‍රියේදී එක් අයකු ඝාතනය වූ අතර තවත් අයෙකුට බරපතළ තුවාල සිදු විණි. මේ රාත්‍රියට පෙර දින රාත්‍රියේ එනම් ඉරිදා රාත්‍රියේ මාදම්පේ පොලිස් වසමට අයත් බණ්ඩාරගම ප්‍රදේශයේ සිදුවීමක් මුළු වයඹ පළාත පුරාම පැතිර ගියේ නිමේෂයකිනි. ඉන් කියවුණේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් ගම්මානයට ඇතුළු වී ඇති බවයි. ඒ බව දුටුවේ යැයි කියන පුද්ගලයෙක්, ප්‍රදේශය පුරා ගින්න අවුළුවා පිටව ගොස් තිබිණි. ඔහු මාධ්‍යට කතා කිරීමට හෝ පොලිසියට ප්‍රකාශයක් දීමට හෝ පැමිණියේ නැත. ඉන් පසු කාන්තාවක් කියා සිටියේ තම ගෙවත්තේ කළු ඇදගත් පුද්ගලයකු සිටි බවයි. මේ පිළිබද සොයා බැලීමේදී අනාවරණය වූයේ මේ කාන්තාව කෙසෙල් අත්තකට බිය වී ඇති බවයි. එහෙත් මේ ආරංචිය ප්‍රදේශය පුරා පැතිර ගියේ කිසියම් පුද්ගලයකු පැමිණ මේ ප්‍රදේශයේ පිරිසක් කපා කොටා දමා ඇති බවට බිහිසුණු ස්වරූපයෙනි. මේ පිළිබදව මුහුණුපොතින් හා අනෙකුත් සමාජ ආලා මගින් හා දුරකථන මගින් හුවමාරු වූ අතර මේ හේතුවෙන් තැතිගැන්මට හා බියට පත් ජනතාව පොලු, ආදියෙන් සන්නද්ධ වීමට පටන්ගත්හ.

මේ රාත්‍රියේ ගම්මාන කිහිපයක සංචාරය කළ මට දැකගත හැකි වූයේ හයක් හතරක් නොතේරෙන දරුවාගේ සිට ඇවිදීමට නොහැකි තත්ත්වයේ පසුවන මහල්ලා දක්වා වීදිවලට බැස සිටින අයුරුය. සඳුදා සිදුවීම් මාලාවට මේ තත්ත්වය බෙහෙවින් ඉවහල් වූ අතර මෙය කල් තබා ඉතා සූක්ෂ්මව සැලසුම් කරන ලද ක්‍රියාවක් බවට මේ වන විට තොරතුරු අනාවරණය වෙමින් පවතී.

හලාවත කොට්ඨාස විශේෂ විමර්ශන ඒකකය මගින්, ප්‍රහාර සම්බන්ධයෙන් සැකපිට කොස්වත්ත ප්‍රදේශයේ පුද්ගලයන් 31 දෙනකු අඟහරුවාදා (14) අත්අඩංගුවට ගත් අතර ඔවුන් ඊයේ (15) මාරවිල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

[ප්‍රසාද් පූර්ණමාල් ජයමාන්න]

මාතෘකා