කුකුළු මස් ගැන ඇත්ත නැත්ත

 ඡායාරූපය:

කුකුළු මස් ගැන ඇත්ත නැත්ත

ශ්‍රී ලංකාවේ කුකුළු මස් පරිභෝජනය පිළිබඳව වරින් වර සමාජයේ විවිධාකාර මත පළ වේ. මස්වලට විෂ කලවම් කිරීම පිළිබඳව මතයක් පසුගිය සමයේ පැතිරී යන අයුරු දක්නට ලැබිණි. එම මතය පැතිරී යන අවස්ථාවක කුකුළු මස්වල ඇත්ත නැත්ත පිළිබඳව සබරගමුව විශ්වවිද්‍යාලයේ, ප්‍රශු සම්පත් නිෂ්පාදන අධ්‍යනාංශයේ අංශාධිපති, ප්‍රශු සම්පත් විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, වෛද්‍ය සංජීව ප්‍රසාද් ජයවීර මහතා සමඟ සාකච්ඡා කොට සකස් කරන ලද ලිපියකි.

ශ්‍රී ලංකාවේ මාංස පරිභෝජනය විවිධ හේතු නිසා සීමා වී තිබේ. ආගමික විශ්වාස මෙන්ම ආර්ථික තත්ත්වයද එයට බලපාන ප්‍රධානතම හේතු වේ. 2017 වර්ෂයට අනුව ශ්‍රී ලංකාවේ වාර්ෂික ඒකපුද්ගල කුකුළු මස් පරිභෝජනය කිලෝග්‍රෑම් හතයි දශම නවයකි. එය අනෙක් රටවල ඒකපුද්ගල පරිභෝජනය හා සැසඳීමේදී ඉතාම අවම තත්ත්වයකි. මිනිස් පැවැත්මට ප්‍රෝටීන අත්‍යවශ්‍යම සාධකයකි. ප්‍රෝටීන නොමැතිව මිනිසාට ජීවත්වීමට නොහැකිය. ශාක නිෂ්පාදනවලට වඩා පහසුවෙන්, ලාභදායී ලෙස ප්‍රෝටීන අවශ්‍යතාව සපුරාගත හැකි ආහාරයක් ලෙස විද්‍යාත්මකව මස් සහ බිත්තර හඳුනාගෙන තිබේ. එවැනි වටපිටාවක කුකුළු මස් ව්‍යාපාරය පිළිබඳව සමාජයේ පතුරුවන දුර්මත නිසා ජනතාව තවදුරටත් ප්‍රෝටීන සහිත ආහාර පරිභෝජනයෙන් ඈත් වීම පෝෂණයෙන් හීන ජාතියක් බිහි කිරීමට හේතු වේ.

ශ්‍රී ලංකාව දකුණු ආසියානු කලාපයේ අනෙකුත් රටවලට සාපෙක්ෂව විවිධ දර්ශකවලදී ඉදිරියෙන් සිටියත් පෝෂණය යන දර්ශකයේ සිටින්නේ දුර්වල තත්ත්වයකය. තවමත් අවුරුදු පහට අඩු ළමයින්ගෙන් 33%ක් ප්‍රෝටීන මන්දපෝෂණයෙන් පෙළෙයි. දවසකට ප්‍රෝටීන ග්‍රෑම් 65ක් භාවිත කළ යුතු බව සෞඛ්‍ය නිර්දේශය වේ. ඒ ග්රූම් 65න් ග්රෑම් 14.5ක් අනිවාර්යයෙන් සත්ත්ව ප්‍රෝටීන විය යුතුය. ඉතිරි ප්‍රෝටීන ශාක ප්‍රෝටීන ලෙස ලබා ගැනීම සුදුසුය. නමුත් ශ්‍රී ලංකාවේ ශාක ප්‍රෝටීන අවශ්‍යතාව සපුරා ගත්තද සත්ත්ව ප්‍රෝටීන අවශ්‍යතාව සපුරා ගන්නේ නැත. දිනක සාමාන්‍ය සත්ත්ව ප්‍රෝටීන ලබා ගැනීම ග්රෑම් 8ක් 9ක් අතර ප්‍රමාණයකි.

ශ්‍රී ලංකාවේ ජනගහනය ප්‍රෝටීන මන්දපෝෂණයෙන් පෙළෙයි. අවුරුදු පහට අඩු ළමයින් ප්‍රෝටීන මන්දපෝෂණයෙන් පෙළීම දුර්භාග්‍ය සම්පන්න තත්ත්වයකි. අවුරුදු පහක් වන තුරු ළමයින්ගේ මොළය වර්ධනය වෙයි. ඒ ළමයින්ට අවශ්‍ය ප්‍රෝටීන නොලැබීම මොළයේ වර්ධනයට බලපායි. එමෙන්ම ශරීර වර්ධනයටද බලපායි. එම නිසා අනාගතයේ බිහිවන්නේ මොළයේ වර්ධනයෙන් හා ශරීරයේ වර්ධනයෙන් දුර්වල පිරිසකි. එබැවින් ප්‍රෝටීන මන්දපෝෂණය ජාතික පෝෂණ ගැටලුවකි. එයට එකම විසඳුම සත්ත්ව ප්‍රෝටීන පෝෂණය වැඩි කිරීමයි.

ශ්‍රී ලංකාවේ ප්‍රෝටීන අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා වර්ෂ 1954දී පමණ එවකට බලයට පත්ව සිටි ආණ්ඩුව විසින් කුකුළු මස් හා බිත්තර කර්මාන්තය ප්‍රචලිත කිරීමට කටයුතු කළේය. මහනුවර කුණ්ඩසාලේ මධ්‍යම කුකුළු අභිජනන මධ්‍යස්ථානය පිහිටුවා මස් සහ බිත්තර සඳහා උසස් සතුන් විදෙස් රටවලින් ආනයනය කොට කර්මාන්තය සඳහා ජනතාව උනන්දු කර කුකුළු ගොවිපළවල් ඇති කිරීමට රජය කටයුතු කළේය. ඒ අනුව මුලින්ම බිත්තර නිෂ්පාදනයට යොමු විය. ආරම්භ වී වසර 10ක පමණ කාලයක් ක්‍රමයෙන් ඉහළ යෑම සිදුවිය. බිත්තර නිෂ්පාදනය අවශ්‍ය පමණට පැමිණි පසු පැවැති රජය කුකුළු මස් නිෂ්පාදනය සඳහා අවධානය යොමු කළේය.

මිල අඩුම ප්‍රෝටීන අධික සමබල ආහාරයක් ලෙස කුකුළු බිත්තරය හඳුනාගත හැකිය. කුකුළු බිත්තරයක මිනිස් සිරුරට ලබාගත යුතු ප්‍රෝටීන මෙන්ම අවශ්‍ය පෝෂක සුවිශාල ප්‍රමාණයක් අන්තර්ගත වේ. එක් කුකුළු බිත්තරයක මිනිසකුට අවශ්‍ය විටමින් ඒ පෝෂකය සියයට සීයක්ද විටමින් බී 12 පෝෂකය සීයට එකසිය හැටක්ම අඩංගු වී තිබේ. මීට අමතරව සෛල වර්ධනයට අවශ්‍ය පොස්පොලිපිඩද සීයට සීයක්ම අන්තර්ගත වේ.

බ්‍රොයිලර් මස්වල ප්‍රෝටීන, මේද හා විටමින් අඩංගු වේ. මීට අමතරව ඛනිජද යම් ප්‍රමාණයකට අන්තර්ගතය. එසේම ඒකක බරකින් ගත්විට බිත්තරයකට වඩා කුකුළු මස්වල ප්‍රෝටීන අඩංගුය.

80 දශකයේ හරක් මස් පරිභෝජනය ඉහළ මට්ටමක පැවතිණි. නමුත් යුරෝපයේ උමතු ගව රෝගය සහ ශ්‍රී ලංකාවේ හරක් මස් පාරිභෝජනයට එරෙහිව පැමිණි ආගමික මතය නිසා හරක් මස් පරිභෝජනය අවම මට්ටමකට පැමිණියේය. ඉස්ලාම් ආගමිකයන් ඌරු මස් භාවිතා කරන්නේ නැත. එහෙත් කුකුළු මස් පරිභෝජනයට එවැනි බාධාවක් නැත. ප්‍රෝටීන අවශ්‍යතාව පහසුවෙන් සපුරා ගත හැකි වන්නේ කුකුළු මස් පරිභෝජනයෙනි.

එවැනි වටපිටාවක කුකුළු මස් පරිභෝජනය පිළිබඳව මතභේදාත්මක අදහසක් සමාජය පුරා පැතිරී යෑම ගැටලුවකි. එය ප්‍රෝටීන අවශ්‍යතාවට ඉතා දරුණු ලෙස බලපායි. ජනප්‍රියම මස් වර්ගය කුකුළු මස් වුවත් එක් පුද්ගලයකුගේ වාර්ෂික කුකුළු මස් භාවිත කිලෝග්‍රෑම් 7.9කි. එහෙත් අසැල්වැසි ඉන්දියාවේ ඒක පුද්ගල වාර්ෂික කුකුළු මස් පරිභෝජනය කිලෝ ග්‍රෑම් 15කි. ශ්‍රී ලංකාවේ හරක් මස්, ඌරු මස් පරිභෝජනය එයටත් අඩුය.

බ්‍රොයිලර් සතා බිහි කරන්නේ වර්ග දෙකක් දෙමුහුන් කිරීමෙනි. වර්ග දෙකක් එකට මුහුන් කළ විට එම සතුන්ට මවුපිය සතාට වඩා වැඩි වර්ධන වේගයක් හෙවත් දෙමුහුන් දිරියක් ලැබේ. එසේම වැඩි නිෂ්පාදන හැකියාවක්ද ඊළඟ පරම්පරාවට ලැබේ. එම නිසා බ්‍රොයිලර් සතුන් ගම් කුකුළන්ට වඩා වේගයෙන් වර්ධනය වේ. මෙසේ අඩු කාලයකින් ඉක්මන් වර්ධනය වීම ප්‍රවේණික දියුණුව ලෙසද හැඳින්විය හැකිය.

සතුන්ගේ ජානමය ලක්ෂණ වෙනස්වීම සේම උන්ට හොඳ පෝෂණයක් ලැබීම, සතුන් මනා පාලනයකට ලක්වීම ආදී කරුණු සියල්ලම වර්තමානයේ වන විට අඩු කාලයකදී බ්‍රොයිලර් කුකුළකුගේ වර්ධනය සඳහා බලපා ඇත. මවු සතුන් පිටරටින් ගෙන්වීම නිසා ශ්‍රී ලංකාවේ ඇති කරන බ්‍රොයිලර් කුකුළන් සහ පිටරටවල ඇතිකරන බ්‍රොයිලර් කුකුළන් අතර කිසිදු වෙනසක් නොමැත.

කුකුළු මස් පිළිබඳව විවිධ මත සමාජයේ පැතිරී ඇත.

බිත්තරය යනු ජීවයක් බිහිවෙන මඟක් යැයි සිතා ලාංකික සමාජයේ ඇතැම් අය බිත්තර ආහාරයට ගන්නේ නැත. නමුත් ගොවිපළ බිත්තර යනු කිකිළියගේ ඩිම්බයකි. ඩිම්බයක් ශුකාණුවක් සමඟ සංසේචනය වූවොත් මිසක එයින් ජීවයක් හට ගන්නේ නැත. එනම් ෆාම් බිත්තරයක් කොතරම් රැක්කත් එමඟින් පැටියකු බිහිවන්නේ නැත. විද්‍යාත්මක කරුණු නිවැරදිව අවබෝධ නොකරගෙන මෙවැනි දුර්මත මත පිහිටා කටයුතු කිරීම නිසා සිදුවන්නේ බොහෝ දෙනකුගේ පෝෂණ මං ඇහිරී යෑම පමණි.

බිත්තර සහ කුකුළු මස් නිසා ශරීරයේ කොලෙස්ටරෝල් වැඩිවන බවද තවත් මතයකි. කොලෙස්ටරෝල්ද ශරීරය පැවැත්මට අත්‍යවශ්‍ය දෙයකි. ගැටලුවක් ඇති වන්නේ ශරීරයේ අවශ්‍ය ප්‍රමාණයට වඩා කොලෙස්ටරෝල් වැඩි වුණොත් පමණි. සංතෘප්ත මේද අම්ල කොලෙස්ටරෝල් නිෂ්පාදනයට වැඩියෙන් බලපායි. සංතෘප්ත මේද සහිත හරක් මස්, එළු මස්වලින් ශරීරයට ලැබෙන කොලෙස්ටරෝල් ප්‍රමාණය වැඩිය. කොලෙස්ටරෝල් නිෂ්පාදනයෙහිලා ඌරු මස් සහ හරක් මස්වලින් සිදුවන බලපෑමට සාපෙක්ෂක කුකුළු මස්වලින් සිදුවෙන බලපෑම අවමය.

බිත්තරවල කහ මදයෙන් ශරීරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය වැඩිවීමට හේතු විය හැකිය.

ශරීරයට අවශ්‍ය ප්‍රෝටීන මත්ස්‍ය ආහාරවලින්ද ලබා ගත හැකිය. නමුත් මාළුවල ප්‍රෝටීන ප්‍රමාණය මාංසවලට සාපේක්ව තරමක් අඩුය. එහෙත් මාළුවල සංතෘප්ත මේද අම්ල අඩුය. කොලෙස්ටරෝල් ඇති කිරීම කෙරෙහි මාළුවල බලපෑම අඩුය. ඒ අනුව බලන විට මාළු පරිභෝජද සෞඛ්‍යට ආරක්ෂිතය. නමුත් ශ්‍රී ලංකාවේ රට ඇතුළට වන්නට ලැබෙන මාළු ප්‍රමාණය මදිය. එසේම රට මධ්‍යයට ගෙන විට අලුත් මාළු පරණ වීමටද පුළුවන. ඊට වඩා පහසුවෙන් අලුත් මස්, තරමක ලාබදායී මිලකට රටේ ඕනෑම තැනකින් මිලදී ගැනීමේ හැකියාව ඇත.

මස්වලට විෂ වර්ග කලවම් කිරීම පිළිබඳව සමාජ මතයක් පැතිරී යන අයුරු දැකගත හැකිය. විෂ වර්ග යෙදූ ආහාරයක් ශරීරගත වුණොත් ශරීරය සැණින් එයට ප්‍රතික්‍රියා දක්වයි. ආහාර විෂ වූ විට ශරීරයේ පළු මතුවීම, වමනය, පාචනය එවැනි ප්‍රතික්‍රියාවන්ය. විෂ කලවම් කරනවානම් ඕනෑම ආහාරයකට එනම් මස්වලට පමණක් නොව එළවළු, පලතුරුවලටද විෂ කලවම් කළ හැකිය.

මේ ආදී වශයෙන් කුකුළු මස් පිළිබඳව දුර්මත සමාජයේ එමටය. ඒවායේ ඇත්ත නැත්ත විද්‍යාත්මකව සොයා බලා සැබෑව සමාජගත කිරීම එක් අතකින් පාලනාධිකාරියේ වගකීමකි. පෝෂණය පිළිබඳව සැබෑ ප්‍රශ්නයක් තිබෙන රටක පෝෂණය ලැබීමට ඇති මාර්ග කිහිපයෙන් එක් මාර්ගයක් හෝ වැසී යෑම සුළුවෙන් තැකිය නොහැකිය. එය සෞඛ්‍ය සම්පන්න, බුද්ධිමත් ජනතාවක් ජාතියට බිහිවීම වැළැකී යෑම ජාතික අපරාධයක් මිස අන් කවරක්ද?

[රසිකා හේමමාලි]

 

මාතෘකා