විෂ දොවලා කැට හදලා රට යවලා...

 ඡායාරූපය:

විෂ දොවලා කැට හදලා රට යවලා...

ඔහු ශ්‍රී ලංකාවේ සිිටින පෙරළිකාරී මිනිසෙකි. විද්‍යාඥයෙකි; පර්යේෂකයෙකි; සර්පයන් හා මකුළුවන් යනාදී බොහෝ සතුන් පිළිබඳ ආචීර්ණ කල්පික මිථ්‍යා මත පුපුරුවා හළ බුද්ධිමතෙකි; උරගයන් සම්බන්ධයෙන් අපට සිටින ප්‍රාමාණික විශේෂඥයා ඔහුය. ශාස්ත්‍රිය ග්‍රන්ථ හා ලිපි 400කට වඩා ලියූ ලේඛකයෙකි; සුප්‍රසිද්ධ මැජික් ශිල්පියෙකි.

ෙම් සෑම බදාදාවකම දිගහැෙරන ඔහුෙග් ජීවිත කතාවයි.

"නයින්ගෙන් විෂ දොවන එක එළදෙනකුගෙන් කිරි දොවනවා වගේ ලේසි දෙයක් නම් නෙවෙයි...."

මගේ මනසෙහි ඇඳී තිබූ විෂ දෙවීමේ චිත්‍රය කීතු කීතු වූයේ ක්ෂණයකිනි. නයා යැයි කීව සැනින් ඇඟ කිලිපොළා යන භීතියක් දැනේ. එහෙව් සතකුගෙන් විෂ ලබා ගැනීම අත්‍යන්තයෙන්ම වීර ක්‍රියාවක් විය යුතුය.

"ඇයි එහෙනම් ඒකට දොවනවා කියන්නේ?

"දොවනවා වගේ දෙයක් තමයි වෙන්නේ... ඒත් ඉතින් අපි විෂ දොවාගන්නකම් සර්පයෝ බලාගෙන ඉන්නේ නෑනේ. බොහොම සංයමයෙන් කරන්න ඕනි වැඩක් ඒක.”

“ඕනම නයෙකුගෙන් විෂ ගන්න පුළුවන්ද?” මට ගැටලු රාශියකි.

“නැහැ. මේක අපි කරන්නේ ප්‍රතිවිෂ හදන්න බලාගෙන. ඒ නිසා ඒකට හොඳ ශරීර සෞඛ්‍යයෙන් ඉන්න නයි විසිපස් දෙනෙක් වගේ ගන්නවා. නයාගෙන් විෂ ගන්නවට වඩා පොළඟගෙන් විෂ ගන්න එක ලේසියි. අපේ පර්යේෂණාගාරවල තියෙනවා මේවට ගැළපෙන විදියෙ ප්ලාස්කු. ඒ ප්ලාස්කුවල උඩ කොටස මහතයි. පහළට යන්න යන්න කඳ හීනි වෙනවා. ඒ ප්ලාස්කු අයිස්වල දාලා තියෙන්නේ. විෂ කියන්නේ ප්‍රෝටීනයක්. ඒ නිසා උෂ්ණත්වයට අහුවුණොත් ප්‍රෝටීනය මැරෙන්න පුළුවන්. ඉන්පස්සේ ඒ ප්ලාස්කුවේ කටට බැලුමක සිවියක් වගේ එකක් සවි කරනවා. අපි ඒකට කියන්නේ වේලම් එකක් කියලා. පොළඟව හෝ නයාව ඒ ප්ලාස්කුවේ කට ළඟට ළං කළාම ඌ තරහට ඒක හපනවා. සිවිය හපද්දි විෂ ටික ප්ලාස්කුවට වැටෙනවා. උන්ගෙ විෂ රත්‍රන් පාටයි. හරි ලස්සනයි.”

ඔහු ඒ ලස්සන යැයි පැවසූවේ නයි විෂටය. සර්ප විද්‍යාවේ කෙළ පැමිණි අයකු මල් ගැන හෝ සමනලුන් ගැන වර්ණනා කරනවායැයි සිතීමට නොහැකි වුවත් නයි විෂෙහි පවා සුන්දරත්වයක් දැකිය හැකි ඔහුගේ හදවත පිළිබඳ මට කියාගත නොහැකි හැඟීමක් දැනුණි.

"විෂ දොවලා ඉවර වුණාම ඒ භාජනය අයිස්වල දාලා තියෙන්නේ. ඉන්පස්සේ බැක්ටීරියා වගේ විෂ නසපු වෙනත් ටියුබ් එකකට වැකියුම් කරලා ඒ ටික ගන්නවා. අරගෙන සෙල්සියස් අංශක සෘණ 70ක උෂ්ණත්වයකට සිසිල් කරලා තියලා තියනවා. සාමාන්‍යයෙන් සෘණ හතරක වගේ උෂ්ණත්වයක්නේ අපේ ගෙවල්වල තියෙන ශීතකරණවල තියෙන්නේ. මේ විශේෂ ශීතකරණ තියෙන්නේ පර්යේෂණාගාරවලමයි. ෆ්‍රීස් ඩ්‍රයර් එකකට දාලා තිබ්බම යන්ත්‍රය වැඩ කරද්දි ඒ විෂ කැටිගැහෙනවා. ඒක සීනි වගේ වෙනවා. සීනි කැට වගේ වුණු විෂ අවුරුදු පනහක් සීයක් ගියත් මැරෙන්නේ නැහැ.”

ඔහුගේ ඇසුර ප්‍රියජනක වන්නේ මේ නිසාය. නොදන්නා බරපතළ දේ ඔහු බොහොම සරලව පවසයි. ඒවාද කිසි දිනෙක අපි නොඇසූ කාරණාවන්ය.

“ප්‍රතිවිෂ විදියට ගන්නේ ඒවද ඩොක්ටර්?”

“නැහැ. තව බොහොම දුරක් ගිහින් ඇවිත් තමයි ප්‍රතිවිෂක් නිර්මාණය වෙන්නේ. සාමාන්‍යයෙන් ලංකාවේ අධිකම විෂ සහිත සර්පයෝ වෙන්නේ නයා, තිත් පොළඟා, පොළොන් තෙලිස්සා, මුදු කරවලා සහ තෙල් කරවලා. නයාගෙන් විෂ ගන්නවා වගේම මේ හැම සර්ප වර්ගයකින්ම විෂ අරන් විෂ කැට හදාගන්නවා. ඒ විෂ කැට වෙනම ලැබ් එකකට අරන් ගිහින් වතුරේ දිය කරනවා. ඉන්පස්සේ ඒ විෂ වර්ග පහ එකට කලවම් කරලා අශ්වයකුට එන්නත් කරනවා. හැබැයි ඒක කරන්න ඕන අශ්වයා මැරෙන්නේ නැති වෙන්න. මාස ගාණක් ටික ටික ඒ විෂ එන්නත් කරනවා. ඉන්පස්සේ උගේ ලේවල විෂට ප්‍රතිවිරුද්ධ ප්‍රතිදේහ හැදෙනවා. ඒ ප්‍රතිදේහ ප්‍රතිවිෂ විදියට සර්පයන් දෂ්ට කරපු මිනිස්සුන්ට ලබා දෙන්න පුළුවන්. තවම ලංකාවේ මේක කරන්නේ නැහැ. අපි අදාළ විෂ වර්ග යැව්වම ඉන්දියාවෙන් තමයි ප්‍රතිවිෂ හදලා එවන්නේ.”

ඔහුගේ කතාව මඳකට මඟහැරුණේ ඔහු ඇතිකරන සුනඛයන්ගේ අධික කෑ ගැසීම නිසාය. ජෙනිෆර් මහත්මිය හෝ කිසිවකු ඒ පිළිබඳ අවධානයක් නොදැක්වීමෙන් ඇන්ස්ලම් මහතා කතාව නවත්වා මිදුල දෙසට ගියේය. විනාඩි දෙක තුනක් ගත වුවද ඔහු නොපැමිණි නිසා මම ඔහුගේ ඡායාරූප එකතුව පෙරළමින් බැලීමි. බෙල්බොටම් කලිසමක් ඇඳ විදේශිකයන් දෙදෙනකු සමඟ සිටින ඡායාරුවක් එහි විය. අනුරාධපුරයේ ඔහු කරන ලද සමීක්ෂණයක් පිළිබඳ කීවා මතකය.

“මම මේ ගැන කලින් කියලා තියෙනවා. ඒත් හරිම දවසේ ඔයා මේ ෆොටෝ එක අතේ තියන් ඉන්න එකනේ පුදුම දරුවෝ.”

ඔහු පැමිණ මා අතැති ඡායාරූපය සහිත ඇල්බමය අතට ගන්නා අතරතුර එසේ පැවසීය.

“මට පොඩි මතකයක් නම් තියෙනවා. සර්පයෝ ගැන සමීක්ෂණයක් නේද ඩොක්ටර්?”

“ඔව්. මේ සමීක්ෂණය කළේ 1976දී. ලංකාවේ සර්ප දෂ්ටනය ගැන දීපව්‍යාප්ත සමීක්ෂණයක් මුලින්ම කළේ මං. ඒ සමීක්ෂණයෙන් මම හොයාගත්තා සර්ප දෂ්ටනය නිසා ලක්ෂයකට පහයි දශම දෙකක අනුපාතයක් වාර්ෂිකව මිනිස්සු මැරෙනවා කියලා. ඒ සමීක්ෂණ වාර්තාව 1980 ලෝක සෞඛ්‍ය සංවිධානයේ පළමු සර්ප දෂ්ටනය පිළිබඳ ලෝක සමුළුවේදී මම ඉදිරිපත් කළා. ලෝක සමුළුව තිබුණේ ජපානයේ. මම විතරයි ලංකාව නියෝජනය කළේ. ලෝකයේ අනිත් රටවල නියෝජිතයෝ පුදුම වුණා ලංකාවේ මෙච්චර ප්‍රමාණයක් මිනිස්සු මැරෙනවද කියලා. පුදුම වෙලා නැවතුණේ නැහැ, ජපන් මහාචාර්යවරු දෙන්නෙක් ආවා මේ කාරණාවල ඇත්ත නැත්ත හොයන්න.

“ඒ අය ලංකාවට ඇවිත් මෙහේ නැවතිලා හිටියා මාස දෙකක්. අපි මුළු අනුරාධපුර දිස්ත්‍රික්කයේම සමීක්ෂණය පැවැත්වුවා. තනියම මේ සමීක්ෂණය කරන්න මට ඒ කාලේ විදියට ගියේ රුපියල් 500ක් වගේ සුළු මුදලක්. ඒත් ජපන් මහාචාර්යවරුන්ට ලක්ෂ ගාණක් වියදම් වුණා. ඒත් අවසානෙට මම හොයාගත්තු දේවල්මයි එයාලත් හොයාගත්තේ. ලොකුම දේ තමයි මම විශේෂ දෙයක් මේකෙන් හොයාගත්තු එක. පොළොන් තෙලිස්සගේ විෂට ප්‍රතිවිෂක් තිබුණේ නැහැ ඉන්දියාවෙන් ගේන ඖෂධවල. පොළොන් තෙලිස්සගේ දෂ්ටනය නිසා මිනිස්සු ගොඩක් නිරපරාදේ මැරුණා. ඒ නිසා පොළොන් තෙලිස්සගේ විෂත් දාලා ලංකාවට ප්‍රතිවිෂක් අවශ්‍යයි කියලා කිව්වේ මම තමයි.”

කතාව පිළිබඳ තිබූ දැහැන බිඳුණේ සැරම සැර කෝපි කෝප්පයක සුවඳින්ය. ජෙනිෆර් මහත්මිය සූර සූපවේදිනියක් බව මෙහිදී සඳහන් නොකළහොත් මා ඇයට කරන මදිපුංචිකමකි. ඇයගේ කෝපි මෙන්ම රස කැවිලිවලද පැවති ප්‍රණීත රසය නැවත විඳින්නට ඇත්නම් යැයි සිතුණු වාර ඕනෑතරම් තිබිණි. ඇයද අපගේ පසෙකින් හරිබරි ගැහී ඉඳගෙන කතාවට එකතු වූවාය.

“ඉස්සර මතයක් තිබුණා නයෙක් කෑවම ඒ නයාව මතුරලා ගෙන්නවගෙන විෂ උරලා ලෙඩාව සනීප කරන්න පුළුවන් කියලා. මම අභියෝග කළා පුළුවන් නම් මේක කරන්න, එහෙම කළොත් ලක්ෂ ගාණක් වටින මගේ නුවර ඉඩම මම ලියලා දෙනවා කියලා. විෂ ඉරුවොත් ඇන්ස්ලම් ඉඩමක් තෑගි දෙනවා කියලා පත්තරවල මුල් පිටුවලත් ගියා.”

කතාවෙහි හොඳම හරිය පිළිබඳ පැවසුවේ ජෙනිෆර් මහත්මියයි.

“ඇන්ස්ලම්ට එතන ඉඳන් පුදුම විදියට මරන තර්ජන ආවා. කොඩිවින කරනවා කියලා ටෙලිග්‍රෑම් ආවා. ඒත් අපි මේ කිසිම දෙයක් නැවැත්තුවේ නැහැ. බය වෙන්න දෙයක් නැහැනේ, අපි කතාකරන්නේ කාගෙවත් රස්සාවක් නැති කරන්න නෙවෙයි, මිනිස්සුන්ට ඇත්ත කියලා දෙන්න.”

ඇයගේ කතාව පිළිබඳ ඇති වූයේ මහත් පැහැදීමකි. පෞද්ගලික කාරණාවන් වෙනුවෙන් පවා තම ස්වාමියාගේ සියලු රාජකාරීන්ට තිත තියන බිරින්දෑවරුන් අතර ඇය ක්‍රියා කර ඇති ආකාරය පුදුමය. ඔහුගේ සාර්ථකත්වය පසුපස ඇය සිටගෙන ඇති බවට අටුවා ටීකා අවශ්‍ය නොවන්නේ ඒ නිසාය.

“වැඩිපුරම තර්ජන ආවේ විෂ වෛද්‍යවරුන්ගෙන්. මගේ පැත්තට කතාකරපු පුවත්පත් කර්තෘ කෙනෙකුටත් තර්ජන ඇවිත් තිබුණා. මරණ තර්ජනත් ආවා. වැඩිපුරම කියලා තිබුණේ කොඩිවින කරනවා කියලා. ඒත් මේ වෙනකම් නයෙක් ගෙන්නවලා විෂ ඇදලා ලෙඩෙක් සනීප කරන්න කිසිම කෙනෙක් ඉදිරිපත් වුණෙත් නැහැ. මට වැදුණු කොඩිවිනේකුත් නැහැ.”

ඔහුගේ නිවුණු ස්වරූපය හා මන්දහාසයෙහි කිසිවකු කෙරෙහි වෛරයක සේයාවක් හෝ නොතිබුණි. මිථ්‍යාවට එරෙහිව ඔහු ගෙනගිය රැඩිකල් තීන්දු තීරණ, කීයක්නම් මිනිසුන්ගේ ජීවිත ගලවන්නට ඇත්දැයි මට සිතිණි.

විෂ ගල් සහ සර්පයන් අතර ඇති අපූර්ව සම්බන්ධය ගැන අසන්නට මතක් වුණත් අද ඊට වෙලාව මදි නිසා නොඇසුවෙමි. අපි ඒ කතාව ලබන සතියේ අහමු.

මාතෘකා