වෛද්‍යවරු නැතිව වැසෙන්නට යන බලධාරීන් නුදුටු ගන්තලාව රෝහල

 ඡායාරූපය:

වෛද්‍යවරු නැතිව වැසෙන්නට යන බලධාරීන් නුදුටු ගන්තලාව රෝහල

වෛද්‍ය හිඟයට, හෙද හෙදි හිඟයට කඩිනම් විසඳුම් දෙන බවට සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යවරයා පසුගිය දිනවලදී පුනපුනා කියනු අපි විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය හරහා දුටුවෙමු. ඒ කතා එසේ පවතිද්දීත් තවත් දුෂ්කර ගම්මානයක පුංචි රෝහලක් වෛද්‍යවරයකු නොමැති කමින් වැසී යෑමේ තර්ජනයට මුහුණ පා ඇති බවට වූ පුවතක්ද අපට වාර්තා විය. මේ ඒ පිළිබඳව තබන සටහනකි.

“හිටපු වෛද්‍යවරිය ප්‍රසූත නිවාඩු ලබාගෙන ගියාට පස්සේ තමයි මේ රෝහලට මේ තත්ත්වය උදා වුණේ. දැන් රෝහල වැහිලා. අඩුම ගා‍ෙන මුරකාරයෙක්වත් නැහැ. ගමේ 4,000ක් 5,000ක් ප්‍රතිකාර ගත්තේ මේ රෝහලෙන්.” යැයි තඹලගමුව මොල්ලිපොතාන පැරකුම් පුර පදිංචි බී.ජී. ආරියරත්න මහතා ඉතා ශෝකීව සිය අදහස් දිගහැරියේය.

තඹලගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මොල්ලිපොතාන පිහිටි ගන්තලාව මධ්‍යම බෙහෙත් ශාලාව හා ප්‍රාදේශීය රෝහලේ මෙතෙක් සේවය කළ වෛද්‍යවරිය ප්‍රසූත නිවාඩු ලබා ගැනීම හේතුවෙන් රෝහල වැසී ගොස් මාසයකට ආසන්න කාලයක් වේ. දිනකට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන 250කට ආසන්න පිරිසකට සේවා සැපයූ මෙම රෝහල වැසී යෑමත් සමඟ අඟහරුවාදා හා බ්‍රහස්පතින්දා දිනවලට පමණක් පැමිණෙන වෛද්‍යවරයකු සායන පමණක් පැවැත්වීම දක්වා රෝහල් කටයුතු සීමා වී පවතියි.

“බෙහෙත් දෙන එක නතර වුණාට පස්සේ මොල්ලිපොතාන බෙහෙත් ශාලාවේ වෛද්‍යවරයා අඟහරුවාදා හා බ්‍රහස්පතින්දා දිනවල ඇවිල්ලා දියවැඩියාව හා අධි රුධිර පීඩන, ළදරු සායන පවත්වනවා. ඒ සඳහා කරගත යුතු පරීක්ෂණ පෞද්ගලිකව පිටින් කර ගන්න සිද්ධ වෙලා තියෙන්නේ. හිටපු සේවකයන් කිහිප දෙනා අවට රෝහල්වලට හා ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලට මාරු කර යවලා.” යැයි බි.ජී.ආරියරත්න මහතා සුසුමක් හෙළමින් පැවසුවේ ඔහු නිරන්තරයෙන් තම අසනීප තත්ත්වයට ප්‍රතිකාර ගත් අයකු බව කියමිනි.

මොරවැව ජනපද ව්‍යාපාරය ආරම්භ කළ 1950 දශකයේ මෙම රෝහල ආරම්භ කරන විට එතරම් නිවාස නොතිබුණු මුල් යුගයේ සිට වෛද්‍ය ප්‍රතිකාර ගත් වර්තමානයේ වයෝවෘද්ධ තත්ත්වයට පත් වැසියන් පවසන්නේ තම ගමේ රෝහලට මීට පෙර මෙවැනි ඉරණමක් අත් නොවූ බවය.

“මේ රෝහල හැදෙනකොට කන්තලේ මූලික රෝහල හැදිලා තිබුණේ නැහැ. හැමෝම බෙහෙත් ගන්න ආවේ මෙතනට.” යැයි අදහස් දැක්වූ මොල්ලිපොතාන පදිංචි ඒ රොසලින් නෝනා මහත්මිය, “දැන් අපට බෙහෙත් ටිකක් ගන්න දුර බැහැර යන්න වෙලා.” යැයි කලකිරුණු සිතින් පැවසුවාය. “1950 කාලේ තමයි මේ රෝහල ආරම්භ වුණේ. ඒ කාලේ අපි පොඩියි. මේ තරම් ගෙවල් ඒ කාලේ තිබුණේ නැහැ. දැන් වෛද්‍යවරයෙක් නැතිව රෝහල වැහිලා. බෙහෙත් ටිකක් ගන්න අපිට දැන් තඹලගමුවට නැතිනම් කන්තලේ වැනි දුර බැහැර යන්න වෙලා.” යැයි රොසලින් නෝනා මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.

ගන්තලාව බෙහෙත් ශාලාව අංගසම්පුර්ණ ගොඩනැඟිලි සංකීර්ණයකින් යුක්තය. පිරිම හා ගැහැනු වාට්ටු දෙකක් බාහිර රෝගී අංශයක් සායන මධ්‍යස්ථානයක් වෛද්‍ය නිල නිවසක් ආදී අංග සම්පුර්ණ මෙම ගොඩනැඟිලි වර්තමානයේ වැසී ඇති අයුරු දක්නට ලැබේ. වෛද්‍ය නිල නිවාසය වසා දමා මාස ගණනාවක් වන අතර එය වල් බිහිවී ඇති අයුරු දැකිය හැකිය.

“මහත්තයෝ, ගම්මාන කිහිපයකම මිනිස්සු ජාති භේදයකින් තොරව බෙහෙත් ගන්න ආවේ මෙතෙන්ට.” යැයි කී තඹලගමුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු වන ආර්.එම්. කුඩා බණ්ඩා මහතා රෝහලට වෛද්‍යවරයකු ලබා ගැනීමට ගත් උත්සහයන් අසාර්ථක වූ බව පරාජිතව පැවසීය. “ගන්තලාව, යුනිට් 11, 12 හා 18 සාලියපුර, බුහාරි නගර්, සදාත් නගර් ආදී ගම්මාන රැසක ජනතාවට වෛද්‍ය ප්‍රතිකාර සඳහා උදවු වුණේ මේ රෝහලය. නේවාසික රෝගීන් ගත්තේ නැති වුණත් ඒවාට වාට්ටු තිබුණා. රෝහල වැහිලා යාමෙන් වෛද්‍ය නිල නිවාසයත් අභාවයට ගිහිල්ලා. සායනවලට එන රෝගීන් දුර බැහැර යන තත්ත්වයකට පත් වෙලා.” යැයි හෙතෙම පෙන්වා දුන්නේය.

වැසී ගිය රෝහල යළි විවෘත කර ගැනීමට ගමේ ප්‍රජා මූල සමිති රැසක් අදාළ බලධාරීන්ට ලිපි යැවූවද ඉන් ඵලක් නොවූ බවද කියති. පවතින තත්ත්වය හමුවේ සතියකට දින දෙකක් සායන සඳහා පමණක් වෛද්‍යවරයකු යෙදවීම ප්‍රමාණවත් නොවන බවද ජනතාව පෙන්වා දෙති. කෘෂිකාර්මික දිවි පෙවෙතක් ගත කරන මෙහි වැසියන්ගෙන් බහුතරයක් එතරම් ඉහළ ආර්ථික ශක්තියක් ඇති අය නොවන බවද මෙහිදී සඳහන් කළ යුතු වේ. ඇති හැකි අය වෛද්‍ය ප්‍රතිකාර සඳහා පිට ප්‍රදේශවලට යද්දී නැති බැරි අය ගමේ වැසී ඇති රෝහල දෙස බලා සුසුම් හෙළති.

වැසී ඇති මෙම රෝහල යළි විවෘත කර ගැනීමට දැඩි සටනක් කරන මොල්ලිපොතාන සාලියපුර ගොවි සංවිධානයේ සභාපති ඩබ්.එම්.ඩබ්. බණ්ඩාර මහතා, ආර්ථික අපහසුතා ඇති අය මේ හේතුව නිසා අසරණ වී ඇති බවට තර්කයක් ඉදිරිපත් කළේය.

“බාහිර රෝගී අංශය තමයි මුලින් වැහුණෙ. සතියකට දෙවරක් මොල්ලිපොතානෙන් ආපු දොස්තර කෙනෙක් සායන පැවැත්වුවා. සමහර දිනවලට ඒකත් නැහැ. හිටපු සේවකයන් වෙනත් රෝහල්වලට මාරු කළා. වෙන්ඩ්‍රාසන්පුර වගේ ඈත ප්‍රදේශවලින් පවා බෙහෙත් ගන්න ආපු තැනක් තමයි මේ අද අභාවයට ගිහින් තියෙන්නේ. දැන් ඉතින් අසනීපයකට බෙහෙත් ගන්න ත්‍රීරෝද රියකට රුපියල් 400ක් 500ක් දෙන්න වෙලා. කුඹුරු කරලා ජීවත් වෙන මේ ප්‍රදේශයේ අයට උණ හෙම්බිරිස්සාව වගේ ලෙඩක් හැදුණොත් මේ වගේ මුදලක් දරන්නේ කොහොමද?” ඔහු යැයි ප්‍රශ්න කළේය.

ගන්තලාව රෝහල වැසී යෑම සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන්ගේ නිද්‍රාශීලී පිළිවෙත හේතු වූ බවද කියයි. රෝහලේ සිටින එකම වෛද්‍යවරිය ප්‍රසූත නිවාඩු යන බව මාස කිහිපයකට පෙර සිට දන්නා සෞඛ්‍ය බලධාරීන්ට ඒ සඳහා විකල්පයකට යෑමට බොහෝ ඉඩකඩ තිබූ බවද කියයි. “මහත්තයෝ, මේ නිසා පීඩා විඳින්නේ අපි. දුර බැහැර රෝහල්වලට යන්න බැරි නිසා. අපේ සල්ලි ටික පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානවලට පූජා කරලා බෙහෙත් ටික ගන්න වෙලා තියෙන්නේ. ගන්තලාව රෝහලට මේ තත්ත්වය මීට පෙර උදා වුණේ නැහැ.” ඒ ගම්වැසියන්ගේ පොදු මතය වී තිබේ..

වෛද්‍යවරයකු ලබා ගැනීමට ආණ්ඩුකාරවරයාගේ සිට සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කළද මේ දක්වා ඉටු වී නැති බව කී ගන්තලාව කොට්ඨාසය නියෝජනය කරන තඹලගමුව ප්‍රාදේශිය සභා මන්ත්‍රී රිකාස් අහමඩ් මොහොම්මදු ඉක්බාල් මහතා මේ සඳහා ඉදිරි සභා රැස්වීමේදි විරෝධතාවයක් පළ කරන බවට අනතුරු ඇඟවීය.

“මම මේ සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරයාට ලිපියකින් දැන්වුවා. ආණ්ඩුකාරවරයා සෞඛ්‍ය ලේකම්වරයාට මෙය යොමු කර තිබුණා. අනතුරුව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කියලා තියෙනවා වෛද්‍ය හිඟය තුළ කිසිවක් කරන්න බැහැ කියලා. බෙහෙත් ගන්න මොල්ලිපොතාන රොහලට යන්න කියනවා. එහේ දවසකට බෙහෙත් දෙන්න තුණ්ඩු දෙන්නේ 50 දෙනෙකුට විතරයි. ජනතාවට දුර බැහැර යන්න බැරි නිසා පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානවලින් බෙහෙත් ගන්නවා. අවසානයේදී පොහොසත් වෙන්නේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානවල ඉන්න අයයි. ජනතාව හැමදාම අසරණයි. ප්‍රසූත නිවාඩු ගොස් සිටින වෛද්‍යවරිය වෙනුවට තාවකාලිකව වෛද්‍යවරයෙක් යොදවන්න කියලා කළ ඉල්ලීම්වලටවත් ඇහුම්කන් දීමක් නැහැ.” යැයි ඔහු කීය.

ජනතාවගේ මේ දැවෙන ප්‍රශ්නය පිළිබඳ ත්‍රිකුණාමලය ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා බී. කායල් විලි මහත්මියට යොමු කෙරිණි. එහිදී ඇය දැක්වූයේ මෙවැනි අදහසකි.

“ඇත්තටම ගන්තලාව බෙහෙත් ශාලාවේ වෛද්‍යවරිය ප්‍රසූත නිවාඩු ලබාගෙන තියෙනවා. ඒ නිවාඩු ඉවර වෙලා වැටුප් රහිත නිවාඩු ගත්තාම අපට කරන්න දෙයක් නැහැ. ඒ වෙනුවට සේවයේ යොදවන්න වෛද්‍යවරයකුත් නැහැ. ප්‍රදේශයේ රෝහල් රැසක වෛද්‍ය හිඟය තියෙනවා. දැනට ගන්තලාවේ මේ ප්‍රශ්නයට විසඳුමක් ලෙස අඟහරුවාදා හා බ්‍රහස්පතින්දා දිනවල අධි රුධිර පීඩනය, දියවැඩියාව හා ළදරු සායනවලට වෛද්‍යවරයෙක් යොමු කරලා තියෙනවා. ගන්තලාව බෙහෙත් ශාලාවේ සේවකයන් නිකන් හිටියොත් විගණන ප්‍රශ්න එන නිසා තඹලගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට අනුයුක්ත කරලා තියෙනවා. වෛද්‍ය හිඟය තියෙන්නේ ගන්තලාවේ විතරක් නොවෙයි.”

කෙසේ වෙතත් විසඳුමක් දිය නොහැකිව ඇදි ඇදී පවතින මේ ප්‍රශ්නය හේතුවෙන් අසරණ වන්නේ ගන්තලාව ග්‍රාමයේ වැසියන් පමණක් නොවේ. ඒ අවට වැසියන් බොහෝ දෙනකුට මේ රෝහල වැසී යෑමෙන් හදිසි අසනීප තත්ත්වයකදී පවා දුර බැහැර ගෙවාගෙන වෛද්‍යවරුන් සොයා යෑමට සිදුව තිබේ. මේ හේතුවෙන් ගම්වැසියන් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලන්නේ ප්‍රසූත නිවාඩු ගොස් සිටින වෛද්‍යවරිය පැමිණෙන තෙක් හෝ රෝහල වැසී යෑමට ඉඩ නොදී තාවකාලිකව හෝ වෛද්‍යවරයකු මෙම රෝහලට ලබා දීමට කාරුණික වන්න යැයි කියාය.

ත්‍රි/මලය විශේෂ [ඒ.ටි.එම්. ගුණානන්ද]

මාතෘකා