‘කඩා වැටෙනා තරුවක්’ නොවන්නට නම්...

 ඡායාරූපය:

‘කඩා වැටෙනා තරුවක්’ නොවන්නට නම්...

කවියක වස්තු විෂය යනු මානව අත්දැකීමක සියුම් නිරීක්ෂණයකි. එහි සියුම් බව වැඩිවන්නට වන්නට මානව ජීවිතය විනිවිද දකින්නට කවියට හැකිය. මතුපිට ද්විමානී ස්වරූපයට වඩා ත්‍රිමාණික අරුතක් කවියට ජනිත වන්නේ කවිය හරහා සිදුකෙරෙන මේ අන්වීක්ෂික මෙහෙයුමෙනි. කවිය වඩාත් තියුණු වන්නේ රිද්මය, ලය හා බස පදනම් කරගෙනය. ඇමෙරිකානු කිවිඳියක වන රීටා ෆ්‍රාන්සස් ඩෝව් පවසන්නේ ‘කවිය යනු වඩාත් පිරිපහදු වූ බලසම්පන්න භාෂාවක්’ බවයි. මේ නිසා කවිය මිනිස් සන්තානයේ ආලේප වන භාෂාමය තැවරුමකි.

ශ්‍රී ලාංකේය කවියට, නව පරම්පරාවක් ආගතවීම නව මාධ්‍ය භාවිතයත් සමඟ පුළුල් වූ බව පිළිගත යුතු සත්‍යයකි. එහි ගුණාගුණ ගැන වෙනම කතා කළ යුතු වුවද ඒ පරම්පරාවේ අපූරු කවිත්වයක් සහිත නව කවියන් කිහිප දෙනකු අපට හමු වේ. එහි නූතනම සම්මුඛ වීම වන්නේ ඉලක්ෂ ජයවර්ධනය. ඉලක්ෂ කලක් සමාජ මාධ්‍ය මඟින් සිය කාව්‍ය ප්‍රතිභාව ප්‍රකට කරමින් අභ්‍යාස කළ කවියකු වන අතර ඔහුගේ පළමු කාව්‍ය එකතුව ‘කඩාවැටෙනා තරුවක්’ නමින් පළ කෙරිණ. මේ කාව්‍ය සංග්‍රහයේ ඉතාම අපූරු කාව්‍ය නිර්මාණ ගණනාවක් අපට කියවන්නට ලැබේ. සිය කෘතිය ආරම්භයේදීම අපට හමුවන ‘දුවගේ චිත්‍රය’ නිර්මාණය මුහුකුරා ගිය කාව්‍යයක්කාරයකුගේ අපූරු පරිකල්පනයකි.

වෙරළ බඩ සැන්දෑවක් චිත්‍රයට නඟන්නට පියා දියණියට උදව් කරමින් සිටී. සියල්ල අපූරුවට නිමවූ පසු ඔහු දියණියට එක් දෙයක් කියයි. එක කවිය පරිපාකයට රැගෙන යන ලෙසින් ඉලක්ෂ සඳහන් කරන්නේ මෙලෙසිනි.

 

ටීචරුත් ලකුණු දෙයි නොවෙන් බිය සංකාව

දැන් හරිම ලස්සනයි වෙරළ ළඟ හැන්දෑව

චිත්‍රෙ අපි නොඇඳ ඉමු දුවේ අපි දෙන්නාව

එහෙම උනොතින් ළමයි සොයයි නුඹෙ අම්මාව

දුවගෙ චිත්‍රය - පිටුව 09)

ඉලක්ෂගේ සාර්ථක නිර්මාණවල දැකිය හැකි සුවිශේෂ ගුණය වන්නේ ආකෘතිමය රිද්මය හා උපයුක්ත බස වුවද ඔහු කවිය නිමාකරන පරිපාකමය ශිඛර මුදුන රසිකයාගේ මනස ආලෝලනය කරන්නට සමත් වේ. ‘ලොකු අයියා’ නිර්මාණයද එබන්දකට අපූරු උදාහරණයකි. මව්පියන්ට හොරෙන් නික්ම ගොස් විවාපත්වන නැගණිය පසුව සිය සැමියාගේ කුරිරුකම් ඉවසනු නොහැකිව පෙරදින සිය ආදරය උපමා කර තිබුණු නුවර වැවටම පැන සියදිවි නසා ගනී. ඉලක්ෂ නිර්මාණය අවසන් කරන්නේ මෙලෙසිනි.

 

නුවර වැව යට සත් මසක ගැබිනියක් නින්දක කියා කීවේ

නුඹට හිනැහුණු අයගෙ ඇස්වල පවා කඳුලක් ඔහේ පාවේ

අපව හැරගිය දිනේ සිට වැරදිලද මාවත නැවත නාවේ

ඉතින් දැන්වත් සතුටින්ද නුඹ බලන්නයි මළ ගෙදර ආවේ

(ලොකු අයියා - පිටුව 12)

මේ අවසන් රිදවීම ප්‍රබල වන තරමට රසිකයා සිය ජීවිතය දෙස වෙනත් ඇසකින් බලන්නට පොලඹවාලයි. පිළිකා රෝහලේ ප්‍රතිකාර ලබන සිය බිරිඳගේ අවසන් මොහොත ගැන ලියැවුණු නිර්මාණයද අපූර්වත්වයක් සහිත එකකි. නමුත් කවිය අවසන් වන්නේ රසිකයාට ප්‍රබල කම්පනයක් ඇති නොකර වීම අපතේ යාමකි. එහි එක් කවියක ඉලක්ෂ මේ දෙදෙනා අතර ප්‍රේමය ගැන සඳහන් කරන කවිය මේ නිර්මාණයේ අපූර්වතම අවස්ථාවකි.

 

එදා ඉදිරිය බැලූ පයෝධර බිම බලා

පුන් සඳක් සේ දිලෙයි හිසේ කෙස් ගැලවිලා

රන් කඳයි කියන්නට නමුත් නැහැ මැළිවෙලා

අන්න ඒ තරමටම අපට අපි පෙම් කළා

(නැවතුමක් නැති ගමනක් - පිටුව 16)

‘මැදපෙරදිග පෙම්බරියට’, ‘බිරිඳගේ සොහොන මත’, ‘චම්පා’, ‘ගණන් අසමත් කමලා’, ‘ගුණේ උඹ මැරුණද?’, ‘පැමිණිල්ලක්’, ‘යතුර පාපිස්ස යට’, ‘නංගියේ මං උඹේ අක්කා’ වැනි නිර්මාණ ඉලක්ෂගේ අපූරු කාව්‍ය අනුභූතීන් තෝරා ගැනීමේ සූක්ෂමතාවත්, ඒවා ප්‍රබල කම්පනයක් සහිතව කවි කිරීමේ ප්‍රතිභාවත් මනාව ප්‍රකාශ කරන ඒවාය.

 

දෙයක් තව මෙමට නෑ හිමිට ගෙනැවිත් දෙන්න

ප්‍රේමයක් තිබෙන තැන ගිහින් නැවතී ඉන්න

දුක් වෙන්න එපා මට හැකිය දුව රැකගන්න

යතුර පාපිස්ස යට මඟ වැරදුණොත් එන්න

(යතුර පාපිස්ස යට - පිටුව 41)

ඉලක්ෂගේ බස සරලය. ශබ්දකෝෂ අරුත් සොයා වෙහෙස විය යුතු නොවේ. කවියේ රිද්මය කෙරෙහි ඔහු සැලකිලිමත්ය. එය කවියට ආලෝකයකි.

 

හාල් ඇට ටික හරියටම ගැනලා

මටයි මගේ පැටවුන්ට සම සමව බෙදලා

ඇව විතරක් මට හොරෙන් අඩු කරලා

ආදරේ චක්කරය කට පාඩමින් කියනා

ඒ තමයි මගේ බිරිඳ ගණන් අසමත් කමලා

(ගණන් අසමත් කමලා - පිටුව 24)

නමුත් ‘කඩාවැටෙනා තරුවක්’ කෘතියට සංගෘහිත ඇතැම් කවි තව තවත් කපා කොටා ඔප මට්ටම් කළයුතු නමුත් එසේ නොකළ ඒවාය. ඇතැම් කවි සමස්ත කෘතියේ සාර්ථකභාවයට හානි පමුණුවන්නට එකතු කළේ ඇයිදැයි සිතේ. ඇතැම් කවි තුළ පෙර කවීන්ගේ නිර්මාණ සෙවනැල්ලද තැනින් තැන දැකිය හැක. බොහෝ ප්‍රේම විප්පයෝගී කවි හුදු සටහන් පමණකි. ඒවායේ අපූර්වත්වයක් දකින්නට නැත. මේ නිසා සමස්ත කෘතිය මෙන්ම බොහෝ කේවල නිර්මාණයන්ද යළි යළිත් සංස්කරණය කළ යුතුව තිබිණි. නූතන කාව්‍ය පරම්පරාව සමාජ මාධ්‍ය ආශ්‍රිතව සිය නිර්මාණ රසික පර්ශද වෙත ඉදිරිපත් කිරීමෙන් ලද ඍණාත්මක උත්තේජනය එයදැයි විටෙක සිතේ. කවිය යළි යළි සංස්කරණය කිරීම කවියට බරසාර බවක් එකතු කරන බව ඇමෙරිකානු කිවිඳියක වන රීටා ෆ්‍රාන්සස් ඩෝව්ගේ මෙම සටහනින් සනාථ වේ. ‘කාව්‍ය රචනයේදී ඒවා නැවත නැවත සංස්කරණය කිරීමට මම කැමතිය. නමුත් තරුණ කවියෝ බොහෝ දෙනෙක් මෙය සිදු නොකරති. සංස්කරණ ක්‍රියාවලියේදී මම බොහෝ දේවල් සොයා ගන්නෙමි.’

ඉලක්ෂ ජයවර්ධන නම් වූ ප්‍රතිභාසම්පන්න තුරුණු කවියා සිය කවිකමේ අඳුරු තැන් දෙස ආපසු හැරී බලා ඒවා සංස්කරණය කරගන්නට කැමති නම් ඔහුට දිගුකලක් ‘කඩා නොවැටී’ පැවතිය හැකි බවද අවසන් කොට සටහන් කරමි.

[කපිල එම්. ගමගේ]

මාතෘකා