Don’t change your dream to match your reality.

 ඡායාරූපය:

Don’t change your dream to match your reality.

හැංගි හැංගි මල් ගස් වටේ දුවන ජෝඩුවලින් පිරිල තිබුණ හින්දි සිනමාව මෑතක ඉඳන් අත් කරගත්ත සොලිඩිටි එක විස්මයජනකයි. ඔවුන් තවදුරටත් සින්දු පහයි ෆයිට් පහයි වර්ගයේ බොළඳ ආදර කතාවලට සීමා වෙන්නෙ නෑ.

ඒ වෙනුවට, දේශපාලනික අදහසක් කලාත්මකව සිනමා තිරය මතට ගේන්නට බොලිවුඩ් සිනමාව නිරන්තරයෙන් උත්සුක වෙමින් ඉන්නවා. ආසන්නතම උදාහරණය පහුගිය පෙබරවාරි 14 දා ඉන්දියාවේ දී රිලීස් වුණ ගලීබෝයි.

මුම්බායේ මුස්ලිම් පවුලක උපන් මුඩුක්කුවාසියෙක් වෙන මුරාද් මුළු ඉන්දියාවම අඳුනන ගලීබෝයි නම් රැපර් බවට පෙරළීමේ කතාව ගලීබෝයි චිත්‍රපටයෙන් අපට මුණගැහෙනවා. මේ ගමනෙදි මුරාද්ට අත්වැල් අල්ලන්න එන අයට වඩා වැඩි, ඔහුගෙ කකුලෙන් අදින අය. ජීවිතේ එක එක විදිහට දිගින් දිගටම තමන්ට මුණගස්සන හැලහැප්පීම්වල‍ට මූණ දීගෙන තමන්ගෙ හීනය ඇත්තක් කරගන්න ඔහු පියවර තියන විදිහ විස්මිතසිනමා නිර්මාණයක් විදිහට හින්දි සිනමාව ප්‍රේක්ෂකාගාරය ඉස්සරහට ගේනවා.

‘ඔයාගෙ තාත්ත ඩ්‍රයිවර් කෙනෙක් බව මතකනෙ? සේවකයාගේ පුතත් සේවකයෙක්ම තමයි. ඒක ස්වභාව ධර්මයේ නීතිය.’

හැම දිළිඳු පවුලකම දරුවන්ට වගේම මුරාද්ටත් පුංචි කාලෙ ඉඳලම උගන්නල තියෙන්නෙ ‘මේ අපි ලබා උපන් හැටි’ කියල. තමන්ගෙ වැඩිහිටියො වගේම, මේ ජීවිතේ අපේ දෛවය ඉරණම කරුමෙ කියල පීඩාවට හුරු වෙන්න නියමිත වුණත්, මුරාද් ඒ ඉගැන්වීම්වලට අභියෝග කරනවා. ඇති නැති පරතරය අහස පොළොව තරම් වූ ලෝකයට සයිබරය විප්ලවීය එළඹුමක්.

රජ දරුවනුත් වීදි දරුවනුත් එක මට්ටමක රඳවන සමතල භූමියක්. මුරාද්ගේ පළවෙනි රැප් වීඩියෝව ලක්ෂ හතරක් දෙනා අතට පත් වෙන්නෙ සයිබරය හරහා. වැඩිහිටි පරම්පරාවට නොතේරෙන නූතන ලෝකෙ පොසිබිලිටීස් එක්ක තරුණයො ජීවිතේ දකින විදිහ වෙනස් වෙනවා. ඒ හින්දම අටපහ රස්සාවකට කොටු නොවී තමන් කැමති දේ හඹා යන්න තරුණයන්ට හැකියාව ලැබෙනවා. ‘අකැමැති දේ කරල සල්ලි හම්බ කරන්නෙ ඇයි? තමන් කැමති දේ කරල සල්ලි හම්බ කරන්න.’ ඒ මුරාද්ගෙ රැප් වීඩියෝව හරහා ඔහුට මුණගැහෙන රැප් මිතුරියගෙ අදහස.

‘අපි වගේ මිනිස්සුන්ට ජීවිතේ ලේසි නෑ. අපිට ලොකු හීන ගැන හිතන්න බෑ. මං ඔයාට කියල නැද්ද ඔළුව පහත් කරගෙන ඇවිදින්න කියල?’ මුරාද් අහස අල්ලන්න යෑම ඔහුගෙ තාත්තට තේරෙන්නෙම නැති අපබ්‍රංසයක්.

‘ඔයා කවදහරි හිතුවද ඔයා වැරදි වෙන්න පුළුවන් කියල? ඔයා එක බොරුවක් විස්වාස කරගෙන මුළු ජීවිතේම නාස්ති කරල කියල? මේක අපේ ඉරණම කියල විස්වාස කරගෙන? අපි අයිති මේ ජරා ගොඩට කියල හිතාගෙන?’ මුරාද් සටන් වදිනවා.

‘නෑ ඒක බොරුවක් නෙමේ. ඔයාට වැඩිය වාර ගානක් මං ඉර බහිනව දැකල තියනව. මං ඔයාට ඉගැන්නුවෙ මට උගන්නල තිබ්බ දේ විතරයි. ඔයාගෙ හීනෙ ඔයාගෙ ඇත්ත ජීවිතේට ගැළපෙන්න ඕන.’

‘නෑ මං මගේ හීනෙ මගේ ඇත්ත ජීවිතේට ගැළපෙන විදිහට වෙනස් කරගන්නෙ නෑ. මං මගේ ඇත්ත ජීවිතේ,මගේ හීනෙට ගැළපෙන විදිහට වෙනස් කරගන්නව.’ මුරාද් තමන්ගෙ ජීවිතේ සුක්කානම තමන් අතට ගන්නවා. ඔහු ලෝකයට හඬ ගාල කියන්නේ තමන්ගෙම ඇත්ත ජීවිතේ ගැන. තමන්ගෙ මුඩුක්කුව ගැන. ඇති නැති පරතරය ගැන.

ගලීබෝයි අධ්‍යක්ෂණය කරන්නේ සෝයා අක්තර් නම් අධ්‍යක්ෂවරිය. Divine සහ Naezyනම් ඉන්දීය වීදි රැප් ශිල්පීන් දෙන්නාගේ ජීවිත කතා, ගලීබෝයි චිත්‍රපටය නිර්මාණයට පාදක වී තියෙනවා. අවුරුදු විසිදෙකක මුරාද්ගේ චරිතයට පණ දෙන අවුරුදු තිස්තුනක රන්වීර් සිං, මේ සිනමාපටයෙන් තමන්ගේ වෘත්තීය ජීවිතේ සුවිශේෂ සලකුණක් සනිටුහන් කරනවා. චිත්‍රපටයේ මුරාද්ගේ හඬින් ගැයෙන රැප් ගීත පටිගත කෙරෙන්නේ රන්වීර් සිංගෙම සැබෑ හඬින්. චිත්‍රපටය වෙනුවෙන් රැපර් කෙනෙකු බවට පත් වෙන්න ඔහු බෙහෙවින් ශ්‍රමය වැය කරනවා.

තමන්ගේ රටේ නැති සෝබනයක් සිනමාවෙන් මවා පානවා වෙනුවට ගලීබෝයි චිත්‍රපටය ඉන්දියාවේ රියැලිටියෙන් හරස්කඩක් සිනමාරූපීව මුළු ලෝකයටම සමීප කරනවා. තේමාව, තිරරචනය, සිනමා බස, සංගීතය, කැමරා කෝණ, සංස්කරණය ආදී වූ කලාත්මක භාවිතය මෙන්ම තාක්ෂණික කාරණාත් එකකට එකක් නොදෙවෙනි විදිහට බ්ලෙන්ඩ් වුණ පෙර නුවූ විරූ සිනමා ලකුණක් ගලීබෝයි හරහා හදවතේ ඇඳෙනවා.

මාතෘකා