මට ඔය දාර්ශනික බහුබූත තේරෙන්නෙ නෑ : විමල් කැටිපෙආරච්චි සතිපතා ‘ඉති’ වෙත ලියයි

 ඡායාරූපය:

මට ඔය දාර්ශනික බහුබූත තේරෙන්නෙ නෑ : විමල් කැටිපෙආරච්චි සතිපතා ‘ඉති’ වෙත ලියයි

මොළය කියන්නෙ මේ ලෝකයේ තියෙන දියුණුතම ද්‍රව්‍යය.. ඒ දියුණුතම ද්‍රව්‍යයේ ජාති ලක්ෂණයක් තමයි සිතීම හෙවත් මනස කියන්නේ.. ද්‍රව්‍යයෙන් තොර විඥානයක් නැහැ.. අධ්‍යාපන කඳවුරේ දර්ශනය උගන්නපු සහෝදරයා ඕක හරි ලස්සනට පැහැදිලි කෙරුව..

මට ඒ සහෝදරයගෙ නම මතක නැහැනේ.. කහපාට ටී ෂර්ට් එකක් ඇඳගෙන හිටියෙ.. දේශපාලන දර්ශනය.. අප්පාහ්.. මොනතරම් ඉන්ටරස්ටින් සබ්ජෙක්ට් එකක්ද? සෑම අහම්බයක්ම අනිවාර්යයක්,

ඒත් සෑම අනිවාර්යයක්ම අහම්බයක් නෙමෙයි.. එච්චර දැනගෙනත් අපට එකදිගට කෙළවෙන්නෙ කොහොමද කියන එකයි ප්‍රශ්නේ..

සුලෝචනාගේ කෑ ගැහිල්ලට සලිත් තිගැස්සුනේය. ඔහු සෙමෙන් සෙමෙන් ඈ දෙසට පියමැන්නේ, මේසය මත ඇති සිතුවම දෙස බලාගෙනය.

සැබෑවකි. එය නිකම්ම නිකම් මෝටසයිකලයක් නොවේ. එය මෝටසයිකල් කරුවකුගේ රූපයකි. මේ මෝටසයිකල් කරුවාත් බ්ලැක් මොලීත් පුදුම තරම් සමාන බවක් පෙන්වන බව සලිත් වටහා ගත්තේය. ඒ පුදුමය සුලෝචනා සමග බෙදාගන්නට මෙන් සලිත් ඈ දෙස බලද්දී, ඔහු ඇස ගැටුණේ, මේසය මත ඇලවී ඇති, දෑස් පියවුණු, නළලෙන් සිහින් ලේ දහරක් ගලා එන, සුලෝචනාගේ හිසය.

ඔහු වහා පැන, ඇගේ කෙහෙරැලි අතර දෑත යවා, සුලෝචනාගේ හිස ඔසවා පපුවට තුරුලු කර ගත්තේය.

``සු.. මගෙ පණ.. ඔයාට මොකද වුණේ..? කතාකරන්න රත්තරන්... ප්ලීස්.. කතාකරන්න මැණික..``

ඉහවහා යන මහා ආදරයකින් යුතුව සලිත් සුලෝචනාගේ නළලත සිප ගත්තේය. එහි තිබූ ලේ බිඳක් ඔහුගේ දෙතොල් මත වැදිණි.

``මගේ රත්තරන් සු..`` කියමින් පසෙක තිබූ වතුර වීදුරුවට ඇඟිලි දෙකතුනක් දමා, එයින් රඳවා ගත් දිය බින්දු කීපයක් ඇගේ මුහුණට ඉසීමෙන් පසු, සලිත් මොහොතක් ඈ දෙස බලා සිටියේය. තම හදවත, කවුරුන් හෝ විසින් ඇතුළතින් සිරව අල්ලාගනු ලබනු වැන්නක් ඔහුට දැනිණි. ඒ සිරවීම ලිහිල් වූයේ සුලෝචනා දෙනෙත විවර කිරීමත් සමගය.

``සලිත්..``

``මගෙ මැණික..``

``ඇයි මට නපුරුකම් කරන්නෙ? මම මොකද්ද ඔයාට කරපු වරද..?``

``ඔයා මට වරදක් කරල නෑ.. ඒත් හැමෝම මට දමල ගහන ආයුධේකින් ඔයත් ගහනකොට, මට තරහ ගියා..``

``මට වතුර එකක් දෙන්න..`

සලිත් ඉක්මනින් ගොස්, අලුත් වතුර වීදුරුවක් රැගෙන ආවේය. සුලෝචනා එය බීවේ, දින ගණනක් පිපාසයෙන් සිටි එකියක මෙනි. ඉනික්බිති ඈ කතා කළාය.

``ඔයා තාම දන්නැති දේ තමයි, මම ඔයාට ආදරෙයි කියන එක..``

``පොඩ්ඩක් ඉන්න.. මම ඔයාගෙ නළලෙ තියෙන ලේ ටික පිහදාන්නං..``

``එපා.`` ඇය සිය පිටි අත්ලෙන් නළල පිසදා ගත්තාය.`` නළල නෙමෙයි රිදෙන්නෙ පපුව``

සලිත් වැරැද්දක් කළ පොඩි එකකු මෙන් තොල් සපමින්, බිම බලාගෙන, දෑත් බැඳගෙන සිටියේය. බිමට යොමු කරගත් හිසින් යුතුව දෑස පමණක් සුලෝචනා වෙත යොමු කළ විට ඔහු දුටුවේ, කකුලක් පිට කකුලක් දමාගෙන, එක් අතක් බැඳගෙන, අනෙක් අත නිකටට තබාගෙන සිටින විට, සුලෝචනා කෙතරම් අනුරාගී ද කියාය. එහෙත් රෝමය තවමත් ගිනි ගනිමින් තිබේ. වීණාවට අත නොතැබිය යුතුය.

``මේ අහන්න.. මම තාම ඔය කියන බ්ලැක් මොලීව දැක්කෙ නෑ ඇස්දෙකට. ඒත් ඔයා කියන්නෙම එහෙම කෙනෙක් ඉන්නවයි කියල..මම මේ කියන දේට තරහ ගන්න එපා.. ඔයා භෞතිකවාදියෙක්නෙ.. අසනීපයක් වුණාම බෙහෙත් ගන්න එක අභිමානයට කැළලක් කියල හිතන්න එපා.. ශරීරය වගේම මනසත් ලෙඩ වෙනවා. මනස තියෙන්නෙත් මොළය කියන භෞතිකය එක්ක කියලනෙ ඔයා කියන්නෙ..``

``ඔව්.. මොළය කියන්නෙ මේ ලෝකයේ තියෙන දියුණුතම ද්‍රව්‍යය.. ඒ දියුණුතම ද්‍රව්‍යයේ ජාති ලක්ෂණයක් තමයි සිතීම හෙවත් මනස කියන්නේ.. ද්‍රව්‍යයෙන් තොර විඥානයක් නැහැ.. අධ්‍යාපන කඳවුරේ දර්ශනය උගන්නපු සහෝදරයා ඕක හරි ලස්සනට පැහැදිලි කෙරුව.. මට ඒ සහෝදරයගෙ නම මතක නැහැනේ.. කහපාට ටී ෂර්ට් එකක් ඇඳගෙන හිටියෙ.. දේශපාලන දර්ශනය.. අප්පාහ්.. මොනතරම් ඉන්ටරස්ටින් සබ්ජෙක්ට් එකක්ද? සෑම අහම්බයක්ම අනිවාර්යයක්, ඒත් සෑම අනිවාර්යයක්ම අහම්බයක් නෙමෙයි.. එච්චර දැනගෙනත් අපට එකදිගට කෙළවෙන්නෙ කොහොමද කියන එකයි ප්‍රශ්නේ..``

``ඒ ප්‍රශ්නෙ ඔයාගෙන්ම අහන්න..``

``ඒ කිව්වෙ ?``

සුලෝචනා සලිත් දෙස ආදරයෙන් බැලුවාය.

``අපි කතාකරකර හිටියේ.. මනස ගැන.. මට ඔයා කියන ඒව ගොඩාක් තේරෙන්නෙ නෑ.. ඒත් මනස කියන්නෙත් ශරීර ක්‍රියාකාරීත්වයේම කොටසක් ඔයාට අනුව.. එහෙමත් නැත්නම්, ශරීරයේ බලපෑම් කලාපයක්.. එහෙමනම්, ඒකත් ලෙඩ වෙන්න පුළුවන් කලාපයක්.. ලෙඩවලට තමයි බෙහෙත් තියෙන්නේ.. මනසත් ලෙඩ වෙන්න පුළුවන්.. මම කියන්න හදන්නේ..සලිත්, අපි බෙහෙත් ටිකක් ගමු.``

``ඔයා ආයෙත් කැරකිලා කැරකිලා එතනටම නේද ආවෙ..? හරි. එහෙමනම් මට සාර්ථක තර්කයක් ඕනේ.. තාර්කිකව මාව එතනට ගේන්න..``

``තර්කයේ මුල කොටස තමයි මම දැන් කරේ මිස්ටර් එගොඩවත්ත.. ඊළඟ කොටස තමයි මේ.. දැන් ඔය අසූ තුනේ ජූලි මාසේ ඔයාලගෙ තාත්ත අරන් ආව සෙල්ලම් බඩුව වෙන්න බැරිද ඔයාගෙ මානසිකත්වය අවුල් කරන වස්තුව.. ඒ මෝටසයිකල්කාරයා වෙන්න බැරිද මේ ඔයාගෙ මනසේ මායාවක් වෙලා පස්සෙන් පන්නනව වගේ හැමතිස්සෙම හිතෙන්නෙ.. හිතෙන්නෙ සහ පේන්නෙ..? ජාතිවාදයට විරුද්ධ සහ එක් නිශ්චිත දේශපාලන මොහොතක ඒකට එරෙහිවෙන්න බැරි වීමේ හෘදය සාක්ෂියේ පරස්පරය, අතීත මනසේ සෙල්ලම් බඩුවක රූපකායට ආදේශ වෙලා, ඔයා පසුපස හඹා එනව කියලා දැනෙන එක ඔයා තුළම නිර්මාණය වෙන අති නිර්මාණශීලී මනඃකල්පිතයක් වෙන්න බැරිද මගේ රත්තරනේ..?``

සලිත් මහ හඬින් සිනාසුණේය.

``අම්ම ගහයි බැට් එකෙන්..! ඉතින් ඉතින් කියන්න බලන්න ඉතුරු ටිකත් ``

``ඔයාට මාව විහිළුවක්ද? ඉතුරු ටිකක් නැහැ. එච්චර තමයි.`` ඈ නෝක්කාඩුවක් ගත්තාය.

අනතුරුව සෙමෙන් සලිත් අසලට ගොස්, ඔහු හිඳින පුටුව අසල බිම හිඳගෙන, ඔහුගේ දණිස් මත හිස ඇලකර තබා ගත්තාය. ``මම දන්නව මම මෙච්චර පණ්ඩිත වෙනවට ඔයා කැමති නැති බව.. ඔයාගෙන්ම අල්ලගත්තුව තමයි ඔය.. ඒත් මම කිව්වෙ ඇත්ත. මට දැනෙන තේරෙන ඇත්ත. මේ ඔක්කොම කරන්නෙ කියන්නෙ මම තමුසෙට ආදරේ හින්දා. මම කියන කෙහෙල්මල තේරෙන්නෙ නැත්තං, තමුසෙ ඕන මඟුලක් කරගන්නව..`` ඈ ඔහුගේ දණිස්සක තිබූ පැරණි තුවාල කැළලක් අතගාමින් කීවාය.

සලිත් ඇගේ හිස අතගෑවේය.

``සු.. ඔයා කියන දේ මට නොතේරෙනව නෙමෙයි.. ඔයා මට මේ දේවල් කියන්නෙ ආදරේ හින්ද කියලත් දන්නව..``

 

``දන්නවනං ඇයි මිනිහො මට මෙහෙම කරන්නෙ?``

``මෙහෙම කරන්නෙ කිව්වෙ?``

``ඇයි මම කියන දේ නොපිළිගන්නෙ?``

``ඔයා එකක් කියනව. මම එකක් කියනව. ඔයා කියන දේ මම පිළිගන්නෙ නෑ.. මම කියන දේ ඔයා පිළිගන්නෙ නෑ.. දැන් මොකද්ද අපිට කරන්න ඉතුරු වෙලා තියෙන්නෙ?``

සුලෝචනා සලිත්ගේ මුහුණ දෙස බැලුවාය. ඔහු දිගටම කතා කළේය.

``අපි මෙහෙම කරමු. දැන් සීයට පනහක සම්භාවිතාවක් තියෙන්නෙ කියල හිතමු අපි දෙන්නගෙන් එක්කෙ‍ෙනක් නිවැරදි වෙන්න..``

``මට ඔය දාර්ශනික බහුබූත තේරෙන්නෙ නෑ..``

``ගෑනු ඔහොම්මමයි.. ලෝකෙ නැති දර්ශනවලින් තර්ක හොයාගෙන වාද කරනව.. බිත්තියට හේත්තු වේගෙන එනකොට, බහුබූත කියල දමල ගහල යන්න යනවා.``

``දැන් මොකක්ද දාර්ශනිකයාණනි, ඔබ පවසන්නේ?`` සුලෝචනා නාටකීය ස්වරයක් මුව නැංවූවාය. සලිත් පරාජය බාර නොගත්තේය.

``මෙහෙමයි මැතිනිය.. මට අනුව තව ඇත්තේ හෝරා කිහිපයකි. නොඑසේනම්, ඊටත් අඩු කාලයකි. ඔබට අනුව මට ඇත්තේ මායා දර්ශන පෙනෙන රෝගයකි. අපි මඳකට මැදකට එමු. මුළින්, මා නිවැරදියි සිතා මගේ කතාව අහන්න.. මා නිවැරදි වුවහොත්, ඔබ තබාගන්නා සටහන්වලින් මගේ කතාව ලොවට කියන්න. යම් හෙයකින් හෙට හිරු නැඟෙන තෙක්ම, ඔබ මගේ මනස් පුත්‍රයෙකැයි පවසන බ්ලැක් මොලී හෝ වෙන යම් රහස් මිලිටරි නිලධාරියකු මෙහි නොපැමිණියහොත්, ඔබ නිවැරදි යැයි මම පිළිගනිමි. එවිට, හෙට උදෑසනින්ම අවදි වී මනෝ වෛද්‍යවරයකු මුණගැසෙන්නට මම ඔබ සමග එමි. ඔබට කීකරු වී ඊට අදාළ ප්‍රතිකාරද ලබමි. එය එසේ වුවත් අද මේ රාත්‍රිය ගෙවෙන්නට පෙරාතුව, මා විසින් පවසන කතන්දර පදාසයන් ඔබට වැදගත් වනු ඇත. මක් නිසාද යත් මා ප්‍රතිකාර ලබා යම් දිනෙක නැවත මේ කුටියට පැමිණෙන තෙක් ඔබට මේ කතාව සංවිධිතව රචනා කළ හැකිය.. ඉතින් දැන් තත්ත්වය විවෘතය. පවසන්න කුමක්ද ඔබේ අදහස?``

සුලෝචනා ඉහළට පැන සලිත්ගේ ගෙල බදාගෙන හාදු වරුසාවක් දුන්නේය.

``එකඟයි එකඟයි එකඟයි වස්තුවේ..``

රෝමය නිවී ඇත. වීණාවට අත තැබිය හැකිය. සුලෝචනා ද එය වටහා ගත්තා විය යුතුය.

``සම්පූර්ණයෙන්ම එකඟයි.. හැබැයි මගෙත් පොඩි කොන්දේසියක් තියෙනව.. මම දිගටම ඔයාව ඉඹිනව.. හපනව, හූරනව.. ඔන්න දැන් කියන්නෙපා තව පොඩි වෙලාවයි තියෙන්නෙ කියල.. මොකද, එහෙමනම් ඒ පොඩි වෙලාව ඔයාට වගේම මටත් පොදුයි.. මගේ ජීවිතේ මට මුණගැහිච්ච අනුරාගීම මිනිහා එක්ක මට කෝලිත්තන් කරන්න මගේ පොඩි වෙලාවෙ මට ඉඩ දීලා, ඔයාගෙ පොඩි වෙලාවෙ ඔයා ඔයාගෙ කතන්දර පදාසයන් කියන්න.. රෙකෝඩරේ ඔන් එකේ තියෙන්නෙ.. ඒ නිසා කතාව දිගටම රෙකෝඩ් වෙනව.. ඒ ගැන සැකයක් තියාගන්න එපා.. බැරිවෙලාවත් මම කෙඳිරිගෑවොත් ඒ ඔයාගෙ කතාවට තියන හූමිටියක් කියල හිතන්න.. ඔයා දිගටම කතාව කියන්න.. කොටින්ම ඔයා ඔයාගෙ වැඩේ කරන්න.. මට මගේ වැඩේ කරන්න ඉඩදෙන්න..``

සුලෝචනා සලිත්ව සිමෙන්තිය මත පෙරළාගෙන, රෙකෝඩරය ඔහුගේ මුවට කිට්ටුවෙන් තැබුවාය. තබා, ``මම නං පටන් ගත්ත.. ඔයා දැන්ම පටන් ගන්නැද්ද පණ?`` යැයි කොඳුළාය.

 

(මතු සම්බන්ධයි)

මාතෘකා