නේක වර්ණ නේක වර්ග පහන් කූඩු යට එළිය සොයන ජීවිත

 ඡායාරූපය:

නේක වර්ණ නේක වර්ග පහන් කූඩු යට එළිය සොයන ජීවිත

මෙසමයෙහි නේක වර්ණයෙන්, නේක වර්ගයෙන් යුතු විසිතුරු පහන් කූඩු සමඟ මහ මඟ ජීවිත සටනට පිවිසෙන උදවියගේ කතාව අපූර්ව එකකි. වෙසක් පොහොයට පමණක් නොව, පොසොන් සමයටද සමහරෙක් මහ මඟ තබා කූඩු විකුණති. එය වෙනස්ම වෙළෙඳාමකි. දවස් කිහිපයකට සීමා වෙන මේ වෙළෙඳාමට සමහරකු ලක ලෑස්ති වනුයේ මාස ගණනක සිටය.

පොහොයට දැල්වෙන මේ කූඩු පිටුපස ඇති කතාව අනුවේදනීය එකකි. අනුරාධපුරය, සාලියපුර ගම් මායිමට වී ඩබ්ලිව්. රම්‍යාවතී මහත්මියද වසරකට වරක් යෙදෙන මේ අපූර්ව වෙළෙඳාමේ නියැළෙන්නියකි. ගිනි ඇවිළෙන මහ මඟ පසෙක කුඩා මඩුවකට වී ජීවිතයේ සැඳෑ සමයේ පහන් කූඩු, නැතිනම් වෙසක් කූඩු අ‍ෙලවියේ යෙදෙන ඇයගේ අපේක්ෂාව දවසේ වියදම සරිකර ගැනුම පමණක්මය.

“මේකෙන් ලොකු ලාබයක් නෑ. කුරුණෑගල පැත්තෙන් තමයි කූඩු ගේන්නේ. ඔක්කොම ප්ලාස්ටික් කූඩු. කොළ අලවපු ඒවයි නැති ඒවයි දෙවර්ගයම ගේනවා. කාර් එහෙම නවත්තලා අලවපු කූඩු තමයි අරන් යන්නේ. රුපියල් එකසිය පනහෙන් උඩට තමයි අලවපු කූඩු තියෙන්නේ. මං හිතන්නේ මේ කූඩු සමහර ඒවා රටින් ගෙන්නන ඒවද කොහෙද. ලොකු ලාභයක් නෑ. ඒත් කීයක් හරි හොයා ගන්නවා. හැබැයි ඉතිං මේ දවස්වල එහෙමත් මනුස්සයෙක් තමයි කූඩුවක් ගන්නේ. වෙළඳාම අඩුයි.” ඇය සිය අදහස් වචනයට පෙරළුවාය.

දරුවන් වටකොටගෙන බට පතුරු, උණ ලී නැතිනම් කුරටියා කෝටු ආදියෙන් නිවස තුළදීම විසිතුරුව සැකසූ පහන් කූඩු වෙනුවට වෙළෙඳපොළින් කූඩු මිලදී ගැනීම දක්වා සියලු කටයුතු වෙනස් වී ඇත. ඉන් සිදුව ඇති එකම යහපත නම් මේ අන්දමින් කිහිප දෙනෙකු කීයක් හෝ උපයා සපයා ගැනීම පමණක්මය. යළි නොයෙන අතීතය රම්‍යවතී අම්මා සිහිපත් කරන්නට වූවාය.

“දැන් ගොඩක් අයට කූඩු හදන්න, අලවන්න වෙලාවක් නෑ. දැන් ඉන්න සමහර ළමයින්ටත් මේවා ගැන එච්චර ගාණක් නෑ. ඔහේ අර පුරුද්දට වගේ කූඩු අරන් ගිහින් එල්ලනවා. ඇත්තටම මට මතකයි අපි පොඩි කාලේ ගෙදර කට්ටියම එකතු වෙලා කූඩු හැදුවේ. මාසෙකට විතර කලින් ඒකට ලෑස්ති වෙන්නේ. එහෙම හිටපු අපිට මේ විදිහට කවුරු හරි හදපු කූඩු සල්ලිවලට විකුණන්න වෙච්ච එක ගැන දුකයි. ඒත් වෙන මොනවා කරන්නද. ජීවත් වෙන්න මොනව හරි කරන්න ඕනනේ. දැන් කුලී වැඩ කරන්නත් බෑ. දරුවන්ට කරදර කරන්නත් බෑ.”

මෙවර වෙසක් සමය නිමිත්තෙන් නිෂ්පාදනය කළ පහන් කූඩු, බකට්, සරුංගල්, සැරසිලි ආදිය අ‍ෙලවි වීමේ යම් අඩුවක් ඇති බව සැඟවිය නොහැකි කරුණකි. ඉකුත් වසරවලට සාපේක්ෂව මෙවර අලෙවිය මෙතෙක් අවම වී තිබේ. ආනයනික ප්ලාස්ටික් පහන් කූඩු, බකට්, සරුංගල් ආදියෙහිද අ‍ෙලවිය දැඩි ලෙස පහත වැටී ඇති වගට සාධක බොහෝය. උණ පතුරු, බට පතුරු, කූරටිය ලී ආදියෙන් කළ දේශීය පහන් කූඩු අලෙවියද සීමා වී ඇත. පොහොය දිනයට මත්තෙන් මෙම තත්ත්වය වෙනස් විය හැකි බවට යම් විශ්වාසයක් පවතී.

කෙසේ වෙතත් දේශීය නිෂ්පාදනවලට සාපේක්ෂව ආනයනික පහන් කූඩුවල මිල ගණන් අඩු වීම යම් විශේෂත්වයකි. දේශීය නිෂ්පාදන සඳහා වැඩි වෙහෙසක් දැරීමට සිදුවීම ඊට හේතු වී ඇති බව නොරහසකි. කලක පටන් පහන් කූඩු හදා අ‍ෙලවියේ යෙදෙන එප්පාවල, මැඩියාව ගමේ නුවන් වීරකෝන් මේ වෙළෙඳාමේ අරුමැසිය පැහැදුවේය.

“අපි ළඟ එක එක ගණන්වලට, එක එක සයිස්වලට කූඩු තියෙනවා. වර්ග කිහිපයකින්ම අපි කූඩු හදනවා. අටපට්ටම් තමයි ගොඩාක්ම හදන්නේ. මිනිස්සු ගොඩක් ඉල්ලන්නෙත් අටපට්ටම් තමයි. අපි අටපට්ටම් තනි කූඩත් හදනවා. පැටව් කූඩත් හදනවා. නෙලුම් මල්, තරු එහෙමත් හදනවා. කවුරුත් කියලා දීලා නෙමෙයි නිකන්ම හදලා තමයි ඉගෙන ගත්තේ. එක අතකින් මේක ලොකු පිනක් කියලා මට නම් හිතෙන්නේ. අපි කූඩු හදාගෙන පාරට ආවට පස්සේ මිනිස්සුන්ට දැනෙන්න ගන්නවා වෙසක් එක ගැන. ගොඩක් වෙලාවට වාහනවලින් නවත්තලා අපෙන් කූඩු අරන් යන වෙලාවල් තියෙනවා. අපි උණ පතුරු, කූරටියා කෝටුවලින් තමයි කූඩු හදන්නේ. මොනවා වුණත් මේක ලොකු ඉවසීමකින් කරන්න ඕන වැඩක්.”

එවක අවුරුදු නැකත් ගෙවී වෙසක් සුළං වෙල්දෙනි පිස හමා එත්ම නේක වර්ගයේ සරුංගල් උඩ යැවීම ගම්බද දරු දැරියන්ට අමුතුම ආස්වාදයක් ගෙනදුන් කාරියකි. වෙල් නියරවල් මත දිවයමින් නයි, මොනරු, සමනල්ලු ඔවුන් සුළඟට මුදාහරිනුයේ වෙල් යාය දෙවනත් කරමිනි. සුළඟ මට්ටු කොට නිල් අහසේ පාවෙන සරුංගලයක් හදා ගැනීම එදවස දරුවන්ට අමුතු කාරියක් නොවීය.

නියරවල් මත වාඩිවී දෙනියෙන් කඩාගත් නෙල්ලි, කජු පුහුලන් ආදිය හපමින් හිරු බැස යන තෙක්ම සරුංගල් සමඟ ඔවුන් ජීවිතයේ වින්දනීය පාඩමේ අකුරු කියවන්නට විය. එහෙත් අද දරුවන්ට

ඒ පාඩම කියවන්නට වෙලාවක් නැත. අවැසි තරම් වෙනත් පාඩම් කියවන්නට ඔවුනට සිදුව ඇත.

දිනුෂ්ක සංදීප තවමත් නව යොවුන් වියේ පසුවෙන්නෙකි. එහෙත් මේ විසිතුරු කූඩු වෙළෙඳාම ගැන ඔහුට ඇත්තේ හොඳ අවබෝධයකි.

“අපි කූඩුවලට කොළ අලවලත් විකුණනවා. කොළ අලවන්නෙ නැතිව පට්ටම විතරක් හදලත් විකුණවා. දැන් අවුරුදු හතරක් විතර තිස්සේ වෙසක් කාලෙට කූඩු හදලා විකුණනවා. පහුගිය හැම අවුරුද්දකම වගේ හොඳ ඉල්ලුමක් තිබුණා. එක කූඩුවක්වත් ඉතුරු වුණේ නෑ. සමහර වෙලාවට අපේ ගෙවල්වල පත්තු කරන්න තිබ්බ කූඩුත් ඇවිල්ලා සල්ලි දීලා අරන් ගිය වෙලාවල් තිබුණා. හැබැයි තාම මේ පාර එහෙම ලොකු ඉල්ලුමක් නෑ. කියන්න බෑ ඉතිං පෝය දවස් කිට්ටු වෙනකොට මේ තත්ත්වය වෙනස් වෙන්න ඉඩ තියෙනවා. එහෙම නැති වුණොත් අපේ මහන්සියයි වියදමයි අපතේ.” යැයි ඔහු කීය.

දේශීය උණ පතුරු, බට ලී, කූරටියා කෝටු ආදියෙන් පණ ලැබූ විචිත්‍රවත් පහන් කූඩු වෙනුවට අද ආනයනික ප්ලාස්ටික් පහන් කූඩු මෙරට ඈත ගම්මැදිවලටද කඩාපැන ඇත. පොල් ඉරටු, තල් ඉරටුවලින් සැදුණු සරුංගල් වෙනුවට ආනයනික අකුලන රෙදි සරුංගල් මෙරට නිල් අහස අරා ඇත. කූඩුවක්, සරුංගලයක් හැදීම යනු වෙනම ආස්වාදනීය කාරියකි. එවක පහන් කූඩුවක් හදා, අලවා, පහන් දැල්වීම යනු මුළුමහත් පවුලම එකතුව කළ කටයුත්තකි. එකල්හි සරුංගලයක්, පහන් කූඩුවක් හැදීම යනු වෙනම පරිසර හිතකාමී සෞන්දර්යාත්මක ක්‍රියාකාරකමකි. වෙසඟ හා බැඳුණු මේ කටයුතු මෙරට සංස්කෘතිය හා ඈඳුණු ජීවන සම්ප්‍රදායන්ය. වෙසක් කූඩුවක්, සරුංගලයක් ආනයනය කිරීම යනු හුදු වාණිජමය කටයුත්තක් නොවන්නේ එහෙයිනි. එමඟින් මෙරට ජීවන සම්ප්‍රදායන්ට

වටිනාකම්වලට එල්ල කොට ඇත්තේ මරු පහරකි. උණ බට, කූරටියා තවමත් මේ සරු පොළොවේ නොඅඩුව හැදේ. තල්, පොල්වල කවර නම් අඩුවක්ද? එසේ තිබියදීත් ප්ලාස්ටික් වෙසක් කූඩු, රෙදි සරුංගල් අන් රටවලින් ගෙන්වීමට තරම් අප නිවට නියාලු වූයේ කෙසේද යන්න පහසුවෙන් වටහා ගත නොහැක්කකි. පරිසර ප්‍රඥප්ති පිළිබඳ සිතන වගකිව යුත්තන් සිතිය යුත්තේ ඒ ගැන නොවේදැයි ඇසිය යුතුව ඇත.

ආනයනික පහන් කූඩු, සරුංගල් වෙළෙඳාමේ යෙදෙන එප්පාවල, සංජුල මධුෂාන්ටද මේ ගෙවී යන වකවානුව එතරම් හොඳ නැති පාටය.

“ඉස්සර වෙසක් උත්සවවලට එහෙම ගොඩාක් වෙලාවට අපෙන් කූඩු අරන් යනවා. මේ පාර ඉස්කෝලවල එහෙමත් වෙසක් උත්සව තියෙන පාටක් නැති නිසා කූඩු විකිණෙන එක අඩු වෙලා තියෙනවා. අපි ප්ලාස්ටික් අටපට්ටම්, අකුලන්න පුළුවන් රෙදි සරුංගල්, බකට්, ඉටි පන්දම්, සවුකොළ ඔය හැමදේම විකුණනවා. ගොඩාක් මේ ප්ලාස්ටික් අටපට්ටම්, අකුලන සරුංගල් එහෙම චීනෙන් ගෙන්නන ඒවා. කොහොමත් මේ පාර සරුංගල් වෙළෙඳාම නම් ගොඩාක්ම අඩුයි. තාමත් වෙසක් කූඩු, බකට්වලට එහෙමත් ලොකු ඉල්ලුමක් නෑ මේ පාර. කියන්ඩ බෑ පෝයට කලින් බිස්නස් එකක් තියෙයිද කියලා. ගිය අවුරුද්දේ එහෙම මේ වෙනකොට හොඳ බිස්නස් එකක් තිබුණා. මේ පාර වෙලා තියෙන්නේ තාමත් මිනිස්සු හරිහමන් විදිහට පාරක තොටක යන්නේ නැති එකයි. මොකක්දෝ බයක් හිතේ තියනවා. අපිට වෙළෙඳාමක් තියෙන්න නම් මිනිස්සු පාරේ බැහැලා යන්න ඕනනේ.”

පහන් කූඩු යටට වී ආලෝකය සොයන මේ උදවිය යෙදෙන්නේද ජීවිත සටනේම බව අපි දනිමු. එහෙත් අදුරු වළාවන්ගෙන් වැසුණු මේ පුරපස සඳ යට අන් බොහෝදෙනකුට සේම අත මිට හිඟ වී ඔවුනටද විඳවන්නට සිදුවී ඇත. ඒ වග කවුරු නම් දකිත්ද?

තඹුත්තේගම විශේෂ [ඩබිලිවි. ප්‍රදීප්]

මාතෘකා