පාස්කු ප්‍රහාරය සහ සමාජ ප්‍රතිචාර

 ඡායාරූපය:

පාස්කු ප්‍රහාරය සහ සමාජ ප්‍රතිචාර

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් කතෝලික බැතිමතුන් ඇතුළු විශාල පිරිසක් මිය යෑමේ සිදුවීමෙන් ඇති වූ කම්පනය තවමත් තුනී වී ගොස් නොමැත. නව පාසල් වාරය පටන් ගැන්මෙන් පසුව සිසුන්ගේ පැමිණීම අවම වීමෙන්ද ඒ බැව් පෙනේ. රජයේ කාර්යාලවල සේවයට වාර්තා කිරීමද යථා තත්ත්වයට පත්ව නොමැති බව බස් ගමනාගමනයේ ස්වරූපයෙන් වටහාගත හැකිය. මෙහිදී වැදගත් වන්නේ නැවත ප්‍රහාරයක් සිදුවීම වළක්වා ගැනීම හා ජනදිවිය සාමාන්‍ය තත්ත්වයට පත්කර ගැනීමය.

විපත සිදුවූ වහාම කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් පියතුමන්ගේ මැදිහත්වීම වෛරයේ ගිනි පුළිඟු වෙනුවට සහජීවනයේ සැනසීම ඇති කිරීමට තුඩු දුන්නේය. කාදිනල්වරයාගේ සන්සුන් ස්වරය සහ හෘදයාංගම ඇමතුම ජන හදවත් මුදු මොළොක් කිරීම කෙරෙහි බලපෑවේය. සාමාන්‍යයෙන් මෙවැනි අවස්ථාවල තම ශාස්තෘවරයාටද නිගාදෙමින් ජන වෛරය මෙලවීම සඳහා වීදි බසින ඇතැම් භික්ෂූ කල්ලි මෙල්ලවීම කෙරෙහිද මෙය බලපෑවේය. එනිසා එහි ගෞරවය කාදිනල්වරයාට හිමි විය යුතුය. එසේ වූ පමණින් කාදිනල්වරයාගේ සියලු අදහස් අනුමත කිරිමේ හැකියාවක් අපට නැත. විශේෂයෙන්ම මානව හිමිකම් ආරක්ෂා කිරීම දේශජත්වයට එරෙහි ජාත්‍යන්තර හඬක් බවට ඒත්තු ගැන්වෙන ප්‍රකාශ අතිශයින් පසුගාමීය. එය ආගමික නායකයකුගේ සීමාවෙන් එපිටට යන පසුගාමී වැඩවසම්වාදී කොල්ලකාරී දේශපාලන බල කඳවුරක අවස්ථාවාදය සමඟ අනන්‍ය වෙයි.

ආගම සහ රාජ්‍යය

මෙහිදී සිදුවිය යුත්තේ ආගම සහ රාජ්‍යය තම සීමා මායිම් නිවැරදිව ලකුණු කරගෙන කටයුතු කිරීමය. ‘‘අපෙන් අහන්නැතිව ව්‍යවස්ථාවක් ගේන්න එපා’’ යැයි කටමැත දොඩන මල්වතු අස්ගිරි නායක පාර්ශ්වයේ මැදිහත් වීම සහ කාදිනල්වරයාගේ මැදිහත්වීම සමාන වන ලක්ෂ්‍යය ඇත්තේ එතැනය.

ත්‍රස්තවාදය මුලුනුපුටා දමන බවට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ජනතාවට පොරොන්දු වී ඇත. ඒ අනුව is සාමාජිකයන් හා අපරාධයට අනුබල දුන් උදවිය සොයා මෙහෙයුම් දියත් කෙරෙයි. යුද හමුදාව සහ පොලිසිය ඒ සඳහා යොදවා ඇත. ඒ ඔවුන්ගේ රාජකාරියයි.

මෙහිදී ජනමත ප්‍රධානීන්, ජනමාධ්‍ය සහ ජන නායකයන් පොට පටලවා ගන්නා තැනක් ඇත. ඒ මෙසේය. මේ දිනවල සිදු කෙරෙන වැටලීම් සහ අල්ලාගත් බඩු ඒ මොහොතේම රූපවාහිනී නාලිකාවල ප්‍රදර්ශනය කෙරේ. කඩු, සිවුරු, හමුදා ඇඳුම්වලට සමාන ඇඳුම් යනාදිය මේ අතර ප්‍රධාන වේ. මේවා සහ අපරාධ අතර ඇති සම්බන්ධය හරියටම තීන්දු වන්නේ පරීක්ෂණ නිසියාකාරයෙන් කෙරුණු පසුය. ඒ සඳහා බාධාවකින් තොරව පරික්ෂණ ඉදිරියට යා යුතුය. ජනමාධ්‍යයෙහි වගකීම වන්නේ පරීක්ෂණවලට බාධා නොකිරීම හා පරීක්ෂණ නිසියාකාරව සිදු නොවන අවස්ථාවක ඒ ගැන පසු විපරමක යෙදීමය. එහෙත් ඒ මොහොත වන විට ජනමාධ්‍ය එම විෂය අතහැර වෙනත් මාතෘකාවක් තෝරාගනී. පරීක්ෂණවලට බාධාකරන දේශපාලන ප්‍රභූවරුන්ගේ ආරක්ෂාව සඳහා කටයුතු කරයි. මෙය අශෝභන තත්ත්වයකි.

ජයෝන්මාදය

යුද ජයග්‍රහනයෙන් පසුව එය සිංහල බෞද්ධ ජනතාවගේත් ආරක්ෂක හමුදාවෙත් ජයග්‍රහනයක් ලෙස ඔජ වඩවන අතර රණවිරු වන්දනාවද දියත් විය. හමුදා ඇඳුම්වලට සමාන ඇඳුම් ඇඳීම පෙරපාසල් දරුවා දක්වා මෝස්තරයක්ව පැතිරිණ. එකල මෙය වැරැද්දක් හැටියට පෙන්වා දුන් ජනමාධ්‍යවේදීන් පෙනුණේ ජාතිද්‍රෝහීන් ලෙසය. එබඳු ඇඳුම් වෙළෙඳපොළෙහි ඇත. දැන් අත්අඩංගුවට ගන්නා ඇඳුම් අතර එබඳු ඇඳුම්ද තිබේයැයි කීමට අප දන්නේ නැත. එමෙන්ම ඒවා හමුදා නිල ඇඳුම්මදැයි කිව නොහැක. ඒ සියල්ල පරීක්ෂා කර නීතිය ක්‍රියාත්මක කරවීමට සහාය වීම හමුදාවේද පොලිසියේද වගකීමය.

බිහිසුනු ක්‍රියාදාමයකින් පසුව ඉහළින් ලැබුණු අණක් අනුව කඩිනමින් පරීක්ෂණ කටයුතු කෙරෙන බව ජනමාධ්‍යයෙන් මතු කරන ප්‍රවාදයයි.

ආරක්ෂක අංශ යනු ස්වේච්ඡා සංවිධානයක් නොව වැටුප් ලබන රාජ්‍ය සේවකයන් නියෝජනය කරන ආයතනයකි. එම ආයතන වගකිව යුත්තේ මහජනයාගේ ආරක්ෂාවටය. පාලකයන් කුමන පක්ෂයකට අයත්ද යන්න එම ආයතනවලට වැදගත් නොවේ. ඇත්ත වශයෙන්ම ඒ පිළිබඳ නිසි අවබෝධයෙන් කටයුතු කරන නිලධාරීන් විශාල පිරිසක් හමුදාවේ සහ පොලිසියේ සේවය කරන බව අපි දනිමු. නීතියේ පාලනයට ඔවුන් තරම් කැමති පිරිසක් දේශපාලකයන් අතර නම් සොයා ගත නොහැක. ඒ තරමට දේශපාලන සංස්කෘතිය පිරිහී ඇත. එය පැහැදිලි වන්නේ කිසියම් පරීක්ෂණයක් නිසියාකාරව සිදු කෙරෙන විට දේශපාලන මැදිහත් වීම් නිසා පරීක්ෂණ අඩාළ වීමෙනි. මේ නිසා පරීක්ෂණ නිසියාකාරව සිදු කිරීමට මැදිහත් වන නිලධාරීහු අධෛර්යයට පත් වෙති. බියවෙති. දේශපාලකයන්ගේත් පාතාලයේත් මරන තර්ජනවලට ලක් වෙති.

ආසන්නම උදාහරණයක් ගනිමු. යහපාලන ආණ්ඩු පාලන කාලයෙහි බුද්ධි අංශ නිලධාරීන් විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට පත් වීම නිසා බුද්ධි අංශ අකර්මන්‍ය වීමෙන් පාස්කු ඉරිදා ප්‍රහාරයට පසුබිම සැකසුණු බව පාර්ශ්ව ගණනාවක් කරුණු කියති.

බුද්ධි අංශ ගැන මිථ්‍යාව

හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ බුද්ධි අංශවලින් බාගයක් හිරේ ගොස් ඇති බවය. ඒ අනුව නම් ලංකාවේ බුද්ධි අංශවල සේවය කරන්නේ 50කටත් අඩු සංඛ්‍යාවකි. විවිධ අපරාධ චෝදනා මත අත්අඩංගුවේ සිටින බුද්ධි අංශ සාංමාජික සංඛ්‍යාව 25කටත් අඩුය. එහෙත් ලංකාවේ බුද්ධි අංශයෙහි 10,000කට අධික සංඛ්‍යාවක් සෘජුව හා වක්‍රව සේවය කරති. අපරාධවලට සම්බන්ධ බුද්ධි අංශ සාමාජිකයන්ට නීතියෙන් දඬුවම් දීම බුද්ධි අංශයෙහි සේවය කරන බහුතරයක් නිලධාරීන්ගේ යහපතටද හේතුවෙයි. එසේ නම් මේ කන්කෙඳිරිගාන්නන්ගේ කුමන හෝ සම්බන්ධයක් අපරාධකරුවන් සමඟ තිබිය යුතුය.

බුද්ධි අංශ සාමාජිකයන් අත්අඩංගුවට ගෙන තිබීමේ වරද ජනාධිපතිවරයාද පෙන්වා දෙමින් සිටී. ඔහු යහපාලන ආණ්ඩුවේ සතුරු පාර්ශ්වයක් ලෙස කනපිට හැරීමට පෙර ප්‍රසිද්ධියේ කියා සිටියේ යුද්ධයට මුවා වී අපරාධ කළ අයට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරවීමෙන් ආරක්ෂක අංශවල ගෞරවය ආරක්ෂා කරන බවය.

ආසන්නම උදාහරණයක් ගනිමු. කොළඹ, වත්තල, කොටහේන, දෙහිවල, කටුනායක යන ප්‍රදේශවලදී පුද්ගලයන් 11 දෙනකු පැහැර ගෙන ඇති බවට කරන ලද පැමිණිල්ලකට අනුව පරීක්ෂණවලදී අනාවරණය වූයේ හමුදා නිලධාරීන් පිරිසක් මේ අපරාධය කර ඇති බවය. ත්‍රිකුණාමලය ගන්සයිඩ් කඳවුරේ තරුණයන් 11 දෙනා රඳවා තබාගෙන කෲර වධහිංසාවලට ලක්කර මරා දමා ඇති බව පරීක්ෂණවලදී අනාවරණය විය. සැකකරුවන් තම ජීවිතයට හානි කිරීමට බොහෝ ඉඩ ඇති බැවින් 2015 අංක 4 දරන අපරාධ වින්දිතයන් සහ සාක්ෂිකරුවන්ට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනතේ 08(අ) යටතේ දඬුවම් ලැබිය හැකි වරදවල් වන හෙයින් 10 (1)(අ)8 යටතේ ඇප ලබා දිය නොහැකි බැවින් සැකකරුවන්ට ඇප ලබා නොදෙන ලෙසත් සැකකරුවන් තවදුරටත් බන්ධනාගාර ගතකරන ලෙසත් කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ෂණ අංශයේ ස්ථානාධිපතිවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ 2017.08.10 දාය.

මාධ්‍යවේදී ප්‍රගීත් එනැලිගොඩ ඝාතනය සම්බන්ධයෙන් බුද්ධි අංශ සාමාජිකයන් පිරිසක් අත්අඩංගුවට ගනු ලැබීය. මොවුන්ට චෝදනා එල්ලකර ඇත්තේ විධිමත්ව පරීක්ෂණ මෙහෙයවූ නිලධාරීන් විසිනි. එම නිලධාරීන්ගේ ජීවිතද අනාරක්ෂිත තත්ත්වයට පත්ව ඇත. ඇතැම් භික්ෂු පාර්ශ්ව චූදිත නිලධාරීන් නිදහස් කරන ලෙස ජනාධිපතිගෙන් ඉල්ලති. එසේ නිදහස් කළහොත් පරීක්ෂණ මෙහෙයවූ නිලධාරීන්ගේ ඉරණම කුමක්වේද යන්න සිතාගත හැකිය.

නිදොස් කිරීම

සිදුවිය හැකි ප්‍රහාරයක් ගැන බුද්ධි අංශ කල්තියා අනතුරු අඟවා තිබියදී වගකිව යුතු අංශ පියවර නොගැනීම පිළිබඳ හතර අතට චෝදනා එල්ල වෙයි. ඒ චෝදනාවලින් ආරක්ෂක අංශවලට නිදොස් විය නොහැක. මෙහි තවත් පැත්තක් තිබේ. බුද්ධි අංශ නිරන්තරයෙන් රාජකාරියට බැඳී සිටී. ඔවුන්ට නිවැරදි තොරතුරු ලැබුණේ නම් වහා පියවර නොගත්තේ කුමක් නිසාද? ඒ සඳහා දේශපාලන නායකයන්ගේ උපදෙස් ලැබෙනතුරු බලා සිටිය යුතුද? ඔවුන් නිසි පරිදි ක්‍රියාත්මක වූයේ නම් ප්‍රහාර වලක්වාගැනීමට තිබුණා නොවේද? ඒ ක්‍රියාදාමයට බාධා පැමිනුණේ කාගෙන්ද? මෙවැනි ප්‍රශ්න සාමාන්‍ය ජනයා අතරින් පැන නැඟීම සාධාරණය. ආරක්ෂක අංශ දේශපාලන හස්තයන්ට යට වීම නින්දිත ක්‍රියාවක් බව පසුගිය පාලන සමයෙහි දේශපාලන වුවමනාවන් මත අපරාධ සිදු කිරීම නිසා අමාරුවේ වැටී සිටින ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ ජීවන විත්තිවලින් පෙනේ. ඔවුන්ගේ පවුල් දුකට පත්වී සිටින අතර අපරාධ මෙහෙයවූ දේශපාලන ප්‍රභූවරු ඊළඟට බලය ඇල්ලීම සඳහා නොයෙකුත් දහං ගැට යොදමින් සිටිති. මෙය ආරක්ෂක අංශවල නිලධාරීන්ට හොඳ පාඩමකි.

පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුකළ ත්‍රස්තයන්ගේ දෙවිදෙස් අක්මුල් සෙවීමද මේ දිනවල ජනප්‍රිය මාතෘකාවකි.මෙය ජාත්‍යන්තරයට ගැටගසා නිහඬ වීමට සමහරු කැමති වෙති. ජාත්‍යන්තර අත පෙවීම්වලට පසුබිම සැකසුණු ආකාරය තරමක් සංවේදී මාතෘකාවකි. මෙය ආණ්ඩු පෙරළිය නිසා සිදුවූවක් බව ඔප්පු කිරීම විරුද්ධ පක්ෂයේ උත්සාහයයි. විධායකය සහ ආණ්ඩුව අතර කඹ ඇදීම රට අනාරක්ෂිත වීමට බලපාන බව පිළිගත හැකිය. එහෙත් ත්‍රස්ත ක්‍රියාදාමයේ මුල් ඇදීමට බලපෑ දිගු ඉතිහාසයක් ඇත.

බෙදා වෙන් කිරීමේ උපාය

එය පසුගිය සියවසෙහි මෙරට ප්‍රාග්ධන සමුච්චකරණ ක්‍රියාවලිය සමඟ මෙන්ම සියලු ආගමික සංස්ථාවල සිදුවූ පරිවර්තන සමඟද සම්බන්ධ වෙයි. 19 වැනි සියවසේ අග භාගයේත්

20 වැනි සියවසේ මුලභාගයේත් ඉංග්‍රීසි අධිරාජ්‍ය ස්වදේශිකයන්ගේ ආර්ථික කටයුතුවලදී බහුතර සිංහල ප්‍රජාව දුබල කරන හා සෙසු ජාතීන් ශක්තිමත් කරන ක්‍රියාවලියක යෙදුණේ ඔවුන් අතර මතභේදයක් ඇතිවීම තම පැවැත්ම සඳහා අවශ්‍ය වන හෙයිනි. උදාහරණයක් වශයෙන් අගනුවර ව්‍යාපාරික පන්තියක් වර්ධනය වීමේදී සිංහල ව්‍යාපාරිකයන්ට බැංකු ණයක්වත් ලබාගත නොහැකි විය. ඔවුන් ගිනි පොලියට මුදල් ණයට ගත්තේ අගනුවර මුල් අදිමින් සිටි සුළුජාතික ව්‍යාපාරිකයන්ගෙනි. සියවසක් ගතවූ පසුත් අගනුවර කේන්ද්‍රකරගත් වෙළෙඳ ප්‍රජාවෙහි ශක්තිමත්ම තීරුව නියෝජනය කළේ සිංහල නොවන ජන පිරිස්ය. එකල අනගාරික ධර්මපාල ප්‍රමුඛ කරගත් සිංහල බෞද්ධ ජාතික ව්‍යාපාරයට ගැම්ම දුන්නේද මේ පිළිබඳ ඇති විරෝධයයි.

නව මුහුණුවර

මෑත අවධියෙහි බොදුබළ සේනා, රාවණා බළකාය සහ සිහළ රාවය යනාදී සංවිධාන මුස්ලිම් සහ දෙමළ ව්‍යාපාරිකයන්ට එරෙහිව ගෙන ගිය වෛරීසහගත ව්‍යාපාරයෙහි ඇත්තේද ජාතික ව්‍යාපාරයට තුඩුදුන් කරුණුමය. එනම් ජාතික ව්‍යාපාරයෙහි වත්මන් මුහුණුවරය. එහි ශාසනික මුහුණුවරක්ද තිබේ.

ඉස්ලාම් අන්තවාදය අද ප්‍රමුඛම මාතෘකාවයි. අයි.එස් අයි.එස්. සංවිධානය ලොව සෙසු ආගමිකයන්ට පමණක් නොව ඉස්ලාම් භක්තිකයන්ටද තර්ජනයකි. මුස්ලිම් ජනයා අතරින් පැනනැඟුණු ත්‍රස්ත ව්‍යාපාරයට ආගමික මුල් ඇති පරිදිම එය දේශපාලනයටද ගැට ගැසී පවතී. විනාශකාරී අන්තයන්ට ඇදී නොගියද ක්‍රිස්තියානි සහ බෞද්ධ ඇතුළු සෑම දහමක්ම විශාල පරිවර්තනයකට ලක්ව ඇත. ඒවායෙහි විවිධ නිකායන් බිහිවී පවතී. ශාස්තෘ දහමට සපුරා පටහැනි අන්තයන් දිස්වේ. මේවා අතරද ගැටුම් පවතී. බටහිර විශ්වවිද්‍යාලවලද පරිනාමවාදය වෙනුවට නිර්මාණවාදය යළි ඉගැන්වීමේ උත්සාහයක් පවතී. මානව ශිෂ්ටාචාරයේ සියලු ජයග්‍රහන ආගමික මූලධර්මවාදයට යට කිරීම මුස්ලිම් ආගමට පමණක් සීමා නොවූ ගෝලීය ප්‍රවණතාවකි.

ආගමික නායකයන් මේවා පිළිබඳ හරවත් සංවාදයක යෙදුණු බවක් නොපෙනේ. මෙහි ප්‍රතිඵලය තරුණ පිරිස් හා දුගී ජනතාව විවිධ ආගම්වල අමුතු නිකායන්හි ගොදුරු බවට පත්වීමය. ඊට උදාහරණ ලංකාවෙන්ම සපයා ගත හැකිය.

2009 යුද ජයග්‍රහනය සිංහල බෞද්ධ ජනතාවගේ ජයග්‍රහනයක් බවට පත් කිරීම දේශපාලන වුවමනාවකි. යුද්ධයෙන් හැම ජනවර්ගයක්ම පීඩා වින්දේය. එය අමතක කළ පාලකයන්ගේ ජයෝන්මාදය නිසා ශ්‍රී ලාංකිකයා පිළිබඳ විඥානය විඝටනය විය. බෙදුණු ජාතීන් සහිත බෙදුණු රටක් පිළිබඳ මතය ජයගත්තේය. රට එක්සත් කිරීමේ අරමුණක් පාලකයන්ට නොවීය.

මෙහි ප්‍රතිඵලය විවිධ ජනවර්ග අසහනයට පත්වීමය. යුද්ධයෙන් පෑරුණු හදවත් තවතවත් පෑරීමය. විවිධ ආගමිකයන් අතර වෛරය ඇතිවීමය.

යුද්ධය අවසන් කළ 2009 සිට 2013 දක්වා කාලයේදී ආගමික ස්ථාන 65ක් ප්‍රහාරයට ලක්විය. මෙයින් 35ක්ම ප්‍රධාන ප්‍රවාහයෙන් බැහැරවූ කිතුනු ආගමික මධ්‍යස්‍ථානවලට එල්ලවූ ප්‍රහාර වෙත්. මේවා යාඥා මධ්‍යස්ථාන හෝ ආගමට බඳවා ගැනීමේ තැන් ලෙස ප්‍රකටය. හින්දු කෝවිල්, මුස්ලිම් පල්ලි මෙන්ම බෞද්ධ විහාරස්ථාන කිහිපයක්ද ප්‍රහාරයට ලක් විය. මේ පහරදීම් විවිධ හේතු මත සිදු විය. කිතුනු දේවස්ථාන 18කට කළ ප්‍රහාරවලින් අනාවරණය වී ඇත්තේ බුද්ධාගම ආරක්ෂා කිරීමේ අරමුණෙන් කර ඇති බවය. දේවධර්මවාදී ඇන්ජලිකයන් සහ ථේරවාදී නොවන බෞද්ධයන්ද ප්‍රහාරයට ලක්ව ඇත. එකල පිරිසිදු ථේරවාදී බුදුදහම ආරක්ෂා කිරීමේ සූත්තරය පාලකයන් විසින් ජප කරන ලද බවද පෙනේ.

බෞද්ධ මධ්‍යස්ථාන කිහිපයකට පහරදීමේ වගකීම එකල බොදුබල සේනා සහ සිහළ රාවය වැනි සංවිධානවලින් බාරගනු ලැබූවද ඒවාට එරෙහිව නීතිය ක්‍රියාත්මක වූයේ නැත.

මුස්ලිම් පූජකවරුන්ට එරෙහිව බොදුබල සේනා ප්‍රසිද්ධියේ තර්ජනය කළ අවස්ථාද තිබිණ. ඒවාට එරෙහිවද නීතිය ක්‍රියාත්මක නොවීය. වඳ පෙති, වඳ කොත්තු වැනි මිථ්‍යා සමාජගත කෙරිණ. අලුත්ගම දිගන මුස්ලිම් ප්‍රජාවට කළ හානිය බරපතළය. එම සිදුවීම් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොවීම නිසා කලකිරුණු ඇතැම් පිරිස්ද අන්තවාදීන්ගේ දිසාවට ඇදී යමින් සිටි බව පැහැදිලි වේ. අයි.එස්.අයි.එස්. සංවිධානයෙහි සම්බන්ධකම් ඇති කරගැනීමේ දේශජ පරිසරය එයින් නිර්මාණය විය. අපගේ අවධානය යොමු වූයේ ඒ ගැනය. චීනය සහ ඇමරිකාව අතර ආර්ථික යුද්ධයේ ගොදුරක් බවට පත්වීමේ කාරණය වෙනම කතා කළ යුත්තකි.

ඡන්ද පොදිය

දේශජ කරුණු දේශපාලනය සමඟද ගැට ගැසේ. ලක්ෂ විස්සක් වූ මුස්ලිම් ජනගහනයේ ඡන්ද පංගුව හා ඔවුන් නියෝජනය කරන නායකත්වය ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකටම තීරණාත්මක සාධකයකි. එනිසා ඔවුන් සතුටු කරන බලවත් ඇමතිධුර දිය යුතුය. මෙය වරප්‍රසාදයක් කරගනිමින් සිදුකරන විනාශය බරපතළය.

පාරිභෝගික අධිකාරියෙහි මා දන්නා අවංක නිලධාරිනියක් එහි ප්‍රධානියකුගේ දූෂණවලට එරෙහි වීමේ ප්‍රතිඵලය ඇය ගෙදර යැවීමය. මෙය පාරිභෝගික භාණ්ඩවල ප්‍රමිතියට වගකියන එක් ආයතනයකි. එහිදී ඇමතිවරයාගේ හස්තය දූෂිත වෙළෙන්දන්ට ආශිර්වාදයකි. භාණ්ඩ ආනයනය යනු වෙළෙඳ මාෆියාවකි. ගම්මිරිස් ප්‍රතිඅපනයනයෙන් ආණ්ඩුවක් අර්බුදයට යැවූ මුස්ලිම් ව්‍යාපාරිකයන්ගේ තතු හෙළි වූයේ පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ අනුවය. ව්‍යාපාරික ලොව බලවතුන් වී සිටින මුස්ලිම් ජාතිකයන් සමඟ සිංහල ව්‍යාපාරිකයන්ට හැරෙන්නටවත් බැරිය.

වෙළෙඳාමෙහි සූරයන් ලෙස පෙනෙන මුස්ලිම් වෙළෙඳ යාන්ත්‍රණය අභ්‍යන්තරයෙන්ම දූෂිත වෙළෙඳ මාෆියාව පැන නැඟී ඇති අයුරු පෙනේ. දූෂිත ඇමතිවරු මේ පිළිවෙත රකිති. සියලු ආණ්ඩු බලය ගිලිහේය බියෙන් මෙවැනි ඇමතිවරු රකිති.

ඉස්ලාම් අන්තවාදය ගැන කලින්ම කීම ගැන බොදු බල සේනා නායකයා පැසසුම් ලබමින් සිටී. එහෙත් ඉස්ලාම් අන්තවාදය මෙන්ම බෞද්ධ අන්තවාදය යන දෙකම පෝෂණය කළේ කවුරුන් විසින් කුමන කාලයේ කවර වුවමනාවටද යන්න ගැඹුරින් සාකච්ඡාවට ලක් විය යුතුය.

අවසන් වශයෙන් කිව යුත්තේ සියලු ආගමික සංස්ථා මෙන්ම දේශපාලන සංස්ථාද පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් විය යුතු බවය.

එක අන්තවාදයකට පහරදීම සඳහා අනෙක් අන්තවාදය සාධාරණීකරණය කළ යුතු නැත. රට ගැන හැඟීමක් ඇති දේශපාලකයන්ගේ වගකීම වන්නේ මහජනයාට පක්ෂපාතීව ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ කෙරෙහි විශ්වාසය පළුදු නොකොට යහපාලන මූලධර්මවලට අනුගත වීමය. නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමය. ආගමික මඩගොහොරුවක පැහෙන නලියන ජනතාවක් වෙනුවට සහනශීලී පැවැත්ම අගයන ජනතාවක් නිර්මාණය කිරීමේ පළමු පියවර ලෙස ආගමික සංස්ථාව රටේ මූලික නීතියට අත නොගැසිය යුතුය. තම ආගම්වල දාර්ශනික හරයන් සොයා යමින් ජන මනස සුවපත් කළ යුතුය. තරුණ පිරිස් අවිචාරයට සහ ආගමික අන්තවාදයට ඇදී යෑම වැළැක්වීමේ නිවැරදි මඟ එයයි. එය ප්‍රබුද්ධ ආගමික කතිකාවතකි. එහි අවසන් ප්‍රතිඵලය නිරාගමික සමාජයකි.

[තිඹිරියාගම බණ්ඩාර]

මාතෘකා