නිකන් ඉන්න දරුවන් වෙත හොර රහසේම එන මාරයා

 ඡායාරූපය:

නිකන් ඉන්න දරුවන් වෙත හොර රහසේම එන මාරයා

පුංචි දරුවෝ මල් වගේ අහිංසකයි. "අලින්ටයි ළමයින්ටයි නලියන්නමයි හිත" එක මොහොතක් එක තැන එක විදිහට ඉන්න බැරිව දඟ කරන පුංචි දඟකාරයන් ගැන ඉස්සර කාලේ කිව්වෙ එහෙමයි. නමුත් දියුණු වූ වත්මන් සමාජය තුළ අපේ පුංචි පැචො පැංචියෝ හුඟ දෙනෙක් තාක්ෂණ මෙවලම්වල වහලුන් බවට පත්වෙලා කිව්වොත් වරදක් නොවෙයි. රූපවාහිනිය විතරක් නෙවෙයි ස්මාට් දුරකථන, ටැබ් අද බොහෝ දරුවන්ගේ සමීපතම මිතුරා බවට පත් වී තිබෙනවා. එක තැන පැය ගාණක් එක දිගට ඉඳගෙන රූපවාහිනිය නරඹනවා වගේම ස්මාර්ට් දුරකථන, ටැබ් තුළින් වීඩියෝ ගේම් සෙල්ලම් කරන දරුවොත් අද සුලබ දසුනක්. පුංචි දරුවන් තුළ ස්වභාවයෙන්ම තිබෙන ක්‍රියාශීලී බවද එම වීඩියෝ ගේම් සහ ස්මාර්ට් දුරකථන විසින් උදුරා ගනු ලැබ ඇතැයි කිවහොත් එය මුසාවක් නෙවේ. මවුපිය, වැඩිහිටියන් වැඩිදෙනකු ඒ පිළිබඳ එතරම් බරපතළ ලෙස නොසැලකුවද එයින් සිදුවන හානිය සුළු පටු නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය හෙළිකර තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම දත්ත වාර්තාවකින් හෙළි වී ඇත්තේ ප්‍රමාණවත් තරම් ශාරීරික ක්‍රියාකාරකම් නොලැබීම හේතුවෙන් සෑම වසරකදීම ලොව පුරා පුද්ගලයන් මිලියන 5කට අධික සංඛ්‍යාවක් මරණයට පත්වන බවයි. එම මරණ අතර සෑම වයස් කාණ්ඩයකටම අයත් පුද්ගලයන් සිටින බවත් වත්මන් වැඩිහිටි ජනගහනයෙන් සියයට 23ක් සහ යොවුන් ජනගහණයෙන් සියයට 80ක් ප්‍රමාණවත් තරම් ශාරීරික ක්‍රියාකාරකම් නොකරන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් පවසනවා. සාමාන්‍යයෙන් මේ දක්වා ලෝක සෞඛ්‍ය සංවිධානය සිය අවධානය යොමුකර තිබුණේ අවුරුදු 5 - 17, 18 - 64 සහ අවුරුදු 65ට වැඩි ආදී වයස් කාණ්ඩ පිළිබඳ පමණක් වුවත් මෙවර වයස අවුරුදු 5ට අඩු ළමුන් පිළිබඳ විශේෂයෙන් සලකා බැලීමට කටයුතු කර ඇත්තේ ශාරීරික ක්‍රියාකාරකම් නොමැති වීම හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව අඩුකර ගැනීමටයි.

එමෙන්ම වයස අවුරුදු 5 - 17 වයස්වල දරුවන් අතර හෘද රෝග වැළැක්වීම, ශාරීරික යෝග්‍යතාව වැඩි දියුණු කිරීම, කාංසාව සහ මානසික අවපීඩන ලක්ෂණ අඩු කර ගැනීම සඳහා පූර්ව සංවර්ධන අවධියේදීම ඔවුන් ක්‍රියාශීලී කිරීම සුදුසු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. විශේෂයෙන් දරුවකුගේ මුල් ළමා විය (වයස අවුරුදු 5ට අඩු) වේගවත් ශාරීරික හා සංජානනීය වර්ධනයක් ඇති කාලයක් බැවින් දරුවා තුළ හොඳ පුරුදු නිර්මාණය කරවීමට හොඳ පදනමක් ලබාදෙන කාලයක් ලෙසද එම කාලය සැලකෙනවා. වයස අවුරුදු 5ට අඩු දරුවන් සඳහා නව මාර්ගෝපදේශ ඉදිරිපත් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණය කර ඇත්තේ ඒ නිසයි.

එම නිසාම නිරෝගී ශාරීරික ක්‍රියාකාරකම්, සනීපාරක්ෂක හැසිරීම් සහ නිදා ගැනීමේ පුරුදු ළමයින්ගේ ජීවිතයේ මුල් අවධියේ සිටම ස්ථාපිත කිරීමෙන් අනාගත පරපුර සෞඛ්‍ය සම්පන්න පුද්ගලයන් බවට පත්කර ගත හැකි බවද ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශ්වාසයයි.

"වැඩිහිටියන් වෙනස් කරන්න බැරි නම් කුඩා දරුවන්ගෙන් පටන් ගමු." ලෝක සෞඛ්‍ය සංවිධානය එවැනි අදහසක් ඇතිව පසුගියදා වයස අවුරුදු 5ට අඩු ළමයින්ගේ සෞඛ්‍ය සම්පන්න බව රැක ගැනීම සම්බන්ධයෙන් නව මාර්ගෝපදේශ ඉදිරිපත් කරන්නට කටයුතු කර තිබුණා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්රෝස් ඇඩනොම් වැඩිදුරටත් සඳහන් කරන්නේ පූර්ව ළමා වියේදී දරුවන්ගේ ශාරීරික ක්‍රියාකාරකම් වැඩි දියුණු කිරීමෙන් සහ ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීමෙන් ඔවුන්ගේ ශාරීරික, මානසික සෞඛ්‍ය සහ යහපැවැත්ම වැඩිදියුණු වන බව හා එයින් ඔවුන්ගේ වැඩිහිටි ජීවිතය තුළ ඇතිවිය හැකි රෝග රැසක් වළක්වා ගත හැකි බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වයස අවුරුදු 5ට අඩු දරුවන් සඳහා ඉදිරිපත් කරනු ලැබ ඇති යහපත් සෞඛ්‍ය මාර්ගෝපදේශ අතර දිගු වේලාවක් එකතැන වාඩිවී රූපවාහිනී නැරඹීම අඩු කොට ප්‍රමාණවත් නින්දක් ලැබීමට සහ ශාරීරික ක්‍රියාකාරකම්වල යෙදීමට වැඩි කාලයක් වෙන් කිරීම මූලික වෙනවා. එය වර්තමානයේ බරපතළ සෞඛ්‍ය ගැටලුවක් බවට පත්වී තිබෙන ස්ථුලතාව සහ ඒ ආශ්‍රිත රෝග වළක්වා ගැනීමටද උපකාරී වන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අදහසයි.

"දරුවන් ක්‍රියාශීලී වීම ඉතා වැදගත්. ඔවුන්ට හැකි තරම් සෙල්ලම් කිරීමට අවස්ථාව ලබා දිය යුතුයි." යනුවෙන් ළමා හෘද රෝග හා ශාරීරික ක්‍රියාකාරකම් පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධාන කේන්ද්‍රයේ වෛද්‍ය හුවානා විලුමෙන් පවසනවා. එමෙන්ම දවසේ පැය 24 තුළ ප්‍රමාණවත් තරම් සුවදායී නින්දක් ලැබීම, ක්‍රියාශීලී ක්‍රීඩාවන්වල යෙදීම, කියවීම, කතන්දර කියවීම කුඩා දරුවකුගේ කායික සහ මානසික සෞඛ්‍ය සඳහා ඉතා හිතකර බවද ඔහු පෙන්වා දෙනවා. නමුත් වයස අවුරුදු 5ට අඩු දරුවන් රූපවාහිනිය නැරඹිය යුතු කාලය සහ ටැබ්, ස්මාට් දුරකථන වැනි තාක්ෂණික මෙවලම් සමඟ ගත කළ යුතු කාලය සම්බන්ධයෙන්ම අනිවාර්යයෙන්ම සීමා සහිත විය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය දරුවන් සඳහා වන නව මාර්ගෝපදේශ තුළින් අවධාරණය කොට තිබෙනවා.

ඒ අනුව වයස අවුරුදු 1ට අඩු දරුවන් ජංගම දුරකථන සහ රූපවාහිනි තිරයන්ට නිරාවරණය විය යුතු කාලයක් නිර්දේශ කොට නැති අතර විශේෂයෙන් තරුණ මවුපියන් තාක්ෂණික මෙවලම් සමඟ කටයුතු කිරීමේදී දරුවාගේ අතට ඒවා නොදෙන්නට ප්‍රවේශම් විය යුතුයි. එමෙන්ම මෙම වයසේ දරුවන්ට ශාරීරික ක්‍රියාකාරකම් කළ නොහැකි වුවත් පැයකට වඩා වැඩි කාලයක් පුටුවක හිඳුවා තැබීම හෝ එකම ඉරියව්වකින් තැබීම සුදුසු නැහැ. දරුවාට ඇසෙන්නට මෘදු කවි, ගායනා සහ කතන්දර කීම සුදුසුයි. වයස මාස 3ක් පමණ වන තෙක් දිනකට පැය 14-17ත් අතර නින්දක් ලැබිය යුතු අතර වයස මාස 4ත් 11ත් අතර පැය 12-16 අතර නින්දක් ලැබිය යුතුය.

වයස අවුරුදු 1 - 2 වයසේ පසුවන දරුවන්ට දිනපතා පැය 11-14ත් අතර නින්දක් ලැබිය යුතුයි. මෙම වයසේ දරුවන් රූපවාහිනිය නරඹන්නේ නම් එම කාලය සතියකට පැයකට වඩා වැඩි නොවිය යුතුයි.

වයස අවුරුදු 3 - 4 වයසේ දරුවන් අවම වශයෙන් දිනකට පැය දෙකක්වත් විවිධාකාර වූ ශාරීරික ක්‍රියාකාරකම්වල යෙදවිය යුතුයි. ඒ අතර මාංසපේශී සහ අස්ථි ශක්තිමත් කරන ශාරීරික ක්‍රියාකාරකම් අවශ්‍ය වෙනවා. අවම වශයෙන් සතියකට තුන් වරක්වත් එවැනි ක්‍රියාකාරකම් අවශ්‍ය වන බවද ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයයි. ඇවිදීම, බයිසිකල් පැදීම, පිහිනීම වැනි ක්‍රියාකාරකම් ඔවුන්ට සුදුසුයි. එමෙන්ම ඔවුන් දිනපතා රූපවාහිනී නරඹන වේලාව හෝ තාක්ෂණ මෙවලම් සමඟ ගත කරන කාලය පැයකට වඩා අඩු විය යුතුයි.

[සුරේකා නිල්මිණි ඉලංගකෝන්]

මාතෘකා