ඒ පොත සහ මේ පොත

 ඡායාරූපය:

ඒ පොත සහ මේ පොත

2001 වසරේ සැප්තැම්බර් 11 වැනි අඟහරුවාදා උදෑසන ඇමෙරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට අල්කයිඩා ප්‍රහාරය එල්ල වන විට ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් හිටියේ ෆ්ලොරිඩාවේ ප්‍රාථමික පාසලක නොදරුවන් එක්කය. අල්කයිඩා ත්‍රස්තවාදීන් 19 දෙනකු විසින් ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ තුනකින් පිටත් වූ වාණිජ ගුවන් සේවා දෙකකට අයත් මගීන් සහිත වාණිජ ගුවන් යානා හතරක් අතරමඟදී පැහැරගෙන එල්ල කළ ප්‍රහාරය ලෝකය සොලවා දැමුවේය.

ඒ බිහිසුණු මොහොතට සමීපවම මුහුණ දුන්නේ බුෂ්ය. තමන්ගේ රටේ අහසට උඩින් අනවසරයෙන් කපුටකුට හෝ පියාඹන්න බැරි බවට පාරම් බෑ රටකට කඩා පැන්න ත්‍රස්තවාදීහු ගුවනේ කරණම් ගසමින් අමෙරිකා ඉතිහාසය තූ තූ කොට දමමින් සිටියහ.

බුෂ් 2010දී අපූරු පොතක් ලීවේය. ඒ පොත නොකියවූ අමෙරිකන්කාරයකු නැති තරම් විය. ඒ තරමට පොත රට පුරා ජනප්‍රිය විය. පොතේ කතාව ඒ තරමටම ලෝකයේ අවධානය දිනා ගත්තේ කොහොමද?

ලෝකෙම ලොක්කා වූ අමෙරිකාවට එතෙක් මෙතෙක් ඉතිහාසයේ එල්ල වූ බියගුලුම ප්‍රහාරය එල්ල වෙද්දී අමෙරිකාවේ පාලකයා බුෂ්ය. බුෂ් මේ ප්‍රහාරයෙන් කෙතරම් තුෂ්ණීම්භූත වූවාද කිවහොත් ඔහු තිගැස්මෙන්ම මිනිත්තු කිහිපයක් ගත කළේය.

බුෂ් පත්වූ තත්ත්වය තේරුම් ගන්නට නම් ඔහුගේ පොත කියවිය යුතුය.

"ඒ පන්ති කාමරයේ කුඩා දරුවන් සමඟ මම "ද පෙට් ගෝට්" (The Pet Goat) නමැති පාඩම කියවමින් සිටියේ... ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ එක් කුලුනක කුඩා ගුවන් යානයක් ගැටිලා කියා කෙරී රෝ පණිවිඩයක් දුන්නා. මම විස්මයට පත් වුණා. මට මතක් වුණේ ජීවිතය නැතිවුණු අසරණ ගුවන් නියමුවා ගැන..."

බුෂ්ගේ පොතේ තියෙන්නේ එහෙමය.

ජනාධිපති බුෂ් විසින් ඒ වන විට ධවල මන්දිරයේ රැඳී සිටින ජාතික ආරක්ෂක උපදේශිකා කොන්ඩලීසා රයිස්ව ඇමතුවේය. ඇය මුලින් ද්විත්ව එන්ජින් ගුවන් යානයක් ලෝක වෙ‍ෙළඳ මධ්‍යස්ථානයේ ගැටුණු බව පවසන අතර පසුව එය වාණිජ ගුවන් යානයක් බව කීවාය. අවසානයේ ඇය "ජනාධිපතිතුමනි, අපි දැනට දන්නේ එපමණයි" යැයි පවසා කතාව නිම කළාය.

ඔහු හිතන්නේ වැරදීමකින් ගුවන් යානයක් ගැටී ඇතැයි කියාය. ඔහු අඩු තරමේ එතැන සිටි දරුවන්ට හෝ මේ බව නොකීවේ දරුවන් යාන්තමට හෝ තිගැස්සෙයි කියාය.

"මාව ගල් ගැසුණා. ඒ ගුවන් නියමුවා තමයි මේ ලෝකෙ ඉන්න නරකම කෙනා. මෙතරම් පැහැදිලි දිනයක ඔහුට මඟ වැරදුණේ කොහොමද? සමහර විටෙක ඔහුට හිටි ගමන් හෘදයාබාධයක් එන්නැති..."

බුෂ්ගේ පොතේ එහෙම තිබේ. එකක් නොව තවත් යානයක් ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ ගැටී ඇති බවට බුෂ්ට තවත් ආරංචියක් එයි.

'මට පණ නැතිව ගියා. ක්ලාන්තය වගේ දැනුණා. පන්තිකාමරයේ සිටි අහිංසක දරුවන් දිහා මම බැලුවා. ඒ එක්කම නපුරු ප්‍රහාරය මතක් වුණා. තව තත්පර කිහිපයකින් ලක්ෂ ගණනක් දරුවන් රැකවරණ අයදින හැටි මතක් වුණා.

“සිදුවන්නේ කුමක්ද? මේ ව්‍යසනය කවුරු කරන ලද්දක්ද? කොතරම් හානියක් මේ නිසා සිදුවෙලා ඇත්ද? රජය දැන් මොනවද සිදු කළ යුත්තේ? හිමින් පන්තියෙන් එළියට විත් මම රූපවාහිනිය වෙත ගියා. එහි සජීවී විකාශය වෙමින් තිබුණා. දෙවැනි ගුවන් යානය කුලුනේ ගැටෙන අයුරු නැවත නැවතත් විකාශය වුණා. මහා ගිනි බෝලයක් සහ දුම් වලාවක් ඉහළට නැඟුණා. අහෝ දෙවියනේ මේ මොහොතේ මගේ රටම මහත් කැලඹීමකට පත්වෙලා. මා හැකි ඉක්මනින් ඔවුන්ට කතා කළ යුතුයි.

“Air Force One යානයෙන් මම පාසලෙන් පිටත් වුණා. ඒ එක්කම තවත් නපුරු පණිවිඩයක් ආවා. ඒ තුන්වැනි ගුවන් යානය ඇමරිකානු ආරක්ෂක මූලස්ථානය හෙවත් පෙන්ටගනයට කඩා වැටුණු බව. මම කෑ ගැසුවා... 'මේ අපරාධය කළේ කවුද? දෙවියනේ මගේ රට ආරක්ෂා කරදෙන්න.' මම දෙවියන්ගෙන් ඉල්ලුවා. මට වොෂින්ටනයට යන්න වුවමනා වුණා. ආරක්ෂකයන් ඒක වැළැක්වූවා. මුලින් ලුසියානාහි ගුවන් හමුදා කඳවුරකටත් පසුව නෙබ්‍රස්කාහි තවත් හමුදා කඳවුරකටත් යානය ගොඩ බැස්සුවා. තවත් ප්‍රහාරයක් සඳහා ගුවන් යානයක් වොෂිංටනය බලා යන බව හමුදා නිලධාරීන් මට දැනුම් දුන්නා. ප්‍රහාරක ගුවන් යානා යවා එය වහා මැඩපවත්වන ලෙස නියෝග කළා. එහෙත් එය පෙන්සිල්වේනියාවේ උතුරු අන්තයට වන්නට කඩා වැටී ඇති බව පසුව සැලවුණා. අපි ඒ ගුවන් යානයට පහර දුන්නාද? එසේ නැත්තම් එය කඩා වැටුණාද? මට උණ ගන්න වගේ ආවා, බඩ එහෙට මෙහෙට පෙරළුණා. අහෝ දෙවියනේ මම මගේ අහිංසක ඇමෙරිකානුවන්ට මරණය කැඳවූවාද?"

බුෂ්ගේ පොතේ අවසානයේ මෙහෙම සටහනක් එයි.

'කිසියම් සතුරකු උස්සා පොළවේ ගැසූ රටක් නැවත ඔසවා තැබිය යුතු අයුරු කිසිම පොතක සඳහන්ව නැහැ. එහෙත් ඒ ගැන තිබූ උද්‍යෝගය සහ පසුබිම මා වෙත ලැබුණේ නියම බටහිර ටෙක්සාස් වැසියකු ලෙස ඒ දෙස ශුභවාදීව බැලූ නිසා බව මම විශ්වාස කරනවා. ඒ එක්කම ඇතැම් විට මම තද වැඩි වුණා. ඒත් මට ඕනෑ වුණා ඔසාමා බින් ලාඩන්ව හොඳින් හෝ නරකින්, පණ ඇතිව හෝ නැතිව...'

එදා අමෙරිකාවේ ප්‍රහාරය ඔවුන්ට හිතා ගන්නට බැරි විය. ලෝකයේ අති ඉහළ බුද්ධි අංශ, ආරක්ෂක බලය, දේශපාලන අධිකාරිය මේ බලාපොරොත්තු විරහිත ප්‍රහාරයෙන් අන්දුන්කුන්දුන් විය. ඔවුන්ගේ මාධ්‍ය පවා තැතිගෙන සිටියේ සිදුවූ දෙය තේරුම් ගන්න බැරිවය. එහෙත් කිසිම මාධ්‍යක් දේශපාලනය නොකළේය. සීඑන්එන් නාලිකාව කීවේ 'ගුවන් යානයක් ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ ගැටේ' කියාය. විපක්ෂය බුෂ් එක්ක හිට ගත්තේය. ජනතාව සිය නායකයා විශ්වාස කළේය.

ලෝකෙම අල්ලේ නටවන පෙන්ටගනය කුඩු සංකායම් වෙත්දීත් අමෙරිකාව හිටියේ 'තැතිගෙනය'. ප්‍රහාරයට වගකිව යුත්තේ අල්කයිඩා ත්‍රස්තවාදීන් බව සොයාගන්නේ පසුවය. දේශප්‍රේමියෝ යකා නැටුවේ නැත. විපක්ෂය මඩ ගැසුවේ නැත.

බුෂ් අල්කයිඩාව ඉවරයක් කරන බව කීවේය. මිනිස්සු විශ්වාසයෙන් හා ඉවසීමෙන් සිටියහ.

ප්‍රහාරය එල්ල වන්නේ 2001දීය. බින් ලාඩන් සොයන මෙහෙයුම එතැන් සිට ආරම්භ කරන නමුත් 2010 වනතුරු ඔහු සොයා ගන්නට නොහැකි විය. නෙප්චූන් ස්පියර් ලෙස අවසන් මෙහෙයුම සැලසුම් වීම ආරම්භ වන්නේ 2010 අගෝස්තු මාසයේදීය. ඒ වෙනකොට ජනපති ඔබාමාය. ඇමරිකානු මධ්‍යම බුද්ධි ඒජන්සිය (CIA), ජාතික ආරක්ෂක ඒජන්සිය (NSA), ජාතික භූගෝලීය බුද්ධි ඒජන්සිය (NGA) යන ආයතන මෙහි බුද්ධි අංශ ලෙස කටයුතු කළේය. මෙහෙයුමට අණ ලැබුණේ 2011 අප්‍රේල් 11 වැනිදා උදෑසනය. අවසානයේදී බින් ලාඩන් ඇතුළු ත්‍රස්තයන් සියලු දෙනා විනාශ විය. මෙහෙයුම අතරතුර අරාබි මුහුදේ රඳවා තිබූ කාල් වින්සන් නම් ගුවන් යානා ධාරක නෞකාවේදී බින්ලාඩන්ගේ මෘතදේහය සෝදා පිරිසුදු කර සුදුපැහැ වස්ත්‍රයකින් ඔතා ඉස්ලාමීය චාරිත්‍ර ඉටුකිරීමෙන් පසු බර පැටවූ බෑගයක දමා මුහුදට දැමීය.

සියල්ල හමාර වන්නේ වසර දහයකට පසුවය.

ඒ අමෙරිකාවේය.

පසුගියදා ලෝක ත්‍රස්තවාදයේ උමතු ප්‍රහාරයට ඉලක්ක වන්නේ ලංකාවය. නිදහස ලැබූ දා සිට වසරක් හැරුණු කොට සියලු දින අයවැය හිඟයක් මත දුවන රටකට එල්ල වූ ප්‍රහාරය අමෙරිකන් ප්‍රහාරයට දෙවැනි නැත. විනාශ වූ ජීවිත ප්‍රමාණය එහෙට වඩා මෙහේ අඩු වුවත් රටට සාපේක්ෂව එය එහෙට වඩා වැඩිය. දේපළ ප්‍රමාණය එහෙට වඩා අඩු වුවද රටට සාපේක්ෂව එහෙට වඩා වැඩිය.

ණය පිට ණය ගෙවමින් යාන්තමට ඔලුව උස්සපු රටකට මෙවැනි ප්‍රහාරයක්...! සංචාරක ගමනාන්තයක් ලෙස ලොව අංක එකට ආ බවට ලෝන්ලි පැලන්ට් පවා තහවුරු කළ රටට මෙවන් ප්‍රහාරයක්...!

ප්‍රහාරයෙන් දෙදිනකට පසු පාර්ලිමේන්තුව රැස්විය.

විමල් වීරවංශ සභාව මැද යකා නැටුවේය. 'කලින් මේක අපි කීවා. ඔහෙලා තමයි ත්‍රස්තවාදියෝ' යනුවෙන් සමහරු පාරම් බෑහ.

සමහරු 'අපි මේකෙන් දේශපාලන වාසි ගන්නේ නෑ' කියා කියමින්ම 'දේශපාලන කූඩයට' ලකුණු එකතු කළේය; වෙන වෙනම වාර්තා සකස් කළහ.

‘ආණ්ඩුව ෆේල්. ආරක්ෂාව කෑවා. බුද්ධි අංශ හිරේ දැම්මා’

සමාජ ජාලවල ‘බුද්ධි බලකා’ වැඩට බැස්සෝය. ඇමරිකානු මධ්‍යම බුද්ධි ඒජන්සිය (CIA), ජාතික ආරක්ෂක ඒජන්සිය (NSA), ජාතික භූගෝලීය බුද්ධි ඒජන්සිය (NGA) පවා නොමඟ යැවූ ඉතිහාසයක් තිබේ. බුද්ධි අංශයකට හැකි පරාසය නොදන්නා ‘ප්‍රාඥයෝ’ පුරසාරම් දොඩවති.

2001 අල්කයිඩා ප්‍රහාරයට අවුරුදු 8කට කලිනුත් අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට අයත් උතුරු කුලුනට පහළින් ට්‍රක් බෝම්බයක් පුපුරවා තිබිණි. මිනිසුන් දස දහස් ගණනක් ජීවිතක්ෂයට පත් කිරීම ඒ ප්‍රහාරයේ අරමුණ වූ අතර එය රාත්තල් 1,336ක් (කි ග්‍රෑ. 606) තරම් වූ යූරියා නයිට්‍රේට් සහ හයිඩ්‍රජන් වායුව මඟින් බලගන්වන බෝම්බයක් විය. මෙම ප්‍රහාරය සැලසුම් කරන ලද්දේ රම්සි යූසුෆ්, Mahmud Abouhalima, Mohammad Salameh, Nidal A. Ayyad, Abdul Rahman Yasin සහ Ahmad Ajaj ඇතුළු ත්‍රස්තවාදීන් කණ්ඩායමක් විසිනි.

1994 මාර්තු මාසයේදී මොවුන්ගෙන් 4 දෙනකු වැරදිකරුවන් වූ අතර 97දී තවත් දෙදෙනකු මෙම ප්‍රහාරයට වැරදිකරුවන් බවට පත් විය. ඒ ප්‍රහාරයේ මහමොළකරු රම්සි යූසුෆ් සහ ඉයද් ඉස්මයිල්ය.

ඒ ත්‍රස්තයන්ට දඩුවම් ලැබෙන්නේ වසර ගණනකට පසුවය.

ඒ තබා සැප්තැම්බර් ප්‍රහාරයේ බිල් ලාඩන් අල්ලන්නේ වසර දහයකට පසුවය.

එහෙත් පාස්කු ප්‍රහාරයේ ත්‍රස්තයෝ සියල්ලෝම පාහේ ඝාතනය වී අවසන්ය. සැලසුම්කරුවන් සහ සැකකරුවන්ද දැලේය.

'ආණ්ඩුව ක්‍රියාත්මක වෙන්නේ නෑ. සැකකරුවෝ නිදැල්ලේ'

සමහරු උදේ හවා ජප කරති.

'මෙතන සෝදිසි මෙහෙයුම අවසන්. බොහෝ දේ සොයා ගත්තා. ඊළඟට අපි අහවල් තැනට යනවා.'

කියා සමහරක් මාධ්‍යවේදීහු කල් තියාම තමන් එන බවට ත්‍රස්තයන්ට ඔත්තුව දෙති. ඊට පසුව 'මාධ්‍ය වගකීම' ගැන පුරාජේරු කියවති.

මැතිවරණය මොනවා වෙයිද? ඔය අතර සමහරු අසති.

ඒක හරියටම කියන්න බැරි වුණත් අමෙරිකාවෙන්ම උදාහරණ දෙකක් තිබේ.

1993 ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන බෝම්බ ප්‍රහාරය වෙලාවේ අමෙරිකාවේ ජනාධිපති ක්ලින්ටන්ය. 1992 ක්ලින්ටන් දිනන්නේ සියයට 43ක ප්‍රතිශතයකිනි. 1993 ප්‍රහාරයෙන් පසුව ක්ලින්ටන්ට චෝදනා දසතින්ම ආවේය. 'මෙදා ක්ලින්ටන් ගෙදර' සමහරු කීහ. ආරක්ෂාව ගැන අතිශය සංවේදී අමෙරිකාව එහෙම හිතපු එක හරිය. ඒ මදිවට ක්ලින්ටන්ට කාන්තා චෝදනාත් ආවේය. 1996 ජනාධිපතිවරණය ආවේය. චෝදනා කිසිවක් නැතිව 92දී සියයට හතළිස් තුනක් පමණක් ගත් ක්ලින්ටන් 96දී චෝදනා කප්පරක් තිබියදී සියයට 49ක් ඡන්ද ගෙන දෙවැනි වරටත් ජනපති විය.

ඒ එක උදාහරණයකි. වුවමනා නම් තවත් උදාහරණයක් තිබේ.

2000 ජනාධිපතිවරණයේදී ජෝර්ජ් බුෂ් දිනන්නේ නූලෙන්ය. එහිදී ප්‍රතිවාදී අල්ගෝර් සියයට 48.4ක් ගනිද්දී බුෂ් ගන්නේ සියයට 47.9කි. එහෙත් අමෙරිකාවේ බිහිසුණුම ප්‍රහාරය එල්ල වූ 2001න් පසුව 2004 ජනාධිපතිවරණයේදී බුෂ් ප්‍රතිවාදී කෙරීව පරාජය කරන්නේ සියයට 50.7ක වැඩි ඡන්ද ලබමිනි.

එහේ එහෙම වුණාට මෙහේ එහෙම වෙන්න පුළුවන්ද? සමහරු එහෙම අසති. ඒකට උත්තරය මේ වසර අගදී බලාගන්නට පුළුවන්ය.

මාතෘකා