Youth එක කියන්නේ කොහොමත් කුණාටු අවධියක්

 ඡායාරූපය:

Youth එක කියන්නේ කොහොමත් කුණාටු අවධියක්

 

අරවින්ද ලොකුගේ (Dj අරා)

 

"අරා" කියූ සැණින් ඔහුව නොදන්නා කෙනෙක් නැත. කලක් හිරු fmහි "අරා - පැස්බරා" තුළින් තරුණ පරපුරට ආමන්ත්‍රණය කළ ඔහු මේ වනවිට සියත fmහි නාලිකා ප්‍රධානි ධුරය හොබවයි. තරුණ පරපුර සමඟ වැඩ කරන, තරුණයන්ට නිරන්තරයෙන් ආමන්ත්‍රණය කරන අරා හෙවත් අරවින්ද ලොකුගේ තාරුණ්‍යය ගැන කතා කරන්නේ මෙන්න මේ විදියට.

ලංකාවේ Youth එක තාමත් රේඩියෝ අහනවාද?

මම හිතනවා youth එක තාම රේඩියෝ එක අහනවා කියලා. රේඩියෝ කියන්නේ ශ්‍රව්‍ය මාධ්‍යක්. රේඩියෝවලට ආදේශකයක් නැහැ. ඩිජිටල් මාධ්‍ය ආවයි කියලා රේඩියෝ එකට බාධාවක් වෙලා නැහැ. ඩිජිටල් හෝ වෙනත් විද්‍යුත් මාධ්‍යයක් භාවිත කරද්දි කෙනෙක්ගේ මුළු කාලයම ඒ සඳහා වැය කරන්න වෙනවා. ඒත් රේඩියෝ එක වැඩ දහයක් කරන ගමන් වුණත් අහන්න පුළුවන්. වෙනත් වැඩක් කරන ගමන් නිරායාසයෙන් රේඩියෝ එක ඇහෙනවා. ඒ නිසා ලංකාවේ youth එක ආයාසයෙන්

හෝ නිරායාසයෙන් තාමත් රේඩියෝ අහනවා.

කොහොමද Youth එකෙන් රේඩියෝ නාළිකාවලට ලැබෙන ප්‍රතිචාර?

Social Mediaවල ආගමනයත් එක්ක රේඩියෝවලට ලැබෙන ප්‍රතිචාර අපට පේනවා. එතකල් අපි රේඩියෝ අහනවා ඇති කියලා හිතාගෙනයි වැඩ කළේ. ඒකට ලැබෙන ප්‍රතිචාර ලැබෙන්නේ නැහැ. දැන් මිනිස්සු Social mediaවල රේඩියෝ ගැන ලියනවා. ඒ අතරින් youth එක විශේෂයි. දැන් social මීඩියා එක්ක හැමෝටම සක්‍රියව සම්බන්ධ වෙන්න පුළුවන්. Youth එකෙන් දැන් අපිට වෙනදාට වඩා හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

රේඩියෝ නාළිකාවල යන මොන වගේ වැඩසටහන්ද මේ මොහොතේ youth එක අහන්නේ?

පසුගිය කාලේ මම Hiru FM එකත් එක්ක ඉද්දි කරපු morning show එකත් එක්ක youth එක සෑහෙන්න ප්‍රමාණයක් හිටියා. ඒ වැඩසටහන පුරාවට තිබුණේ ප්‍රහසනය, විහිළු තහඵ. මම සියත FM එකට ආවට පස්සේ ඒ වැඩසටහනේ හැඩය ටිකක් වෙනස් කරලා කළා. ප්‍රහසනය කියන්නේ ඕනේ කෙනෙකුට දෙයක් ඒත්තු ගන්වන්න පුළුවන් හොඳ ක්‍රමයක්. Morning show එකේදි අපි සමාජයේ අඩුපාඩු, දුර්වලතා වගේ දේවල් ප්‍රහසනයෙන් මිනිසුන්ට ඒත්තු ගන්වන්න උත්සාහ කරනවා. මම හිතන්නේ තරුණ පරපුර අපිත් එක්ක ඉන්නවා.

අරා හිතන විදිහට දැන් තරුණ පරපුරට යමක් එක එල්ලේ නොකියා වෙනත් විදිහකින් කතා කරන්න ඕනේ කියලාද?

ඔව්. කවුරු වුණත් දෙයක් අමුවෙන් කියද්දි අහනවා අඩුයි. ඒක ටිකක් නිර්මාණාත්මකව ඉදිරිපත් කළොත් ඒක වැලඳගන්න ප්‍රවණතාව වැඩියි. Youth එක කියන්නේ කොහොමත් කුණාටු අවධියක්නේ. වෙනස් වීම්, කැලඹීම් තියෙනවා. ඒ නිසා ඒ අයට කතා කරන්න හොඳම විදිහ ප්‍රහසනය.

ලංකාවේ තරුණ පරපුර ගැන අරා මොකද හිතන්නේ?

ගොඩාක් අය තරුණ පරපුරට දොස් කියනවා එයාලට කට්ට කන්න බැහැ කියලා. වැඩිහිටි අය කාලයක ඉඳන් කරන්නේ youth එකට දොස් කියන එක. මම හිතන්නේ ඒක චෝදනා කරලා නෙමෙයි ඒ අයව දැනුම්වත් කරලා නිවැරදි කරන්න පුළුවන් දෙයක්. හැම වසර දහයකටම සැරයක් පරපුරක් තවත් පරපුරකින් වෙනස් වෙනවා. ඒ වෙනස හොඳ හෝ නරක අතට වෙන්න පුළුවන්. වැඩිහිටියෝ තරුණයන්ට බණිනවා නම් ඒ බැණුම්වලින් කොටසක් වැඩිහිටියෝ හැමෝටමත් අයිතියි කියලා මම හිතනවා.

ඇත්තටම දැන් තරුණයෝ කට්ට කන්නේ නැද්ද?

ඒක අහන්න ඕනේ දැන් ඉන්න youth එකෙන්ම තමයි. අපි වැඩ කරල තියෙන සීමිත තරුණ පිරිස දිහා බලලා ඒක කියන්න බැහැ. ලෝකේ ප්‍රබල දේවල් නිර්මාණය කළේ තරුණ පරපුර. ෆේස්බුක් හැදුවේ තරුණයෙක්. ඒක දැන් මුළු ලෝකෙම පාලනය කරන මාධ්‍යක් වෙලා තියෙනවා. එහෙම බැලුවොත් අපේ තරුණයන් වැඩ කරනවා මදි කියලා මට හිතෙනවා.

අරා හිතන විදිහට ලංකාවේ තරුණ පරපුරට සෝෂල් මීඩියාවලින් වෙන බලපෑම මොන වගේද?

සෝෂල් මීඩියා දිහා බැලුවාම මට පේනවා අපේ තරුණ පරපුර හරිම නිර්මාණශීලීයි කියලා. දැන් මිනිස්සුන්ගේ අදහස් සමාජයට දෙන්න පුළුවන් එකම platform එක Social media. ඒ නිසා තරුණයන්ගේ චින්තනය පුළුල් වෙලා කියලා තේරෙනවා. එකම ප්‍රශ්නේ තියෙන්නෙ සමාජ මාධ්‍ය ප්‍රයෝජනවත් විදිහට පාවිච්චි කරන්නේ කොහොමද කියන එක. දැන් තරුණ පරපුරේ අදහස් බැලුවාම ප්‍රශ්නයක් දිහා අපිවත් නොහිතන විදිහකට එයාලා බලන්නේ.

ලංකාවේ තරුණ පරපුරට කියන්න දෙයක් අරාටත් ඇති?

තරුණයන්ට අවවාද දෙන්න පුළුවන් මට්ටමක මම නැහැ. ඒත් මට දැනෙන විදිහට ලංකාවේ තරුණ පරපුර මීට වඩා සක්‍රියව සමාජ ගත කරන්න ඕනේ. උදාහරණයක් විදිහට අද ලෝකයේ වැඩියෙන්ම මුදල් හම්බ කරන්න පුළුවන් ඩිජිටල් මාධ්‍ය හරහා. ඒ නිසා තරුණයන් හිතුවොත් කරන්න බැරි කමක් නැහැ. හැමදේම ළඟට එනකල් බලාගෙන ඉන්නේ නැතුව හොයාගෙන යන්න ඕනේ. තමන්ම හොයාගන්න අගයන්වලයි වටිනාකම වැඩි.

[නිර්මාණි බණ්ඩාරනායක]

ඡායා [රුක්මල් ගමගේ]

මාතෘකා