ලෝක කම්කරු දිනය සහ ශ්‍රී ලංකාවේ කම්කරු දිනය

 ඡායාරූපය:

ලෝක කම්කරු දිනය සහ ශ්‍රී ලංකාවේ කම්කරු දිනය

ලෝක කම්කරු දිනයක් හෙවත් තවත් ‘මැයි දිනයක්’ උදා වී තිබේ. ‘මැයි දිනය’ කියන විටම සිහිවන්නේ කම්කරු අයිතිවාසිකම් සහ ඒවා දිනා ගැනීමට දිවි පරදුවට තබා කටයුතු කළ කම්කරුවන් පිළිබඳ අනුවේදනීය සිදුවීමකි.

ඒ වනවිටත් මහා බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක්ව පැවැති ශ්‍රී ලංකාව තුළ කම්කරු ව්‍යාපාරයක් බිහි වීමට සහ එවැනි ක්‍රියාවලියකට අනුගත විය හැකි දේශපාලන බලවේගයක් ඇති විය හැකි තත්ත්වයක් නොතිබිණ. එම තත්ත්වය වෙනස් කරමින් මෙරට ජාතික, ආගමික සහ සමාජමය මෙහෙවරට දායකත්වය දුන් ඒ.ඊ. ගුණසිංහ මහතා මෙරට කම්කරු සමිති ව්‍යාපාරයේ ආරම්භකයා මෙන්ම මැයි දිනයක් පැවැත්වීමේ පුරෝගාමියාද විය. ඒ. ඊ. ගුණසිංහ මහතා උපත ලබා ඇත්තේ 1891 වසරේ මැයි පළමුවැනි දින වීමද විශේෂ සිදුවීමකි. මෙරට පැවති සීමිත රැකියා පුරප්පාඩු ප්‍රමාණය පිරවීම සඳහා ඉන්දියාවෙන් සේවකයන් සහ කම්කරුවන් ගෙන්වීම ඒ. ඊ. ගුණසිංහ මහතා තරයේ හෙළා දුටු අතර එයින් අනාගතයේදී රටට සිදුවිය හැකි ව්‍යසනයද ඔහුගේ අවධානයට ලක්විය. තේ කර්මාන්තය සඳහා දකුණු ඉන්දියාවෙන් ද්‍රවිඩ කම්කරුවන් ගෙන්වීම නිසාත් අනෙකුත් බොහෝ රැකියා සඳහා කේරළයෙන් සේවකයන් ගෙන්වීමත් ඔහුගේ දැඩි විවේචනයට ලක්වූයේ ඒ නිසාය. විශේෂයෙන් කොළඹ නගරයේ කම්කරු පන්තිය විඳින දුක් ගැහැට ගැන ඔහු තුළ පැවතියේ මනා අවබෝධයකි. නිසි වැටුපක් හෝ නියමිත පැය ගණනක් නැතිව අඳුරු ගුබ්බෑයම් වැනි නිවාසවල ජීවත් වෙමින් දුක්ඛිත ජීවිත ගත කරන ඔවුන් ගැන කම්පාවට පත් හෙතෙම 1922 වසරේ සැප්තැම්බර් මාසයේදී ලංකා කම්කරු සංගමය නමැති සංවිධානය පිහිටුවීය.

මිනිසුන් තළා පෙළා බදු අය කිරීම සිදුකළ අධිරාජ්‍යවාදීන් ‘ඇඟ බද්ද’ නමින් අලුත් බද්දක් පැනවීමට කටයුතු කළ අතර එම බද්ද නොගෙවන සෑම කෙනෙකුටම මහපාරේ කළු ගල් කැඩීමට නියෝග කොට තිබිණ. එයට එරෙහි වූ ඒ.ඊ. ගුණසිංහ මහතා හැකියාව තිබියදීත් බදු නොගෙවා මහ පාරේ කළුගල් කඩමින් බදු නොගෙවිය හැකි ජනතාව වෙනුවෙන් උද්ඝෝෂණ ව්‍යාපාරයක් කළේය. අවසානයේ කොළඹ නගරයේ ‘ඇඟ බද්ද’ හකුළා ගැනීමට සුදු ඇත්තන්ට සිදු විය. සෑම ශ්‍රමයකට වැටුපක් ඇතුළුව කම්කරුවන්ට දිනා ගැනීමට අයිතිවාසිකම් රාශියක් ඇති බව විශ්වාස කළ ගුණසිංහ මහතා එම අයිතිවාසිකම් දිනා ගැනීමට වැඩ වර්ජන රාශියක් මෙහෙයවීමට නායකත්වය දුන්නේය.

1923දී මහා දුම්රිය වැඩ වර්ජනයක් මෙහෙයවූ ඔහු එම සටන නිමා වීමටත් පෙර පෞද්ගලික හා රජයේ අංශයේ වර්ජනයක් සඳහා නායකත්වය දුන්නේය. එය එතෙක් කොළඹ පැවති විශාලම වැඩ වර්ජනය ලෙස ඉතිහාසයට එක්ව ඇත. 1927 ජනවාරි 23 දින එකල කොළඹ ප්‍රධාන ගමනාගමන මාධ්‍ය වූ ට්‍රෑම් රථ සියල්ල වර්ජනයට යොමු කිරීමටද හෙතෙම සමත් විය. එවැනි කම්කරු බලයක් සහිතව සිටි ඒ. ඊ. ගුණසිංහ මහතා විසින් තම කම්කරු පක්ෂයේ නායකත්වය යටතේ ලංකාවේ ප්‍රථම මැයි දිනය 1928 වසරේදී පවත්වනු ලැබීය. දහස් ගණනක කම්කරු පිරිසකගේ සහභාගිත්වයෙන් පැවති පෙළපාළිය වර්තමානයේ තරම් සටන්කාමී නොවූ බවත් කොඩි සහ කුඩ සේසත් ඔසවා ගත් පිරිස ගමන් කළේ බෞද්ධ පෙරහැරක් ගමන් ගන්නා ආකාරයට බවත් කියැවේ. මෙරට පළමු මැයි දින රැලිය පැවැත්වීම ආරම්භ වී ඇත්තේ 1933 වසරේදීය. ඒ, ඒ.ඊ. ගුණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකොටුවේ ප්‍රයිස්‌ පාක්‌හිදී පැවැත්වූ එම රැලියෙහි තේමාව වී ඇත්තේ ‘රාජ්‍ය පාක්‍ෂික වෙමු’ යන්නයි.

1934දී ශ්‍රී ලංකාවේ දෙවන මැයි දිනය පවත්වා ඇත්තේ මාක්‌ස්‌වාදී සංගමයයි. දොස්‌තර සරවනමුත්තුගේ ප්‍රධානත්වයෙන් පිටකොටුව ප්‍රයිස්‌ පාක්‌හිදී එය පවත්වා ඇති අතර ‘ජාතික නිදහස හා සමාන වැටුප්’ යන්න එහි තේමාව වී තිබේ

1947 මහා වැඩ වර්ජනයෙන් පසු ඒ.ඊ. ගුණසිංහගේ කම්කරු සංගමය බාලාතම්පෝ විසින් ලංකා වෙළෙඳ සේවා සංගමය වශයෙන් මෙහෙයවනු ලැබීය. එතැන් සිට එම සංගමය මෙරට කම්කරු පන්ති ව්‍යාපාරයේ ශක්තිමත් පවුරක් බවට පත්විය.

1956දී අගමැති ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ ආණ්ඩුව ලංකාවේ මැයි දිනය රජයේ නිවාඩු දිනයක් බවට පත් කෙළේය. 1965න් පසු එක්සත් ජාතික පක්ෂය වෘත්තීය සමිති ව්‍යාපාරයට ඇතුළු වෙමින් ජාතික සේවක සංගමය පිහිටුවා ගැනීම නිසා මෙරට කම්කරු දිනයට කොළ පාටද එක් විය. වාමාංශික ව්‍යාපාරය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමඟ එකතු වී සමඟි පෙරමුණ පිහිටුවා ගැනීමෙන් පසු 70 දශකයේ සිට මෙරට මැයි පෙළපාළිවලට නිල් සහ රතු ධජද එක් විය. මෙරට මැයි දින පෙළපාළි වඩා විචිත්‍රවත් ආකර්ෂණීය මුහුණුවරක් ගත්තේ 1978 වසරේදී ජනතා විමුක්ති පෙරමුණද මැයි දින පෙළපාළි පැවැත්වීම ආරම්භ කිරීමත් සමඟය.

මැයි පළමු වැනිදා මෙරට සිදු වූ අනුවේදනීය සිදුවීම වන්නේ කම්කරු ජනතාව අතරින් බිහි වූ ජනතා නායකයකු වන හිටපු ජනපති ප්‍රේමදාස මහතා ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරයකින් ජීවිතයෙන් සමුගැනීමය. කොළඹ මහ නගර සභාවේ නගර සභිකයකු, උප නගරාධිපතිවරයකු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු, ඇමැතිවරයකු, අගමැතිවරයකු ලෙස මෙන්ම ශ්‍රී ලංකාවේ දෙවැනි විධායක ජනාධිපති තනතුරද දැරූ ආර්. ප්‍රේමදාස මහතා එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌තවාදීන්ගේ මරාගෙන මැරෙන බෝම්බයකට බිලි වූයේ 1993 වසරේ මැයි 1 වැනිදා ආමර් වීදියේදී ලෝක කම්කරු දිනය සමරමින් සිටියදීය.

පසුගිය වසරේ මෙරට ලෝක කම්කරු දිනය සැමරුවේ මැයි 01 වැනිදා නොව, 7 වැනිදා වීමද විශේෂත්වයකි. ඊට ආසන්න හේතුව වූයේ පසුගිය වසරේ වෙසක් පොහොය යෙදී තිබුණේ අප්‍රේල් 29 වැනිදාට වීමය.

සිය වෘත්තිය අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා දහදිය, ලේ කඳුළු ගංගා වගුරවමින් සහ ජීවිත පරිත්‍යාගයෙන් අරගලවල යෙදුණු ලෝකවාසී කම්කරු ජනතාව විසින් මෙවර සමරනු ලබන්නේ 129 වැනි ලෝක කම්කරු දිනයයි. කෙසේ වෙතත් පසුගිය පාස්කු ඉරිදා මෙරට ස්ථාන කිහිපයක සිදු වූ ත්‍රස්ත ප්‍රහාර හේතුවෙන් ඇති වී තිබෙන තත්ත්වය හමුවේ මෙවර මැයි දින පෙළපාළි සහ රැලි නොපැවැත්වෙන අතර සැමරුම් පමණක් පැවැත්වෙනු ඇත.

[සුරේකා නිල්මිණි ඉලංගකෝන්]

මාතෘකා