අලංකාර, උපමාලංකාර හා රූපකාලංකාර

 ඡායාරූපය:

අලංකාර, උපමාලංකාර හා රූපකාලංකාර

කාව්‍යය හා අලංකාර අතර සම්බන්ධතාව කුමක් ද? මේ සම්බන්ධය ඩබ්ල්‍යු. ඇෆ්. ගුණවර්ධන වාසල මුදලිඳු මෙසේ දක්වයි:

"භාෂාවට ශබ්ද ශාස්ත්‍රය යම් සේ ද කාව්‍යයට අලංකාර ශාස්ත්‍රයත් එසේ ම ය. එනම් ශබ්ද ශාස්ත්‍රය ව්‍යාකරණය වන්නාක් සේ ම අලංකාර ශාස්ත්‍රය තෙම කාව්‍ය ශාස්ත්‍රයට ව්‍යාකරණය වේ." (ගුත්තිල කාව්‍ය වර්ණනා)

ආලංකාරිකයා

අලංකාර වාදයට අනුගතව අලංකාර භාවිත කරන්නා මෙන් ම අලංකාර පිළිබඳව විමසා බලන්නා 'ආලංකාරිකයා නම් වේ. 'අලංකාර' යන නාම ප්‍රකෘතියට පරව 'ඉක' යන තද්ධිත ප්‍රත්‍යය යෙදෙන විට ප්‍රකෘතියෙහි මුලින් ම එන අ-යන්න ආ-යන්න බවට වෙනස් වේ:

අලංකාර - ඉක: ආලංකාරික

දණ්ඩීන් නමැති ආලංකාරිකයා සිය 'කාව්‍යාදර්ශ' නම් කෘතියෙහි කියන පරිදි 'අලංකාර යනු කාව්‍ය ශෝභාකර ධර්ම වේ'. "කාව්‍යශෝභාකරාන් ධර්මාන් - අලංකාරාන් ප්‍රචක්ෂතේ"

කාව්‍යෝක්ති

'උක්තිය' යනු කියමන යි. කවියාගේ කියමන 'කාව්‍යෝක්තිය' යි.

අලංකාරෝක්ති

'උක්ති' යනු කියමන නම් අලංකාරවත් කියමන 'අලංකාරෝක්තිය' යි. මේ අලංකාරෝක්ති කොපමණක් වේ දැයි අවසාන තීරණයක් නැත. ඇතැම් විචාරකයන් අලංකාරෝක්ති සිය ගණනක් දක්වා ඇත. දණ්ඩීන්ගේ 'කාව්‍යාදර්ශ' නම් කෘතියෙහි අලංකාරෝක්ති 35 ක් දක්වා ඇත. මේ අලංකාර 'පන් තිස් ලකර' නම් වේ. මම්මට සිය 'කාව්‍යප්‍රකාශයෙහි' අර්ථාලංකාර එක් සැටක් දක්වා ඇත.

අර්ථාලංකාර

අලංකාර සියල්ල දෙවැදෑරුම් කොට දැක්වේ. 'ශබ්දාලංකාර' හා 'අර්ථාලංකාර' යනුවෙනි. පදවල අර්ථය නිසා උපදින අලංකාර 'අර්ථාලංකාර' නම් වේ. ඒ අර්ථාලංකාර හැඳින්වීමට 'උපමා' 'රූපක' වැනි නම් යෙදේ.

ශබ්දලංකාර

පදවලින් නැගෙන ශබ්ද නිසා උපදින ලංකාර 'ශබ්දාලංකාර' නම්. ඒ අලංකාර හැඳින්වීමට 'අනුප්‍රාසය' වැනි නම් යෙදේ.

උපමා

කාව්‍ය ශාස්ත්‍රයෙහි ඉතා ම ජනප්‍රිය අර්ථාලංකාරය 'උපමා අලංකාරය' යි. උපමාවක ලක්ෂණ දෙකක් ඇතැයි කවියෝ කියති. 'උපමානය' හා 'උපමේයය' යනුවෙනි. මේ අංග තුන සම්බන්ධ කිරීමට 'උපමාවාචක පදයක්' ද අවශ්‍ය වේ.

සිංහල උපමාවාචක පද අතර 'වන්''වැනි''සේ''බඳු''වගේ' යන පද වේ. පැරණි පද්‍යවල 'එව්' යන පදය ද යෙදිණ.

'මුහුණ සඳ වැන්න'

'නළල අඩසඳ වැනිය'

'නුවන ඉඳුවර වන්'

'සිසි වන වුවන'

'දත් මුුතු ඇට වගෙයි'

'බැම දේදුන්නක් සේ ය'

'ලංකාව මුතු ඇටයක් බඳු ය'

උපමේයය

උපමාවෙන් යමක් සමාන කරනු ලැබේ ද ඒ වනාහි 'උපමේය' යි. යට කී උපමාවල උපමේය වශයෙන් ඇත්තේ 'මුහුණ' 'නළල' 'නුවන' 'වුවන' 'දත්' බැම' හා 'ලංකාව'යි

උපමානය

උපමාවෙන් යමකට සමාන කරනු ලැබේ ද ඒ වනාහි 'උපමානය' යි. යට කී උපමාවල උපමාන වශයෙන් ඇත්තේ 'සඳ' 'අඩසඳ' 'ඉඳුවර' 'සිසි' 'දේදුන්නක්' හා 'මුතු ඇට' යි.

රූපක

උපමාවක එන 'උපමාවාචක පදය' ඉවත් කළහොත් එය 'රූපක' නම් අලංකාරයක් බට පත් වේ.

'මුහුණ සඳකි'

'නළල අඩසඳ වේ'

'නුවන ඉඳුවර ය'

'සිසි වුවන'

'දත් මුුතු ඇට '

'දේදුනු බැම'

සැලළිහිණි කවියා ජයවද්දන පුරයේ පුරඟනන් වර්ණනා කළේ මෙවන් උපමා රූපක ඇතිව ය:

"සිසි වන වුවන ඉඟ සුඟ ගත හැකි මිටි න

නිසි පුළුලුකුළ රිය සකයුරු තිසර ත න

දිසි රන ලියෙව් රූ සිරි යුත් මෙ පුරඟ න

ඇස පිය හෙළන පමණින් නොවෙත් දෙවඟ න"

මාතෘකා