ශේෂ වූ බෝම්බ අහුලන ‘ඩෑෂ්’ සමඟ ආ උතුරේ මිනිස්සු

 ඡායාරූපය:

ශේෂ වූ බෝම්බ අහුලන ‘ඩෑෂ්’ සමඟ ආ උතුරේ මිනිස්සු

බිම් බෝම්බ ගැලවීම පුද්ගලයකුට යුද්ධයට යාමට වඩා බිහිසුණු කටයුත්තකි. හේතුව නම් අටවා ඇති බෝම්බ සියල්ල කිසිවකුටත් මෙසේ යැයි නිශ්චය කළ නොහැකි වීමත් යම් හෙයකින් බෝම්බයක් පිපිරී ගියහොත් ඊට ගොදුරුවන්නේ තමාම වීමත් නිසාය. ඉතා සුළු නිමේෂයක සුළු අත්වැරැද්දකින් ඒ ආදීනවය පුද්ගලයකුට හිමිවීම සිදුවේ. එය යළි නිවැරදි කළ හැක්කක්ද නොවේ. එමෙන්ම එසේ මිය යන්නෙකුට යුදබිමේ මිය යනනකුට ලැබෙන ගෞරවයද හිමි නොවනු ඇත. එහෙත් අත්දැකීම් බහුල සෙබළුන් සමඟ තල් අරඹේ ගිනි අව්වේ පිලිස්සෙමින් අඟලින් අඟල පස හාරා මහා දෙරණක් එළි පෙහෙළි කරන මේ තරුණ පිරිසට අයත් සෑම කෙනෙක් වටාම ඇත්තේ අපූරු කතාවකි.

“යුද්ධ කාලයේදි ෂෙල් වෙඩි ප්‍රහාරයකට අහුවෙලා මගේ සැමියාගේ පාද දෙකම කැඩිලා ආබාධිත වුණා. මට ඉගෙන ගන්න දරුවො තුන්දෙනෙක් ඉන්නවා. දැන් මට තමයි මුළු පවුලම ජීවත් කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒ සඳහා මම මැදපෙරදිග විදේශ රැකියාවකටත් ගියා. ඒකෙදී බොරුකාරයන්ට අහුවෙලා අතරමං වෙලා ආපසු ආවා. බිම් බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහනට එක්වුණාට පස්සේ තමා මගේ ජීවිතේ ප්‍රශ්න බොහෝමයක් විසඳාගන්න මට ආර්ථික හැකියාව ලැබුණේ. උදේ වරුවේ ඩෑෂ් ආයතනයත් එක්ක වැඩ කරලා සවස ගෙදර ගිහින් පවුලේ වැඩ කටයුතුත් කරගෙන දැන් වැදගත් විදියට ගමේ ජීවත් වෙනවා. අපට හොඳ ආරක්ෂාවකුත් ලැබෙනවා. දැන් සන්තෝෂයෙන් ජීවත් වෙනවා” යැයි පැවැසූ ඇය තිස්පස් හැවිරිදි ජෝයිස්වරන් උෂානන්දනීය.

මුහමලේ පදිංචි උෂානන්දනී පුනරුත්ථාපනයට ලක්වූ තරුණ මවකි. එල්.ටී.ටී.ඊ. සංවිධානයට එක්ව කටයුතු කර පසුව රජයේ පුනරුත්ථාපන වැඩසටහන් යටතේ සමාජගත වූ තරුණ තරුණියන් ඇතුළු තුන්සීයකට ආසන්න සංඛ්‍යාවක රැකියා විරහිත තරුණ තරුණියෝ වර්තමානයේ අනෙක් අයගේ ආරක්ෂාව සහතික කරමින් බිම් බෝම්බ ඉවත් කිරීමේ කාර්ය සඳහා එක්ව සිටිති. ඔවුන් එක්ව සිටින්නේ ඩෑෂ් (DASH/Delvon Assistance for Social Harmony) ආයතනය සමඟයි.

2020 ජාතික උපාය මාර්ගික සැලැස්මට අනුව 2020 වන විට උතුරේ සියලු ඉඩම්වල බිම් බෝම්බ ඉවත් කිරීම් නිමා කිරීම සඳහා ඇති රජයේ සැලැස්ම ප්‍රකාරව කටයුතු කරන ඩෑෂ් ආයතනය මේ තරුණ ජවය හරවත්ව සේවයකට ගෙන ඇති අයුරු පසුගියදා ඔවුන්ගේ ප්‍රගතිය ගැන කළ විමසීමකදී හෙළි විය.

පරන්තන් පදිංචි මිල්ටන් කමලේෂ්වරී 42 හැවිරිදි තිදරු මවකි. ඇයද පුනරුත්ථාපනය ලත් තැනැත්තියකි. ඇගේ සැමියා යුද සමයේ බෝම්බ ප්‍රහාරයකට හසුව මිය ගිය බව ඇය පවසයි. යාපනයේ පදිංචිකරුවකු වූ ඇගේ පියා මියගොස්ය. මව ඇගේ හා දරුවන්ගේ තනියට ළඟ සිටී. පාසල් අධ්‍යාපනය ලබන දරු තිදෙනා රැක බලාගන්නට කමලේෂ්වරීට අවස්ථාව ලැබී ඇත්තේ ඔවුන්ගේ ජීවිතවලටම අතීතයේ සරදමක් සිදුකළ බෝම්බ ගැලවීමට එක්වීම මඟිනි.

“මම දැන් අවුරුදු පහක් තිස්සෙයි මේ රැකියාවේ නිරත වෙලා ඉන්නේ. මේ අවුරුදු පහේ තමා මම ගොඩාක් සතුටින් හිටියේ. අපි මේ වැඩ කරන මේ පළාතේ ජනතාවගේ වතු, ඉඩම් ආදියේ තිබෙන විවිධ බෝම්බ ජාති ඉවත් නොකළා නම් එහෙම ඒවාට අහුවෙලා ජීවිත විනාශ වෙනවා. අපි මේ භූමිය සුද්ද කරගෙන යනකොට අත් බෝම්බ, ජොනි බට්ටෝ ආදී නොයෙක් දේවල් හම්බ වෙනවා. හොඳ පුහුණුවක් තිබෙන නිසා අපි බය නැතුව එවා ගලවලා බාර දෙනවා. අනෙක් අතින් අපිට අපේ ජීවිතයේ ප්‍රශ්න විසඳාගෙන දරුවන්ට කන්න බොන්න අඩුවක් නොකර සතුටින් ජීවිත් වෙන්න මේ කාලෙදි අවස්ථාව ලැබුණා.” යැයි ඇය පැවසුවා.

ඇය ඩෑෂ් සංවිධානය මඟින් බිම් බෝම්බ ඉවත් කරන මුහමලේ බටහිර ගම්මානවල සේවයේ නිරතව සිටින්නීය. එම කලාපයේ මෙම ආයතනය විසින් බෝම්බ ඉවත් කරන ලද වතු ආශ්‍රිතව මේ වනවිට නිවාස ව්‍යාපෘති ඉදිකරමින් සංවර්ධන කාර්යන්ද ඇරඹී තිබේ. ඒනිසා ජනතාවද මෙම පිරිස් වෙත දක්වන්නේ මහත් ගෞරවයකි.

රෝස පැහැ දෙකම්මුල්, සිහින් දැළි රුවුල මැදින් නැඟුණු ලැජ්ජාශීලී සිනාව මැද කතාවට එක්වූ කඩවසම් තරුණයෙකි. ඔහු විනයාමූර්ති කමලගීතම්ය. කොටි සංවිධානයේ කලාපයීය නායකයකුද වූ කමලගීතම් පුනරුත්ථාපනයෙන් පසු මෙම කාර්යයට එක්ව අද සිටින්නේ සිය ජීවිතයේ ප්‍රශ්න මාලාවට මේ හරහා විසඳුම් ලබාගෙනය. ඔහුගේ ඇති අහිංසක සිනාවට, ලැජ්ජාශීලී බවට ඔච්චම් කරන අනෙක් අය ඔහු කෙසේ කොටි නායකයෙක් වූයේ දැයි විහිළු කරති. එදා තරුණ ජීවිතයට නොලැබුණු සැබෑ අරුත අද ලබා සතුටින් සිටින ඔහු පවසන්නේ ඩෑෂ් සංවිධානයට එක්වූ පසු පවුලේ අයටත් උපකාර කරගෙන තමා විවාහ ජීවිතයට එලැඹ සාර්ථකව ජීවිතය අරඹා ඇති බවකි.

කිලිනොච්චියේ පදිංචි ටී. පුෂ්පරානි යුද සමයේදී සැමියා අහිමිව ත්‍රිකුණාමලය ප්‍රදේශයේ සිට කිලිනොච්චියට පැමිණ ඩෑෂ් ආයතනයට බැඳී රැකියාව කරයි. ඇගේ වැඩිමහල් දියණිය නැඟෙනහිර විශ්වවිද්‍යාලයේ තාක්ෂණවේදය හදාරන සිසුවියකි. අනෙක් දියණිය ආබාධිතය. මෙම රැකියාව ඇයට මහ මෙරක් තරම් යැයි ඇය පවසයි.

“අද මම මගේ දියණියන් දෙදෙනාට කන්න බොන්න දීලා අග හිඟ නැතුව ජීවත් වෙනවා. කියන්න සතුටුයි අවුරුදු හතරක් මම මේ කණ්ඩායමට එක්වෙලා වැඩ කරනවා. ප්‍රශ්නයකට තිබෙන්නේ මෙම ආයතනය ඉවර වුණාට පස්සේ මොකද්ද කරන්නේ කියන එක තමා.”

මේ අයගේ දාඩිය කඳුළු අත් පා වෙහෙස හා ජීවිත අවදානම මැද ජාතියට ලැබුණු පුනර්ජීවනය බොහෝය. ඒ ඇතැම් දේ අද ඒ නවය මාර්ගයේ යනෙන විට දිස්වේ. කිලිනොච්චිය ලුණු ලේවාය අද බක්මහ උණුසුම මැද අස්වැන්න පිරී ඇති රැකියා සිය ගණනක් ජනිත කර ඇති තෝතැන්නකි. එය අද ඇති කර්මාන්ත ශාලාව බවට පත්කළේ මේ දෑත්වලින් ඉවතට ගත් බිහිසුණු බෝම්බ නිසාය.

පුදුමාතලන්හි ප්‍රභාකරන්ගේ අවසාන බලකොටුව බිම් බෝම්බ ලක්ෂ ගණනක් තවාන් කළ තැනකි. එහි අද සාමාන්‍ය ජනයා පදිංචිව සිටින අතර එහි ඇත්තේ ප්‍රදේශයේ දැවැන්තම ජල යෝජනා ක්‍රමයකි. පරන්තන් දුම්රිය ස්ථානය වැනි බොහෝ පොදු ස්ථානද මහජනතාව සතු පොල්, තල් ඉඩම් ආදියද යළි ගොඩනඟා ඇත්තේ ඔවුන් අත ගැසූ මේ ක්‍රියාදාමය නිසාය.

අයියකච්චිය ප්‍රදේශයේ පොල් වගාවක් අරඹූ පෞද්ගලික ඉඩමක මෑතකදී බොම්බ හමුවී මහත් භීතියක් ඇති විය. කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය අංශය මේ වගකීම පැවරුවේ ඩෑෂ් සංවිධානයටය.

පොල් පැළ හිටවූ තැන්වල ගිනි අව්ව සිපගනිමින් තිබේ. ඒවා මියැදෙන්නට පෙර බිම් බෝම්බ ඉවත් කිරීමේ වෑයමේ යෙදෙන තරුණ තරුණියන් අතරද මෙවැනිම බොහෝ දෙනෙකි. ඒ කිහිපදෙනකුගේ තතු විමසන්නට කණ්ඩායම් නායක යුද හමුදා සාමාජික ජී. විපුල මහතා ඉඩ සලසා දුන්නේය.

වීදුරු හිස් වැසුමත් සමඟ දාඩියෙන් තෙත්වූ අඳුරු මුවඟ සුදෝසුදු සතුටු සිනාවකින් වෙහෙස නිවාගෙන කතාවට ආ ඇය කිලිනොච්චියේ පදිංචි එස්. නාලිනීය.

“මහත්තයා 2009 යුද්ධ කාලේ මැරුණා. මම දරුවත් එක්ක ඉන්නවා. මෙහෙට තද අව්වයි මේ දවස්වල. හරි අමාරුයි. ඒත් අව්ව වැඩි වුණාම විවේක දෙනවා. කලින්ම වැඩ නවත්වලා ගෙදර යන්න කියනවා. මෙතන හරි හොඳයි. මේ ව්‍යාපෘතිය ඉවර වුණාම අපිට ස්වයං රැකියාවක් දෙන්න කියලා තමා අපි රජයෙන් ඉල්ලන්නේ.” ඒ, ඇගේ කතාව විය.

බ්‍රිගේඩියර් ආනන්ද චන්ද්‍රසිරි මහතා ව්‍යාපෘති කළමනාකාරවරයා වශයෙන් ක්‍රියාකරන අතර ඩෑෂ් ආයතනයේ මෙහෙයුම් කළමනාකරු මේජර් සුනිල් ආරියරත්න මහතාය. ඔවුන් දෙදෙනාම මෙම ව්‍යාපෘතිය මඟින් බලාපොරොත්තු වන ප්‍රාර්ථනාවන් දෙකකි. එකක් නැවත පදිංචි කිරීම හා සංවර්ධන කටයුතු වෙනුවෙන් මෙම භූමිය රජය ඉලක්කගත කාලය තුළ පිරිසුදු කරදීමය. අනෙක රැකියා විරහිත උතුරේ තරුණ පිරිසට මෙහි උපරිම ප්‍රතිලාභය ලබාදීමය. මේ අයට ලැබී ඇති තාවකාලික රැකියාවන්ගෙන් දැනට ඇති ප්‍රතිලාභ අතර ඉහළ දීමනාවක් මෙන්ම සේවක අර්ථසාධක ආදී වරප්‍රසාදද හිමිය. ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මනා පුහුණුවක් හා මඟ පෙන්වීමක්ද හොඳ අධීක්ෂණයක්ද විසිහතර පැයේම සිදුවන බව ආරියරත්න මහතා කියයි. වැඩට යාමට, ඒමට සුවපහසු කාර්යාලයීය බස් රථ සේවා ලබාදී තිබේ. වැඩ කරන විනාඩි තිහක් වැනි කෙටි කලකදී ගිමන් නිවීමට අවස්ථාව ලැබේ. පවතින කාලගුණික තත්ත්වයන් මත ඒවා ඉතා නම්‍යශීලීව වෙනස් වේ. ශ්‍රී ලංකා රජයේ මෙන්ම ආධාර ලබාදෙන රාජ්‍යයන්ගේ ප්‍රසාදය රැක ගැනීම ගැන මෙම ආයතනය මහත් උනන්දුවකින් සේවකයන්ව යොදවා ඇති බව කියයි.

2020 වනවිට උතුරේ බිම් බෝම්බ ඉවත් කර අවසන් කිරීම රජයේ සැලසුමය. ඒ සඳහා ‘මැග් හෙලෝ ට්‍රස්ට්’ සහ ‘ෂාප්’ යන රාජ්‍ය නොවන ආයතනද ශ්‍රී ලංකා යුද හමුදාවද දැනට බිම් බෝම්බ ඉවත් කිරීමේ කාර්යයේ නිරත වේ. ඩෑෂ් ආයතනය මේ වන විට 2019.03.24 වැනිදාට උතුරු පළාතේ වර්ග මීටර් 11,406,267කින් පුද්ගල නාශක බිම් බෝම්බ අසූදහස් හත්සිය හතළිස් හතරක් (80,744) වාහන නාශක බෝම්බ 184ක්, පුපුරා නොගිය තවත් බෝම්බ 22,239ක් හා සුළු අවි පතරොම් 115,702ක්ද ගොඩගෙන විනාශ කිරීමට සමත්ව තිබේ. ඒ 2010 වසරේ සිටය. මාර්තු 23 වැනි දිනට බිම් බෝම්බ ඉවත් කර ඇති බිම් ප්‍රමාණය වර්ග මීටර් 11,406,267ක් හෙවත් වර්ග කිලෝමීටර 11කට අධික ප්‍රමාණයකි. මුලතිව්, කිලිනොච්චිය, යාපනය හා වවුනියා දිස්ත්‍රික්කවලත් අලුතින් මන්නාරම දිස්ත්‍රික්කයේත් ඩෑෂ් ආයතනය මඟින් බිම් බෝම්බ ඉවත් කිරීම් සිදුකරනු ඇත.

“2020 ජාතික උපාය මාර්ගික සැලැස්මට අනුව 2020 වන විට උතුරේ සියලු ඉඩම්වල බිම් බෝම්බ ඉවත් කිරීම් නිමා කිරීම සඳහා ඇති රජයේ සැලැස්ම ප්‍රකාරව මේ වනවිට කටයුතු සිදුවනවා. රජයේ ප්‍රමුඛතාවට අනුව සංවර්ධන හා පුනරුත්ථාපන කටයුතු සඳහා අවශ්‍ය ඉඩම් කඩිනමින් ලබාදීමටත් අපි කැප වෙනවා.

අපි එක්ක තරුණ තරුණියන් 350ක් පමණ සිටිනවා. එයින් සියයට අනූවක්ම ප්‍රදේශයේම අය විශාල පිරිසක්, කාන්තාවන් මේ අය ඉතාම විනයගරුකවත් ප්‍රවේශමෙනුත් මේ රැකියාව කරනවා. අපේ අරමුණත් මේ වැඩසටහනින් පසු මෙම අයට යම් ජීවනෝපායක් සලසාදීමයි. ඒ සඳහා අපි රජය එක්ක සාකච්ඡා කරනවා.” යැයි මේජර් සුනිල් ආරියසේන මහතා අවසාන වශයෙන් පැවැසුවේය.

[සරත් මනුල වික්‍රම] අනුරාධපුර විශේෂ

මාතෘකා