තටු නැතත් පියාඹන්න ඉඩ ලැබෙන ගුවන් හමුදා කෞතුකාගාරය

 ඡායාරූපය:

තටු නැතත් පියාඹන්න ඉඩ ලැබෙන ගුවන් හමුදා කෞතුකාගාරය

කවුද අකමැති පියාඹන්න... වලාකුළු අතරින් ඉහළට ඇදෙන ගුවන් යානාවක් දැක්කම ඉගිලෙන්න නොහිතන පොඩිත්තෙක් නැති තරම්ය. ඒ අතර වැඩිහිටියොත් නැතුවා නොවේ. අහස් ගැබ සිසාරා පියාසලා යෑමට මිනිසා තුළ තිබූ උනන්දුව ඈත අතීතය දක්වා දිවෙන්නකි. ඊට හොඳම උදාහරණය වන්නේ රාවණ යුගයේදී 'දඬුමොනරය' නමින් දේශීය ගුවන් යානයක් පැවැති බවට ජනප්‍රවාදයේ සඳහන් කතා පුවතයි. වත්මන් ලෝකයේ තාක්ෂණය සහ ලෝකය මොනතරම් දියුණුවට පත්වී තිබුණත් තවමත් ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනකුට නම් ගුවන් යානා ගමන් බිමන් යනු සිහිනයක් පමණි.

එහෙත් ගුවන් යානා පිළිබඳ කුතුහලයත් ආස්වාදයත් සපුරාගත හැකි සොඳුරු ගුවන් පාරාදීසයක් බඳු ස්ථානයක් ගැනයි මේ සටහන් තබන්නේ. ඒ රත්මලාන ගුවන් හමුදා කෞතුකාගාරයයි. කෞතුකාගාරයක් කී පමණින් බොහෝ විට ඔබේ සිහියට නැඟෙන්නේ පැරණි භාණ්ඩ එක්රැස් කළ පැරණි පෙනුමක් තිබෙන ගොඩනැඟිල්ලක් විය හැකිය. නමුත් අපි මේ කියන කෞතුකාගාරය සොඳුරු උද්‍යානයක අසිරිය ගත් ස්ථානයක් යැයි කීම නිවැරදිය. ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් පාලනය කරනු ලබන මෙම ගුවන් කෞතුකාගාරය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඉතිහාසය, පැරණි ශ්‍රී විභූතිය, දක්ෂතා, ගුවන් යානා තාක්ෂණය ආදී සෑම දෙයක් ගැනම දැනුම ලබාගත හැකි තක්සලාවක් බඳුය. එපමණක් නොව මෙය පිහිටා තිබෙන්නේ නාගරීකරණය වූ රත්මලාන ප්‍රදේශයේ එම ගුවන් හමුදා කඳවුර ආසන්නයේ වුවත් මෙම කෞතුකාගාරය තුළට පිවිසීමෙන් පසු සිතට දැනෙන්නේ අපූර්වතම හැඟීමකි. එයට හේතුව එම පරිශ්‍රය පුරාම තිබෙන සුන්දරත්වය සහ ක්‍රමානුකූල බවයි. විශේෂයෙන් දුර්ලභ ශාකවලින් පිරි මෙම ගුවන් කෞතුකාගාර පරිශ්‍රය පුරාවටම හරිත පැහැය පවත්වාගෙන යෑමට කළමනාකාරීත්වය කටයුතු කර තිබීම ප්‍රසංශනීයය.

ඒ නිසාම ඒ සුන්දර පරිසරයේ අසිරිය විඳිමින් පවුලේ සියලුදෙනා සමඟ දැනුම සහ විනෝදය මුසුවූ අපූරු අත්දැකීමක් ලබන්න මෙම ගුවන් කෞතුකාගාරය තුළ අවස්ථාව සැලසී තිබේ. ගුවන් හමුදාව විසින් පාලනය කළද හමුදා නීතිරීතිවලින් මිදී සුහද සහ ආචාරශීලී සේවයක් සැලසීමටද එහි නිලධාරීන් ප්‍රමුඛ කාර්ය මණ්ඩලය සැදී පැහැදී සිටියි. ඒ නිසාම මෙම කෞතුකාගාරය නැරඹීමට එන ඕනෑම අයකුට ගුවන් හමුදාවේ ගුවන් යානා, උපකරණ, ආයුධ, ක්‍රියාකාරකම් ආදී සෑම කරුණක් පිළිබඳ නිවැරදි සහ සැබෑ තොරතුරු දැනගැනීමට හැකිය.

මෙම ගුවන් කෞතුකාගාරය ආරම්භ වන්නේ 2009 වසරේදීය. එවකට ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතාගේ මූලිකත්වයෙන් මුලින්ම එය ආරම්භ කර ඇත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පැරණි ගුවන් යානා අලුත්වැඩියා කරන අංගණය පිහිටා තිබූ ඉසව්වේදීය. ඒ අනුව අක්කර කිහිපයකින් ආරම්භ වූ මෙම ගුවන් කෞතුකාගාරය විවෘත වන්නේ 2009 වර්ෂයේ නොවැම්බර් මසදීය.

මේ වන විට අක්කර 20කට වැඩි භූමි පෙදෙසක් මෙම ගුවන් කෞතුකාගාරය සඳහා වෙන්වී තිබෙන අතර යුද ගුවන් යානා, පුහුණු කිරීම් සඳහා යොදා ගන්නා ගුවන් යානා හා මගී ප්‍රවාහන ගුවන් යානා (එයාර් බස්) මෙහිදී දැකගත හැකිය. ඒ අතරින් යුද හා පුහුණු කිරීමේ ගුවන් යානා වර්ග විශාල ප්‍රමාණයක් මෙහි දක්නට ලැබෙන අතර මෙරටට පළමුවෙන්ම ගෙන ආ යුද ගුවන් යානයේ සිට ගුවන් හමුදාවට මෑතකදී එක්වූ කෆීර් වැනි ගුවන් යානා දක්වාම ගුවන් යානා මෙහිදී දැකගත හැකිය. එමෙන්ම අර්ධ ප්‍රහාරක යානාද මෙහි දක්නට ලැබෙන ගුවන් යානා විශේෂයක්. එමෙන්ම මෙරටට ගෙන ආ පළමු නියමු පුහුණු වර්ගයේ ගුවන් යානා සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඉංජිනේරු අංශය විසින් නිර්මාණය කළ කුඩා නිරීක්ෂණ යානාද මෙහිදී දැකගත හැකිය. මෙහි ප්‍රදර්ශනය කරන සෑම ගුවන් යානාවක් අසලම ඒ පිළිබඳ විස්තර සටහන් කර තිබීම නිසා ඒ පිළිබඳ දැනුම ලබාගැනීම සංචාරයන්ට පහසුවකි.

එපමණක් නොව වාහනවලට ඇලුම් කරන සංචාරකයන් වෙනුවෙන් ගුවන් යානාවලට අමතරව ගුවන් අංගණයක දක්නට ලැබෙන වෙනත් වර්ගයේ වාහනද මෙම කෞතුකාගාරයේදී දැකගත දැකිය. ඒවා බොහොමයක් ගුවන් හමුදාව විසින් ගොඩබිම භාවිතය සඳහා යොදාගත් විවිධ වර්ගවල වාහනය.

ගුවන් යානා නැරඹීමට අමතරව මෙහි කුඩා දරුවන්ට විනෝද වීමට තැනූ ගුවන් යානා මෙන්ම සජීවී ගුවන් යානා ගමනක අත්දැකීමක් ලබාදෙන ගුවන් යානයක්ද මෙම ගුවන් කෞතුකාගාරය තුළ වේ. ඇව්රෝ සිමියුලේටරය ලෙස හැඳින්වෙන එම යානය මෙය පැරණි ඇව්රෝ ගුවන් යානයක සකස් කර ඇති ගුවන් ගමනක අත්දැකීම ලබාදීම වෙනුවෙන්ම සකස් කරන ලද ප්‍රදර්ශනාගාරයකි. වායුසමනය කළ මෙම යානය තුළට ඇතුළු වී අසුන් ගෙන කවුළුවෙන් එපිට බැලූවිට ඉහළ ගුවනේ සිට අවට දිස්වෙන අතර යානය පියාසර කරන බව ද දැනේ. එකිනෙකා අසුන්ගෙන සිටින තැන අනුව පෙනෙන දර්ශනය වෙනස්ය. යානයේ ඉදිරිපසින් නියමුවාට පෙනෙන ආකාරය දිස්වේ. සජීවී ගුවන් ගමනක් අත් නොවිඳි අයකුට සැනසෙන්නට මේ ගුවන් ගමනද සුන්දර අත්දැකීමක් බව නොකියාම බැරිය.

මෙම ගුවන් කෞතුකාගාරයේ සිවිල් ඉංජිනේරු අංගණය තුළ ගුවන් හමුදාව ඉදිකිරීම් ආදී කටයුතු වෙනුවෙන් භාවිත කළ උපකරණ හා ද්‍රව්‍ය රැසක් සහ සාමාන්‍ය අංගණය ගුවන් හමුදාවේ ඉතිහාසය හා ව්‍යුහය පිළිබඳ තොරතුරු දැනගත හැකි ඇඳුම් පැලඳුම් ආදර්ශන, නිල ලාංඡන, අවි ආයුධ වර්ග, කොඩි, ආහාර පාන ගැනීමට භාවිත කළ උපකරණ, සන්නිවේදන උපකරණ, ආරක්ෂක උපකරණ, වෛද්‍ය උපකරණ, ලිපිලේඛන, පදක්කම් ආදියෙන් සමන්විත වේ. එමෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාව ආරම්භ වූ දා පටන් මේ දක්වාම ගුවන් හමුදාවේ සියලු වැදගත් සිදුවීම්වල ඡායාරූප ඇතුළත් නවීන කලාගාරයද ශ්‍රී ලංකා ගුවන් හමුදාව පිළිබඳ කදිම විවරණයක් සපයන්නකි.

එපමණක් නොව ගුවන් ක්ෂේත්‍ර පිළිබඳ කෙටි චිත්‍රපට නැරඹීම වෙනුවෙන් ගුවන් හමුදාව භාවිත කරන විශාලම ගුවන් යානයේ ආකෘතියට තැනූ කුඩා චිත්‍රාගාරයක්ද මෙහි වේ. ඒ තුළින් කෆීර් යානයක් භාවිත කරමින් ගුවන් මෙහෙයුමක් සිදුකරන අන්දම දැකබලා ගැනීමට සුවිශේෂී අවස්ථාව හිමිවේ. මීට අමතරව ගුවන් යානාවල භාවිත වන විවිධ වර්ගවල එන්ජින් එකතුවකින් සමන්විත එන්ජින් අංගණය ගුවන් යානා තාක්ෂණය පිළිබඳ උනන්දු වන්නන්ට විශේෂිතය.

කෞතුකාගාරය සතු තවත් වැදගත්ම අංගයක් වන පුස්තකාලය ගුවන් හමුදාව, ගුවන් යානා තාක්ෂණය පිළිබඳ ඉතා දුර්ලභ ග්‍රන්ථ රැසකින් සමන්විතය. විශ්වවිද්‍යාල සිසුන් පර්යේෂකයන් හට මෙම පුස්තකාලය භාවිතයෙන් විශාල දැනුම් සම්භාරයක් ලබා ගත හැකිය.

අප මුලින් කීවාක් මෙන් මෙම කෞතුකාගාර භූමියෙහි වන සුන්දරත්වය තවත් වැඩි වන්නේ එහි පිහිටි වැව නිසාය. ඕලු මල් ඇතුළු ජලජ ශාකවලින් හැඩවී ඇති වැව ඒ ඉදිරිපිට උද්‍යානයේ විවේක ගන්නා සංචාරකයන්ට සිසිල් සුවදායී අත්දැකීමක් ලබාදෙන්නකි. වැවෙහි එක් ඉවුරක ගුවන් හමුදාව ත්‍රස්තවාදය පරාජය කිරීමේදී ලබාගත් ජයග්‍රහණවල සිහිවටනයන් නැරඹීමේ අවස්ථාව උදා කර තිබේ. වැව මැද පිහිටි දූපතක ත්‍රස්තවාදීන් සතුව තිබී විනාශ කරන ලද ගුවන් යානාවක්ද ප්‍රදර්ශනය කර තිබේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සේවයක් ලෙස පවත්වාගෙන යනු ලබන මෙම ගුවන් කෞතුකාගාරය දකුණු ආසියාවේ සුන්දරම සහ විශාලතම ගුවන් කෞතුකාගාරය ලෙසද සැලකේ. පෝය සහ ජාතික නිවාඩු දින හැර සතියේ සෑම දිනකම පෙරවරු 8.30 සිට සවස 5 දක්වා කෞතුකාගාරය මහජන ප්‍රදර්ශනය සඳහා විවෘතව පවතින අතර සෑම සඳුදා දිනයකදීම නඩත්තු කටයුතු සඳහා මෙම ස්ථානය වසා තැබේ.

ගුවන් හමුදා කාර්ය මණ්ඩලය විසින් ඉතා විධිමත්ම සහ ක්‍රමානුකූලව පවත්වාගෙන යනු ලබන මෙම ගුවන් කෞතුකාගාරය පාසල් සහ පෙරපාසල් ළමයින්ට නැරඹීම සඳහා සුදුසු ස්ථානයක් ලෙස ප්‍රකට වී ඇත්තේ එම ස්ථානයේ තිබෙන ආරක්ෂාකාරී බව සහ විධිමත් බව නිසාය. කුඩා ළමයින් ගැවසෙන ස්ථානයක් බැවින් ප්‍රථමාධාර කණ්ඩායම් නිබඳව සේවයට සූදානමින් සිටින අතර පානීය ජල පහසුකම්, සනීපාරක්ෂක පහසුකම් ඇතුළු පහසුකම් මෙන්ම ආහාරපාන ලබාගැනීම සඳහා අවන්හලක්ද කෞතුකාගාර පරිශ්‍රයේම ඉදිකර තිබේ.

මේ සියලු අත්දැකීම් විඳ ගනිමින් නිදහසේ මෙම ගුවන් කෞතුකාගාරය සම්පූර්ණයෙන්ම නැරඹීම සඳහා පැය තුනකට ආසන්න කාලයක් ගතවේ. සාමාන්‍ය නිරීක්ෂණයක් සඳහා පැයක පමණ කාලයක් ප්‍රමාණවත් වුවද මෙහි ඇති සියල්ල නිසි පරිදි දැකබලා ගැනීමට සහ දැනුමක් ලබාගැනීමට නම් ඒ සඳහා නිදහසේ කාලයක් වැය කිරීම උචිතය.

ඒ සියල්ල දැකබලාගෙන ගුවන් යානා පිළිබඳ සොඳුරු අත්දැකීමක් හදවතේ දරාගෙන එතැනින් පිටත්ව එන ඔබට යම් සිහිවටනයක් මිලදී ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා කෞතුකාගාර පරිශ්‍රයේ ප්‍රධාන ගුවන් යානා අංගණය අසල සමරු අලෙවිසැලක්ද පිහිටා තිබේ. ඔබ ගුවන් කෞතුකාගාරය තුළදී දුටු ඕනෑම ගුවන් යානාවක ආකෘතියක් එහි දී ඇනවුම් කළ හැකි අතර එහි සමරු නිෂ්පාදනාගාරයේ සේවයේ නියුතු දක්ෂ ගුවන් කලා ශිල්පීන් විසින් එය එලෙසින්ම ඔබට නිමකර දීමට කටයුතු කරනු ඇත. එය ඔබට ශ්‍රී ලාංකේය ගුවන් හමුදාව ගැන අභිමානයක් ඇතිකරන තවත් අපූර්වතම අත්දැකීමක් වනවාට සැක නැත.

එළැඹෙන පාසල් සහ අලුත් අවුරුදු නිවාඩුවේදී පොඩිත්තන් සහ පවුලේ සැම සමඟ දැනුම, විනෝදය සමඟ සජීවී ගුවන් ගමනක අත්දැකීමක්ද ලැබීමට කැමති නම් ඒ සඳහා අපූරු ස්ථානයක් ලෙස රත්මලාන ගුවන් හමුදා කෞතුකාගාරය ඔබේ මතකයට එක්කර ගන්න.

ඡායා - ශ්‍රී ලංකා ගුවන් හමුදා වෙබ් අඩවියෙන්

[සුරේඛා නිල්මිණි ඉලංගකෝන්]

මාතෘකා