විකෘති නොවූ රාත්තල් 300ක ආදරයක් : නිල්මිණී සිගේරා

 ඡායාරූපය:

විකෘති නොවූ රාත්තල් 300ක ආදරයක් : නිල්මිණී සිගේරා

අශෝක හඳගමගේ නවතම චිත්‍රපටය "අසන්ධිමිත්තා" මේ වන විට තිරගත වෙමින් පවතී. එහි තේමා පාඨය වූයේ "රාත්තල් 300ක ආදරයක්" ලෙසයි. අසන්ධිමිත්තාහී ප්‍රධාන භූමිකාව රඟපාන නිල්මිණි සිගේරා පසුගියදා අවසන් වුණු ජපානයේ 14 වෙනි ඔසාකා ආසියානු සිනමා උලෙළේ විශිෂ්ඨතම රංගනය සඳහා පිරිනැමෙන යකුෂි මුතු සම්මානය දිනාගනු ලැබිණි. ඔසාකා ආසියානු සිනමා උලෙළේ තරඟකාරී අංශයට, කොරියාව, හොං-කොං, චීනය, ඉන්දියාව, ජපානය, වියට්නාමය, පිලිපීනය, තායිවානය යන රටවල විශිෂ්ට සිනමා කෘති රැසක් තේරී තිබුණි. අසන්ධිමිත්තා චිත්‍රපටයත් සමඟ මේ වනවිට කා අතරත් කතාබහට ලක්වන නිල්මිණී සිගේරාගෙන් "රාත්තල් 300ක ආදරේ" ගැන අපි විමසුවෙමු.

ලැබූණු සම්මානයේ උණුසුම තාමත් තියෙනවා නේද?

ඔව්. තාමත් තියෙනවා. උණුසුම වැඩිකටම සුබ පැතුම් ගලාගෙන එනවා. සෑහෙන්න ඇමතුම් ගොඩක් ලැබෙනවා. මේ සම්මානය මම නොහිතපු දෙයක්. මම හිතුවේ නැහැ මගෙ රංගනයකට මේ වගේ ඇගයීමක් ලැබෙයි කියලා.

චිත්‍රපට පිස්සියකට එහෙම සම්මානයක් ලැබුණු එක සහ ජාත්‍යන්තර සම්මාන උලෙලක් නියෝජනය කරන්න ලැබුණු එක ගැන මොකද හිතෙන්නේ?

ඇත්තටම මම චිත්‍රපට පිස්සියක්. නාට්‍ය, චිත්‍රපට බලන්න පුළුවන් හැම වෙලාවකම මම බලනවා. මම කැමති කතා නරඹන්න. මට මේ අවස්ථාව ලැබුණෙත් සිනමා උලෙළකදී අහම්බයකින්. අශෝක හඳගමගේ "අසන්ධිමිත්තා" චිත්‍රපටය ජාත්‍යන්තර සිනමා සම්මාන උලෙළ හතරකට ඉදිරිපත් වුණා. කොරියාවේ බූසාන්හී පැවති සිනමා සම්මාන උලෙළ, එස්ටෝනියාවේ සාලීන්හී පැවති "Black knight" සිනමා සම්මාන උලෙළ, බැංගලෝර් සිනමා සම්මාන උලෙළ, ඔසාකා සිනමා සම්මාන උලෙළ මේ හැම සිනමා සම්මාන උලෙළකදීම අසන්ධිමිත්තා රංගනයට මට හොඳ ප්‍රතිචාර ගොඩක් ලැබුණා. කවුරුත් නොහිතපු විදියට තමයි මට මේ සම්මානය ලැබුණේ. ඔසාකා ආසියානු සිනමා උලෙළෙදි මගේ නම කියද්දි තමයි මම දන්නේ මට සම්මානයක් තියෙනවා කියලා. මොකද ජපන් භාෂාව් මම දන්නේ නැහැ. ඉතින් ඒ අවස්ථාව මට තාමත් හීනයක් වගේ.

"විකෘති" වේදිකා නාට්‍යයේ රංගනයෙන් පසු මේ ඔබේ පළමු සිනමා රංගනය නේද?

අසන්ධිමිත්තා කියන්නේ මගේ පළමු සිනමා රංගනය. මගේ විවාහයත් සමඟ 1990දී මම "විකෘති" වේදිකා නාට්‍යයෙන් අයින් වුණා. ඊටපස්සේ මම නිවේදන කටයුතුවල නිරත වෙලා හිටියේ. ඒ වගේම ගුරු වෘත්තියේ මම එදා වගේම අදත් නියැලෙනවා. විකෘති වේදිකා නාට්‍යයෙන් පස්සේ දීර්ඝ කාලීනව රඟපෑවේ නැහැ. ටෙලිනාට්‍ය කීඔඅයක අට්ගුටු චරිත කීපයක් ඉන්පසු කළා. මේ මගේ පළමු සිනමා රංගනය.

ඔබට මේ චරිතය ලැබුණේ කොහොමද?

සිනමා සම්මාන උලෙළක් නරඹන්න ගියපු අවස්ථාවක අහම්බයකින් වුණු දෙයක් ඒක. ස්වර්ණා මල්ලවාරච්චි සහ මම අතර වුණු සංවාදයක් අහගෙන හිටපු හඳගම මගෙන් ඇහුවා "රඟපාන්න කැමති නැද්ද?" කියලා. මම එවෙලේ හිනාවෙලා ඇහුවා "ගල් පර්වතයකටද?" කියලා. ඊටපස්සේ තමයි අසන්ධිමිත්තා ගැන මට හඳගම පැහැදිලි කළේ. මම චොක්ලට් කන්න මලපෙරේතයි. මගේ මහත ගැන මගේ යාළුවෝ විහිළු කරනවා. නමුත් ඒ වෙනකන් මහත මට ගැටලුවක් වුණේ නැහැ. මේ චරිතය රඟපාන්න තීරණය කරපු දවසේ සිට මම මාව අමතක කළා. චරිතයට සූදානම් වුණා. අසන්ධිමිත්තා පිටපත කියෙව්වාට පස්සේ රංගන ශිල්පිනියකට චිත්‍රපට හතරක පහක කරන්න තියෙන දේවල් මේකේ කරන්න තියෙනවා කියලා හිතුණා. මං ගැන හඳගම තියපු විශ්වාසයට, මාව විශ්වාස කරලා මේ වගේ චරිතයක් මට ලබාදුන්නාට මම හඳගමට ස්තුති කරනවා.

අසන්ධිමිත්තා රංගනයට ඔබට සෝමලතා සුබසිංහගෙන් ලැබුණු ගුරුහරුකම් බලපෑවද?

අනිවාර්යෙන්ම. ඒ මගේ දෙවෙනි අම්මා. ඔසාකා සිනමා උලෙළෙදි සම්මානය ගන්න අවස්ථාවේදීත් "මිස් අද මෙතන හිටියා නම්" කියලා හිතුණා. සෝමලතා මිස්ගෙන් ලැබුණු ගුරුහරුකම් තමයි මාව මේ තරම් දුරකට රැගෙන එන්න හේතුව වුණේ.

ඔබ අසන්ධිමිත්තා හී චරිතයට සූදානම් වෙන්න තවත් බර වැඩි කරගත්තා කියලා ආරංචියි.

ඔව්. මේ චරිතේ ගැන කතා කරන්න හඳගමගේ ගෙදරට ගියාම හඳගමයි දුවයි එකතු වෙලා මම මේ දැන් මහත් වෙයි කියලා හිතාගෙන එක එක කෑම කන්න දුන්නා. එතැන් සිට මම කොතනකදී හම්බ වුණත් හඳගම කිව්වේ "කෙට්ටු වෙන්න නම් එපා" කියලා. ඒ නිසා මමත් මේ චරිතය හොඳට හිතට අරගෙන හොඳට කාලා බීලා හිටියා. තියන බරට වඩා තව රාත්තල් 10ක් බර වැඩි කරගත්තා.

තමන්ව මුලින්ම රිදී තිරයෙන් දකිනකොට මොකද හිතුණේ?

බූසාන් සිනමා උලෙළෙදි තමයි මම මුලින්ම චිත්‍රපටය නැරඹුවේ. මාව මුලින්ම රිදී තිරයේ දැක්කාම "දෙයි හාමුදුරුවනේ.. අනේ සංසාරේ මගේ මහත" කියලා හිතුණා. මොකද එක තැනක මුළු තිරයම වැහෙන්න මාව පේනවා.

මේ චිත්‍රපටයේ ඇතැම් දර්ශන සහ දෙබස් ගැන නිල්මිණීට ස්වයං වාරණයක් තිබුණේ නැද්ද?

අශෝක හඳගම චිත්‍රපටයක් කරනවා කියන්නේ කොහොමත් ආන්දෝලනාත්මකයි. සමහරු "හොඳයි" කියනවා වගේම තමයි තවත් සමහරු "අනේ එයාද" කියලා අහනවා. මටත් මේ ප්‍රතිචාර දෙකම ලැබිලා තියෙනවා. මේ පිටපත කියෙව්වට පස්සේ එහි දර්ශන දෙකක් ගැන මට ඒ ගැටළුව තිබුණා. මම ගුරුවරියක් නිසා මට වාරණ තියෙන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි මම සම්ප්‍රදායික ගැහැනියක්. බමුත් හඳගම ඇතුළු පිරිස බොහොම ගරුත්වයෙන් යුතුව ඒ දර්ශන කළා. සමහර දර්ශනවලට අදාළ ඇඳුම් දෙක බැගින් සකසලා තිබුණා මම වෙනුවෙන්ම. ඒ සියලු දෙනා නිසා තමයි මට මේ සම්මානය ලැබුණේ.

රාත්තල් තුන්සීයක ආදරයකට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර කොහොමද?

සිය ගුණයකින් දස ගුණයකින් ඉතා ඉහළ ප්‍රතිචාර ලැබෙනවා. සුබ පැතුම් ලැබෙනවා. ඒ වගේම තමයි මගේ ගෝලයන්ගෙන්, මගේ සහෝදර ගුරුවරුන්ගෙන්, විදේශයන්හි සිටින අයගෙන් පවා ඉතා ඉහළ ප්‍රතිචාර ලැබෙනවා. හැමෝගෙම ආදරය ලැබෙනවා. රාත්තල් තුන්සීයක ආදරේ දහස් ගුණයකින් වැඩි වෙලා මට දැන් ලැබෙනවා. ඒ හැමදෙනාටම මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මතක් කරන්න ඕනේ මම ඉගැන්වීම් කරන්නේ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ. ඒ විදුහල්පතිනිය ඇතුළු ආචාර්ය මණ්ඩලයටත් මම ස්තුතිවන්ත වෙනවා මාව නිදහස් කරලා මට කාලය ලබාදීලා දක්වපු සහයෝගය ගැන.

නිල්මිණි ඉදිරියටත් රඟපාවිද?

මම හොයාගෙන යන කෙනෙක් නෙමෙයි. මම චරිත හොයාගෙන යන්නේ නැහැ. මේ රංගනයට මට ජයග්‍රහණයක් ලැබුණා. මේක මගේ ප්‍රථා සහ එකම සිනමා රංගනය වෙන්නත් පුළුවන්. චිත්‍රපටයේ එක තැනක මම මෙහෙම දෙබසක් කියනවා. "අපි යථාර්ථයේ හිටියට ජීවත් වෙන්නේ මායා ලෝකවල" කියලා. ඒ නිසා ජීවිතේ මොනවා වෙයිද කියන්න බැහැ. හැබැයි මේ ඇඟ එක්ක නම් මම ආයි රඟපාන්නේ නැහැ.

[නිර්මාණි බණ්ඩාරනායක]

මාතෘකා