දුම්රියෙන් උපන් සහජීවනයේ නගරය

 ඡායාරූපය:

දුම්රියෙන් උපන් සහජීවනයේ නගරය

'නානුඔය' දෙශීය මෙන්ම විදේශීය සංචාරකයින් අතර බොහෝ ප්‍රකට නමකි. ඒ නුවරඑළිය සංචාරක පුරවරයට දුම්රියෙන් පැමිණෙන සියල්ලන්ම නානුඔය දුම්රියෙන් බැස නානුඔය හන්දිය හරහා ගමන් ගන්නා නිසාය. එසේම අවිස්සාවේල්ල මාර්ගයෙන් නුවරඑළියට පැමිණෙන සියල්ලන්ද නානුඔය පසු කර යා යුතුය. අතීතයේ සිටම නානුඔය දුම්රිය ස්ථානය නිසාම මෙම ප්‍රදේශය බොහෝ ජනප්‍රියව පැවතී ඇත.

අශ්වගාල්වලින් බිහි වූ නගර

එදා ඉංග්‍රිසි ජාතිකයින් මෙම ප්‍රදේශ පාලනය කරනු ලබන කාලයේදී තම අශ්වයින් ගාල් කොට තැබීමට සකස් කළ අශ්වගාල් පදනම් කරගෙන කිරිමැටිය, හැටන්, තලවකැලේ, නානුඔය ආදී නගර බිහිව ඇති බව පැරැන්නෝ පවසති. නානුඔය නගරයේ දැනටත් පිහිටා ඇති කළුගලින් ඉදි කළ ගොඩනැගිලි මෙම මතය තහවුරු කිරීමට සමත් වෙයි.

රුපියල් හැත්තෑපහේ කඩමණ්ඩිය

"මේ ටවුම 1958 වෙනකොට 'විටොල්' කොම්පැනියට අයිතිවෙලා තිබුණේ. මෙක එඩිම්බරෝ වත්තතෙ කඩ මණ්ඩිය විදිහට තමයි තිබුණේ. ඒ වත්තේ හිටිය සුද්දා ලංකාවෙන් යනකොට මේ කඩ ටික වික්කා. ඒ වේලාවේ විටොල් කොම්පැනියේ සුසරිපාල මුදලාලි මේ කඩ ටික රුපියල් හැත්තෑ පහකට ගත්තා. සුද්දා එවා දුන්නෙ සින්නක්කර ඔප්පුවකින්. ටවුමේ කඩ පනහක් විතර සුසිරිපාල මුදලාලිට අයිති වුණා. තව කඩ දෙක තුනක් තව මුදලාලි කෙනෙක් ගත්තා. දැනුත් මේ ටවුමම අයති සුසිරිපාල මුදලාලිගේ පවුලේ අයට." එක්දාස් නවසිය හතළිස් ගණන්වල හබරාදුවේ සිට නානුඔයට පැමිණි එල්. ජී. පියතිස්ස මහතා අතීතයේ සැඟවුණු අපූරු තොරතුරක් හෙළි කළේය. එදා යෝධ කඩමණ්ඩියක් මිලට ගත් මුදලට අද ඒ කඩමණ්ඩියේ පොල් ගෙඩියක් අලෙවි වෙයි!

කළු ගලින් හැදූ කඩ

"ඒ දවස්වල ඇඩිම්බරෝ වත්ත විටොල් බ්‍රවුන්ස්ටන් කියන කොම්පැණියට අයිතිවෙලා තිබුණේ. වතු අධිකාරී හැටියට හිටියේ ඩිවෝෂ් කියලා සුදු මහත්තයෙක්. එයා තමයි කළු ගල්වලින් මේ කඩ කාමර හැදුවේ. ඒදවස්වල මට වයස අවුරුදු 17ක් විතර ඇති." නානුඔය කඩ මණ්ඩියේ ආරම්භයේ සිට මේ දක්වා බොහෝ කරුණු කාරණා දන්නා පියතිස්ස මහතා නානුඔයට පැමිණෙන විට කඩ මණ්ඩියේ කඩ පනස් දෙකක් තිබී ඇත. ඒ හැම කඩයකම අසාරි පට්ටලයක් තිබූ අතර ටෙලර් කෙනෙකුද සිටි බව පියතිස්ස මහතා පවසයි.

පුංචි කෝච්චියෙන් නුවරඑළියට

හතළිහ දශකයේ මුල් වකවානුවේ නානුඔයේ සිට නුවරඑළිය හරහා රාගල දක්වා ධාවනය වූ පුංචි කෝච්චිය ගැන අපූරු කතන්දර බොහොමයක් මීට පෙර අප පසු කර ආ 'අපේ හන්දි'වලදී අසන්නට ලැබිණි. එම කෝච්චියේ නුවරඑළියට ගිය ගමන පියතිස්ස මහතාට අද මෙන් මතකය. එසේම එකල අප්ලන්ඩ් කොම්පැණියට අයත් බස් රථවල ගාස්තු අය කර ඇති හරි අපූරු ක්‍රමයක් ගැන මෙතෙක් අප අසා නොතිබුණු කතාවක්ද ඔහු අපට පැවසුවේය. "ඒ දවස්වල නුවරඑළියට අප්ලන්ඩ් කොම්පැනියේ බස් වැඩ කළේ. බස් එකේ ඉස්සරහ ටිකේ යනවානම් සත පනහක් ගන්නවා. පිටිපස්සෙ කෑල්ලෙ යනවානම් සත විසි පහයි."

රැජිනට අත දුන්න ගම් සභාපති

උඩුපුස්සල්ලාව දුම්රිය මාර්ගය වසා දැමීමත් සමග දුම්රියෙන් භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ ප්‍රධාන මධ්‍යස්ථානය බවට නානුඔය පත් විය. එකල නුවරඑළියට අවශ්‍ය සියලුම අත්‍යවශ්‍ය භාණ්ඩ සියල්ලම දුම්රියෙන් නානුඔයට රැගෙන විත් ඉන් පසු බෙදා හැර ඇති අතර කඳුකරයේ නිෂ්පාදනය වු තේ සහ අනෙකුත් එළවළු වර්ග කොළඹට යවා ඇත්තේද නානුඔය හරහාය. එකල ලංකාවට පැමිණි බ්‍රිතාන්‍ය මහරැජින නානුඔයෙදී පිළිගත් හැටි ගැනද පියතිස්ස මහතාට ඇත්තේ අපූරු මතකයකි. "ඒ දවස්වල තිබුණෙ විලේජ් කොමිටි, ඒ කියන්නෙ ගම් සභා. රැජින ලංකාවට ආපු වේලාවේ නානුඔයට අවා. ඒ දවස්වල ගම් සභාවේ සභාපති හිටියේ ඩී.ඩී. චාර්ලිස් සිල්වා. එයා තමයි රැජිනට අතට අත දීලා පිළිගත්තේ. හම්මෝ එයාගේ ඒ වෙලාවේ තිබුණ ගාම්භීරකම!

සහජීවනයේ නගරය

නානුඔය නගරය, සියලු ජාතීන් එක්ව සහජීවනයෙන් දිවිගෙවන නගරයකි. වසර එකසිය පහළොවක පමණ ඉතිහාසයක් ඇති විහාරස්ථානයද, ඒ ආසන්නයේම හින්දු කෝවිලද, මුස්ලිම් පල්ලිය හා කතොලික දෙවස්ථානය පිහිටා ඇත්තේ නගරයේ ඇති අන්‍යොන්‍ය බැඳීම ලොවට විදිහා පාමිනි. "නානුඔයේ අපි අතර කිසිම බෙදීමක් නැහැ. අපි අතර ජාතිවාදී ආගම්වාදී හැඟීම් නැහැ. අපි සහෝදරයෝ වගේ ඔක්කොම එකට ඉන්න තැනක් තමයි නානුඔය." හන්දිය ආසන්නයේ ස්වර්ණාභරණ නිෂ්පාදනාගාරයක් පවත්වාගෙන යන හතළිස් හැවිරිදි ආර්. ධර්මෙන්ද්‍රනාත් මහතා සතුටින් පවසයි.

සත හතළිස් පහට පවුමක්

රන් ආභරණ පැලඳීම වතුකරය ආශ්‍රිතව අතීතයේ සිට දිවි ගෙවූ දෙමළ ජාතිකයින්ගේ සංස්කෘතියෙහි කැපී පෙනෙන අංගයකි. ඔවුන් තම වත්කම් ප්‍රදර්ශනය කරන්නේ තමන් සතු රන් ආභරණ ප්‍රමාණයෙනි. මේ වන විට නානුඔයෙහි ඇති එකම ස්වර්ණාභාරණ නිෂ්පාදනාගාරයට පරම්පරා ගණනක ඉතිහාසයක් තිබේ. ධර්මේන්ද්‍රනාත් මහතා එහි වත්මන් හිමිකරුය. "අපේ සීයා ඉන්දියාවේ මදුරෙයිවල ඉදලා තමයි මෙහෙට ඇවිත් තියෙන්නෙ, රත්‍රන් බඩු හදන්න. ඒ දවස්වල පවුමක් සත හතළිස් පහයිලු. අපේ තාත්තා වැඩ කරනකොට පවුමක් දෙකයි හැටයි. මට තෙරෙන කාලේ පවුමක් හයදාස් අටසීයයි. දැන් පවුමක් රුපියල් හැට අට දාහක් විතර වෙනවා.

සංචාරකයින් නොරැඳෙන නගරය

මේ වන විට නානුඔය හන්දිය ආශ්‍රිත නගරය ලොව පුරා ප්‍රසිද්ධියට පත්ව තිබුණද නගරය ඉතා සෙමින් සංවර්ධනය වන බව ධර්මේන්ද්‍රනාත්ගේ මතයයි. "ලෝකෙ ගොඩක් දෙනෙක් නානුඔය කිව්වම දන්නවා ඒ වගේම ගොඩ දෙනෙක් නානුඔයට එනවා. ඒ වුණාට මෙහේ රැඳෙන්නේ නැහැ. ටවුමට එනවා, බස් එකට නගිනවා යනවා. ටවුම දියුණු වෙන්නේ බොහොම හිමිහිට. මේ කඩ ඔක්කොම එක්කෙනෙකුට අයිති එකත් ඒකට බලපානවා. අනික ටවුම වර්ධනය වෙන්න ඉඩ නැහැ. ඒකත් ලොකු ප්‍රශනයක්. ඒකයි නානුඔය තවම මෙහෙම තියෙන්නෙ.

එකයි විසිපහට ටෙලිග්‍රෑම් බෙදුව මතකය

නානුඔය හන්දියෙදී තවත් අපූරු චරිතයක් අපට හමු විය. ඔහු නානුඔය තැපැල් නිලධාරී වශයෙන් කටයුතු කරන ආර්. කේ. නිමල් මහතායි. මම ඉස්සරලාම වැඩට ආවේ ටෙලිගෑම් බෙදන්න. ඒ දවස්වල මට පඩිය එකයි විසි පහයි. ඕ.ටී. පැයකට සත පහයි දෙන්නෙ. පස්සේ මට රුපියල් නවසිය පනහක් හම්බවුණා. එකෙන් මම ගෙවල් කුලිය එකසිය පනහක් දීලා, තුන් දෙනෙක් මාසේම ජීවත් වුණා. අසූව දශකයේ මුදලේ වටිනාකම සහි කරමින්ම නිමල් පවසයි.

ජංගම තැපැල් දුම්රිය

අද වන විට ජංගම දුරකතන භාවිතයක් සමග ලිපි හුවමාරුව තරමක් දුරට අඩුව ඇතත් රාත්‍රී තැපැල් දුම්රියක් තුළ සිදුවන, ලිපි බෙදා හැරීමේ අප නොදත් සංග්‍රාමයක් පිළිබඳව නිමල් මහතා අප සමග පැවසුවේය. "නුවරඑළියේ වගේම වැලිමඩ පැත්තෙන් එන තැපැල් මලු මං භාර අරගෙන තමයි රෑ කෝච්චියට දෙන්නෙ. කෝච්චියේ අංක තියෙනවා. ඉහළ බදුල්ල-පහළ බදුල්ල කියලා. කොළඹට යන එකයි. එහෙන් එන එකයි. මෙ කොච්චියේ දාහතර දෙනෙක් රෑට වැඩ. අපි මෙතනින් දෙන ලියුම් මලු ටික කඩලා හැටන්වලට දෙන්න ලියුම් තියෙනවා නම් එවා සීල් කරලා කෝච්චිය හැටන් යනකොට එ්වා දෙන්න ඔනේ. හැම තැනටම එහෙමයි. එ්වා ජංගම තැපැල් කාර්යාල. එහෙම තමයි රටපුරා ලියුම් බෙදන්නේ. අප නොදත් ක්‍රමවේදය කියා දෙමින් නිමල් මහතා පවසයි.

දුම්රිය නගරය

"ඉස්සර නානුඔය ටවුමේ හිටියේ දුම්රිය සේවකයෝ විතරයි. පිට අය දහ පහළොස් දෙනෙක් විතරයි ටවුමේ හිටියේ. ඒ දවස්වල හරි සීතලයි. හවසට පින්න වැටෙනවා. එළියේ ඉන්න බැහැ. නියමිත කාලෙට වහිනවා. දැන්නම් එහෙම වහින්නේ නැහැ. ඒ පින්නත් නැහැ. මේ පරිසරය ගොඩාක් විනාශ වෙලා." 1971 වර්ෂයේදී දුම්රිය ලේඛනාගාර භාරකරු වශයෙන් සේවයට පැමිණ මේ වන විට හන්දිය ආසන්නයේ දිවිගෙවන ආරියපාල මහතා පැවසුවේය.

'යූ.පී.ආර්'

යූ.පී.ආර් යනු නානුඔයේ සිට රාගල දක්වා පුංචි කෝච්චිය ගමන් කළ දුම්රිය මාර්ගය හැඳින්වූ නාමයයි. නමුත් මේ දුම්රිය මාර්ගය රාගල දක්වා පමණක් තිබූ අතර රාගල සිට කිලෝමීටර් දාහතරක් පමණ දුරින් පිහිටි උඩුපුස්සල්ලාව නගරයේ නම මෙම දුම්රිය මාර්ගයට භාවිතා කළේ ඇයිද යන ගැටලුවටද ආරියපාල මහතා පිළිතුරු දුන්නේය. ඒ දවස්වල උඩපුස්සල්ලාව පැත්තේ වතුවල තේ සහ බඩු අදින්න තමයි පුංචි කෝච්චිය දාලා තියෙන්නේ. ඒක නිසා තමයි ඒ රේල් පාරට උඩපුස්සල්ලාවට කියන නමත් පාචිච්චි කරලා තියෙන්නෙ.

ඒ අතීතය පසු කර විත් දැන් බොහෝ කල්ය. මේ වන විට නානුඔය නගරය හරහා දිවෙන මාර්ගය කාලට් අතුරා මනාව සංවර්ධනය කොට ඇති අතර හන්දිය ආශ්‍රිත ප්‍රදේශයේ නම් තවත් බොහෝ දෑ සංවර්ධනය විය යුතුය. නුවරඑළියට ඇදී එන ලක්ෂ සංඛ්‍යාත දෙස් විදෙස් සංචාරකයින්ට නගරය තුළ අවශ්‍ය පහසුකම් සැලසීමට බලධාරීන් කටයුතු කරන්නේ නම් ලෝ ප්‍රකට නානුඔය වැසියන්ගේ ජීවිතද ආලෝකමත් වනු ඇත. මොවුන්ගේ සහාජීවනයේ පණිවිඩයද ලොව පුරා රැව් පිළිරැව් දෙනු ඇත.-

[චන්දන තිලක් ද සිල්වා]

මාතෘකා