අසරණ බල්ලන් 90කට තාත්තා කෙනෙක් වූ ‘ශිරු’ගේ කතාව

 ඡායාරූපය:

අසරණ බල්ලන් 90කට තාත්තා කෙනෙක් වූ ‘ශිරු’ගේ කතාව

“අපි වගේම සත්තුත් ආදරය විඳින්න කැමතියි. ඒ වගේම කූඩු කරලා ඉන්නවට සත්තුත් කැමති නෑ. මිනිස්සු විදිහට ඇයි අපිට සත්තුන්ට ආදරය, කරුණාව දෙන්න බැරි?”

ඔහු මගෙන් විමසයි. තවත් මිනිසකුගේ දුකට, කඳුළකට සංවේදී නොවන මිනිසත්කමට අපමණ නිගරු කරන නොමිනිසුන් වෙසෙන සමාජයක ඔහුගේ පැනයට පිළිතුරක් සෙවීම මටද අසීරුය. එනමුදු ඔහු මිනිසුන්ට පමණක් නොව, සතුන්ටද සැබැවින්ම ළෙන්ගතුය. ඒ නිසාම ඔහු සුනඛයන් 90 දෙනකු තමාගේ වියදමින් පෝෂණය කරයි. ඔහු නමින් ශිරු ගමගේය. 'ශිරු' මහත්තයා නමින් ප්‍රකට ඔහු වෙසෙන්නේ පන්නිපිටිය ප්‍රදේශයේය. ඇතැමුන් අධික මුදලක් වැය කර වටිනා සුනඛයන් මිලදීගෙන උන් සුරතල් කරද්දි ශිරු පාරේ යන කාත්කවුරුත් නැති අසරණ බල්ලන් අනූදෙනකුගේ කුස පුරවමින් සුවදුක් සොයාබලමින් උන් වෙනුවෙන්ම ජීවිතය ගෙවයි.

විටෙක ඔහුගේ සරණ හිමිවන්නේ පන්සල් බිමක් ඉදිරිපිට කවුරුන් හෝ දමාගිය බලු පැටවෙකුටය. නැතහොත් නිවැසියන් විසින්ම මහමඟ අතරමංකොට ගිය ඇස්වත් ඇර නැති අහිංසක බලු පැටවුන් රොත්තකටය. එහෙමත් නැතිනම් බලු අම්මා සමඟම මහමඟ අසරණව සිටින බලු දරුවන් පිරිසකටය. ඒ අයට යළි නිවසක් දෙන්නට ශිරු මහත්මයා දෙවරක් නොසිතාම ඉදිරිපත් වේ. ඒ ආකාරයට අසරණව සිටියදී සොයාගෙන විත් නිවසට ගෙනා බලු යාළුවෝ 90ක්ම දැන් ශිරු මහතාගේ නිවසේ සාමාජිකයන් වී සිටිති.

සෑම උදෑසනකම ශිරු මහතා දවස අරඹන්නේ ඒ සුනඛ මිතුරන් සමඟය. විශාල බේසමකට ආහාර රැගෙන යන ඔහු එයින් මාවතේ සිටින බල්ලන්ගේ කුස පුරවයි. සිය වාහනයෙන් බෙල්ලන්විල විහාරය අසල මහරගම, පන්නිපිටිය වැනි බොහෝ ප්‍රදේශවල ගමන් කරමින් අසරණ බල්ලන් සොයා යමින් මෙම සත්ක්‍රියාවේ නියැලෙන ශිරු මහතාගේ රථය පැමිණෙන තෙක් දෑස් අයා බලා සිටීම දැන් ඒ බොහෝ සුනඛයන්ගේ පුරුද්දකි.

"මෙහෙම දෙයක් පටන් ගන්න හිතුණේ ඇයි?"

මගේ පැනයට ඔහුගෙන් මදහසකි. කතාව අරඹන්නේ ඉන් පසුවය.

"මම අවුරුදු ගාණක් පිටරට වැඩ කරලා ලංකාවට ආවේ 2012දි. බල්ලන්ට මම ඉස්සර ඉඳලම ආදරෙයි. ලංකාවට එනකොටත් මම රොට්වයිලට්, පොමරේනියන්, ජර්මන් ෂෙපඩ් බල්ලන් තුන්දෙනෙක්ම ගෙනාවා. එයාලාව ආදරෙන් බලාගන්න අතරේ අපේ ගේ ඉස්සරහා පාරේ ඉන්න, ගෙයක් දොරක් අයිතිකාරයෙක් නැති බල්ලන්ටත් කන්න දෙන එක මම පුරුද්දක් විදිහට කළා. ඒ අතරේ කුෂ්ඨ හැදුණු බල්ලොත් හිටියා. මම ඉතින් ඒ බල්ලන්ටත් තුන්වේලම කන්න දෙනවා. දවසක් මහ රෑක ඒ එක බල්ලෙක් මරලතෝනි දීලා කෑගහනවා මට ඇහුණා. මම ගිහින් බලනකොට පාරේ ගිය වාහනයක් බල්ලව හප්පගෙන ගිහින්. බල්ලා විඳින දුක දැක්කම මට ගොඩක් දුක හිතුණා. මම බල්ලව ගෙදර ගෙනිහින් සාත්තු කළා. එයා ඉක්මනටම සනීප වුණා. ඒත් මට එයාව ආපහු පාරට යවන්න හිතුණෙත් නැහැ. එයා ගියෙත් නෑ. අන්තිමට එයා අපේ ගෙදර හිටපු අර වටිනා බල්ලන්ගේ වගේම මගෙත් හොඳ හිතවතෙක් වුණා. ඒ සිද්ධියෙන් පස්සේ මට හිතුණ දෙයක් තමයි මිනිස්සු සල්ලි ගොඩාක් වියදම් කරලා වටිනා බල්ලෝ අරගෙන එයාලට ඉහළම සැප දීලා හදා ගන්නවා තමයි, ඒත් කන්න වේලක්වත් නැතුව පාරේ අසරණ වෙලා ඉන්න බල්ලන් වෙනුවෙන් කවුද පිහිටක් වෙන්නේ කියන දේ. ඒ අදහසින් තමයි මම මෙහෙම අසරණ බල්ලන්ට කන්න දෙන්න පටන් ගත්තේ"ශිරු මහතාගේ එසේ ඇරඹි සුනඛ සත්කාරයට කෑම පමණක් අයත් නොවේ. ඔහු තමා ළඟ සිටින සෑම සුනඛයකුටම අවශ්‍ය එන්නත්, බෙහෙත්, විටමින් සහ වෙනත් වෛද්‍ය ප්‍රතිකාරද කලට වේලාවට ලබාදෙයි. එය සුළුපටු සත්කාර්යයක් නොවේ. දිනකට බල්ලන් හත්අට දෙනකු හෝ ශිරු මහතා සියතින්ම නහවයි. මූලිකම රාජකාරිය හැමදාම ශිරු මහතාට බලු දරුවන් 90 දෙනකුගේ බඩකට පුරවන්නට සිදුවීමය. ඒ සඳහා තම හිතමිතුරන්ගෙන්ද උපකාර ලැබෙන බව ශිරු මහතා සිහිකළේ කෘතඥපූර්වකවය.

"හැම දවසකම අපේ ගෙදර කිලෝ විස්සක බත් මුට්ටියක් බල්ලෝ වෙනුවෙන්ම උයනවා. ගෙදර ඉන්න බල්ලන්ට වගේම පාරේ ඉන්න බල්ලෝ තිස්පහකට විතර එයින් කෑම ලැබෙනවා. මේක නිකම් බතක් නෙවෙයි. පෝෂණීය බතක්. රතු හාලේ මේ බතට මම මාළු කිලෝ විස්සක්, බිත්තර සීයක්, වට්ටක්කා සහ පීකුදු එකතු කරලා හොඳට කලවම් කරලා තම්බනවා. මේ බත් එකට බල්ලෝ හරිම කැමතියි. ඒ වගේම මේ එක වේලක් එයාලට දවසටම ප්‍රමාණවත් වෙනවා. සාමාන්‍යයෙන් උදේ හොඳට කුස පිරුණට පස්සේ බල්ලෙකුට ආයෙත් කෑම වේලක් අවශ්‍ය වන්නේ නැහැ. අපි ආහාරවේල් කීයක් දුන්නත් බල්ලො පෙරේතකමට කනවා තමයි. නමුත් එහෙම වැඩිපුර කෑම දීමෙන් දිරවා ගැනීමේ අපහසුතා ඇතිවෙලා එයාලා ලෙඩවෙනවා."

ශිරු මහතා විශේෂ බලු බත ගැන කීවේ එලෙසිනි. දරුවන්ට සේ බල්ලන්ට ආදරය කරන ඔහු බල්ලන් කූඩු කරනවාට, දම්වැල්වලින් බැඳ තබනවාට කැමති නැත. ඔහු හදාවඩා ගන්නා සෑම බල්ලෙක්ම ඔහුගේ නිවසේ, ගෙවත්තේ නිදහසේ ජීවත් වෙයි. රාත්‍රී කාලයේදී ඒ සෑම බල්ලෙකුම නිදාගන්නේද ශිරු මහතාගේ නිවස තුළය.

“හැම රැයකම බල්ලෝ හතක් අටක් මගේ ඇඳේ නිදාගන්නවාම තමයි. අපිත් සැප පහසුවට මෙට්ටයක නිදාගන්න ආසයි වගේම මේ බල්ලොත් මෙට්ටයක නිදාගන්න ආස ඇති. සමහරු අහනවා මෙච්චර බල්ලෝ ඉන්නකොට උන් රණ්ඩු වෙන්නේ නැද්ද කියලා. පුදුමේ කියන්නේ කවුරුවත් රණ්ඩු වෙන්නේ නැහැ. මම හිතන්නේ රණ්ඩු වෙන්නේ, දරුණු වෙන්නේ බැඳලා කූඩු කරලා ඉන්නකොට කියලයි. එමෙම නැතිව නිදහසේ ඉන්නකොට ඒගොල්ලොත් හරිම නිදහසේ සාමකාමීව ඉන්නවා. හැබැයි මෙතන මිනිස්සු අනූ දෙනෙක් හිටියොත් නම් රණ්ඩු ගොඩක් තියේවි කියලා මට හිතෙනවා. ඒ තරමටම මිනිස්සුන්ට වඩා මේ බල්ලෝ හොඳයි. මේ හැමෝටම මම නමක් දාලා තියෙනවා. නමුත් මේ හැම එක්කෙනෙකුටම මම කතාකරන පොදු නම් දෙකක් තියෙනවා. ඒ තමයි “බබා” සහ “පුතා". ඇත්තටම මේ හැම බල්ලෙක්ම මට දරුවෙක් වගේ. වෙලාවකට මෙයාලා හරිම දඟයි. ඒ වගේම තමයි හුරතලේ. හැබැයි මම බබා හරි පුතා හරි කියලා ටිකක් හයියෙන් කතා කරපු ගමන් ඒ දඟ සේරම ඉවරයි. ඒ අතින් මෙයාලා හරිම කීකරුයි. ඒත් ඒ කීකරුකම ඇවිත් තියෙන්නේ මම දක්වන ආදරෙත් එකක්. ආදරෙන් මිසක් සැරවැර කරලා සතෙක්වත් හදන්න බැහැ. ගොඩක් මිනිස්සු තේරුම් නොගන්න ඇත්ත ඒකයි"

ශිරු මහතාගේ කතාව හැඟීම්බරය. එහි තැවරී ඇත්තේ මිනිසත්කමේ ගුණ සුවඳයි. එහෙත් බොහෝ විට ශිරු මහතාට ලැබෙන්නේ මල් හා පැසසුම් නම් නොවේ. ගල් සහ අපවාදය. ඒ ගැන ඔහුගේ සිතේ වේදනාවක්, කලකිරීමක් නැතුවා නොවේ.

“ගොඩක් අය මම කරන මේ දේට කැමති නැහැ. බල්ලන්ට කන්න බොන්න දෙනවා, සලකනවා කියලා මට බණිනවා. විහිළු කරනවා. අපේ ගෙදර බල්ලෝ තියාගෙන ඉන්නවා කියලා මට විරුද්ධව පෙත්සම් පවා ගහලා තියෙනවා. වෙලාවකට මේ බල්ලන්ගේ කෑගැසීම කරදයක් තමයි. නමුත් මේ මම හදාගත්ත බල්ලෝ නෙවෙයි. පාරේ හිටපු කාත් කවුරුවත් නැති අසරණ අහිංසක බල්ලෝ. ඒ බල්ලන්ට එන්නත් කරන්න, උන්ට කන්න දෙන්න, බෙහෙත් දෙන්න මට අයිතියක් නැහැ. මම කරන්නේ වරදක් නම් මාව උසාවි අරගෙන යනවාට වඩා මේ සතුන්ව මහ පාරට ගෙනත් දාපු අයව හොයලා උසාවි ගෙනියන්න කියලයි මම කියන්නේ. මේ අහිංසක සතුන් පව් නේද? ගල් මුල්, නින්දා අපහාස වගේම මම කරන දේ අගය කරන අයත් නැතුව නෙවෙයි. මම දන්න එක්තරා මහත්මයෙක් පර්චස් පනහක ඉඩමක් මේ සතුන් වෙනුවෙන් මට ලබා දීලා තියෙනවා. ඒකේ තාප්පෙ බැඳලා පොඩි ගේ කෑල්ලක් හදාගන්න ඕනේ. නමුත් ඒකට සෑහෙන මුදලක් වැය වෙනවා. ඒ හැමදේම කොහොම හරි කරගන්න ඕනේ. මේ අහිංසක සතුන්ව ආයෙත් මහ පාරට දාන්න මට බැහැ."

ශිරු මහතා පවසන්නේ දරුවන්ගේ වගකීම තම කරමතට ගත් පියකු සේ හැඟීම්බරවය.

"මේ බල්ලෝ කරදරයක් කියලා මම කිසිම වෙලාවක හිතන්නේ නැහැ. සමහර අය බල්ලෝ මගෙන් අරගෙන යනවා හදාගන්න. මම එයාලට සතාව බාරදෙනකොට අනිවාර්යයෙන්ම කියන දෙයක් තියෙනවා. ඒ තමයි මම සතාව දෙන්නේ මට එයාව හදාගන්න බැරි නිසා නෙවෙයි. මෙතැන සත්තු 90ක් අතරේ ඉන්නවට වඩා ගෙදරක තනි සතෙක් විදිහට එයාට ඊට වඩා හොඳ ජීවිතයක් ලැබෙයි කියන බලාපොරොත්තුවෙන්. ඒ නිසා සතාට හිරිහැරයක් වෙනවා කියලා දැනගත්තොත් මම අනිවාර්යයෙන්ම ඔහුව නැවත මගෙ ළඟට අරගෙන එනවා කියලා මම ඔවුන්ට කියනවා. ඒ වගේම මම එහෙම සත්තු අරගෙන ගිය ගෙවල්වලට නොකියා ගිහිල්ලා ඔහු ඉන්නේ කොහොමද කියලා හොයාලා බලනවා. එහෙම ගිය සමහර අවස්ථාවල මට ඒ ගැන සෑහීමකට පත්වෙන්න බැරි අවස්ථා තිබුණා. එහෙම වුණාම මම ආපහු සතාව අරගෙන එනවා. එහෙම ආපහු ගෙනාව බල්ලෝ කීපදෙනෙක්ම ඉන්නවා."

විටෙක ශිරුගේ ජීවිත දර්ශනය මිනිස්කමින් ඔබ්බට ගිය එකකැයි සිතේ. ඒ තිරිසනුන් වෙනුවෙන් මේ තරම් මෘදු විය හැකි කරදර ඉවසිය හැකි කැපවිය හැකි විසල් හදවතක් ඔහු සතුව තිබෙන නිසාය. ඡායාරූප ශිල්පියකු ලෙස වසර විස්සකට වැඩි කාලයක් විදේශගතව සේවය කර ඇති ඔහු බොහෝ රටවල්වල සංචාරය කර ඇති පුද්ගලයෙකි. මේ වන විට 56 වැනි වියේ පසුවන ශිරු මහතා උදෑසන හයට අවදිවී බල්ලන්ගේ කෑම පිළියෙළ කරයි. උන්ට කෑම වේල දී අනෙක් සාත්තු සප්පායම්වලට කාලය ගත කරන ඔහු සෑම දිනකටම තෙවරක් මුළු නිවසම සෝදා පිරිසුදු කරන්නටද අමතක නොකරයි. එක් දිනක්වත් නිවසින් පිට ගත කරන්නට තමාට සිත් නොදෙන්නේ දරුවන් බඳු බල්ලන් නිසා බව ඔහු පවසන්නේ හැඟීම්බරවය.

"මම ගේට්ටුවෙන් එළියට යනකොට ඒ හැම කෙනාගේම ඇස්වල තියෙනේනේ ලොකු දුකක්. ඒ වගේම මම ගමනක් ගිහින් එනකොට, මගේ වාහනේ හෝන් එක ඇහෙද්දි එයාලා මාව පිළිගන්නේ පුදුම ආදරේකින්. සතුටකින්. මම මේ හැම දෙයක්ම කරන්නේ හරිම සතුටින්. ඒ සතුට මට කවදාවත් සල්ලිවලට ගන්න බැහැ."

ඒ සතුට සැනසීම ඔබත් විඳින්නට කැමති නම් ඒ අසරණ සතුන්ට කෑම වේලකින් හෝ දායක වන්නට ඔබටත් අවස්ථාව තිබේ. ඔබේ හෝ පවුලේ කිසිවකුගේ උපන් දිනයක්, සංවත්සරයක් ආදී උත්සවයක් වෙනුවෙන් ශිරු මහතාගේ බල්ලන් වෙනුවෙන් එක් කෑම වේලක් ලබාදීමට දායක විය හැකි නම් එය ඔබටද සැනසුමක් වනු ඇත. එමෙන්ම එක්තරා මහත්මයකු විසින් ශිරු වෙත පරිත්‍යාග කරනු ලැබ ඇති ඉඩමේ බල්ලන් වෙනුවෙන් නිවසක් ඉදිකර ගැනීමට මූල්‍යමය දායකත්වය ලබාදිය හැකි නම් එයද මහඟු පුණ්‍යකර්මයක් වනු ඇත. ඒ සඳහා 071 0114401 යන දුරකථන අංකයෙන් ශිරු මහතා ඇමතිය හැකිය.

"මට තව අවුරුදු 10ක් ජීවත් වෙන්න තිබුණා නම් හොඳටම ඇති. මොකද ඒ වෙද්දි මම ළඟ ඉන්න බල්ලෝ සේරමලාගේ ආයුෂ අවසන් වෙනවා. මම කැමති නැහැ මේ බල්ලන්ට කවුරුත් බණිනවට, ගහනවට. ඒක මට ලොකු වේදනාවක්. ඒ නිසා මෙයාලා ජීවත් වෙනකල් මම ජීවත් වෙන්න ඕන."

ඒ ශිරු මහතාගේ අවසන් පැතුමයි. ඉඩකඩම්, දේපළ වෙනුවෙන් ගහමරා ගන්නා මිනිසුන් සිටින සමාජයක බල්ලන් වෙනුවෙන් ජීවිතය කැප කළ මෙවැනි මිනිසුන්ට ගරු සම්මාන හිමි නොවූවද මිනිසත්කම හඳුනන අතලොස්සකගේ ආශිර්වාදය වුවත් විසල් ශක්තියක්ම වනු ඇත.

[සුරේකා නිල්මිණි ඉලංගකෝන්]

මාතෘකා