කාන්තාවන්ට අපායක් මවන පොදු ප්‍රවාහනයේ පුරුෂාධිපත්‍යය

 ඡායාරූපය:

කාන්තාවන්ට අපායක් මවන පොදු ප්‍රවාහනයේ පුරුෂාධිපත්‍යය

“ඒක මතක් වෙනකොටත් අප්පිරියා හිතෙන සිදුවීමක්. ඒ දවස්වල මම ඉස්කෝලේ 12 පන්තියේ. අපි ඉස්කෝලේ ගියේ කෝච්චියේ. ඒ වෙලාවට ගොඩාක් සෙනඟ. අපි හිටපු පෙට්ටියෙත් පොල් පටවලා වගේ සෙනඟ හිටියා. ඒ අතර හිටපු මනුස්සයෙක් මගේ ඇඟට ඕනවට වඩා තද වෙනවා මට දැනුණා. කීප වතාවක් හැරිලා රවලා බැලුවත් මිනිහා ගණන් ගත්තේ නෑ. කරන්න දේකුත් නෑ. කේන්තියේ ඉවරෙකුත් නෑ. ගවුම් සාක්කුවේ තිබ්බ පෑන අමාරුවෙන් අරගෙන මම මිනිහට ඇන්නා. මිනිහා කෑ ගහලා රවලා දෙමටගොඩින් බැහැලා ගියා.”

ඈ දැන් බැංකු නිලධාරිනියකි. පොදු ප්‍රවාහන සේවය භාවිත කරන අති මහත් ප්‍රමාණයක් කතුන් අරබයා මෙවන් කතා අපමණවත් තිබේ.

ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගෙන් 90%ක් පොදු ප්‍රවාහනයේදී ලිංගික අතවරවලට ලක්වන බව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) පැවැත්වූ සමීක්ෂණයකින් හෙළිවී තිබේ.

එහෙත් ඒ අතරින් පොලිසියේ සහාය පතන්නේ අතවරයට ලක්වන කාන්තාවන්ගෙන් 4%කට ආසන්න පිරිසක් පමණක් බව එම දීපව්‍යාප්ත සමීක්ෂණයේදී හෙළි විය.

වින්දිතයා මෙන්ම ඒ අසල සිටින පුද්ගලයන්ද කාන්තාවන්ට එරෙහිව සිදුවන ලිංගික අතවර සම්බන්ධයෙන් ඉදිරිපත් වීමේ අවශ්‍යතාවද එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධාරණය කරයි.

බස් රථයක ගමන් ගන්නා කාන්තාවකට ලිංගික අතවර කරන පුද්ගලයකුගේ සේයා රූ කිහිපයක් සමාජ ජාල තුළ මේ දිනවල සැරිසරමින් තිබේ. කාන්තාව සාරියකින් සැරසී සිටින අතර එකී ඇඳුමින් අනෙකා පොලඹවන්නට කිසිඳු රුකුලක් නොදේ. ඇඳුම නිසා කාන්තාව පොදු ප්‍රවාහනයේදී පීඩාවට පත්වනවාය යන ‘ජනප්‍රිය මිථ්‍යාව’ එයින් බිඳ වැටේ. සහමුලින්ම මෙය පිළිකුල්සහගත නොහික්මවීමක් මිස වෙනකක් නොවේ.

අදාළ පුද්ගලයාගේ ක්‍රියාවට එරෙහිව දැඩි විවේචන සමාජ ජාල තුළ එල්ලවී තිබේ.

රුවනි දෙල්ගහගොඩ, මුහුණුපොත ඔස්සේ අදහස් දක්වමින් පවසන්නේ මෙවැන්නකි.

“කොටට ඇඳන් ගියාම, ඇඟ පේන්න ඇඳන් ගියාම පිරිමි ඇවිස්සෙනවා කියල කියන අයියල මල්ලිලා මේකට මොකද කියන්නේ?”

“පිරිමියෙක් වුණාම පුළුවන් වෙන්න ඕනේ, කාන්තාවක් නිරුවතින් පාරේ ගියත් අපේ මනස යහපත් ලෙස හදාගන්න."

වරක් ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර එහෙම පැවසීය .

ඔහු වැඩිදුරටත් මෙසේද කීය.

“හැම වෙලාවෙම කියන්නේ මේක කාන්තාවගේ වරද කියලා. එයා ඇන්දේ මෙහෙමයි. එයා අපි දිහා බැලුවේ මෙහෙමයි. ඒක අපේ ඔක්කොම පිරිමින්ගේ තියෙන නිදහසට කාරණාවක්. ඒක අපි අයින් කර ගත යුතුයි.'

මේ බව ඔහු පැවසුවේ කාන්තාවන්ට හා ගැහැනු ළමයින්ට එරෙහි ප්‍රචණ්ඩත්වය අවසන් කිරීමේ අවශ්‍යතාව පිළිබඳව පාසල් ළමයින් 100කට වැඩි පිරිසක් දැනුවත් කිරීම පිණිස අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවට 2017 වසරේ එක් වෙමිනි.

සාමාන්‍යයෙන් ඕනෑම දෙයක් 'වැරදි' තැනකින් අල්ලා ගැනීම අපේ රටේ බොහෝ දෙනකුගේ ස්වභාවයයි. ප්‍රශ්නවලට විසඳුම් දීමේදීද තත්ත්වය එහෙමය.

එනයින් ගත්කල බොහෝ දෙනකුට තිබෙන ප්‍රශ්නය ‘කාන්තාවන් හිංසනයට පත් වන්නේ අඳින ඇඳුම නිසා’ කියන කතාවය .

“යම් කෙනකු අඳින ඇඳුමෙන් හෝ බාහිර ස්වරූපයෙන් ඔවුන් පිළිබඳව විනිශ්චය කිරීම යෝග්‍ය ක්‍රියාවක් නෙවේ. ලසිත් මාලිංග, කොණ්ඩේ පාට කරලා, කරාබුවක් දාලා හිටියා කියලා එයා ඇවිල්ල මැරයෙක්වත් චණ්ඩියෙක්වත් නෙවෙයි. හොඳ අධ්‍යාපනයක් තියෙන, හොඳ දැනුමක් තියෙන කෙනෙක්.” යැයි මහේල ජයවර්ධන කීවේය.

පොදු ප්‍රවාහනයේදී කාන්තාව මුහුණ දෙන අනේකවිද අතවර පිළිබඳව බොහෝ දෙනා නිහඬය. විශේෂයෙන්ම ඊට මුහුණදෙන කාන්තාවන් පවා නිහඬය.

“එහෙම වෙන්න හේතු තියෙනවා. මේ රටේ මිනිස්සු ගොඩාක් දේවල් දිහා බලන්නේ නුහුරට. සෙක්ස්, ලව් වගේ වචනෙට පවා සමහරු ගැස්සෙනවා. මේක ආදරෙයි කියලා කියන වචනෙ පවා අවලං වචනයක් විදිහට දකින සමාජයක්.”

සරසවි සිසුවියක වන නිරාශා එහෙම කීවාය.

“පාලනය වෙන්න ඕනි හිත මිසක් අනෙක් උන්ගෙ ඇඳුම නෙවෙයි. එහෙනම් හැම පිරිමියම ඔහොම වෙන්න එපැයි. පාඩුවේ ඉන්න මිනිස්සු කොච්චර ඉන්නවද?"

රුවනි දෙල්ගහගොඩ පවසන්නීය.

පසුගියදා කොළඹදී පැවැති “ඇය සුරැකි ගමනකද?” යන ප්‍රදර්ශනයේදී බොහෝ කාරණා සමාජයට හෙළිදරව් විය. “අපේ හඬ අවදි කරමු, මැදිහත් වෙමු, අපම වෙනස නිර්මාණය කරමු’” යන මාතෘකාව යටතේ මෙම ප්‍රදර්ශනය පැවැත්විණි.

පොදු ප්‍රවාහන සේවයන්හි ලිංගික හිංසනයන්ට ලක්වූ තවත් තරුණියන් 15 දෙනෙක් තමන් මුහුණ දුන් සිදුවීම් ප්‍රසිද්ධියට පත් කළහ .

ඒ සියලු කතා බෙහෙවින්ම සංවාදශීලී වූ අතර ඇතැම් ඒවා අතිශය සංවේදී විය. විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක වූ ශියාලිනි ජනාර්තරන් කී කතාව බොහෝ දෙනකුගේ අවධානයට ලක්විය යුත්තකි .

"මගේ කලව ප්‍රදේශය ස්පර්ශ කළා, මම කම්පනයට පත් වුණා, මට හොඳටම කේන්ති ගියා. මම ඇහුව මොනවාද තමුසේ කරන්නේ කියලා. ඔහු සොරි කිව්වා. මම මගේ වතුර බෝතලෙන් ඔහුට ගැහුවා. බස් එකේ හිටපු කවුරුත් මොකුත් කිව්වේ නැහැ. නිකන් බලන් හිටියා. මට ලොකු බයක් තිබුණා මේ සිදුවීම ගැන මගේ දෙමව්පියන්ට කිව්වොත් ගමන් යන්නට තියෙන මගේ නිදහස නැති වෙයි කියලා. නමුත් දින ගණනාවකට පස්සේ මගේ දෙමව්පියන්ට මම කිව්වා මට සිදුවුණු දේ. ඒගොල්ලො මම දක්වපු ප්‍රතිචාරය ගැන ආඩම්බර වුණා."

ශියාලිනි ජනාර්තරන් බීබීසි සිංහල සේවයට අදහස් දක්වමින් කියා සිටියාය.

“නමුත් මම දන්නවා ගොඩක් දෙමළ සහ මුස්ලිම් ගෙවල්වලින් ලැබෙන්නේ එවැනි ප්‍රතිචාරයක් නෙවෙයි කියලා. මම කැමතියි මේවා ගැන අපි එළිපිටම කතා කරනවා නම්. ඔවුන්ගේ පුතාලා වගේම දුවලාටත් කියන්න මේක වෙනවා කියලා සහ ඊට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග ගැන.” ඇය පැවසුවාය.

පොදු ප්‍රවාහනයේදී කාන්තාවන්ට එරෙහිව සිදුවන ලිංගික හිංසනය පිළිබඳව සමීක්ෂණ වාර්තාවක් එළිදැක්වූ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල, එම වාර්තාව ප්‍රකාරව ලිංගික හිංසනය යනු ශ්‍රී ලංකාවේ දඬුවම් ලැබෙන අපරාධයක් බව සමීක්ෂණයකට සහභාගිවූවන්ගෙන් අඩකට වැඩි පිරිසක් නොදැන සිටි බව පවසයි.

එම සමීක්ෂණ වාර්තාව ප්‍රකාර, ලිංගික හිංසන වරදට දඬුවමක් තිබෙන බව සමීක්ෂණයට සහභාගිවූ 2,500 දෙනාගෙන් 60%ක්ම නොදැන සිටියහ.

ලිංගික පහරදීම අර්ථ දක්වා ඇත්තේ, “අකමැත්තෙන් හෝ අවසරයකින් තොරව, කැමැත්ත ඉවත් කරගත් අවස්ථාවක යමකු බලහත්කාරයෙන් හෝ රවටා, ලිංගික ක්‍රියාවකට එක් කර ගැනීම” යනුවෙනි. කාමුක ලෙස බලා ඉඟි කිරීම හෝ කාමුක අදහස් පළ කිරීම වැනි ලිංගිකත්වය හා සම්බන්ධ අනවශ්‍ය හැසිරීම් රටාවන් ලිංගික හිංසනය යටතට ගැනේ.

“කිසිම පුරවැසියකු වර්ගය, ආගම, භාෂාව, කුලය, ස්ත්‍රී පුරුෂ භේදය, දේශපාලන මතය හෝ උපන් ස්ථානය යන හේතු මත හෝ වෙනස්කමකට හෝ විශේෂයකට භාජන නොවිය යුත්තේය.” යන වගන්තිය මෙරට ව්‍යවස්ථාවේ වෙතත් ඒ වග දන්නා අය සහ තකන අය අඩුය.

පොදු ප්‍රවාහන සේවාවලදී කාන්තාවන්ට සිදුවන ලිංගික හිරිහැරවලින් 74%ක් සිතාමතා ශරීර කොටසක් ස්පර්ශ කිරීමේ අවස්ථා වන අතර 52%ක් වෙනත් පුද්ගලයකුගේ ශරීරයේ තමන්ගේ ලිංගික අවයවයන් ස්පර්ශ කීරීමේ අවස්ථා බවත් සමීක්ෂණ වාර්තාවේ දැක්වේ.

එමතු නොව පොදු ප්‍රවාහන සේවාවලදී කිසිවකු ලිංගික හිංසනයට ලක්වන ආකාරය තමන් දැක තිබෙන බව සමීක්ෂණයට සහභාගිවූ පිරිසෙන් 82%ක් පැවසූහ.

“මෙහෙම දේවල් වෙනවා දකිනකොට සමහරු අහක බලාගෙන ඉන්නවා. සමහරු අපි පිටම වරද පටවනවා.”

මේ ලිංගික හිංසනය කෝච්චි පෙට්ටියෙන්, බස් රියෙන් ඔබ්බට ගොස් තිබේ. මාධ්‍ය ආයතන තුළ ,සරසවි තුළ, රැකියා ස්ථාන තුළ සේම නීතිය හා සාමය රකින පොලිසියේද කාන්තාවන්ගේ තත්ත්වය වේදනාබර බව නොකියාම බැරිය.

අවසන් වශයෙන් එක් කාන්තාවක් කී කතාවකින් මේ සටහන ඉදිරි දිගුවකට ඉඩ තබමි.

“මා හිතන්නේ ලංකාවේ හැම ගැහැනියක්ම වචනෙකින් හරි පිරිමින්ගෙන් හිරිහැරයට ලක් වෙලා තියෙනවා කියලායි. සමහරු ලැජ්ජාව නිසා කියන්නේ නෑ.”

සැබවින්ම ඇය කී කතාව 100%ක්ම සත්‍යයකි.

[නදිතා සිංහබාහු]

මාතෘකා