පිස්සුවෙන් වගේ අපිරිසුදු වෙමු

 ඡායාරූපය:

පිස්සුවෙන් වගේ අපිරිසුදු වෙමු

ඇගේ සුසුම් හඬ අසමින්, සලිත් සුලොචනාගේ වමත තම දකුණතින් අල්ලාගෙන කඳු මුදුනටම නැංගේය. සුලෝචනාගේ කාමරයේ දොර වසා තිබිණි. කොහේදෝ සිට අහසට ආ සඳක්; එක සමාන කෙටි මං ඇති නිවාස යෝජනා ක්‍රමයකට රාත්‍රියේ ඇතුළු වී ආතබූත වූ නැනෝ ටැක්සියක් සේ, ඔහේ එළිය දල්වාගෙන සිටියේය. තමන් අර නෙල්ලි කොළ ගොඩේ දඟලද්දී නොතිබූ සඳක් දැන් කඩා පාත් වූයේ කෙසේදැයි සලිත් ද කල්පනා කළේය. එහෙත් සැබවින් ම සඳ පායා තිබිණි.

එහා කෙළවරෙන් ඇසුණේ සුලෝචනාගේ කටහඬ නොව ඉකි හඬය.

``සු.. ඇයි රත්තරන් අඬන්නේ.. උන් ඔයාට කරදරයක් කළාද? කියන්න මැණික..``

ඊළඟට, ඉකි හඬ මැදින් කට හඬ ඇසිණි.

``නෑ සලිත්. මට කරදරයක් නෑ.. ඔයා කොහෙද?``

``කරදරයක් නැත්තං ඇයි ඔයා අඬන්නේ..?``

``ඔයා කොහෙද සලිත්..?``

``මං මේ මෙතන.. පල්ලෙහා..``

``දැන් එනවද ඔයා මාව බලන්න..``

``එනව කෙල්ලෙ එනවා.. මොකා හිටියත් මම එනවා..``

සලිත් එසේ කියමින්, වම් කකුල අද්දමින්, තාප්පයේ සිදුර දෙසට ඇවිදින්නට පටන් ගත්තේය. අතේ, වීදුරු කටුවට කැපුණු තැන, ලේ කැටි ගැසී ඇත. ඒවා වෛරෝඩි මෙන් අන්ධකාරයේ දිළිසෙයි.

``කියන්න සු.. උන් ඔයාට කරදරයක් කළාද ?``

``උන් ? කවුද උන් ?``

``අර ආව උන්.. මම උන්ව දැක්කා.. අරූ බයික් එකේ ආවෙ.. අනිත් උන් ජීප් එකේ ආවෙ.. උන් ෆේල් සුලෝචනා.. උන් ෆේල්. දැන් ගේම් ඔන්.. කළු ජැකට්කාරයා.. බ්ලැක් මොලී.. ඌ තියුණු ඔත්තුකාරයෙක් නෙමෙයි.. දැන් ෆයිට් එක පටන් ගත්ත සු.. මතක තියාගන්න.. උන් ෆයිට් කරන්නෙ රස්සාවට.. අපි ෆයිට් කරන්නෙ මිනිස් නිදහස වෙනුවෙන්.. පොඩ්ඩක් ඉන්න මම එනවා.. ඉක්මනට එනවා..``

කැපුණු වමතින් ජංගම දුරකථනය කනේ තබාගෙන, නොකැපුණු දකුණත මිට මොළවාගෙන, සලිත් තාප්පය තරණය කළේය. සුලෝචනා ඉකි ගැසීම නවතා, නාසය වරක් උඩට ඇද, අලුත් ශක්තියක් ලැබූවකු මෙන් කතා කළාය.

``ඉන්න.. මම එන්නං ඔයාව එක්කං යන්න..``

ඇමතුම විසන්ධි විය.

සලිත් තරප්පු පෙළ වෙත පිවිසිණි. සිමෙන්ති අත්වාරුව අල්ලාගෙන ඔහු පඩියෙන් පඩිය නඟින්නට පටන් ගත්තේය. එකමත් එක දවසක, දිස්ත්‍රික් අධ්‍යාපන වැඩමුළුවකදී, එක් සහෝදරයෙක්, එවකට සලිත් සිටි පක්ෂයේ අධ්‍යාපන ලේකම්වරයාගෙන් ප්‍රශ්නයක් ඇසූ හැටිත් ඊට ලැබුණු පිළිතුරත් සලිත්ට සිහිපත් වූයේ මේ නැග්මේදීය.

``සහෝදරයා.. සෝවියට් සමාජවාදී රාජ්‍යය බිඳ වැටුණෙ ඇයි.. මොකද්ද ඒකෙ න්‍යායික පදනම ?``

``න්‍යායිකව තේරුම් ගන්නවට වඩා ඒක උදාහරණයකින් තේරුම් ගන්න එක පහසුයි.. ධනවාදය කියන පන්ති සමාජයේ ඉඳන්, කොමියුනිස්ට්වාදය කියන පන්ති රහිත සමාජයට යන සංක්‍රමණීය අවධිය තමයි සමාජවාදය. ඒක හරියට කඳු පාමුල ඉඳන් කඳු මුදුනට වාහනයකින් යනව වගේ ගමනක්. ඉතින්, මේ යන වාහනයේ එන්ජින් ධාරිතාව.. ඉන්ධන ප්‍රමාණය.. කාර්මික දෝෂ ඇතිවීමේ සම්භාවිතාව වගේම රියදුරාගේ ස්වභාවයත් වාහනයේ ගමනට බලපාන්න පුළුවන්. රුසියාව බිඳ වැටුනා තමයි.. ඒත් එක වාහනයක් පල්ලමේ පාතට ආව කියන්නෙ, අර කිව්ව දෝෂ වළක්වගන්න පුළුවන්කම තියෙන වෙන වාහනේකට කඳු මුදුනට යන්න බැහැයි කියන එක නෙමෙයි..``

``ඇත්ත. ඇත්ත. අරගල එහෙම තමයි. පසු බැසීම සහ යළි නැගීම. බ්ලැක් මොලී.. දැන් මම හැංගෙන්නෙ නෑ.. මම දන්නව උඹ ආපහු එනව කියල.. වරෙන්.. මේ පාර මම ලැස්ති පිට ඉන්නම්..``

නිරුවත් දෙපතුල්වලින්, සිමෙන්ති පඩි මත ඇති දූවිලි සේල හැඩි කරමින්, සලිත් පඩිපෙළ නඟින්නට වන්නේ, කොමියුනිස්ට් ශිඛරය වෙත අචංචලව ළඟා වෙන කොම්රේඩ්වරයකු ලෙසිණි.

``සර් ආපහු ඉස්කෝලෙට එන්න.. අපි උද්ඝෝෂණයක් ලැස්ති කරන්නම්``

දේශපාලන සහ ආගමික පළිගැනීමට ලක් වූ ගුරුවරයා වෙත සලිත් පැවසුවේය. පඩියෙන් පඩිය ඉදිරියට යන දෙපයට සමාන්තරව, අඩියෙන් අඩිය අතීතයට ගියේ හදවතය.

``එපා සහෝදරයා.. අපේ සටන තියෙන්නෙ ඔය සංස්ථාපිත ගෝත්‍රික කඳවුරුවල නෙමෙයි එළියේ.. අපි ඔය වගේ සටන්වලට කාලය ශ්‍රමය නාස්ති කිරීම අපරාධයක්.``

ඒ ප්‍රබුද්ධ දැක්ම, සලිත්ලාගේ හදවත් උණුසුම් කළේය. දේවල් දෙස ළදරු ඇසින් නොබලා, පරිණත දේශපාලන ඇසකින් බැලිය යුතුය යන්න වඩ වාඩත් ඒත්තු ගන්වන්නට ඒ වචන සමත් වූයේය. පාසලේ උපාලි සර්, පක්ෂයේදී ජයනෙත්ති සහෝදරයා සේ හමුවූවද ඒ `සර් කෑල්ල` හලාගැනීමට සලිත්ට නොහැකි විය. එය නිල වශයෙන් ඉවත් කර ගැනීමට සිදු වූයේ, උපාලි සර් ද සිටි ආසන සංවිධාන කමිටුවක, සලිත්ට හිඳ ගැනීමට අවස්ථාවක් ලද විටය. කමිටු සාමාජිකයා පළමුව ස්වයං විවේචනය කළ යුතුය. දෙවනුව අන් අයගේ විවේචන භාරගත යුතුය. සමාන කමිටු සාමාජිකයෙක්ව සිටියදී, සලිත් පළමු වරට උපාලි සර්ට සහෝදරයා යනුවෙන් ආමන්ත්‍රණය කළේ එවන් විවේචනයක් ඉදිරිපත් කරන විටදීය. ජයනෙත්ති සහෝදරයා ඒ ආමන්ත්‍රණයට කැමති වී ද නැද්ද යන්න ඔහුගේ මුහුණෙන් පිළිබිඹු වූයේ නැත.

එකල ද සලිත්ගේ කවි පත්තරවල පළ විය. `කවි ලියන සහෝදරයා` ලෙස ඔහු දිස්ත්‍රික්කයේ කාඩර්වරුන් වරියන් අතර ප්‍රසිද්ධ විය. විශේෂයෙන්ම පක්ෂයේ සහෝදරියන් අතරේ සලිත් තරුවක් වන්නට පටන් ගත්තේය. කාන්තා සංගමයේ අධ්‍යාපන වැඩවල, වැඩමුළුවල, කව් ගී රසවින්දන වැඩසටහන්වල; සලිත්ගේ අසුන නිශ්චිත විය. හැත්තෑව දශකයේ ප්‍රේම ගීතයක අරුත දිගේ චාරිකා කරන ඇතැම් මොහොතක වැඩිමහල් සහෝදරියකගේ නෙත් පහස විඳි අවස්ථා නැතුවා නොවන බව සිහි වන විට, අමුතු ජාතියේ සිනහවක් ඔහුගේ මුවේ ඇඳෙයි. මේ අන්ධකාර තරප්පු පෙළෙහි, ඒ සිනහව කාට නම් පෙනෙන්නද?

``ඔයාගෙ හිනාව කාට නොපෙනුණත් මට පේනවා``

``සු.. ඔයා මඟට ආවද?``

``ඔව් රත්තරනේ මම ආව.. ඉතින් කියන්නකෝ.. මොකද්ද ඔය මතක් කර කර හිනාවෙන්නෙ.. මොකක් හරි පරණ හුටපටයක් නේද ?``

``මේක විහිළු කරන වෙලාවක් නෙමෙයි සු.. උන් ආපහු එන්න පුළුවන්.. අපි ලෑස්ති වෙන්න ඕනේ..``

``ලෑස්ති වෙමු.. ලෑස්ති වෙමු.. උන් එකෙක් දෙන්නෙක් හත් අට දෙනෙක් නෙමෙයි.. දාහක් ආවත් අපි දෙන්න ලෑස්ති වෙලා ඉමු.. මම ඔයා ළඟ ඉන්නවා``

පඩිපෙළ නඟින විට වරින්වර හමුවන කොරිඩෝ කෑලිවලදී, සුලෝචනා සලිත්ගේ දෑත දෙපය පිරික්සන්නීය. පිරිමදින්නීය.

``පව් දෙයියනේ``

ඇගේ සුසුම් හඬ අසමින්, සලිත් සුලොචනාගේ වමත තම දකුණතින් අල්ලාගෙන කඳු මුදුනටම නැංගේය. සුලෝචනාගේ කාමරයේ දොර වසා තිබිණි. කොහේදෝ සිට අහසට ආ සඳක්; එක සමාන කෙටි මං ඇති නිවාස යෝජනා ක්‍රමයකට රාත්‍රියේ ඇතුළු වී ආතබූත වූ නැනෝ ටැක්සියක් සේ, ඔහේ එළිය දල්වාගෙන සිටියේය. තමන් අර නෙල්ලි කොළ ගොඩේ දඟලද්දී නොතිබූ සඳක් දැන් කඩා පාත් වූයේ කෙසේදැයි සලිත් ද කල්පනා කළේය. එහෙත් සැබවින්ම සඳ පායා තිබිණි.

සුලෝචනා සලිත්ගේ ඇස්වලට එබුණේය.

``හරි ! දැන් මෙහෙමයි..``

ඈ කලින් ආ කඳුළක් අතින් පිසදාගෙන කතා කළාය.

``මීට පස්සෙ මොකා ආවත් පැනල යන්නෙ නෑ.. වෙන දෙයක් අපි දෙන්නටම වෙච්චාවේ.. දැන්.. බර්ත්ඩේ සර්ප්‍රයිස් නම්බර්.. නෑ මට මතකත් නෑ නොම්මරේ.. කීය වුණත් කමක් නෑ.. මේ මෙතන.. කොරිඩෝවේ.. හඳ එළිය යට..``

``මොකක්``

``ෂටප්``

සුලෝචනා සිය මුළු සිරුරම සලිත්ගේ ඇඟට තද කළේය. සිරුරතර තිබුණේ ගිනි දැල්ලක් පමණි.

``මට නාගන්න ඕන.. අපිරිසුදුයි මම..``

``බෑ.. තව අපිරිසුදු වෙමු.. පිස්සුවෙන් වගේ අපිරිසුදු වෙමු.. මුලින්ම හඳ එළියෙ නාමු.. ඊට පස්සෙ ඇල්වතුරෙන් නාමු..``

සුලෝචනා දැල්වූ ගිනි දැල්ලට සලිත් ඇවිළෙන්නට පටන් ගත්තේය. ඕනෑම අතාර්කික මොහොතක ඇවිලෙ‍නසුලු අනුරාගී හිතක් රහසේ නඩත්තු කරන ඔහුට, එය දුෂ්කර ක්‍රියාවක් නොවීය. එහෙත් එය ඇවිළවිය හැකි ගැහැනුන් සුලබ නැත.

රුධිරය ද දාහය ද දුහුවිල්ල ද එකෙට කැලතී මුහු වී ගින්දරට හසු විය. ඒ ගින්න තුළ, අපිරිසුදු ඇඳුම් සියල්ල අවශේෂ වී, පිරිසුදු සිරුරු පමණක් ශේෂ වන හැටි සලිත්ට දැනිණි. ඔහු වෙහෙසට පත් නොකළ සුලෝචනා, වැතිරුණු සලිත් මත සෛන්ධව විලාසයකට පිවිසුණාය. ගිරි ශිඛරය මත නැඟී හේශාරව කරන වෙළඹක් සලිත් එවේලෙහි දුටුවේය. එහෙත් ඊළඟ නිමේෂයෙහි ඔහු තිගැස්සී ගියේ, ඒ සමීප රූපයෙහි බොඳව ගිය පසුබිමේ වූ තවත් රුවක් නිසාය. යාබද කාමරයේ දොර පලු දෙක අතර දිස් වෙන, පර්දාවක් තුළ වූ ඇස් දෙකක් මේ අශ්වාරෝහණය නිරීක්ෂණය කරන අයුරු දුටු විටය, ඔහුගේ අනුරාගය, පරිකල්පන තාරකා මණ්ඩලය සී සී කඩ විහිදුවාලමින් දිව්‍යමය ආස්වාදයක සුපර් නෝවා පිපිරුමක් සොයා, මත්තෙන් මතු අහස් තලයට හෝ ඉනිදු ඔබ්බට නැංගේය.

 

(මතු සම්බන්ධයි)

විමල් කැටිපෙආරච්චි සතිපතා ‘ඉති’ වෙත ලියයි

මාතෘකා