උණ පඳුර සෙවණේ සිටි දැරිය හෙවත් සිබිල් වෙත්තසිංහ

 ඡායාරූපය:

උණ පඳුර සෙවණේ සිටි දැරිය හෙවත් සිබිල් වෙත්තසිංහ

"සිම්සන් නෝනා ආදරී

හිතට බොහොම වී පිරී

දෙයියනෙ හිතට දුකයි

ආලේ ලීලේ ඒ තමයි"

 

ගිංතොට ගම් රොදට ආ කවිකොළකරුවෙක් ඉතා දුක්බර හඬින්, කරේ තිබුණු ලේන්සුවෙන් නාසය සූරා දමමින්, දෑසේ කඳුළුද පිසිමින් ගයනු ඒ කුඩා දැරියට හොඳ හැටි මතකය. එංගලන්තයේ රජුව සිටි අටවැනි එඩ්වඩ් කුමරු වැලීස් සිම්ප්සන් නම් දෙවරක් විවාහ වූ ඇමරිකානු කාන්තාවක විවාහ කරගැනුම පිණිස රජකම අත්හළ පුවත කවියෙන් කියැවෙන බව දැරියගේ පියා පැවසුවේය. වර්ෂ 1937දී ලොවම කළඹවමින් රජ කිරුළ අත්හළ අටවැනි එඩ්ව්ඩ් තම සිත්ගත් වැලීස් සිම්සන්ව විවාහ කරගන්නා විට මේ දැරියට වයස අවුරුදු නමයක් පමණි. එංගලන්තයේ රජ කිරුළ එඩ්වඩ්ගෙන් බාල සොහොයුරු හයවැනි ජෝර්ජ්ටත් ඔහුගෙන් පසුව වැඩිමල් දියණිය එලිසෙබෙත්ටත් උරුම විය.

එලිසෙබෙත් රැජනගේ බාල මුණුබුරු වන හැරී කුමරුද පෙර විවාහයකින් වෙන් වුණු මේගන් මාර්කල් නම් යුවතියක සමඟ යුගදිවිය අරඹන්නේ වර්ෂ 2018දීය. පස්වැනි ජෝර්ජ් රජුගේ කාලයේ ඉපිද අටවැනි ජෝර්ජ් රජු ගැන කවිකොළ අසමින්, හයවැනි ජෝර්ජ් රජුගේ කාලයේ ලංකාවට නිදහස ලැබෙන ආකාරය දුටු දැරිය; දෙවැනි එළිසෙබෙත්ගේ මුණුපුරා විලියම් කුමරු හට දරු තිදෙනෙක් ලද පුවතද පුවත්පතින්, රූපවාහිනියෙන් නරඹන්නීය. මේ සියලුම කාලවකානුව තුළ ඒ දැරිය නොකඩවා කළ එකම එක දෙයකි. ඒ නොනවත්වා, තම සිතට නැගෙන දෑ තමාට රිසි ආකාරයෙන් චිත්‍රයට නැඟීමය. ඇය නමින් සිබිල් වෙත්තසිංහය.

"අපේ අම්මා මාව කොළඹ ගෙනාවේ ආකිටෙක්ට් කෙනෙක් කරන්න කියලා හිතාගෙන. මට පොඩි කාලේ ඉඳන් හොඳට චිත්‍ර අඳින්න පුළුවන් නිසා අම්මාට එහෙම උවමනාවක් ඇති වුණා. අම්මගේ පැත්තේ නෑදෑ ආකිටෙක්ට් කෙනෙක් හිටියා. එයා අඩු වයසෙන් නැති වෙලා. ඒ නිසා අපි අච්චර අපූරු ගමේ ගෙදර අතඇරලා වැල්ලවත්තේ පේළියට කාමර තියෙන ගෙයකට ආවා" සිබිල් ද සිල්වා හෙවත් සිබිල් වෙත්තසිංහ කිසිදු අපැහැදිලි වර්ණයකට ඉඩ නොතබා දීප්තිමත් ලෙස අතීත සිතුවම වර්ණ ගැන්වීම ඇරඹුවාය.

ඒ කතාවේ එන කුඩා සිබිල්ට ගම අමතක කිරීමට නොහැකි නිසා ඇය ගමේ අත්විඳි දෑ පිළිබඳ මතකය කළු - සුදු චිත්‍රයට නඟා ගේ පුරා එල්වා තබන්නීය. තම දියණියගේ සිතුවම් කීපයක් කොළඹ කලාභවනෙහි පැවති ප්‍රදර්ශනයකට තබන්නේ සිබිල්ගේ පියාණන් වන හික්කඩුවගේ සවුදේරිස් ද සිල්වා විසිනි.

මේ බුහුටි චිත්‍ර දකින කොළඹ රාජකීය විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ මුල්ගුරු වන එච්.ඩී. සෝමපාල මහතා සහ එම විදුහලේම චිත්‍ර කලා ගුරුවරිය වන ඔහුගේ බිරිඳ ළමා චිත්‍ර ශිල්පිනිය සොයා නිවෙසට එති. "සුගතපාල මහත්තයාට ඕනේ වුණේ කියවීම් පොතකට චිත්‍ර අන්දවා ගන්න. ඒත් අපේ අම්ම එයාලාව බැණලා එලවගෙන" සිබිල් වෙත්තසිංහට ඒ මතකය ආනන්දජනකය. " මම මේ ළමයාව කොළඹ ගෙනාවේ වෙන අරමුණකට කියලා අම්මා කිව්වලු. ඒත් අන්තිමට සුගතපාල මහත්තයා කණිපින්දම් කියලා කියලා අම්මාව කැමති කරවගත්තා". කේ.ඩී. ජෝස්ලින් ද සිල්වා හෙවත් සිබිල්ගේ මවගේ අවසරයෙන් සුගතපාල ද සිල්වා මහතාගේ නිවෙසට යන පහළොස් හැවිරිදි සිබිල් 'නවමග පස්වෙනි ප්‍රමාණයේ කියවීම් පොත' ට අදාළ සියලුම චිත්‍ර අඳින්නීය.

1943 වසෙර්දී ඇපොතිකරීස් සමාගම මඟින් මුද්‍රණය කළ එම කෘතියට චාර්ල්ස් අබේසේකර, රෙජී සිරිවර්ධන සහ සුමනා සපරමාදු වැන්නන් ලිපි සම්පාදනය කර තිබූ බව සිබිල්ට මතකය. ලංකාවේ මුල්ම වර්ණ මුද්‍රිත කෘතිය වූ 'නවමග පස්වෙනි ප්‍රමාණයේ කියවීම් පොත' කියැවූ මාර්ටින් වික්‍රමසිංහ සූරීන් සිබිල්ගේ චිත්‍ර බෙහෙවින් අගය කර ඇත" මේ ළමයාට චිත්‍ර ශිල්පිනියක් විදියට හොඳ අනාගතයක් තියෙනවා කියලා වික්‍රමසිංහ මහත්තයා කියලා තිබුණා. ඒ බව දැනගත්තාම අපේ අම්මාගේ තහංචි අඩු වුණා" සිබිල්ගේ මතක සිතුවම පුරා සිනහා වර්ණය විසිර ගියේය. "මොකද මාර්ටින් වික්‍රමසිංහ කියන්නේ අපේ අම්මගේ ප්‍රියතම ලේඛකයා. අර කතාවෙන් පස්සේ ඔක්කොම දේවල් කණපිට හැරුණා. මට චිත්‍ර අඳින්න නිදහස ලැබුණා."

"ගිංතොටයි මගේ ගම. ගාලු පුරයට ඉතාම කිට්ටුයි. මල්, පලතුරු, ගහ කොළවලින් පිරුණු, නිතරම සිසිල් සුළඟ හමන ගම්මානයක්, ගිංතොට" යනුවෙන් සිබිල් ලියා තබන්නේ ඇගේ 'වැනියං කළු වැනියං" කෘතියෙහිය. සිබිල් වෙත්තසිංහ සහ ගිංතොට ගම අතර ඇත්තේ සුන්දර මතක බැඳීමකි. එය මෙලෙස වචනයට නැඟේ.

"ඒ කාලේ අපේ ගම්වල තිබුණේ බර කරත්තයි, තිරික්කලයි, බක්කිකරත්තයි විතරයි. බක්කිකරත්තය තිබ්බෙත් වෙද මහත්තයාට" ඇය අද ඊයේ දුටු දසුනක් මෙන් විශ්වාසයෙන් ඒ මතකය පෙළගස්වන්නීය. "වෙද මහත්තයා තිරික්කලෙන් ගෙවල්වලටම ඇවිල්ලා අහනවා 'ළමයි සනීපෙන් ද' කියලා. අසනීප නම් බෙහෙත් දෙනවා" එසේ පවසන සිබිල් වෙත්තසිංහ හය හැවිරිදි දැරියකගේ දඟකාර ජීවිතය තුළට එබෙන්නී ය."එහෙම ආපු එක වෙද මහත්තයෙක් මුස්ලිම් ජාතිකයෙක්. ඔළුවට තොප්පියක් දාගෙන එහෙමයි එන්නේ" ඇය තොප්පිය සහිත හිසින් පැමිණෙන වෙද මහතා රඟ දක්වන්නීය.

"අපි එයාට කියන්නේ තම්බි වෙද මහත්තයා කියලා. අපේ නෑදෑ අයියා කෙනෙක් එයා ආවාම හයියෙන් කියන්න කියලා මට කවියක් ඉගැන්නුවා. මමත් ඉතිං පාඩම් කරගෙන ඉඳලා වෙද මහත්තයා බක්කිකරත්තෙන් බැහැලා එනකොටම ගිරවා වගේ ඒක කියාගෙන ගියා" සිබිල්ට අදටත් ඒ කවිය මතකය. "තම්බිගෙ තොප්පිය බම්බුව වාගේ - තම්බි නටනකොට සෙම්බුව වාගේ" ඇය තුළ ජීවත්වන ප්‍රීතිමත් දැරිය විනෝදයෙන් සිනහා විය."වෙදමහත්තයා හිනා වෙලා මට කිව්වා 'ඔව් බබා.. අපේ තොප්පිය බම්බුව වගේ තමයි.

අපි නටකොට සෙම්බුව වගේ තමයි' කියලා" එසේ පවසන සිබිල් ඒ කාලයේ ගමට මෝටර් රථයක් පැමිණීම යනු ඉතා විශේෂ දෙයක් බවත් සිහිපත් කළාය" ඔන්න ඉතිං අපේ ගමේ කෙනෙක් ගෙදරට කාර් එකක් ගෙනල්ලා තිබුණා. හැමෝම ඒක බලන්න ගියා. ඒ අපේ අම්මගේ පැත්තේ නැදෑ පවුලක්. ඉතිං අම්මා මාවත් අන්දගෙන ගියා කාර් එක බලන්න" එසේ මෝටර්රථයක් නරඹන්නට යන සිබිල් සහ මව දකින්නේ ඒ නිවස පුරා සෙනඟ පිරී ඇති අන්දමයි. 'බලනකොට කාර් එක තියෙන්නේ සාලේ. ගමේ උදවිය කාර් එක වටේ ගිහිං ඒකේ හැඩ බලනවා.

එහෙම බලන්න ගෙදරට ආපු අයට තේ පැන් සංග්‍රහයක් එහෙමත් දුන්නා" ගිංතොට ගමේ මුල්ම මෝටර්රථය එය වුවද තවත් මෝටර්රථයක් පිළිබඳ මතකයක් ඇය සතුව ඇත. ඒ අමරසූරිය මහත්තයාගේ මෝටර්රථයය. "අමරසූරිය මහත්තයා ඡන්දේ කාලෙට ගමට කාර් එකෙන් එනවා. ගෙවල් ගාෙන් ගිහිං ගමේ අයව කාර් එකේ දාගෙන එයාට ඡන්දේ දාන්න කියලා ඡන්දපොළට ඇරලනවා" අමරසූරිය මහත්තයාගේ වර්ණය රතුය. "ඉතිං අපේ අම්මත් රතුම රතු පාට සාරියක් ඇඳලා කාර් එකේ නැඟලා ගිහිං ඡන්දේ දාලා එනවා" ඒ ගිංතොට නිසා උපන් අතීත සිනහා පොදකි.

තමාට අවුරුදු තුනේදී පමණ අකුරු කරනු පිණිස ගිංතොට බෞද්ධ මිශ්‍ර පාඨශාලාවට ඇතුළත් කළ බව පවසන්නීය. "අපි ඉස්කෝලේ ගියේ කැෙල් මැද්දෙන්. කිසි බයක් තිබුණේ නෑ. ගස් දිහා මල් දිහා කුරුල්ලෝ දිහා බල බලා යනකොට සමහර දවස්වලට පරක්කුත් වෙලා. ඒත් අපිට කවුරුවත් බැන්නෙත් නෑ." පාසලට ඇතුළත් කළ මුල් දිනයේ සිට කුඩා සිබිල්ගේ සිත් ගත්තේ පාසල් භූමියේ ඇළ අද්දර ඇති උණ පඳුරය. තනිවම මේ උණ පඳුර යටට වී නිසංසලේ කාලය ගත කිරීමේ තදබල ආශාවකින් පෙළුණු සිබිල් ඒ සඳහා අවස්ථාවක් සොයමින් සිටියාය.

"මම මගේ එක තෝඩුවක් උණ පඳුර මුල තියලා පන්තියට ගියා. යාළුවෙක් කණේ එක තෝඩුවක් නැති බව පෙන්නුවාම ටීචර් ඇහුවා කොහෙද සෙල්ලම් කළේ කියලා." ඒ දඟකාර සිබිල් දැරිය අදත් මා ඉදිරියේ සිනා සලමින් සිටී. " මම කිව්වා අර උණ පඳුර යට තමයි මම හිටියේ කියලා. ඉතිං ටීචර් කිව්වා 'අපොයි .. ළමයි එන්න කලින් එතනට ගිහිං හොයලා බලන්න' කියලා." සිබිල්ගේ වදන්වලින්ම විස්තර කරන්නේ නම් දියට දැමූ ඉබ්බෙක් සේ උණ පඳුර මුලට ඇදුණු මේ කුඩා දැරිය බොහෝ කාලයක් තිස්සේ තමා පෙරුම් පුරමින් සිටි ආශාව මුදුන්පත් කර ගත්තාය.

පහළින් ගලා යන ඇළ; ළමයි කිසිවෙක් නොමැති නිසංසල උණ සෙවණ; සිලි සිලි නද සමඟ නැඟෙන සුළඟ... පාසල හෝ අවට වටපිටාව පිළිබඳ කිසිදු නිනව්වකින් ඒ යට වාඩි වී සිටින දැරිය... "මට තාමත් - අදටත් එදා ඒ උණ පඳුරෙන් නැඟුණු සද්දේ ඇහෙනවා.

එදා මට දැනුණ ඒ හැඟීම මට අදටත් දැනෙනවා" දීප්තිමත් දෑස් ඇති ප්‍රවීණ චිත්‍ර ශිල්පිනිය තිර හඬින් පවසා සිටියාය. 2004 වසරේ සුනාමිය පැමිණියේය. සිබිල් වෙත්තසිංහ ඉගෙනුම ලැබූ ගිංතොට බෞද්ධ මිශ්‍ර පාඨශාලාව නම් ඕල්කට් පාසල හෙවත් ගිංතොට මධ්‍ය විද්‍යාලය ඇතුළු බොහෝ දෑ මුහුදු රකුසාට බිළි විය. නමුත් සිබිල් අමතක කළ නොහැකි නිසා දෝ අර උණ පඳුර සර්ව ව්‍යසනයන් මැද ගිංතොට පොළොව බදා නොනැසී සිටින්නට තීරණය කර තිබිණ. දකුණු වෙරළ තීරයම බිළිගත් සුනාමියට උණ පඳුර පරදවන්නට නොහැකි පුවත සිබිල් වෙත්තසිංහට ආරංචි වන්නේ පාසල හරහාය.

'ඒ වෙලාවේ මා ළඟ පොත්වලින් ලැබුණ සල්ලි වගයක් තිබුණා. මම ගමේ අයගෙන් ඇහුවා භාවනා මධ්‍යස්ථානයක් හදන්න කොච්චර වැඩ කුලියක් යනවද කියලා." තමාට සෙවණ දුන් මේ උණ පඳුරට පෙරළා ගෞරව කරන්නට යන ලෝක පූජිත චිත්‍ර ශිල්පිනියගෙන් වැඩ කුලී නොගන්නට ගම්වාසීන් තීරණය කළහ. අවසානයේ ඇගේ පරිත්‍යාගයෙන් අර කී උණ පඳුර සෙවණේ "සිබිල් වෙත්තසිංහ වේළුවන අරම" හෙවත් චිත්ත සමාධි භාවනා මධ්‍යස්ථානය ඉදි විය." ඉස්සර අපේ ආච්චි අම්මයි මමයි උදේම වතුරවත් නොබී කැෙල්ට යනවා. සිනී ගොරකා කකා වරුවක් විතර කැෙල් ඇවිදිනවා.

මම දැකලා තියෙනවා ආච්චි අම්මා ගස්වලට වඳිනවා." සිබිල් තම සිත් ගත් ගහකොළ සහ ඒ බැඳීමේ ආරම්භය පැහැදිලි කළාය. "ආච්චි අම්මා විශ්වාස කළා ගස්වල දෙවි දේවතාවෝ ඉන්නවා කියලා. මමත් එහෙම හිතනවා" ඇය ගංගොඩවිල පැපිලියාන නිවසේ උඩු මහලේ ජනේලයෙන් එළියට අත දිගු කරන්නීය. "ඔන්න ඔය අඹ ගහෙත් දෙවිවරු ඉන්නවා කියලා මම නම් හිතන්නේ."

වයස අවුරුදු හයේදී ගිංතොට අත හැර කොළඹට එන සිබිල්ද සිල්වා දැරියද ඇගේ අක්කා සහ නංගීවද ඇතුළු කරන්නේ බම්බලපිටිය ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයටය. බාල සහෝදරයින් බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලයටය. "මට ඉතිං ඉංග්‍රීසි ඇර අනෙක් ඕනේ වැඩක් පුළුවන්. හැබැයි මාව දැම්මේ හෝඩියට.

සුමානයක් හෝඩියේ තියලා වැඩ අල්ලගන්න පුළුවන් කියලා දෙවැනි පංතියට දැම්මා" ඇයට අලුත් පාසලේ විත්තිද එක ලෙස මතකය. "හැමෝම හිතුවේ මට ඩබල් ප්‍රමෝෂන් ලැබිලා කියලා. ඉතිං මට කිව්වේ ඩබල් ප්‍රමෝෂන් ලැබුණ ළමයා කියලා." කැළෑව මැද සිත් සේ පාසල් පැමිණි සිබිල් ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ සිසුවියක වූ පසු අත්විඳින්නේ වෙනස්ම පරිසරයකි.

ලාංකික නොවන කන්‍යා සොයුරියන් පාලනය කරන විදුහලේ තද නීති රීතිය. චිත්‍ර ශිල්පයට දස්කම් දක්වන සිබිල් චිත්‍ර අඳිනවාට පාසලෙන් ලැබුණු ප්‍රතිචාර සුබවාදී විණිදැයි විමසන්නට සිතුණේ එපුවත් ඇසීමෙන් අනතුරුවය. "අපෝ නෑ... එයාලා කැමති වුණේම නෑ" ඇය එකහෙළා පැවසුවාය. "ඒ කාලේ ඉංග්‍රීසි පත්තරවල මගේ චිත්‍ර පළ වෙන බව ඉස්කෝලෙ අය දැන ගත්තා. ප්‍රින්සිපල් හිටිය මදර් නන්සේෂන් මාව ගෙන්නලා අවවාද කළා. එයා කතා කරන්නේ ඉංග්‍රීසියෙන්. 'ඉස්කෝලෙ ඉන්නකං ඉගෙනීමේ වැඩ විතරයි කරන්න ඕනේ - අතුරු වැඩ කරන්න ඕනේ ඉගෙනගෙන රස්සාවක් කරන කාලේ' කියලා මදර් සුපීරියර් කිව්වා.

" එසේ පැවසුවද සිබිල්ගේ පින්සලට සහ පැන්සලට එබස වැටහුණේ නැත. තමා අදටත් ගණිතයට දුර්වල බව පවසන ඇය එකල ගණන් පාඩමක් වැරදුණු නිසා හිටගෙන සිටින්නට වූ මොහොතක් සිහිපත් කළාය. ඇය දඬුවම විඳින අතරවාරයේ ගණිත ගුරුතුමියගේ මුහුණ චිත්‍රයට නඟා තිබිණ. ගණිත පාඩම වැරැද්දූ ළමයා කුරුටු ගාන්නේ කුමක්දැයි උදුරා බලන අරුණාචලම් ගුරුතුමිය තමාගේ මුහුණ දැක ඉතා සතුටටත් ප්‍රමෝදයටත් පත් විය. "ඒකෙන් පස්සේ මට අනික් ළමයි කිව්වා ඔයාට පුළුවන්නේ ගුඩ් ෆ්‍රයිඩේව අඳින්න කියලා." සිබිල් අපට ගුඩ් ෆ්‍රයිඩේ කතා පුවත ඇගේ සිතුවමක් ලෙසින්ම මනහරව ඉදිරිපත් කරන්නට විය. "ඒ සිස්ටර්ගේ නම සිස්ටර් මාර්සල්.

ඒත් එයාට ළමයි හොරෙන් කියන්නේ ගුඩ් ෆ්‍රයිඩේ කියලා" ඇය සිනාසුණාය. යේසුස් වහන්සේගේ දුක්ඛප්‍රාප්තිය සිහිකරන ගුඩ් ෆ්‍රයිඩේ හෙවත් මහ සිකුරාදා යනු කිතුණු බැතිමතුන් ශෝකය සමරන දිනයයි. " සිස්ටර් මාර්සෙල්ගේ මූණේ කවදාවත් හිනාවක් නෑ. ඔරවගෙන, සැර, දුක හිතෙන මූණකින් මිසක් සිස්ටර්ව කවුරුත් හිනාවකින් දැකලා නෑ. ඒකයි එයාට ගුඩ් ෆ්‍රයිඩේ කියලා නමක් දාලා තිබුණේ. "අවසානයේ දහතුන් හැවිරිදි සිබිල් ගුඩ් ෆ්‍රයිඩේගේ ශෝකභරිත, මිලාන වූ වත කමල සිතුවමට නඟන අතර එය පාසල පුරා අතින් අත යයි. "සතියකට පස්සේ වගේ ඊව්නිං ස්කුල් ටයිම් එකේදි ගුඩ් ෆ්‍රයිඩේ අර චිත්‍රය අරං අපේ පංතියට ආවා." එකල පාසල සවස් තුන වන තෙක් පැවති බවත් දිවා ආහාරයෙන් පසු පාසල එසේ හඳුන්වන බවත් පැහැදිලි කළ සිබිල් ගුඩ් ෆ්‍රයිඩේගේ රමුණ වූයේ චිත්‍රයේ අයිතිකාරිය සොයා ගැනීම බව පැවසුවාය. "ඔක්කොම ළමයි මං දිහා හැරිලා බැලුවා.

මම හොඳටම බය වුණා. සිස්ටර් මාර්සෙල් මගේ ළඟට එන ගමං ඇහුවා 'ඕ.. ඔයා තමයි එහෙනම් මේක ඇන්දේ' කියලා." මම හිතුවෙම දැං මගේ කම්මුලට ගහයි කියලා" එකල බාලිකාවන්ට දෙන ඉහළම දඬුවමක් වූයේ කම්මුලට පහර දීම යැයි පවසන සිබිල් සිදු වූයේ කිසිවෙක් හෝ අපේක්ෂා නොකළ දෙයක් බව පැවසුවාය. " සිස්ටර් මාර්සෙල් පාත් වෙලා මාව ඉම්බා. 'ඔයා මාව හරිම ලස්සනට ඇඳලා තියෙනවා' කියලා සිස්ටර් කිව්වා. ඒ ගමං කිව්වා 'මම මේ ලෝගුව දාගත්තට පස්සේ මගේ මූණ දකින මුල්ම වතාව අද තමයි' කියලා. "එදා දහතු හැවිරිදි දැරියට ඇති වූ විස්මය රැඳි දෑසින් අනූ හැවිරිදි චිත්‍ර ශිල්පිනිය දෙවුර ගස්සා බලා සිටියාය.

"අපේ සීයාගේ නම වැලිගම කේ.ඩී. සමාරිස් ද සිල්වා. එයා අතිදක්ෂ කැටයම් සහ ස්තූප නිර්මාණ ශිල්පියෙක්." සිබිල් තමාටම අනන්‍ය වූ ලොවක් පුදුම කළ තම සිතුවම් කලාවේ අක්මුල් සොයා ගන්න්නට අපට සහාය වන්නීය. "එකපාරක් සීයා මා ලවා ඇතෙක් අන්දවා ගත්තා. පස්සේ ඇවිල්ලා කිව්වා මේ අච්චුවෙන් ඇත්තු පන්සීයක් යොදලා රුවන්වැලිසෑයට ඇත් පවුරක් බඳින්න කියලා හාමුදුරුවෝ කිව්වා කියලා." ඇයගේ ඇස් සතුටෙන් පිරී යයි. "මට අදටත් අනුරාධපුරේ යනකොට හරි සතුටක් දැනෙනවා. මම දන්නේ නෑ ඒ ඇත් පවුරේ ඉන්නේ ඒ ඇත්තුමද කියලා. ඒත් ඒ පොඩි වයසට ඒ වචනෙම මදැයි. නේද?" කුඩා කල සිට සීයා සතුටු කරවන චිත්‍ර අඳින සිබිල් එක් වරක් සීයා නිම කළ නිරුවත් ගැහැණියකගේ පිළිරුවක් ඉතා දක්ෂ ලෙස පිටපත් කළාය. ඒ දකින සීයා මහත් සතුටට පත්ව පාසලේ චිත්‍ර ආචාර්යවරියට මෙය පෙන්වන්නට යැයි දිරි දෙන්නේය.

සිබිල් එය ගෙනගොස් චිත්‍ර විෂය උගන්වන කන්‍යා සොයුරිය වෙත පෙන් වූ අතර ඇය එය අනෙක් පස හරවා කුඩා සිබිල්ව විදුහල්පතිනිය සමීපයට කැඳවා ගෙන යන්නීය. ප්‍රශංසා බලාපොරොත්තුවෙන් සිටි ලාබාල චිත්‍ර ශිල්පිනියට මෙය බාලිකා පාසලක් බවත්, යළි කිසිදු දිනයක මෙවන් චිත්‍ර නොඇඳිය යුතු බවත් පවසා තරවටු ලැබේ. චිත්‍රය කුඩා කැබලිවලට ඉරා දැමේ. "අනේ මගේ පපුව නැවතුණා වගේ. මම ගෙදර යනකොට සීයා මඟ බලාගෙන ඉන්නවා." සීයාව මඟහැර අඬාගෙන නිවසට ඇතුල්වෙන දැරියය. කණගාටුවෙන් පසුවන සීයාය. මේ සියල්ලම විනෝදයෙන් දකින සිබිල්ගේ ආදරණීය මෑණියන්ය. "අම්මා සීයට හිනා වුණා. 'තාත්තටත් පිස්සුනේ. ඒ උදවිය ජීවිතේ කළකිරිලා මහණ වෙලා ඉන්න අස්සේ තාත්තා මේ ළමයා අතේ ඔය වගේ චිත්‍ර යවනකොට කේන්ති එන්නේ නැද්ද' කියලා අම්මා හිනාවෙනවා.

1948 වසරේ අප්‍රේල් මාසයේ ලංකාදීප කන්තෝරුවේ ඩී.බී. ධනපාල මහතා යටතේ චිත්‍ර අඳින්නට සිබිල්ට අවස්ථාව උදා කරදෙන්නේ එච්.ඩී. සුගතපාල මහතාගේ මැදිහත්වීමෙනි. සෑම සෙනසුරාදාවකම සිබිල් යන නම සහිත චිත්‍ර හතරක් පළ වේ. "හැමෝම හිතලා තියෙන්නේ සිබිල් කියන්නේ කොල්ලෙක් කියලා. ඉතිං ආවාම තමයි දකින්නේ ගවුමක් ඇඳපු කොණ්ඩ කරල් ගොතපු පොඩි කෙල්ලෙක් කියලා." එසේ පවසන ගවුමක් ඇඳි කොණ්ඩ කරල් දෙකේ කුඩා කෙල්ලට සුනිල් සාන්තයන් ලංකාවට පැමිණ ධනපාල මහතා හමුවීමට පැමිණි මොහොත මතකය. 'එයා ඇඳලා හිටියේ කුමාරයෙක් වගේ" සුනිල් සාන්තයන් සිබිල්ගේ සිතුවම්කරණය දෙස බලා සිටියේය.

ඔහු ඇය ට 'අවුල්නාද' කවියක් කියා සැණින් චිත්‍රයක් අඳින්නට අභියෝග කළේය. "වත්තල කලුවාගේ අඹුව - තිත්ත කතාවෙන් බැණගෙන - වත්ත පහළ තිබුණු කිතුල් * පිත්ත අරගෙනා" ඇය ඒ කවිය සිතුවමට නැඟූ ආකාරය දැක සුනිල් සාන්තයන් විස්මයට පත් විය. " ඔය කාලේ මම දැකලා තියෙනවා අපේ ලිෆ්ට් එකේ තොල් රතු කරපු හරි මෝස්තර නෝනා කෙනෙක්. එයා සිගරට් එකක් අගට මොකක්ද කූරක් හයි කරගෙන බිබී යන්නේ" ඇය පවසන්නේ ඒ ශ්‍රීමත් ඔලිවර් ගුණතිලකගේ මිණිබිරියක වූ සීතා ජයවර්ධන පිළිබඳව ය. කුතුහලයෙන් යුතු සිබිල් ද සිල්වා දිනක් ඇය පසුපසම සෝපානයෙන් ගොස් සීතා මහත්මිය සමඟ කතාවට වැටේ.

සිබිල් වෙත්තසිංහ "ටයිම්ස්' පුවත්පතේ ද කාටුන් අඳින්නටත් ලියන්නටත් අවස්ථාව උදා කරගන්නේ එතැනිනි. "මම ලංකාදීපේ අවුරුදු දෙකක් හිටියා. ටයිම්ස් පත්තරේ අවුරුදු දෙකක් හිටියා. එතනින් පස්සේ එඩ්මන්ඩ් රොඩ්‍රිගෝ කියන නෝනා අපේ තාත්තට කියලා තිබුණා ලේක්හවුස් එක පටන් ගන්නවා කියලා. අම්ම බය නැතුව ධනපාල මහත්තයාගෙන් ඇහුවා. එතුමා කිව්වා 'යන්න යන්න. මම දියුණුවට එපා කියන්නේ නෑ' කියලා." ඒ අනුව 1952 වසරේදී 'ජනතා'; පුවත්පතට එක්වන සිබිල් පිළිබඳ සිළුමිණ පුවත්පතේ "සිබිල් ජනතාවට එකතු වෙයි" යනුවෙන් දැන්වීමක්ද පළ වේ. "1952දී මම ජනතා පත්තරයට තමයි 'කුඩ හොරා' කතාව ලිව්වේ." ඒ සිහිපත් කෙරෙන්නේ ඇයගේ ජීවිතයේ ස්වර්ණමය සංධිස්ථානයකි. "අවුරුදු තිහක් ලේක්හවුස් එකේ ඉන්නකොට මට උපාලි පත්තරේට අඬ ගැහුවා" ඒ 'බිංදු' පුවත්පතෙහි ආරම්භක කර්තෘ ලෙසය.

පළමු කලාපයම පිටපත් එක්ලක්ෂ විසිපන්දහසක් අලෙවි වූ 'බිංදු" පුවත්පතේ මුල් වසර තනිවමත් දෙවැනි වසර සහායකය දෙදෙනෙක් සමගත් ගත කරන ඇය 1986 වසරේදී පුවත්පත් ජීවිතයට සමුදී පූර්ණකාලීනව සිතුවමට සහ ග්‍රන්ථකරණයට නැඹුරු වන්නීය. සිබිල් වෙත්තසිංහ යන නාමය අද වන විට පුවත්පත් ලෝකය අභිබවා සිතුවම් සහ ළමා කතා පිළිබඳ සන්නාමයක් බවට පත් වී ඇත. 1983 වසරේ පැවති තුන්වැනි Noma Concours for Picture Book Illustrations හි "තෙවැනි තැන දිනාගත් "කුඩ හොරා" පසුව ජපන් බසට පරිවර්තනය විය. ජපානය විසින් 1986 වර්ෂය "කුඩ හොරාගේ වර්ෂය" ලෙස නම් කරන්නට තරම් එම කතා පුවත එරට ප්‍රසිද්ධ වී තිබිණ.

ඩෙන්මාර්ක්, ස්වීඩන්, නෝර්වේ, ඇමරිකා, දකුණු කොරියා ආදී රටවල් අද වන විට සිබිල් වෙත්තසිංහගේ කෘති තම බසට හැරවීමට මහත් උනන්දුවක් දක්වති. 1965 වසරේදී "වෙසක් පහන" වෙනුවෙන් 1971 වසරේදී "මඟුල් ගෙදර බත් නැතෝ" කෘතිය වෙනුවෙන් ද රාජ්‍ය සාහිත්‍ය සම්මාන දිනූ ඇය ඉංග්‍රීසි බසින් ලියූ The Child in Me කෘතිය වෙනුවෙන් 1995 වසරේ ග්‍රේෂන් සම්මානයෙන්ද දිනා ගත්තාය. ඊට අමතරව ඇය ලද දේශීය සහ ජාත්‍යන්තර සම්මාන සිය ගණන අතරේ කලාකීර්ති ගෞරව නාමය ද , සෝලියස් මැන්දිස් සම්මානය ද , "දීප්ත ළමා මඟ" නම් වූ සිංහලය බයිබලය උදෙසා ලද ජාත්‍යන්තර සමාන ද සුවිශේෂීය.

"බයිබලය යුරෝපියානු ඌරුවෙන් නැතුව ආසියානු චිත්‍ර සම්ප්‍රදායකින් මුලින්ම අෑඳා තියෙන්නේ මම." ඉදිරිපස අඹගසේ දෙවියන් වසන බව තරයේ අදහන, ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ ආදි සිසුවිය ජාති - ආගම් බේද යටපත් කරන තම වර්ණවත් දැක්මෙන් පවසන්නීය. "මම විවාහ වුණේ ඩී.ඩී. වෙත්තසිංහ මහත්තයා එක්ක. එයා මට හැම පැත්තෙන්ම ධෛර්යය දුන්නා. මම අදටත් ඒ ගැන ගෞරව කරනවා" යනුවෙන් පවසන සිබිල් වෙත්තසිංහයන් බොහෝ කාන්තාවන් විවාහයෙන් පසුව කුස්සියට කොටු වුණු යුගයක තම සැමියාගේ උදාර සිතිවිලි පිළිබඳ ආඩම්බරයෙන් කතා කළාය.

"මට අඳින්න, ලියන්න නිදහස දෙන්න එයා ගෙදර වැඩට තුන්දෙනෙක්ව අරගත්තා. අවුරුදු තිහක් මේ පොත් ඔක්කොම ලිව්වේ ඇන්දේ, ප්‍රකාශනය කළේ මේ තනි මමමයි" අද වන විට "ආදිත් ප්‍රකාශන" යටතේ එන ඇයගේ සියලුම කෘති "www.adithbooks.com"ලෙස ඇණවුම් කිරීෙම් හැකියාවද ඇත.

"මම පොඩි කාලේ ඇන්දේ මට ඕනේ දේවල්. මට දැනෙන දේවල්. මම විශ්වාස කළා ළමයින්ව සතුටු කරන්න පුළුවන් දේවල් අඳින්න ඕනේ කියලා. කවුරුවත් මට බලපෑම් කළේ නෑ. මම බලපෑම් නම් ගණන් ගන්නෙත් නෑ" අනූ හැවිරිදි චිත්‍ර ශිල්පිණිය පැවසුවාය. ඇයගේ කතාවල එන ගිමාරා, කොකනදවතී වැනි නම් සොයාගත්තේ කොහෙන්දැයි ඇසූ විට ඇය කොකනදවතී මෙන්ම සිනාසුණාය. "ගමෙන් තමයි. ඔය ඔක්කොම ගමෙන්. අනේ කොකනදවතී මගෙ හිතට ආවේ අමරාගෙන්. එයා ළඟදිත් කෝල් කළා. මෙයාලගේ නැන්දා කෙනෙක්" ඇය තම මුණුබුරෙක්ව පෙන්වා සිටියාය.

"අමරා හිනාවෙන්නේ ගමටම ඇහෙන්න මහ හයියෙන්. මම ඉතිං අමරාට කිව්වා ඔන්න ඔයාව මම කතාවකටත් ගත්තා කියලා." එසේ පවසන සිබිල් වෙත්තසිංහ තමා සමඟ බැදි දෙවට දිගේ ගිංතොට පාසල් ගිය "සීතා'' නම් මිතුරිය මෑතකදී මෙෙලාවින් සමුගත් බව කණගාටුවෙන් සිහිපත් කළාය.

"මම තමයි දැනට ජීවත් වෙලා ඉන්න වයස්ගතම ෆැමීලියන්" උදාරම් හඬින් පවසන මේ අනූ හැවිරිදි ශුද්ධ වූ පවුලේ ආදි ශිෂ්‍යාව ඒ සමරු කළඹ තිබෙන තැන පෙන්වා ලංකාවේ මුල්ම කාන්තා ගුවන් නියමුවරිය ද තම පාසලේ බව පැවසුවාය. "ඔය සුවනියර් එකේ එයාගේ ෆොටෝ එකක් තියෙනවා" යනුවෙන් පවසමින් තම කුටියට වැදුණු ඇය මේ දිනවල අඳිමින් සිටින "නළපාන ජාතකය" චිත්‍රය ගෙනවිත් අපට පෙන්වූවාය. " මේ ඉන්නේ දිය රකුසා. මම කියන්නේ දිය රකුසා කියන්නේ දියෙන් හැදෙන ජීවියෙක් මිසක් බය හිතෙන වෙස්මූණක් දාගෙන ඉන්න මිනිහෙක් වගේ කෙනෙක් නෙමෙයි කියලා" ඇ‍ය නීල වර්ණැති දිය රකුසා අපට පෙන්වා අභියෝග කළාය.

නිසංසලව, හුදෙකලාව සිටින්නටත්, මෙනෙහි කරමින් පරිසරය අත්විඳින්නටත් කැමති යැයි පැවසූ, ඉදිරිෙය්දී තිරගත වීමට නියමිත ගිවන්ත අර්ථසාද්ෙග් නවතම කාටුන් චිත්‍රපටය "යුෙර්කාටද සිතුවම් අඳින මේ චිත්‍ර ශිල්පිනියගෙන් සමුගන්නට කාලය එළැඹිණ. "කවුද කිව්වේ මම ඉපදුණේ 1927 කියලා. මම ඉපදුණේ එක්දාස් නමසිය විසි අටේ" ලියාගත් දෑ නැවත පරීක්ෂා කරන අප හට පවසන ඇය ගංගොඩවිල තමා වෙසෙන නිවස ඉතා සාමකාමී බව පවසන්නීය.

ඇය ඒ කාලයේ මෙසේ ලියා තිබිණ. "මගේ පුංචි කාලය ගැන මට මතක් වෙන කොට හරි ආසයි. ඒ තරම් සන්තෝසයෙන් ගත කරපු කාලයක් මගේ මුළු ජීවිතේම නැති තරම්." නමුත් සිබිල් වෙත්තසිංහ ළමා අපට පවසා තිබුණේ දැවැන්ත බොරුවකි. වර්ෂ දෙදහස් දහ නමයේ මාර්තු මාසයේ මුල් භාගය වන විටත්; එක්දහස් නමසිය තිහේ මුල් භාගයේ ගිංතොට ගම් රොදේ ඇල ළඟ උණ පඳුරක් යට වාඩි වී සිටි ප්‍රීතිමත් දැරිය එදා මෙන්ම සන්තෝසයෙන් ගංගොඩවිල නිවෙසක උඩුමහලේ ජීවත් වන බව අප අැසින් දුටුෙවමු.

විශේෂ ස්තුතිය : පවිත්‍ර පෙරේරා

මාතෘකා