අද ශාසන කීර්ති ශ්‍රී දේශාභිමානි විශේෂ ගෞරව සම්මානයෙන් පිදුම් ලබන

 ඡායාරූපය:

අද ශාසන කීර්ති ශ්‍රී දේශාභිමානි විශේෂ ගෞරව සම්මානයෙන් පිදුම් ලබන

හිස් තැන් නැති පිරුණු මිනිසා

"අඳුරු යුගයේදී කවි ගී ලියවේද?

ඔව්....ඒ, අඳුරු යුගය ගැනයි!"

එහෙම කියන්නේ බර්ට්‍රෝල් බ්‍රෙස්ට්ය. ‘ අඳුරු යුගයේදී වීරයෝ පහළ වේද? ඔව්... ඒ අඳුරට එරෙහි වීරයෝයි.

එවැනි වීරයන් බිහිවන්නේ කලාතුරකිනි. ඔවුහු ස්වකීය මෙහෙවර ජීවිත පරිත්‍යාගයෙන් ඉටු කරති; ඒ උදෙසා යන ගමනේදී එල්ල වන අපහාස උපහාස, නින්දා සියල්ල සමසිතින් දරාගෙන කටුකොහොල් මාවතේ පෙරටම ඇදෙති. ඔවුන් සියලු ගැහැට වින්දේත් පීඩාවන් දරා ගත්තේත් මිනිසුන් වෙනුවෙන් බව මිනිසුන් අවබෝධකොට ගන්නේ කාලයේ වැලිතලාව බොහෝ දේ සඟවා ගත්තාට පසුවය.

වීරයෝ එහෙමය.

රාජ්‍යතාන්ත්‍රික දේශපාලනඥයා

එනයින් ගත් කල ඔහු වීරයෙකි... එහෙත් ඔහු වීරත්වයේ උදාරම් ලීලාවෙන් ඔද වැඩී නොගිය අසිරිමත් මානවවාදියෙකි. හේ කථානායක දේශබන්ධු කරු ජයසූරියය. ජනාධිපති, අගමැති, කථානායක යන මෙරටේ පළමු, දෙවැනි හා තෙවැනි පුරවැසියන් බිහිකළ, සියනෑ කෝරළයේ උපත ලබා, එම වාර්තාවට නැවත පණ දුන් නායකයෙක් ලෙස හෙතෙම ඉතිහාසගත වෙයි.

රටකට දේශපාලනඥයෝ ඕනෑ තරම් සිටිති. එහෙත් දුර්ලභ වන්නේ රාජ්‍ය තාන්ත්‍රික දේශපාලනඥයන්ය. කරු ජයසූරිය යනු එවැනි රාජ්‍යතාන්ත්‍රික දේශපාලනඥයකි.

ජාතික නායකයකු ලෙසත්, ප්‍රශස්ත රාජ්‍යතාන්ත්‍රිකයකු ලෙසත් කටයුතුකොට දෙස් විදෙස් අත්දැකීම් රැසකින් යුක්ත ජයසූරිය මහතා නිරන්තරයෙන් පැසුණු, කෘතහස්ත චර්යාවකින් යුක්ත විය. තීරණාත්මක සෑම මොහොතකම හෙතෙම ස්වකීය වගකීම සීරුවට ඉටු කළේය.

‘විජයග්‍රහණ සැමරුම් අභිමුව අන් සියල්ලන් පෙරමුණෙහිද ඔබ ඔවුන් පසුපසින්ද හිඳ නායකත්වය දිය යුතු වන්නේය. එහෙත් අභියෝගයන් සහ අනතුරු අභිමුවෙහිදී ඔබ හැමවිටම පෙරමුණ ගත යුතු වන්නේය. එවිට නායකයකු ලෙස ඔබ සියල්ලන්ගේම ගෞරවාදරයට පාත්‍රවනු ඇත.’

නෙල්සන් මැන්ඩෙලාගේ එකී ප්‍රකාශයට ජීවමාන ආදර්ශය සපයන්නකු වෙත්නම් හෙතෙම කරු ජයසූරියය.

මානවවාදියෙකි.

ඔහු සාර්ථක ව්‍යාපාරිකයෙකි. විශිෂ්ට නිලධාරියෙකි. ගෞරවනීය දේශපාලනඥයෙකි. රාජ්‍යතාන්ත්‍රිකයෙකි. මානවවාදියෙකි. වියතෙකි. එවන් සකලවිධ ක්ෂේත්‍රයන් ඇසුරෙහි සම්භාවිත චරිත දුර්ලභය.

ඔහු කලක් ශ්‍රී ලංකාවේ යුද හමුදාවේ ස්වේච්ඡා බළකායේ අධිකාරී ලත් නිලධාරියකු ලෙස (1965 – 1972 – 1971)සේවය කර ඇත. එහෙත් කිසිකලෙක එකී සේවයේ ඉතිහාසය හෙතෙම සිය දේශපාලන ප්‍රතිරූපය නංවාගන්නට යොදාගෙන නැත.

පසු කලෙක ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයට කළ සේවාව වෙනුවෙන් “දේශබන්ධු” ජනාධිපති සම්මානය, “දේශමාන්‍ය ශාසන බන්ධු”, සාරාර්ථ දර්ශී ජනනායක”, “ලංකා රංජන ජනහිතකාමී”, “සාසන රංජන” වැනි සම්මාන පිට සම්මාන ඔහු විසින් ලබා ඇත.

සමාගම් 52ක සභාපති/ කළමනාකරණ අධ්‍යක්ෂ/ අධ්‍යක්ෂ පදවි හෙබවීමත් ජර්මන් ෆෙඩරල් ජනරජයේ, ඔස්ට්‍රියාවේ සහ ස්විට්සර්ලන්තයේ නියෝජනය සහිතව ශ්‍රී ලංකා තානාපති වශයෙන් සේවය කිරීමත් ඔහු ලද පන්නරයන් වෙයි.

ආවොත් කරු පායයි හිරු

ඔහුගේ දේශපාලන ආගමනය අතිශයින් නිර්මාණශීලිී සහ ප්‍රශස්ත එකක් විය. ‘ආවොත් කරු, පායයි හිරු’ යන්න නිදහසින් පසු එක් පුද්ගලයකු අරබයා දියත් වූ අපූර්වතම සන්නාමය විය. එමතු නොව එකී සන්නාමය යථාර්ථයක් කිරීමටද හෙතෙම සමත් විය. හේ කොළඹ නගරය ආසියාවේ අංක එක කළේය.

1997 – 1998 විශිෂ්ට සේවාවක් කරමින් කොළඹ පුරවරයේ නගරාධිපති ලෙස සිය දේශපාලන ගමන ආරම්භ කරන ජයසූරිය මහතා එතැන් සිට දහසක් අභියෝග මතින් පෙරට ආවේය. තීරණාත්මක අමාත්‍ය ධුර රැසක් දැරූ ඒ මහතා එකසත් ජාතික පක්ෂයේ ඉදිරි පෙළ නායකයකු ලෙස හිතට එකඟව දේශපාලනය කළේය. 2001 එක්සත් ජාතික පක්ෂයේ විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා වූ හෙතෙම දින සියයක් තුළ විදුලි කැපිල්ලට තිත තැබුවේය.

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්

දේශපාලනයට ප්‍රවිෂ්ට වූ තැන් පටන් විරුද්ධ දේශපාලන මතධාරීන්ට නින්දා අපහාස කිරීම්වලින් තොරව වෙනම ප්‍රචාරක රැලි, කටවුට්, බැනර්, පෝස්ටර්වලින් තොර මහත්මා දේශපාලනයක් මඟින් නව දේශපාලන සංස්කෘතියක් හඳුන්වා දුන්නේය.

නිරන්තරයෙන් ඔහු ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටියේය. සාමය උදෙසා ඔහු තීරණාත්මකව පෙනී සිටියේය. බෝඩ් ලෑලි දේශප්‍රේමය වෙනුවට හෘද සාක්ෂියේ දේශප්‍රේමය වෙනුවෙන් ඔහු දිවිහිමියෙන් පෙනී සිටියේය. මානව නිදහස උදෙසා ඔහුට පක්ෂ භේදයක් නොවීය.

17 වැනි සංශෝධනය හඳුන්වාදීමේදී මේ සඳහා කෙටුම්පත සකස් කළ පුරවැසි කමිටුවේ සභාපති වූයේ කරු ජයසූරිය මහතාය.

තොරතුරු දැනගැනීමේ පනත ඔහු ගෙන ආවේ පුද්ගලික යෝජනාවක් ලෙසය. එදා ඒ පනත ගෙන ආ මොහොතේ එවක ආණ්ඩු පක්ෂය හැසිරුණේ වියරුවෙන්ය. ප්‍රජාතන්ත්‍රවාදය දිනා දීම උදෙසා ඔහු ගත් වෑයමට ඊර්ෂ්‍යාව, කුහකකම තුළින් එවක ආණ්ඩුව ප්‍රතිචාර දැක්වීය.

ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම සඳහා ඔහු ගත් අනවරත වෑයම ඉතිහාස පොතක වර්ණවත් පරිච්ඡේදවලින් සටහන් වනවා ඇත.

නිර්භීතම මැදිහත් වීම

ඔහුගේ තීරණාත්මකම සහ නිර්භීතම මැදිහත් වීම දකින්නට ලැබෙන්නේ ඉකුත් ඔක්තෝබර් ඇතිවූ දේශපාලන ව්‍යාකූලත්වයේදීය.

ඔක්තෝබර් 26 අර්බුදය ඇතිවීමට පෙරාතුවම ජයසූරිය මහතා එය අනුමාන කළේය. සංහිඳියා ආණ්ඩුවේ නායකයන් දෙදෙනා අතර මත ගැටුම් වර්ධනය වෙත්ම කථානායකවරයා ලෙස කරු ජයසූරිය මහතා ‘පාලමක්’ තැනුවේය.

බල දේශපාලන බොර දියේ මාළු බාන්නෝ සුලභය. අගමැතිවරු වීමේ සිහින, ආණ්ඩු පෙරළීමේ සිහින බොහෝ දෙනා තුළ තිබේ. අරාජික බවින් ප්‍රයෝජන ගත හැකි අය ඒ උදෙසා සිහින දකිමින් සිටින්නට ඇත. එහෙත් ඔහුට වුවමනා වූයේ රට ස්ථාවර වෙනවා දකින්නටය. ඒ වන විට සැබවින්ම සියලු පාර්ශ්ව සිටියේ සිදුවන්නේ කුමක්දැයි වටහාගත නොහැකි අවිනිශ්චිතභාවයකය. ඇමැතිවරු, මන්ත්‍රීවරු, රාජ්‍ය නිලධාරීන්, දෙස් විදෙස් තානාපතිවරු පවා තූෂ්ණීම්භූතව සිටියහ.

ජනපති - අගමැති අතර තීරණාත්මකම හමුව සැකසුවේ ඔහුය.

කරු ජයසූරිය මහතා කථානායකවරයා ලෙස කටයුතු කිරීම ඒකාබද්ධයේ පිරිස් මුල සිටම රිස්සුවේ නැත. ඔහුගේ 'මහාත්ම'භාවය ඉතාමත්ම පහත් චෝදනාවලින් සහ කතාවලින් දිය කර හරින්නට සමහරු වෑයම් කළහ. එහෙත් ඔහු කිසිවිටෙක ස්වකීය භූමිකාව 'පාවා' නොදුන්නේය.

නිර්පාක්ෂික භූමිකාව

'කථානායක වූ පසු කවදාවත් සිරිකොතට ගිහින් නෑ' ඔහු වරක් එහෙම කීවේය. නිර්පාක්ෂික භූමිකාව ඔහු ඉටු කරනුයේ එසේය.

තීරණාත්මක ඔක්තෝබර් 26 හෙතෙම ස්වකීය භූමිකාව නිර්භීත ලෙස ඉටු කළේය. එය විටෙක මහා පෞරුෂත්වය ඔද වැඩුණු භූමිකාවක් විය. තවත් විටෙක, වීරත්වයේ පුරාවෘත්තයක් විය. තවත් විටෙක මරණය පෙනි පෙනී කරන මුහුණට මුහුණ සටනක් සේ විය.

අතට හසුවන දෙයින් පහර දෙන උමතු වූවන් රංචුවක් මැදට සිංහයකු සේ පැමිණ හෙතෙම ප්‍රජාතන්ත්‍රවාදයේ ‘උපනිෂද් ස්වරය’ නැංවීය.

ත්‍රාඩ ලීලාවෙන් පහර දෙන්නට මාන බලන වියරු වැටුණු පිරිසක් මැද ඒ පරිණත වියපත් මිනිසා ස්වකීය දෛවය ‘පැවරූ රාජකාරිය’ නූලටම ඉටු කළේය.

හිස් ප්‍රලාප නඟන්නන්ගේ වාගාලාප වෙනුවට ඔහුගේ සත්‍ය මැදිහත් වීම විස්මයක්ම විය.

නිර්භීත එඩිතර අනභිභවනීය අවංක නිවැරදි තීන්දු තීරණ නිසා දැවැන්ත විනාශයක් රට තුළ වළක්වා ගැනීමට හැකි විය. ශ්‍රේෂ්ඨාධිකරණයෙන්ද කථානායකතුමාගේ තීන්දුව නිවැරදි බව තහවුරු කරනු ලැබීය.

‘ඇතැම් විට අයුක්තියට එරෙහිව නැඟී සිටීමට තරම් බලයක් අප සතුව නොතිබිය හැකිය. එහෙත් එම මොහොතේ ඊට විරෝධතාව දක්වන්නට අප අසමත් වන්නේ නම් කෙදිනකවත් ඒ සඳහා කාලයක් අපට නොලැබෙනු ඇත.’ යනුවෙන් එලී වියසෙල් පවසා තිබේ.

කථානායකතුමන් අයුක්තියට එරෙහිව නැඟී සිටියා සේම සිය ප්‍රතිවිරෝධයද නොබියව දැක්වූහ.

‘දෙයක් වේ නම්, සුදුස්සාටම එය ලැබිය යුතුය’ යන්න සනාතන සත්‍යයයි.

ඉන්දියාවෙන් 2017 වසරේදී “විශ්ව සාම” සම්මානයද කරු ජයසූරිය මහතා වෙත පිරිනැමූ අතර පසුගියදා අබ්දුල් කලාම් විද්‍යායතනයෙන් පිරිනමන “Pride Of Asia” (ආසියාවේ අභිමානය) සම්මානයද කථානායකවරයා වෙත පිරිනමනු ලැබීය.

උදාවන සූර්යා

ඉන් පසුව ජපන් රජය විසින් පිරිනමනු ලැබූ “උදාවන සූර්යා” ‍ගෞරව සම්මානය ඔහු විසින් හිමිකර ගත්තේය. ඒ වනාහි අද්විතීය ගෞරව නාමයකි.

ආගමික නායකත්වය විසින් රටේ රාජ්‍ය නායකයාට පමණක් පිරිනමන ඉහළම ගෞරව නාමය එතුමාට අද හිමි විය.

ඒ “ශාසන කීර්ති ශ්‍රී දේශාභිමානි විශේෂ ගෞරව සම්මානය”යි. මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක නා හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ පූජ්‍ය කාරක මහා සංඝ සභාව විසින් එම ගෞරවය කථානායකවරයාට පිරිනැමීය.මේ කිසිවකින් හෙතෙම උද්දාමයට පත් වන්නේ නැත. බිමට නැඹුරුවන පැසුණු වී කරලක් සේ හෙතෙම අව්‍යාජය.

"මට සිහිනයක් තිබේ; මගේ දරුවන් හතර දෙනා ඔවුන්ගේ සමේ පැහැයෙන් නොව, චරිතයේ හරයෙන් මනින්නා වූ දේශයක ජීවත් වන ආකාරය මම සිහිනයෙන් දකිමි. මට සිහිනයක්‌ තිබේ; යම් දවසක ජෝර්ජියාවේ රතු කඳු මුදුනෙහි අතීත වහලුන්ගේ දරුවන් සහ අතීත වහල් හිමියන්ගේ දරුවන් එක මේසයක්‌ වටා සහෝදරත්වයෙන් එක්‌ රොක්‌ වී ප්‍රීතියෙන් සිටිනු දැකීම මගේ ඒ සිහිනයයි." 1963 අගෝස්තු 28 වැනිදා මාර්ටින් ලූතර් කිං එහෙම කීවේය.

“මම මරා දැම්මත් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මගේ අධිෂ්ඨානය නවත්වන්නේ නැත. මගේ මවුබිම අපේක්ෂා කළ කවර වූ හෝ කැපකිරීමක් ‍කිරීමට මම නිරතුරුව සූදානමින් සිටියෙමි. විධායකය හමුවේ පෙනී සිට පාර්ලිමේන්තුවේ අයිතිවාසිකම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ උත්තරීතර හා ජනතා පරමාධිපත්‍යය ආරක්ෂා කිරීම මා ලද වරප්‍රසාදයක් විය. ඉහත සඳහන් මගේ ක්‍රියාකාරකම් පිළිබඳ කිසිදු පැකිළීමකින් තොර කවර ආකාරයේ වුව ප්‍රතිවිපාකයකට මුහුණ දීමෙහි මා සූදානම් බැව් පවසමි.”

ඒ කරු ජයසූරිය නමැති කථානායකවරයාය.

"ඔහු ජීවිතයටත් වඩා විශාලයි. ඔහු වැනි කෙනෙක් නැවත අපට මුණ ගැහෙන්නේ නැහැ." නෙල්සන් මැන්ඩෙලා ගැන ලෝකයා කියන්නේ එහෙමය.

අපට දෙවරක් නොසිතාම ශ්‍රී ලංකාවේ කථානායකවරයා ගැනද එහෙම කිව හැකිය.

[ප්‍රවීණ විජේවර්ධන]

මාතෘකා