සැනට්ගේ සිනමාවලෝකනය

 ඡායාරූපය:

සැනට්ගේ සිනමාවලෝකනය

කලා ලෝකයෙහි සැනට්ගේ නම නොගෑවුණු තැනක් නැති තරමට ඔහුගේ බහුවිධ කුසලතා පැතිරී ඇතැයි කීමෙහි වරදක් නොමැත. සිනමාව යනු එයින් එක් ක්ෂේත්‍රයකි. එහි ආරම්භය 70 දශකයේ මුල භාගයයි. ධර්මසේන පතිරාජ හඳුනා ගැනීමෙන් පසුව අහස්ගව්ව චිත්‍රපටයේ සුළු ජවනිකාවකට පෙනී සිටීමේ අවස්ථාව ඔහුට ලැබිණ. කැලණියේ බීමහලෙහි සේවය කළ ගැටවරයාට පතිරාජ, කොස්තා, දයා තෙන්නකෝන් දැක ගන්නට ලැබීමෙන් ඇතිවූ කුතුහලය දුර ගමනකට බලපෑවේ එපරිද්දෙනි.

"චිත්‍රපටයක රඟපෑමේ ආසාව තිබුණත් ඒක කියන්නවත් කෙනෙක් හිටියේ නෑ. පතිරාජත් එක්ක ගියේ ඇඳුනුම හින්දා. චිත්‍රපටයෙ එක් ජවනිකාවක කාර් එකක් හෝදන කෙනෙක් ඕනෑ වුණා. ඒක සිද්ධ වෙන්නෙ ප්‍රධාන චරිත පසුබිමේ. ඒ අවස්ථාව මට ලැබුණා. හැබැයි ඒ දර්ශනේ මගෙ මූණවත් හරියට පේන්නෙ නෑ."

ඒ ආරම්භයෙන් පසුව පතිරාජගේ බොහෝ කලා කටයුතු සඳහා සැනට් සම්බන්ධ කර ගැනිණ. බඹරු ඇවිත් චිත්‍රපටය සඳහා සැනට්ගේ දායකත්වය විවිධාකාරයෙන් ලබා ගැනීමේ අවස්ථාව පතිරාජට ලැබිණ. එය තම ජීවිතයෙහි වැදගත් අවස්ථාවක් බව සැනට් සිහිපත් කරයි.

බඹරු ඇවිත් අසීරු දර්ශන

"බඹරු ඇවිත් නිෂ්පාදනය කළේ නයින් හාර්ට්ස් එකේ තිලක් ගොඩමාන්න. මට පැවරුණේ නිෂ්පාදන සහකාරගෙ වගකීම. චිත්‍රපටයෙ එක් දර්ශනයක තල්ගහක් උඩ මිනිහෙක් ඉද්දි යටින් කපනවා. එහි සමීප දර්ශන සඳහා ක්‍රේන් එකක් වුවමනා වුණා. ඒ කාලෙ හැටියට ඒක අමාරු වැඩක්. බ්‍රිජ් ඔන්ද රිවර් ක්වායි චිත්‍රපටෙයෙ රූගත කිරීම්වලට ගෙනාපු ෙක්‍ර්න් එකක් සම්පත් සිනමා සමාගමේ තිබුණා. ඒක කල්පිටියට අරන් යන එක වියදම් අධික කටයුත්තක්. කල්පිටිය නගර සභාවෙ ලයිට් වැඩ කරන්න ගන්න ඊට ගැළපෙන උපකරණයක් තිබුණා. ඒකත් ගෙනියන්න අමාරුයි. ලොකේෂන් තියන තැනට දුරයි. ඊට පස්සේ ඒක ගෙනියන්න පහසු විදියක් කල්පනා කළා. ජීප් එකේ ගැට ගහලා අපි අතිනුත් තල්ලු කරගෙන තමයි අරං ගියේ. මේ විදියට සීමිත පහසුකම් මැද්දෙ වුණත් රූගත කිරීම් උපරිම හොඳින් කරන්න දායක වීමේ අවස්ථාව අපට ලැබුණා."

සැනට් බඹරු ඇවිත් චිත්‍රපටය ගැන මතක අවදි කරයි.

අපූරු නිෂ්පාදකයා

බඹරු ඇවිත් රූගත කිරීම සඳහා කල්පිටිය වෙරළේ නතර වී සිටි කාලය සුන්දර අත්දැකීම්වලින් ගහන වූ බව සැනට් පවසයි. ධර්මසේන පතිරාජ සරල මිනිසෙකි. ඔහුට කොතනත් එකය. උස්මිටිකම් නැත. විශේෂ ආහාර හෝ විශේෂ පහසුකම් කියා දෙයක් වුවමනා නොවීය. සැනට්ට ඒ ජීවිතය අල්ලලා ගියේය. ඒ ඔහුද අමුතු මිනිසකු නිසාය. මේ අනුව බඹරු ඇවිත් රංචුව කල්පිටියේ ගතකළ ජීවිතය වෙනම පොතක් ලිවීමට තරම් බරසාරය. සරුසාරය.

දියමන්ති නිෂ්පාදනයට සහාය වීම

එයින් පසුව වසන්ත ඔබේසේකරගේ දියමන්ති චිත්‍රපටයෙහි නිෂ්පාදන සහකාර හැටියටද ඔහු කටයුතු කළේය. චිත්‍රපටය සඳහා අවශ්‍ය උපකරණ ප්‍රවාහනය කිරීම සඳහා යොදා ගනු ලැබුවේ සැනට්ගේ පියාගෙන් කුලී පදනම මත ලබාගත් රියකි. මේ චිත්‍රපටයෙහි නිෂ්පාදකවරයා වූයේ අතිදක්ෂ රංගන ශිල්පියකු වූ සෝමසිරි දෙහිපිටියයි. චිත්‍රපටයෙහි සංගීතය සැපයූවේ ඩී. ආර්. පීරිස්ය.

ඩී. ආර්. පීරිස්ගේ විශිෂ්ට හැකියාවෙන් සිනමාවට මීට වඩා දායකත්වයක් ලබාගත හැකිව තිබූ බව සැනට්ගේ අදහසයි. පාර දිගේ, ස්වරූප සහ සක්කාරං චිත්‍රපට සඳහා රංගන ශිල්පියකු ලෙස සම්බන්ධ වීමේ අවස්ථාව සැනට්ට ලැබිණ. සක්කාරංහි රා මදින්නාෙග් චරිතය සැනට්ට අමතක නොවීමේ විශේෂ හේතුවක්ද ඇත. ඒ චිත්‍රපටයේ නිෂ්පාදක සරසවි ප්‍රකාශන අධිපති එච්. ඩී. ප්‍රේමසිරි නිසාය.

"නිෂ්පාදකවරයකු හැටියට ඔහු කලාකරුවන්ගේ වටිනාකම ගැන හරි අවබෝධයකින් කටයුතු කරනවා. ශිල්පීන්ට ගෙවීම් කිරීමේදී ඔහු කිසිම අසාධාරණයක් නොකර වැදගත් මහත්මයකු විදියට ඒ කටයුත්ත කළා. මා වැඩකළ චිත්‍රපට අතරින් එහෙම අය හමුවුණේ කලාතුරකින්."

සැනට් සක්කාරං නිෂ්පාදකයා හට ප්‍රශංසා කරයි.

හාස්‍යෝත්පාදන සිනමාවේ සංධිස්ථානයක් ලෙස සැලකෙන කොළඹ සන්නිය චිත්‍රපටයෙහි නව නිෂ්පාදනයක් මුල් චිත්‍රපටය ප්‍රදර්ශනයෙන් දශක කිහිපයකට පසු රසිකයන් අතරට පැමිණියේය. පළමු චිත්‍රපටයෙහි එඩී. ජයමාන්න රඟපෑ චරිතය නව නිෂ්පාදනයෙහිදී සැනට්ට ලැබිණ.

චරිත සුළු නැත

‘උලත් එකයි පිළත් එකයි’ චිත්‍රපටියෙහිද ඔහු රඟපෑවේය. මේ හැරුණු විට චිත්‍රපටි ගණනාවක් ඔස්සේ ඔහු තම ප්‍රතිභාව විශද කොට තිබේ. එහෙත් චිත්‍රපටියෙහි රංගන දායකත්වය සම්බන්ධයෙන් නිෂ්පාදකවරුන් දක්වන සැලකිල්ල පිළිබඳව සැනට්ට ඇත්තේ විවේචනයකි.

"චරිතයක් සුළු එකක්ද ප්‍රධාන එකක්ද කියන එක නොවෙයි මෙතන වැදගත්වන්නේ. එම ශිල්පියා කරන කැපවීමයි. මේක හැමෝටම කරන්න බෑනේ. ඒත් සමහරු එහෙම හිතන්නෑ."

සැනට් කලාව සම්බන්ධයෙන් සුපුරුදු චෝදනා පත්‍රය දිග හරී.

දවස් දහයෙ චිත්‍රපට

"දැං අමුතු විදියේ චිත්‍රපටකාරයො බිහිවෙලා ඉන්නවා. සුළු ගෙවීමක් කරල ශිල්පීන් ටිකක් දාගෙන දවස් දහයකින් පමණ චිත්‍රපටයක වැඩ ඉවර කරනවා. චිත්‍රපටය දිව්වත් එකයි නැතත් එකයි. සී.ඩී එකක් ගහල විකුණනවා. මේක විහිළුවක්."

සැනට් චෝදනා කරයි.

"මේ ළඟදි කැමරා ශිල්පියෙක් චිත්‍රපටයක රඟපාන්න මටත් කතා කළා. ඔහු චිත්‍රපටයක් හදන්නයි යන්නේ. මුලින් 40,000ක් දෙන්න පොරොන්දු වුණා. හිටිගමන් රෑට කතාකරලා රු.20,000කට බැරිද කියල පින්සෙන්ඩු වෙනවා. කලාකරුවො ගැන එයාලා තක්සේරු කරන්නෙ ඒ විදියට. එහෙම යන අයත් ඉන්නවා ඇති. මම කලාවෙන් දේපළ ගොඩගහගත්තු කෙනෙක් නොවෙයි. ඒත් කලාව බාල්දු කරන්න කැමති නෑ."

චිත්‍රපට නිෂ්පාදනය මුවාවෙන් සිදුකෙරෙන "දෙකයි පනහේ වැඩ" ගැන සැනට්ට ඇත්තේ කලකිරීමකි. එහෙත් කලාකරුවන්ගේ අගය වටහාගත් නිෂ්පාදකවරුන් සහ අධ්‍යක්ෂවරුන් හා ශිල්පීන් ගැන සැනට්ගේ සිතෙහි ඇත්තේ ගෞරවයකි.

ඔවුන් අතරින් සහෝදර ශිල්පිනියක වන ප්‍රවීණ රංගන ශිල්පිනී, නිෂ්පාදිකා/අධ්‍යක්ෂිකා ශ්‍රියානි අමරසේන ගැන සැනට් සඳහන් කරන්නේ සුහද හැඟීමෙනි.

ශ්‍රියානිගේ දෘෂ්ටිකෝණයෙන් සැනට් කියවීම විශේෂ අත්දැකීමක් විය හැකිය.

ශ්‍රියානිට පෙනෙන හැටි

"සැනට් මගේ නිර්මාණවලටත් දායකත්වය දී තිබෙනවා. එහිදී මට ඔහු ගැන විශේෂයෙන් කිව යුතු කරුණු කිහිපයක් තිබෙනවා. ඉන් පළමුවැන්න ඔහු සතු ශිල්පීය ඥානය සහ කුසලතාවයි. දෙවැන්න කිසියම් කලා කටයුත්තකට දායක වීමේදී ඔහුගේ නිර්ලෝභී කැපවීමයි. තෙවැන්න ඔහු සෙසු ශිල්පීන් සමඟ සුහදත්වයෙන් සහයෝගයෙන් කටයුතු කරන ආකාරයයි. සිව්වැන්න ඔහුගේ මනුස්සකමයි.

ඒ ගැන විශේෂයෙන් කිව යුතුයි. හුඟක් දක්ෂයන් ළඟ එම ගුණය අඩුයි. සැනට් අපේ පවුලේත් සමීප හිතවතෙක්. ඔහු ඇසුරු කිරීම ප්‍රියජනක අත්දැකීමක්. අපි ගමනක් බිමනක් යද්දිත් ඔහුට ආරාධනා කරන අවස්ථා තිබෙනවා. මුළු ගමනම ඔහු නිසා රසවත් වෙනවා.

සැනට් කලාව සහ පරිබාහිර බොහෝ වැදගත් කටයුතු සමඟ ඉන්නවා. හැම කලා උත්සවයකටම යනවා. අනෙක් අයගෙ ජයග්‍රහණවලදි සතුටු වෙනවා. ඔහු ඇත්ටම පිරිපුන් මිනිසෙක්."

ශ්‍රියානි අමරසේන සැනට් දික්කුඹුර ගැන කරන විවරණයද පිරිපුන් එකක් යැයි හැඟේ.

[තිඹිරියාගම බණ්ඩාර]

මාතෘකා